Menu Close

වී බිස්ස අවුස්සමු!

ධනවාදය කියා කියන්නේ මිනිස්සුන්ගේ නිදහස් ගනුදෙනු මිසක් මුදල් නෙමෙයි. මුදල් කියා කියන්නේ ගනුදෙනු සඳහා භාවිතා කරන මෙවලමක් පමණයි. ඒ නිසා, ධනවාදය පවතින්න මුදල් අවශ්‍යම නැහැ. වැදගත් වන්නේ මුදල් භාවිතා කර හෝ නොකර නිදහස් ගනුදෙනු සිදු වීමයි. එහෙත්, ගනුදෙනු නිදහසේ සිදු නොවනවානම් එතැන ධනවාදයක් නැහැ.

යුරෝපීයයන් පැමිණ වෙනස් කරන්න කලින් ලංකාවේ තිබුණේ මොන විදිහේ ආර්ථිකයක්ද? ඒ කාලයේ ලංකාවේ ජීවත් වුනේ ගනුදෙනු කිසිවක් නොකර තම තමන්ගේ දූපත් වල ජීවත් වූ රොබින්සන් කෲසෝලාද?

යුරෝපීයයන් ලංකාවට මුලින්ම පැමිණෙන කාලයේදී යුරෝපයේ ශ්‍රම බලකායෙන් අවම වශයෙන් 50-75% අතර පිරිසක් නිරතව හිටියේ කෘෂිකාර්මික රැකියා වලයි. ලංකාවේ මේ ප්‍රතිශතය මීට වඩා අඩු මට්ටමක තියෙන්න හේතුවක් නැහැ. ඒ අයගෙන් විශාල පිරිසක් වී ගොවිතැනේ නිරතව හිටිය බව පැහැදිලියි.

බත් කියන්නේ ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය. මේ පුරුද්ද විජයගෙන් සංකේතවත් වන වත්මන් නැගෙනහිර ඉන්දියාවෙන් සියවස් කිහිපයක් තිස්සේ කණ්ඩායම් වශයෙන් මෙහි ආ සංක්‍රමණිකයින් හේතුවෙන් ප්‍රචලිත වූ පුරුද්දක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. දැනටත් ඉන්දියාවේ වැඩිපුරම සහල් නිපදවන ප්‍රාන්තය බටහිර බෙංගාලයයි. කොහොම වුනත් අවම වශයෙන් සහශ්‍ර තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ වී ගොවිතැන සිදු වෙනවා.

ජනප්‍රිය සාහිත්‍යය කෙසේ වුවත් ලංකාවෙන් පිටරට වලට සහල් අපනයනය කළ බවට තිබෙන සාක්ෂි වලට වඩා ලංකාව සහල් ආනයනය කළ බවට සාක්ෂි වැඩියි. මේ ගැන අප පෙර කතා කර තිබෙනවා. හැබැයි ගම්පොළ යුගය පමණ වන තුරු ඔය ආනයන අපනයන දෙකම ඉතා කලාතුරකින් සිදු වී ඇති දේවල් මිස නිතර සිදු වී ඇති දේවල් නෙමෙයි. ඒ අර්ථයෙන් ගත් විට ලංකාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් නිපදවාගෙන තිබෙන්නේ ලංකාවේමයි. ඒ සහල් ප්‍රමාණය රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවූ කාල වකවානු වගේම කිසියම් අතිරික්තයක් තිබුණු කාල වකවානුත් තියෙන්න ඇති. එහෙත්, කාලයක් තිස්සේ එක දිගටම විශාල අතිරික්තයක් තිබී ඇති බවක්නම් පෙනෙන්නේ නැහැ.

සැලකිය යුතු විදේශ වෙළඳාමක් සිදු නොවූයේය යන අර්ථයෙන් ලංකාව සහලින් ස්වයංපෝෂිතව සිටි බව කියන්නට පුළුවන්. එහෙත්, එවැනි තත්ත්වයක් පැවතුණේ නෛසර්ගික හේතු මත මිස කෘතීම ලෙස ජාත්‍යන්තර වෙළඳාමට බාධා පමුණුවා තිබුණු නිසා නෙමෙයි. නාවික තාක්ෂනය එක්තරා මට්ටමකට දියුණු වන තුරු මහා පරිමාණ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි.

ලංකාවේ ශිෂ්ඨාචාරය වියලි කලාපයෙන් තෙත් කලාපයට මාරු වීමෙන් පසුව රටේ සහල් නිෂ්පාදනයේ පෙර වූ සාර සොබාව නැවත දකින්නට ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙටි කාලාන්තර තුළ රාජධානි මාරු වීම, රාජ්‍යය ශක්තිමත්ව නොපැවතීම, නිතර ඇති වූ අභ්‍යන්තර ගැටුම් ආදියත් එයට හේතු වෙන්න ඇති. අනෙක් අතට මේ කාලය වන විට නාවික තාක්ෂනයේ යම් මට්ටමක දියුණුවක් ඇති වී තිබෙනවා. මේ කරුණු හේතුවෙන් යුරෝපීයයන්ගේ සම්ප්‍රාප්තියට පෙරත් ලංකාව නැගෙනහිර හා දකුණු ඉන්දියාවෙන් වරින් වර සහල් ආනයනය කර තිබෙනවා. එහෙත්, රටේ අති මහත් බහුතරයක්, කුසගින්නෙන් නොපෙළුනානම්, තව දුරටත් යැපෙන්න ඇත්තේ දේශීය සහල් වලින්.

මේ අර්ථයෙන් බැලු විට ලංකාවේ ජීවත්ව සිට ඇත්තේ රොබින්සන් කෲසෝලා නොවූවත් මිනිසුන් අතර ගනුදෙනු වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ ගම් හා පරිවාර ගම් සීමාව තුළයි. රටේ විවිධ ප්‍රදේශ අතර ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා සීමිතවයි. එයට හේතුවද මාර්ග පහසුකම් වැඩි දියුණු වී නොතිබීම නිසා භාණ්ඩ ප්‍රවාහනයට වූ ස්වභාවික බාධාව මිස ආණ්ඩු විසින් පැනවූ හාල් පොලු වැනි නියාමන රෙගුලාසි නෙමෙයි.

මේ කාලය වන විට හාල් කියන්නේ ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය පමණක් නෙමෙයි. ලංකාවේ ප්‍රධාන මුදල් ඒකකයද හාල්  කියා කියන්න පුළුවන්.

ආර්ථික විද්‍යාවේදී මුදල් අර්ථ දක්වන ගුණාංග තුනක් තිබෙනවා.
– ගනුදෙනු වලදී ගෙවීම් කිරීමට යොදා ගන්නා මෙවලමක් වීම
– ගිණුම් තැබීමේ ඒකකයක් වීම
– වටිනාකම ගබඩා කර තබා ගත හැකි දෙයක් (වත්කමක්) වීම

ලංකාවේ ආර්ථිකය තුළ සහල් විසින් අඩු වැඩි වශයෙන් මේ කාර්යයන් තුනම ඉටු කර තිබෙනවා. මේ කාලය වෙද්දී වගේම ඊට සියවස් ගණනාවකට පෙරත් ලංකාවේ රන් රිදී ඇතුළු ලෝහ කාසි භාවිතා වී තිබෙනවා තමයි. සමාජ ධුරාවලියේ ඉහළින් සිටි අය ලෝහ කාසි භාවිතා කරන්න ඇති. ජාත්‍යන්තර වෙළඳාමේදී වගේම නිතර සිදු නොවූ ගමෙන් පිට අයෙකු සමඟ කරන ඇතැම් ගනුදෙනුවකදී ලෝහ කාසි භාවිතා කරන්න ඇති. එහෙත්, ගම ඇතුලේ සිදු වූ බොහෝ ගනුදෙනු වලදී ලෝහ කාසි හුවමාරුවක් වුනා කියා හිතන්න බැහැ. ඇතැම් අය අතේ ලෝහ කාසි තිබෙන්නම නැතුව ඇති.

ධනවාදය හා සමාජවාදය වෙනස් වන එක් මූලික කරුණක් වන්නේ සමාජවාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ හිමි විය යුතුය කියන කරුණ බැහැර කිරීම. නමුත්, ධනවාදය විසින් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මේ එක් එක් නිෂ්පාදන සාධකය සපයන අය අතර නියම අනුපාතයට බෙදී යා යුතු බව පිළිගන්නවා. ඒ නිසා, ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ ලබන ප්‍රාග්ධනය අහිමි අයෙකුට තමන්ගේ වත්මන් පරිභෝජනය සීමා කර ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට හා අනාගතයේදී ප්‍රාග්ධනය වෙනුවෙන්ද ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි වෙනවා.

සමාජවාදය තුළ මේ අවස්ථාව නැති නිසා මිනිස්සුන්ව උපයන දේ සියල්ල පරිභෝජනය කර අවසන් කරන පරිභෝජනවාදයක් වෙත තල්ලු කෙරෙනවා. ප්‍රාග්ධනය මිනිසුන් අතේ එක් රැස් වීම වැළැක්වෙනවා. ඒ හරහා ප්‍රාග්ධනයේ අයිතිය පිළිබඳ රාජ්‍ය ඒකාධිකාරය පවත්වා ගැනීමට ඉඩ සැලසෙනවා. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මිනිසුන් අතර බෙදා හරින්නේ (හෝ නොහරින්නේ) කොහොමද කියා තීරණය කිරීමේ අයිතිය ඉතිරි වන්නේ රජයේ ඉහළ ස්ථරයේ සිටින සුළු පිරිසකගේ අතේ. ඒ නිසා, ඒ පිරිසට ඔවුන්ගේ අභිමතය අනුව තීරණය කෙරෙන කටයුත්තක් සඳහා ඒ අතිරික්තය යෙදෙවීමේ හැකියාවක් ලැබෙනවා. එය වෙනත් රටක විකුණන පොත් වල මිල සුබසාධනය කිරීම, වෙනත් රටක යුද්ධයකට මැදිහත් වීම හෝ අභ්‍යවකාශ වැඩ සටහනක් වෙන්න පුළුවන්.

ලංකාවේ කෘෂි කර්මාන්තයේ කාලයක් තිස්සේම පැවතුණු අඳ ගොවි ක්‍රමය ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ හා ශ්‍රමයේ ප්‍රතිලාභ පිළිගන්නා ක්‍රමයක්. ඒ කාලයේ මිනිස්සු මේ බර වචන හෝ ධනවාදය කියන්නේ කුමක්ද කියා දැන සිටින්න නැතුව ඇති. එහෙත්, ඉඩම් හිමියාට ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ගොවියා විසිනුත්, ගොවියාට ශ්‍රමයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ඉඩම් හිමියා විසිනුත් පිළි ගැනුණා. මැණික් පතල් කර්මාන්තයේ බිම් පංගුව (හා පසුව එකතු වූ මැෂින් පංගුව) කියන්නෙත් ඔය වගේම දෙයක්.

ඇතැම් විට ඉඩම් හිමියා වුනේ පන්සලක් හෝ දේවාලයක්. ඇතැම් විට රජය වෙනුවෙන් කිසියම් සේවයක් කළ අයෙක්. ඇතැම් විට රට වෙනුවෙන් සේවයක් කර රජයෙන් ඒ වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබූ කෙනෙක්.

මේ ගනුදෙනු වලදී ලෝහ කාසි යොදා ගැනුනේ නැහැ. මුදල් ඒකකය වුනෙත් වී කුරුණිම තමයි. ඒ වගේම, රජයට ගෙවිය යුතු බදු ගෙවීම සඳහා බොහෝ විට යොදා ගත්තෙත් වී. මීට අමතරව කෘෂිකාර්මික අංශයෙන් පිටත වෙනත් අංශ වල රැකියා වල නිරත වූ අයට, උදාහරණයක් ලෙස කම්මල් වැඩ කළ හෝ වලං හැදූ අයට ගෙවීම් කළේත් වී වලින්. මේ වැඩේට වෙනත් ආහාර බෝගත් යොදා ගෙන ඇතත් ජනප්‍රියම ගෙවීම් මාධ්‍යය වුනේ වී.

අනෙක් පැත්තෙන් මිනිස්සුන්ගේ වත්කම් පිළිබඳ නිර්ණායකයක් වුනෙත් වී. වී බිස්ස හිස්වීමෙන් සංකේතවත් වුනේ බංකොලොත් වීමයි. හැමදාම අටුව පිරෙන්න වී තිබුණානම් ඔහු සාපේක්ෂ ධනවතෙක්. වෙනත් ලෙසකින් කිවුවොත් වී ගබඩා කර තබා ගැනීම යන්නෙන් අදහස් වුනේ වත්කම් ගබඩා කර තබා ගැනීමක්.

ඒ වගේම, ඉඩම් වල වටිනාකම තීරණය වුනේ වැපිරිය හැකි වී ප්‍රමාණය හෝ ලැබිය හැකි වී අස්වැන්න මතයි. වී මිටි, වී නෑලි, වී කුරුණි, වී බෙර, වී පෑල්, වී අමුණු වගේ ඉඩම් මනින ඒකක හැදී තිබෙන්නේ මේ පදනමෙන්. ඉඩම් වල සරු නිසරු බව අනුව මේ ඒකකයක වර්ග ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ගිණුම් තැබීමේ ඒකකයක් ලෙසත් වී වලට කාර්ය භාරයක් තිබී තිබෙනවා.

ඉහත පැහැදිලි කර ඇති පරිදි වී කියා කියන්නේ ලාංකිකයින්ගේ ප්‍රධාන ආහාරය වගේම කාලයක් තිස්සේ භාවිතා කළ ප්‍රධාන මුදල් ඒකකයක්. ආදායම හා වත්කම් පිළිබඳ නිර්ණායකයක්.

මුදල් ඒකකය ලෙස සෘජුවම ශ්‍රම ඒකක යොදා ගැනුණු අවස්ථාත් තිබෙනවා. අත්තම් ක්‍රමයේදී සිදු වන්නේ එවැනි දෙයක්. මෙහිදී හුවමාරු වන්නේ ශ්‍රම ඒකකයි.

ශ්‍රම ඒකක හුවමාරු කිරීම මාක්ස්වාදය සමඟ ගැලපෙන අදහසක්. මෙය ස්වභාවිකව ක්‍රියාත්මක විය හැක්කේ ශ්‍රම ඒකක වල වටිනාකම් ආසන්නව සමානනම් පමණයි. එහෙත් සියල්ලන්ගේම ශ්‍රම ඒකක හැම විටම සමාන නැහැ. මාක්ස්වාදී ප්‍රවේශය නිවැරදි නොවන්නේ ඒ නිසයි. එසේ වුවත්, අත්තම් සන්දර්භයේදී ශ්‍රම ඒකක බොහෝ දුරට සමානයි. පේලියට ගොයම් කපාගෙන යන කොට එක් කෙනෙක්ට වැඩි වේගයකින් හා තවත් කෙනෙක්ට අඩු වේගයකින් ගොයම් කපන්න බැහැ. ඒ නිසා, නූතන කම්හලක නිෂ්පාදන පේළියකදී (production line) වගේ කවුරුත් එකම වේගයෙන් වැඩ කරන්න ඕනෑ. මේ සන්දර්භයේදී අත්තම් ක්‍රමය මාක්ස්වාදය සමඟ මෙන්ම ධනවාදය සමඟත් ගැලපෙනවා.

මේ ශ්‍රම ඒකක හුවමාරු ක්‍රමය නවීන තොරතුරු තාක්ෂනය සමඟ මුසු වී විකල්ප ගනුදෙනු ක්‍රමයක් ලෙස මේ වෙද්දී බටහිර ලෝකය තුළ අලුත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ගැන වෙන වෙලාවක විස්තර කරන්නම්.

මෙතෙක් විස්තර කළ දේවල් වල සාරය ගත්තොත්, යුරෝපීයයන් එන කාලය වෙද්දී ලංකාවේ ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් තිබුණා. එහෙත්, මේ ගම් වෙනත් ගම් වලින් හෝ ලෝකයෙන් වෙන් කෙරෙන කෘතීම බාධා තිබුණේ නැහැ. ගම් ඒකක බාහිර තරඟකාරිත්වයට මුහුණ දුන්නා. ගනුදෙනු සීමා වී තිබුණේ ගම් අතර පාරවල් හැදී ප්‍රවාහන පහසුකම් දියුණු වී නොතිබීමේ හේතුව නිසා පමණයි. බාහිර සාධක සැළකු විට පැවති තත්ත්වය කාර්යක්ෂමයි.

රටේ බොහෝ තැන් වල තිබුණේ මේ වගේ තත්ත්වයක් වුවත් මේ ආකෘතිය ඇතුළේ නොතිබුණු තැන් තිබුණා. උදාහරණයක් ලෙස මන්නාරමේ මුතු කර්මාන්තය ආශ්‍රිත ආර්ථිකය රට ඇතුළේ කෘෂි ආර්ථිකය සමඟ බද්ධ වී තිබුණේ නැහැ. එය බොහෝ දුරට ජාත්‍යන්තරකරණය වී තිබුණා. කර්මාන්තයේ නියැලුණු බොහෝ දෙනෙක් තාවකාලික සංක්‍රමනික ශ්‍රමිකයින්. අද ව්‍යවහාරය අනුව ලංකාවේ හා ඉන්දියාවේ ද්විත්ව පුරවැසියන් කියා කියන්නත් පුළුවන්. යුරෝපීයයන් පැමිණීමට පෙර සිටම ඔවුන්ගේ පරිභෝජනය පිණිස දකුණු ඉන්දියාවෙන් සහල් ආනයනය කර තිබෙනවා.

එක පැත්තකින් පැවති ප්‍රවාහන බාධක නිසා රට මැද සිට මන්නාරමට සහල් ප්‍රවාහනය කරනවාට වඩා දකුණු ඉන්දියාවෙන් බෝට්ටු වලින් ගේන එක කාර්යක්ෂමයි. අනෙක් පැත්තෙන් රට මැද තෙත් කලාපයේ ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි වී අතිරික්තයක් තිබී නැහැ.

යුරෝපීයයන් පැමිණීමෙන් පසුව ස්වයංපෝෂිත ගම් ඒකක වලින් බාහිරව වූ ආර්ථිකය තව තවත් පුළුල් වුනා. එහිදී දුම්කොළ හා කුරුඳු ආශ්‍රිත අපනයන ඉලක්ක කරගත් වාණිජ කෘෂි කර්මාන්තයේ නියැළුණු ශ්‍රමිකයින්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් දිගින් දිගටම ඉන්දියාවෙන් ආනයනය කර තිබෙනවා. රට මැද ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි තරමේ සහල් අතිරික්තයක් නොතිබීම එයට ප්‍රධාන හේතුවයි. අඩු වශයෙන් ලන්දේසි යුගයේ ආරම්භයේ සිට මෙසේ ආනයනය කළ වී ප්‍රමාණ හා මිල ගණන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ සහිත වාර්තා තිබෙනවා. ලිපිය වෙන පැත්තකට යන නිසා වැඩි විස්තර කතා නොකර සිටිමු.

ඉංග්‍රීසින් විසින් කෝපි හා තේ හඳුන්වාදීමත්, දකුණු ඉන්දීය ශ්‍රමිකයින් රැගෙන ඒමත් නිසා ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය එසේම තිබියදී එයින් බාහිර ආර්ථිකය විශාල ලෙස පුළුල් වුනා. ඒ නිසා, ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයේ සාපේක්ෂ වැදගත්කම අඩු වුනා. දකුණු ඉන්දීය ශ්‍රමිකයින්ට අවශ්‍ය ආහාර බොහෝ දුරට ඉන්දියාවෙන්ම ආනයනය කිරීමයි සිදු වුනේ. වාණිජ කෘෂිකර්මයෙන් ඉපැයූ ආදායම් ඒ සඳහා ප්‍රමාණවත් වුණා.

යුරෝපීයයන්ට, විශේෂයෙන්ම ඉංග්‍රීසින්ට ලංකාවේ ඔවුන්ගේ වියදම් ලංකාවෙන් උපයන ආදායම් වලින්ම පියවා ගන්න අවශ්‍ය වුනා. ඔවුන් ඒ සඳහා විශාල ලෙස මහන්සි වුනා. කෝපි හා තේ හඳුන්වා දීමත් මේ උත්සාහයන් තුළ කළ අත්හදා බැලීම්. කෝපි අසාර්ථක වුනත් තේ හා රබර් ආශ්‍රිත කෘෂිකර්මය සාර්ථක වුනා.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක අපි තවත් දවසකට කල් දමමු.

%d bloggers like this: