Menu Close

මාදුවාගේ කුඹුරු අස්වැද්දිල්ල, පොඩි මාදුවා දුටු හොල්මන, සුමනදාස මහත්තයගේ ඡන්දය සහ කොරෝනා කතා.

අපි මාදුවලෑ කුඹුර අස්සද්දන්නට කතා කර ගත්තේ කොරෝනා වසංගතය පැතිරෙන්නට හිතලවත් නැති කාලයක හෙවත් ජනවාරි මාසේ මුල වගේය.  ඔය අදහස මගෙ හිතේ තිබුණේ කාලයක සිට වුණත් අදහස මාදුවාට කියන්නට තැනක් වේලාවක් හරියටම සෙට් වුණේ නැත.  ඔන්න ඔහොම තියෙද්දී ගමේ පොඩි මඟුලකදී අපි කට්ටියටම එකට එකතුවී කතා කරන්නට ඉඩ ප්‍රස්තාව සැලසුණි.  මදු විතකින් ගත සිත ප්‍රබෝධමත් වී සිටියදී මම මාදුවාට පැත්තකට කතා කර අදහස කිව්වෙමි.  මාදුවා එයට එක්වරම කැමැත්ත පළකළේය.  එවිටම එතනට පැමිණි ගමේ කෘෂි නිලධාරියාද කතාවට සම්බන්ධවී වැඩේ බොහොම ඉහළයි කියා ඔහුගේ පැත්තෙන් කළහැකි හැම උපකාරයක්ම කරන බවද කීවේය.  වෙල්යායේ මාදුවලාගේ කුඹුර ලඟට එනතුරු ඒ වනවිට කුඹුරු වැඩකර තිබුණ අතර මගේ කුඹුර තියෙන්නේ මාදුවලාගේ කුඹුරට තවත් එකකට පහළින්ය.  මේ වන විට ගණ සැරේට කැලේ වැවී ඇති වෙල්යායේ ඒ කොටසේ වැඩ පටන් ගන්නවා නම් මාදුවලාගේ කුඹුරට නොබැස පහළ ඒවා සුද්ද කරන්නට බැරිය.  මාදුවලාගේ කුඹුරෙන් වැඩ අල්ලන්නට අපි කල්පනා කළේ ඒ නිසාය.
ඉස්සෙල්ලාම කරන්නට තිබුණේ වෙල්යායේ නිරීක්ෂණ චාරිකාවක යෙදී වැඩ පටන්ගත යුතු ආකාරය ගැන යම් කිසි වැටහීමක් ඇතිකර ගැනීමය.  අපේ ගෙවල් ලඟින් යන හැම විටෙකම එන්නං එන්නං කියා කීවත් සති කීපයක් යනතුරුම මාදුවා වෙල බලන්නට ආවේ නැත.  ඔන්න ඔහොම තියෙද්දී එක දවසක හවස් වරුවේ අපේ ගෙදරට ආ මාදුවා කුඹුර බලන්නට යමු කීවේය.  අපි දෙන්නා වෙල්යායට ගිහින් බැලූවිට අඩියක් තියන්නටවත් බැරි තරමට ගණ සැරේට කුඹුරු කැලෑ වැහිලාය.  උගේ තණකොළ කපන මැෂිමෙන් දවස් කීපයකදී කුඹුර කැලෑ එලිකරගන්නට හැකි යැයි මාදුවා කියපු අතර හෙට සිට වැඩ පටන්ගමුය කියා කතා කර ගත්තෙමු.  ඒ වුණාට පහුවදා මාදුවා දකින්නටවත් හිටියේ නැත.  උඹට එපා නම් මට මොකද කියා මමත් සද්ද නැතුව සිටියෙමි.  තවත් සතියකට පමණ පසු දවසක මහ හැන්දෑවේ තණකොළ කපන මැෂිමත් කරතබාගෙන ආ මාදුවා මගෙත් එක්ක කුඹුරට ගිහිං වැඩ පටන් ගත්තේය.  එදා එහෙම කැපුවාට උගේ පැමිණීමේ කිසිම පිළිවෙලක් තිබුණේ නැත.  වැඩ කරන්නට එන්නේ ඉර බහින වෙලාවටය.  හැමදාම වගේ පහුවදා උදෙන්ම වැඩ පටන් ගනිමුයි කියා කතාකර ගත්තත් එහෙම සිදුවෙන්නේ නැත.
වැඩේ තියෙන්නෙ මාදුවාට වැඩ වැඩිකමය.  උගේ ප්‍රධාන ආදායම් මාර්ගය ත්‍රී වීල් එකක් හයර් දිවීමය.  ඊට අමතරව මැසිමකින් තණකොළද කපයි.  ඊටත් පස්සෙ මාදුවා පළතුරු වෙළඳාමක් පටන් ගත්විට කලින් කීව දෙකටම වඩා නැගලා ගියේ පළතුරු බිස්නස් එකය.  ඉතිං කුඹුර කැපීම සිද්ද උනේ අවාරෙට අඹ වැටෙන්නා සේය.  කොරෝනා වසංගතය ආවේ ඔන්න ඔය කම්මැලි විදියට වැඩ කරගෙන යද්දීය.  මාදුවාගේ ත්‍රී වීල් හයර් දිවීමද තණකොළ කැපීමද එක් වරම නතර වූ අතර පළතුරු ව්‍යාපාරය මහ ඉහළින් නැගලා යන්නට වූවා සේම වෙලේ වැඩ කරන්නට මාදුවාට ඇති තරම් කාලයද ලැබිණි.  එදා සිට හැමදාම උදේට මාදුවා පළතුරුත් සයිකලයේ පටවාගෙන තණකොළ කපන මැසිමද වතුර බෝතල්ද බුලත්විටද ආදියෙන් සන්නද්ධව කුඹුරට පැමිණෙයි.  ටික වෙලාවක් වැඩ කරන විට මාදුවාගේ පළතුරු පාරිභෝගිකයින් එකා දෙන්නා මාදුවා හොයාගෙන කුඹුරට එන්නට පටන් ගනී.  මාදුවා තණකොළ කැපීම නවතා පාරිභෝගිකයන්ට සේවය සලසන්නට පටන් ගනී.  සමහර පාරිභෝගිකයින් පළතුරු රැගෙන යන අතර සමහරු නියරේ ඉඳගෙනම අහල පහළ ගස්වල ඇති වෙරළුද කොට්ටං ද හපමින් පළතුරු පාවිච්චි කරති.  මාදුවාගේ මොබයිලය මගේ අතට දී තිබුණේ තණකොළ කපනවිට පෝන් එකේ සද්දය ඇහෙන්නෙ නැති නිසා කෝල් වලට උත්තර දෙන්නටය.  පෝන් එකටද නිවනක් නැතුව පාරිභෝගිකයන්ගේ කෝල් එයි.  මම හැම ඇමතුමකටම උත්තර දෙන්නේ මාදුවාගේ උපදෙස් අනුවය.
කොරෝනා වසංගතය හේතුවෙන් කොච්චර වැඩ තිබුණත් පොලීසිය මත් ද්‍රව්‍ය ඇල්ලීමට කඩා පනින එක නතර කර තිබුණේ නැත.  මාදුවාගේ ව්‍යාපාරය අල්ලන්නටද පොලිසියෙන් ඇවිත් හොයන බවට කටකතා කීපයක්ම පැතිරී තිබුණත් පැන්නේ නම් නැත.  ඒ වුණාට ආපු ආරංචි වලින් බොහෝ කලබලයට පත්වූ හැලපී වහාම ක්‍රියාත්මක වන පරිදි කුඹුරට යෑම මට තහනම් කළාය.
“ඇඳිරි නීතිය කඩල පොලිසියට අල්ලගෙන යන එක වෙනම කතාවක්. ඒ උනාට වෙලේ ඉඳල මාදුවත් එක්ක බෙල්ලෙන් අල්ලගෙන පොලිසියට අරන් ගියොත් විලි ලැජ්ජාව. ඔය කුඹුරු අස්වැද්දිල්ලෙන් කාරියක් නෑ.  ඔයා ගෙදර ඉන්න!” හැලපි තදින්ම අවවාද කළාය.
“මම නොගියොත් ඕකා ඔය කුඹුරු කිරිල්ල අත් අරිනවා.  මගේ වදේටනේ පටන් ගත්තෙ.  මෙච්චර කරල අත ඇරල දැම්මොත් අපරාදෙනෙ.  ඔහෙ එන ඇති පොලිසියක් නෑ. ඔයා බය නැතුව ඉන්න!”  මම ෂේප් එකට කතා කළෙමි.
“ඕනෑ එකක් කරගන්න එකයි ඇත්තෙ.  ඔයාල ඉතිං පණ්ඩිතයොනෙ. කියන දෙයක් කණකට ගන්නෙ නෑ.  මොනව හරි උනොත් ඔන්න මම ආයෙ කියන්නෙ නෑ.”
හැලපි බැන්නාට මම කුඹුරට යාම අත්හැරියේ නැත.  එතන වෙනම විනෝදයකි.  ඒ දවස්වල තිබුණු දැඩි පෑවිල්ල නිසා වැඩ කරන්නට ලේසිය.  කුඹුරු යායට තද සුළඟක් ද හමයි.  කලින් දවසේ මාදුවා කපා වේලී තිබුණු තණකොළ ගොඩවල් ගසා ගිණි තැබීමද ගස්වල අතු කැපීමද ආදිය කරන විට මහන්සියක් නොව ඇතිවෙන්නේ සතුටකි.  අපි කුඹුරට බැස්ස විට එතෙක් පාළුවී තිබූ කුඹුරේ සරුවට වැවී තිබුණු කංකුන්, මුකුණුවැන්න, ගිරාපලා ආදිය කඩන්නට ගමේ ගෑණුන්ද, ළමයින්ද කුඹුරට එන්නට පටන් ගත්ත නිසා කම්මැලිකමක් ඇත්තේම නැත.  රොඩු ගොඩවල් ඇද මහන්සි වූ විට නියරට ගොඩවී ලැවරියාවක්, වඩේ එකක් කා තේ කහට ටිකක් බී විටක් හැපීමද කාලෙකින් නොලද ආස්වාදයකි.  වැඩේ දිගටම යද්දී මාදුවාගේ ව්‍යාපාරයද එයට සමගාමීව ජයටම ක්‍රියාත්මක විය.  පළතුරු ගන්නට අතේ මිළ මුදල් නොමැති වූ කීප දෙනෙක්ද ඇවිත් කුඹුරේ වැඩකර එයට හිලව්වට පළතුරු බීම ටිකක් ඉල්ලා සිටිති.  උන් එදිනෙදා කුලියක් මලියක් කර දවසේ වියදමට කීයක් හරි සොයාගන්නා උදවියය.  දැන් ඒ අයගේ අදායම් මාර්ගද එහෙම පිටින්ම ඇහිරී ඇත.  නැති එකාට උදව් කිරීම පිංකමකි.  අපේ කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය නිසා දවසේ ගතමනාව සොයාගන්නට බැරිව ඉන්න අය කීප දෙනෙකුට හෝ උදව් කරන්නට ලැබීම එහි අමතර ඵලයකි.
කුඹුරේද කුඹුරට ගොඩ පාළු වත්තේද රැඳී ඉන්න අයගේ අඩුවක් නැත.  සමහරු පාළු වත්තේ ගස්වල පොල් කඩා ගෙදරටම ගෙනිහින් දමති.  සමහරු නියරේ පාළු කුඹුරේ කෙටල ගාල් එක්ක කාලයක් තිස්සේ හරි හරියට වැවී තිබූ කොහිල පඳුරු වල දළු කඩති.  දැවැන්ත කොහිල අල ගලවා සුද්ද කරති.  කොරෝනා වසංගතය හැමෝටම කලකින් පසු දිග විවේකයක් ලබා දීලාය.  අපි වගේ සොක්කන්ට පමණක් නොව බොහෝ වැඩ කටයුතු ඇති අවිවේකී තදයන්ට පවා කොරෝනා වසංගතය තමන්ගේ අවිවේකී කම ගැන නිවී හැනහිල්ලේ හිතන්නට ඉඩ ලබා දුනි.  පාරේ ට්‍රැෆික් එකේ විනාඩියක් දෙකක් නවත්වා ගෙන ඉන්නට බැරුව නලා සද්ද කරන, විනාඩියක් දෙකක් යාලුවෙක් එක්ක කතා කරන්නට බැරි තරමට වැඩ කටයුතු ඇති, යාලුවෙක්ගේ ඇමතුමක එක විනාඩියක් හමාරක් රඳවා ගන්නට බැරි තරමට ඉස්පාසුවක් නැති සෑම සියළු දෙනාම ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර වයිරසයක් ඉදිරියේ චකබ්ලාස් වී ගොසින්ය.  මම පෙබරවාරි මාසයේ මගේ යාලුවෙක්ට දුරකථන ඇමතුමක් දුන්නෙමි.  යාලුවෙක් කීවාට යාලුවාව කවදාවත් දැක නොමැති සේම කතා කර තිබුණේද නැත.  ඉතින් බොහොම අමාරුවෙන් අංකයද ලබාගෙන කතා කළේ කිසිම වැඩකට නොව කතා කරන්නට තිබු ආසාවටය.  අපි විනාඩියක් වත් කතා කරන්නට ලැබුණේ නැත.  යාළුවාට හදිස්සියක් ඇතිවිය.
“මචං, මම උඹට තව ටිකකින් ගන්නම්!” ය කිවූ ඔහු ඇමතුම විසන්දි කළේය. 
මේ වනවිට මැයි මාසයත් ඉවර වෙන්නට ළඟ වුනත් තව ටිකකින් දෙන ඇමතුම තවම ලැබුණේ නැත.  ඉතින් මනුස්සයන්ට තිබුණු හදිස්සිය ඔය වගේය.  ඉස්පාසුවක් නැතිකම තරඟයට දිවීම වැනි දේවල් කිසිම වැඩකට නැති පුහු ඒවා බවට අප සියළු දෙනාටම පසක් කළේ මේ කොරෝනා වසංගතයයි.
ආයෙම අපේ කතාවට ආවොත් මාදුවා පොඩි කාලේ සිටම ඇම්ඩෙකි.  මාදුවාගේ සීයාට ගමේ පොඩි තේ කඩයක් තිබුණි.  අපි කොල්ලො කාලේ රස්තියාදු ගැහුවේ ඔන්න ඔය කියන ඇල්බින් මුදලාලිගේ තේ කඩයේය.  අපි කඩේ කයියක් ගහගෙන ඉන්නවිට පොඩි මාදුවා පොල් ගෙඩියක් උස්සාගෙන කඩේට එයි.
“සීයෙ, මේ පොල් ගෙඩිය අරං පාන් කාලක් දෙන්න!” යි කියා පාන් අරගෙන යයි.
තව ටිකකින් තවත් පොල් ගෙඩියකි. 
“යකෝ, මූට පැය දොළහට පාන් කාල් දොළහක් කන්න එපැයි! “කියන ඇල්බින් මුදලාලි පොල් ගෙඩිය පොල් ගොඩට විසිකරයි.
සීයා නොදන්න මාදුවා පමණක් දන්නා රහස වුණේ පළවෙනි පොල් ගෙඩිය ඇරෙන්නට ඉතුරු පොල් සියල්ලම මූ ගල් කරන්නේ සීයාගේ පොල් ගොඩෙන් බවය.  අවුරුදු ගෙවී ගොස් දෙමව්පියන් විසින් චූටි මාදුවාව ගමේ ඉස්කෝලේ හෝඩියේ පන්තියට ඇතුළත් කරන ලදී.  දවසක් උදේ ඉස්කෝලෙ යන්නට සුදානම් වෙන චූටි මාදුවාට උගේ තාත්තා වන සුමනදාස මහත්තයා වැදගත් උපදේශයක් දුන්නේය.
“කොල්ලො, උඹ එහෙම දවල්ට ඔය මිනී කනත්ත පැත්තෙ යන්න එපා!”  ගමේ මිනී පිට්ටනියද තිබුණේ ඉස්කෝලෙට පේන දුරින්ය.
“ඒ මොකද? චූටි මාදුවා ඇසුවේය.
“ඒ මොකද කියන්නෙ? කනත්තෙ හොල්මන් තියෙනවා. උඹ ඕවා දන්නෙ නෑනෙ. ඒකයි කිව්වෙ. වැරදිලාවත් ඒ පැත්තෙ යන්න එහෙම එපා!”  සුමනදාස මහත්තයා කීවේ ඇස් දෙකත් ලොකු කරගෙනය.
එදා ඉස්කෝලෙ ගිය මාදුවා ඉස්කෝලෙ ඇරුන ගමන් කනත්තට ගියේ තාත්තා කියූ හොල්මන් බලන්නටය.  පැය කාලක් විතර සොහොන් ගලක් උඩ ඉඳගෙන බලා හිටියත් දඩාවතේ යන බල්ලෙක් දෙන්නෙක් ඇරෙන්නට හිටපු හොල්මනක් නැත.  දැන් මාදුවාට කේන්තිය.  ඊටත් වඩා බඩගිනිය.  පරණ මිනී වලක් උඩ තිබුණු මල් ගැලවී ඇටසැකිලි වී ගිය මල් වඩමක් ද ගත් මාදුවා තරහෙන්ම ගෙදර ගියේය.  පාරෙන් හැරී ගෙට ළඟාවන විටම ඉස්සරහට එන්නේ තාත්තාය.  මාදුවාට මල පැන්නේය.
“කෝ යකෝ කියපු හොල්මන්? මම කනත්තෙ කොච්චර වෙලා බලං හිටියද?  තෝ නං කොකෙක්ම තමයි.”මල හොඳ එකෙන්ම පැන තිබු මාදුවා තාත්තාට ගෝලු ගත්තේය. (සුමනදාස මහත්තයාට ගමේ අය පටබැඳ තිබු හුරතල් නම කොකාය)
“අපූරු කම්බි ටික බොළ, මේක හොඳයි මගෙ බුලත් වැල්වල පන්දලම බඳින්න.” කියූ සුමනදාස මහත්තයා රැඹිටිවී තිබුණ මල් වඩමද උස්සාගෙන වත්ත පහළට ගියේය.
මාදුවාගේ තාත්තා ගැන මතක් කරපු වෙලාවේ ඔහු ගැන තව කතාවක්ද මගේ මතකයට එයි.  මේ සිද්දිය සිද්ද වී තිබුණේ අපි ඉපදෙන්නටත් පෙර කාලයකය.  මට කතාව කිව්වේද එකල වැඩිහිටියෙකි.  කතාව මෙහෙමය.  මාදුවාගේ තාත්තලා ගමේ වතු පිටි කුඹුරු ඉඩකඩම් බොහොමයක් තිබුණු ගමේ යමක් කමක් ඇති පවුලකි.  රස්සාවක් නොකළාට සුමනදාස මහත්තයා හොඳට ඉගෙනගත් කෙනෙකි.  ඉංග්‍රීසි උගතෙකි.  ගමේ කලිසම් ඇඳපු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙකි.  ඒ කාලයේ කලිසමක් ඇන්දේ ඉංග්‍රීසි උගතෙකි.  ඉතින් ඔහොම යද්දී ගම්සභා ඡන්දයද ළඟ ළඟ එන ලකුණු පහළවිය.  ගමේ වැඩිහිටියන් සියළු දෙනාම තීරණය කළේ දැන උගත් පුද්ගලයෙක් වූ සුමනදාස මහත්තයා ගමෙන් ඡන්දෙට ඉදිරිපත් කරන්නටය.  පුරප්පාඩුව තිබුණේ අත ලකුණෙනි.  අලියා ලකුණෙන් ගමේ එහා කෑල්ලේ කෙනෙක් දැනටම තරඟයට ඉදිරිපත්වී සිටියේය.  පොඩි අවුලකට තිබුණේ සුමනදාස මහත්තයා මෙන්ම පවුලේ සියලු දෙනාම කැපුවත් කොළ ජාතියේ යු.ඇන්. පී කාරයින් වීමය.  ගමේ ඔක්කොම පාහේ අතට ඡන්දය දෙන නිසා ඒ පොඩි අඩුපාඩුව ගණන් නොගෙන අපක්ෂකයා වශයෙන් සුමනදාස මහත්තයා ඉදිරිපත් කළේ ගමේ සියළු දෙනාගේ ආශීර්වාදයද ඇතුවය.
ගමේ අපේක්ෂකයා වූ සුමනදාස මහත්තයා වෙනුවෙන් ගමේ වැඩිහිටියන් බොහොම මහන්සියෙන් ගෙයක් ගෙයක් පාසා කැන්වසින් ගොස් ඡන්ද ව්‍යාපාරයද ජයටම කළෝය.  ඡන්දය දවසේ හවස ඡන්ද මධ්‍යස්ථානයේම ප්‍රතිපල ගණන් කොට කියන විට ඡන්ද හතරකින්ද කොහෙද සුමනදාස මහත්තයා පරාදය.  සුමනදාස මහත්තයා වෙනුවෙන් දාඩිය මහන්සියෙන් වැඩ කළ වැඩිහිටියන්ට ඒ ප්‍රතිපලය අදහන්නටත් අමාරු වුනත් දැන් කරන්නට දෙයක් නැත.  කට්ටියම ගමට ගොස් ඇල්බින් මුදලාලිගේ කඩයේ එකතුවී ඡන්දය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය පවත්වන්නට වූහ.
“ෂික් අම්මප, මම නං හිතුවෙ නෑ පරදියි කියල, ඡන්ද හතරෙන් නෙ ගහල ගියෙ.” එක වැඩිහිටියෙක් කීවේය.
“මොනව කරන්නද ඉතිං, වෙච්ච දේ උනා.” සුමනදාස මහත්තයා පුටුවක වාඩිවී කම්මුලටත් අත තියාගෙන බලා සිටී.
තර්ක විතර්ක සියළු දේ අවසානයේ සුමනදාස මහත්තයා හෙමිහිට කටහඬ අවදි කළේය.
“කිව්වහම මොකද මමත් කතිරෙ ගැහුවෙ අලියට තමයි.”
සුමනදාස මහත්තයගේ කතාව පිස්සන් කොටුවට බෝම්බ දැම්මාක් මෙන් විය.
“තොගෙ මෝ ගන්ඩ, මොකක්ද බූරුවෝ ඒ කරපු අලුගුත්තේරු වැඩේ?
“අනේ ඉතිං මට අතට කතිරෙ ගහන්න හිත හදාගන්න බැරිවුනානෙ. මං මොනව කරන්නද?”
“තොට මම කියන්නෙ නෑ වල් පරය, අපරාදෙ අපි මේකව දිනවන්න මහන්සි උනේ.” 
“තමන්ටම විරුද්ධව ඡන්දෙ දාගන්නව අම්ම මුත්ත කාලෙකවත් අහල තියෙනවද? ඉතිං මූට මොනව කළත් හිත් වදීද?”
ආදී වශයෙන් පිරිස ඇල්බින් මුදලාලි ඉදිරිපිටම සුමනදාස මහත්තයගෙත් මව් දෙමව්පියන්ගෙත් පතුරු අරිද්දී ඇල්බින් මුදලාලි කතා කළේය.
“අනේ ඕකට බනින්න එපල්ලා බං, ඕකා ගොනා.”
“මාමෙ මේ, උඹත් හොඳවයින් දෙකක් අහගන්නෙ නැතුව ඉන්නවද? ගොනා, අරං ගිහිං උඹේ කරත්තෙ බැඳගන්න එකයි තියෙන්නෙ.”
හොයා බලද්දී සුමනදාස මහත්තයා ඇතුළු ගෙදර ඡන්ද පහ හයම වැටී තියෙන්නේ අලියාටය.  පිරිස සුමනදාස මහත්තයගේ මැරිච්ච අම්මා ඇතුළු සනුහරේටම පිං අනුමෝදන් කරමින් යන්නට ගියහ.
පහුගිය ජනාධිපති ඡන්දය වෙලේ පොහොට්ටුවේ කට්ටියක් එක්ක මාදුවාද අපේ ගේ ඉදිරිපිටින් ඇති පාරේ කැන්වසින් යනවා දුටුවෙමි.  මම එවෙලේ හිටියේ මිදුලේය.  මම මිදුලේ ඉන්නවා දැක මාදුවා ටිකකට නැවතුනේ මගෙත් එක්ක කතා කරන්නටය.  
“මොකෝ බං, අනික් පැත්ත ගහල කවදාවත් නැතුව?”
“මම මේ ගොල්ලොත් එක්ක කැන්වසින් යනවා. කන්න දෙනවා, බොන්නත් දෙනවනෙ. මාත් ජොලියෙ යනවා. නැතුව මම නං ඔවුන්ට ඡන්දෙ දෙයි.” 
“උඹත් තාත්තගෙම පුතා තමයි.” මම කිව්වෙමි.
“යන්නං.” කියා මාදුවා අඩිය ඉක්මන් කර ගියේ පිරිසට එකතු වෙන්නටය.
මට දිගටම කුඹුරට යන්න බැරි උනත් මාදුවා කුඹුරේ වැඩ දිගටම කරගෙන ගියේය.  ට්‍රැක්ටරයක් දමා හාගන්න කියා මම කිව්වත් ඌ කීවේ වැස්ස ගමන් කුඹුර කොටවන බවය.  පළතුරු ළඟ තියෙනතුරු වැඩ කරන්න ඉන්න කට්ටියගේ අඩුවක් නැත.  සෑහෙන මුදලක් යටකර තිබුණ නිසා මාදුවාට ආපහු හැරෙන්න බැරි බව මම දැන සිටියෙමි.  ඊටත් වඩා වගාව ගැන මාදුවාගේ හිතේ උනන්දුවක් ඇතිකිරීම වඩා වැදගත් දෙයයි.  කෙසේ හෝ කුඹුර හොඳට මඩ කරගත් මාදුවා කුඹුර වපුරා වී ඉස්සේය.  මෑ ඇට පොඟවා ගෙනත් නියරවල් වල හිටෙව්වේය.  පහුගිය දවසක අපේ ගෙදර ඇවිත් කුඹුර පෙන්නන්නට මාව එක්කරගෙන ගියේය.  වී පැළවී ලස්සනට නිල්ල ගසා ඇත.  මෑ ඇට පැළවී ඇත.  මෑවැල් යන්නට කෝටු හිටවන්නට එන්නය කියා මම කිව්වත් මාදුවා තවම ආවේ නැත.  කුඹුරේ පැළ ගොයමේ පින්තුරයක් පෙන්නන්නට තිබුණා නම් හොඳ වුනත් ගිය වෙලාවේ පින්තුරයක් ගන්නට අමතක විය ෴
%d bloggers like this: