Menu Close

අවසානයක් ‌නොවේ – අටවන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස

පස් ‌වෙනි ‌කොටස
හය ‌වෙනි ‌කොටස
හත් වෙනි කොටස

https://creativemarket.com/Edgieus/1230921-Early-morning-sunrise-at-field-in-summer

ධනසේකර කුමාරිහාමි කුරුළු හඬ අසමින් අඩ නින්දේ ගැළී සිටියා ය. වළිකුකුළන්, දෙමලිච්චන්, ගිරවුන්, මයිනන්, ලේණුන් එක්ව නැඟූ මියුරු සංධ්වනිය පසුබිම්කරගත් බටිත්තන්ගේ සිවුරුහඬලෑම දිව්‍යමය සංගීතයක් බඳු විය. පින්නෙන් තෙත්බර වූ ගහකොළ අතරින් තීරු තීරු පෙරී ආ උදෑසන ආලෝකය, අලුත්ම දිනකට පරිසරය උණුසුම් කළේ ය. උදෑසනින් නැගිට දඟකරමින් දුව පනින වසු පැටවුන්ගේ කුර ලා තණ මත ගැටෙන හඬ පවා තරුණිය ට පැහැදිළිව ඇසුනි.

ඈ මවිතයට පත් වූණේ එක් වරම ඇසුණු කුකුළු හඬළෑමකිනි. ඒ ඈ සෑහෙන කාලයක් තිස්සේ උදෑසන අවදි කරවූ, රතු කුකුළාගේ හඬ ය.

එක්වරම අවදිවූ තරුණිය හාත්පස බැලුවා ය. ඈ සිටියේ සිය වළව්වේ ආළින්දයේ වූ වැල් ඇඳ මත ය. ඇගේ මව වැල් ඇඳේ පාමුල වාඩිවී සිටියේ ඉතාමත් ඉවසිල්ලෙන් වුව ද, කුතුහළය මහළු ළමාතැනීගේ මුහුණ පුරා ඇඳී තිබුණි.

—————————————————-

ධනසේකර පවුලේ ඇත්තන්ට සිය හැඟීම් හා ආවේග නිදහසේ පවසන්නට ඉඩ ලැබුණේ වළව්වේ ඇතුල් ගැබෙහි දී ය. තරුණ කුමාරිහාමි ඇය අත්දුටු සියල්ල විස්තර සහිතව කීවා ය. ඈ මුහුණදුන් අද්භූත අත්දැකීම යටතේ වූවත්, ඇගේ සිහිකල්පනාව ඉතා නිරවුල් ව පැවතිණ. එහෙත් ඒ කතාව තුළ යතාර්ථයට, සිහින හෝ මනඃකල්පිත මායාවන් කෙතරම් දුරට මුසුව පැවතියා ද යන්න ඇයට සිතා ගත නොහැකි විය.

පසුගිය රෑ කිහිපය නිදි වර්ජිතව ගත කර තෙහෙට්ටුවෙන් සිටිය ද, ධනසේකර වෙද මුදළි තුමා හැකි ඉක්මණින් ම රජ වාසළ වෙත ගියේ ය. සිය දියණිය නිරුපදෘත ව පැමිණි බව රජ වාසළට සැළ කිරීම ඒ ගමනේ මුඛ්‍ය පරමාර්ථය විය. ඇගේ දිවි ගළවාගැනීමට තම ජීවිතය කැප කළ විදේශිකයා හමු වී, කුමාරිහාමිගේ කතාවෙහි හිස්තැන් පුරවා ගැනීම ත්, ඒ අනුව ඔහුට ධනසේකර පවුලේ කෘතඥතාව ප්‍රකාශ කිරීමත් එලෙසින්ම වැදගත් විය.

—————————————————-

ඊළඟ සතිය සිදුවීම් රැසකින් පිරුණි. විදේශික නාවුකයා නැවතත් ධනසේකර පවුලේ භාරයට පත් විය. ඔහු එතෙක් එම පවුලෙන් ලද සුහද සත්කාරය ඉතා ළෙංගතු සත්කාරයක් බවට හැරවුණි. ඔහු ලද ඉතාම වැදගත් කෘතගුණ සැළකීම ලෙස ඔහු සැළකුවේ, රාජසන්තක කරන ලද ඔහුගේ ලියවිලි මිටිය ආපසු ලැබීම යි. එහි නැව්පතිගේ ලොග් පොත, පෞද්ගලික සටහන් පොත, සිතියම් සහ තාරකා සටහන් ඇතුළත් සම්පූර්ණ ලේඛන මිටිය පමණක් නොව පෑන, තීන්ත බඳුන සහ නැව්පතිගේ දුරේක්ෂය පවා ටිකිරි බණ්ඩාර ධනසේකර රාජකීය භාණ්ඩාගාරයෙන් රැගෙන ආවේ ය.

එතැන් සිට සෑම හැන්දෑවක් ම පාහේ ෂර්මයිල් ගත කළේ තම කුටියේ වූ කණප්පුව මත විහිදුවාගත් ලියවිලි සමඟිනි. 

—————————————————
නාවුකයා ධනසේකර වළව්වට පැමිණ ගතවූ දින තුනක් ඉක්ම ගියේ ය. එදා සැන්දෑව ඉතා චමත්කාරජනක විය. දවල් කාලයේ වැටුණු මඳ වැස්සෙන් සේදී ගිය ගස් වැල්, නැවුම් බවක් විඳිමින් පසුවන බව පෙනුණි. මල්, කොළ, දළු හා තණපත් අග තැවරුණු වැසි බිඳු ලා රත් පැහැ සැඳෑ හිරු කිරණින් දිළිසුම් දුන්නේ ය. වැස්සෙන් තෙත් වූ පියාපත් දිගහැරගෙන වේලාගනිමින් සිටි කුඩා කුරුල්ලෝ, විවිධ හඩ නඟන සීනු රැසක් මෙන් කෑගැසූහ. තණ පඳුරු අතර වූ කුඩා කඩිති අතරින් වසු පැටව් උඩ පනිමින් දුවමින් සෙල්ලම් කළේ සතුටිනි. 
මේ සියල්ල සමඟින් සිය කුටිය තුළට සිර වී, ලියවිලි අධ්‍යයනය කරමින් හා සටහන් තබමින් අඩ අඳුරේ ගත කිරීමට ෂර්මයිල් හට සිත් දුන්නේ නැත. ඔහු කුටියෙන් පිටතට පා තැබීය. බැලූ බැලූ අත දක්නට ලැබුණේ පරිසරයේ නැවුම්බව සමඟ පිබිදුනු ගහ කොළ ය, සතුන් ය…. වෙදහල පසු කරමින් සෙමෙන් පා තැබූ ඔහුට, පරිසරයේ ශාන්ත සිසිලස හා තෙත් බව සමඟ රම් අඩියක අඩුව දැනුණේ ය.
ධනසේකර වළව්වේ වත්ත එක් පැත්තක් කෙළවර වූයේ දැවැන්ත පඩිපෙළක් ආකාරයට පැතුරුණු වෙල් යායෙනි. තවත් පැත්තකින් වෙදහලේ හා වළව්වේ සේවයට නීන්දේ නිළ කර සිටි ගම් වැසියන්ගේ පැල්පත් තනා තිබුණි. අනෙක් පැත්ත ඖෂධ පැළෑටිවලින් පිරුණු ළඳු කැළෑවෙන් වැසී තිබුණේ ය. 
වෙල් යාය තෙක් ඇවිද ආ ෂර්මයිල්, වත්ත කෙළවර පැවති කලු ගල් තලාවේ වාඩි විය. පහත වෙල් යාය හරහා මිහිදුමින් වැසුණු ඈත කඳුවළල්ල තෙක් පුළුල් දර්ශනයක් ඔහුට දැක ගත හැකි විය. වෙල් යායේ වැඩ නිමකළ ගොවියෝ උදලු කරේ තියාගෙන නියර දිගේ විවේකීව ඇවිද ගියහ. ඔවුන්ගේ දහදියෙන් තෙමුණු නිරුවත් උඩුකය හිරු රැසින් දිළිසුණේ ය. ඈත වනරොදින් එළියට ආ හරකුන් ඔවුන්ගේ වාසස්ථාන බලා නිදැල්ලේ දිව ගියේ, පසුපසින් ආ ගොපලු කොළුවන් ගේ බලපෑමෙනි.
ඈත සිහින් රිදීවන් රැළි ගැසුනු ඉරක් සේ ඇඳුනු දියපහරක් ගළා විත් ඔහුගේ දෙපා අසළින් සිළි සිළි හඬ නඟමින් පහළට ගළා යමින් තිබුණි. බැස යමින් පැවති හිරුගේ රැසින් දියපහරේ තැන් තැන්වල කුඩා රවුම් දේදුණු සැදුණේ ය. වර්ණවත් මාළු උඩ පනිමින් එකිනෙකා හඹා යමින් දිය දහරේ විසිතුරු බව නැංවූ අතර, ගෙම්බෝ හා වර්ණවත් පක්ෂීහු විටින් විට උන් අල්ලාගන්නට තැත් කළ හ. ගුප්ත අමනුෂ්‍යයන්, බලවේගයන් හා ඊටත් වඩා ගුප්ත මිනිසුන් ද, ඇදහිළි ද සඟවාගත් මේ කුඩා දිවයින ඇත්තෙන්ම ආදම් හා ඒව නැවුම්ව දිවි ගෙවූ පාරාදීසය ම නොවේදැ,යි ඔහුට සිතුනි.
පසුපසින් සියුම් හඬක් ඇසී ඔහුගේ හිස ක්ෂණිකව ඒ වෙත හැරුණි. ඔහුගේ ඇසට එක්වරම ලක් වූයේ ගල් තලාවට ගොඩවන්නට යන තරුණියකි. ෂර්මයිල් හණික වාඩි වී සිටි තැනින් නැගිට ඒ වෙත හැරුණේ ය. එහි වූයේ ධනසේකර කුමාරිහාමි බව ඔහුට අඳුනාගත හැකි විය.
“මම ඔබේ හුදෙකලා බවට බාධා කරනව ද?” තරුණියගේ පෘතුගීසි කතා බහ තුළ වූ කතෝලික ආගමික හා ලිඛිත ශෛලිය නැව්පතියාට දැනුණි. 
“ඉන්තේරුවෙම්ම නෑ…. කුමාරිහාමි,” රැඳවියා උත්තර දුන්නේ ඔහු උගනිමින් සිටි සිංහල භාෂාවෙනි. ඔහුගේ සිංහල වහරට, වෙද හලේ සේවකයන්ගේ ත්, නගරයේ සාමාන්‍ය වැසියන්ගේ ත් කථන ශෛලිය මිශ්‍ර විය.
කුමාරිහාමි ගල්තලාවේ වාඩි වූවා ය. ස්කැන්ඩිනේවියානුවා ද, ඈ අසළින් ඇයට මුහුණලා වාඩි විය.
“මං මේ රටේ beleza (=’සුන්දරත්වය’) බලාගෙන උන්නෙ” 
විදේශිකයා සිංහල අතරට පෘතුගීසී වචනය රිංගවූ ආකාරය තරුණියගේ මුවට සිනහ නැංවී ය.
“ඔබ ගොඩක් රටවල් දුටු කෙනෙක් නේ…. අපට වඩා ලස්සන දේ දැකලා ඇති?”
“මම වෙනස් වෙනස් තැන් දැකලා තියෙන බව ඇත්ත. නමුත් ඔබේ රට ඒ කිසිම දේකට වඩා විශේෂයි….” නැවුපතියා ප්‍රවේසමෙන් වචන හා සිතුවිලි තෝරා බේරාගනිමින් කතා කරන බව තරුණිය ට තේරුණි.
“මම මේ පාර පිටත් වුණේ ප්‍රංශයෙ මාර්සෙයියෙන්…. මාර්සෙයි, ඇම්ස්ටර්ඩෑම්, ලිවර්පූල්, ඇලෙක්සැන්ඩ්‍රියා, ලිස්බන්…. ඔය හැම වරාය නගරයක දි ම වගේ අහන්න ලැබුණු එක පුරාණෝක්තියක් තිබුණා, පාරාදීසයක් ගැන….” ඔහු මඳකට කතාව නතර කර, කුමාරිහාමි දෙස බැලුවේ ය.
“සමහර නාවිකයො කියන්නෙ මේ රට තමයි පාරාදීසය කියලා…. මේ පළාත දුටුවා ම, මටත් එහෙම හිතෙනවා” 
“ඔබ සාහිත්‍යයටත් හුරුයි ?” 
ෂර්මයිල් ඈ දෙස බැලුවේ විස්මයකිනි. “ඇයි එහෙම කීවේ?”
“සිංහල සාහිත්‍යයේ අංගයක් තියෙනවා, ‘අලංකාර’ කියලා. ඔබ අපේ රට ගැන කතා කරද්දි ඒ වගේ දේ යොදාගන්නවා…”
“මම ගොඩක් කියවලා තියෙනවා…. ඔබ අදහස් කරන්නෙ ඒ ගැන නම්…. නමුත් එයින් බහුතරය මිනිසුන් ගැන අධ්‍යයන, භූ විෂමතා, ස්වාභාව අධ්‍යයන, ඉතිහාසය ආදී දේ ගැන.”
“ඔබ ඉතා දක්ෂ ලෙස සටන් කරනවා කියා මම දැක්කා. නමුත් ඔය අංශය මා දැනගත්තෙ දැන්….” තරුණිය ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලුවා ය. “එදා මා බේරාගන්න මාරාන්තික සටනක් කළා…. මට ඒ ගැන මුහුණට මුහුණ කතා කරන්න ඕනෙ කම තිබුණා.”
“ඒක මා කළේ කැමැත්තෙන්….” රැඳවියා සිනාමුසුව කීවේ ය. “ඒත් මට මැරෙන්න වෙයි කියලා නම් හිතුණේ නෑ….”
කුමාරිහාමි ඔහුගේ නිරුවත් පපුව දෙස හොඳින් බැලුවා ය. ඈ සෙව්වේ ඔහුට සිදු වූ මාරාත්මක තුවාලයේ ලකුණු ය. 
“ඒ තුවාලය….” ඈ පැකිළුණා ය….
“ඒක ඉක්මණින්ම හොඳ වුණා. ඔබ දන්නවද අපි බේරාගත්තෙ කවුද කියලා….?”
“ඔහු මට දුන්න බෙහෙත මට හිතාගන්නවත් බැරි එකක්. මම හිතන්නෙ නෑ ඒ මනුෂ්‍යයෙක් කියලා…. අනික, ඉතාම මරණාසන්න තුවාලයක් බොහොම කෙටි කාලයකින් සුවපත් කරන්න බෙහෙතක් අපි දන්න වෛද්‍ය ශාස්ත්‍ර කිසිම එකක නෑ. කිසිම ශාක සාරයකට කරන්න බැරි ප්‍රාතිහාර්යයක් ඒක….”
“මට මතක හැටියට…. මට වරදින්න පුළුවන් ඒ වෙලාවෙ මම හිටපු තත්ත්වයත් එක්ක…. අපට වෙදකම් කරලා ඔහු ඇඟිලි තුඩුවලින් එතන ගල් තලාවට අමුතු රටාවකට අනුව තට්ටු කළා. එතකොටම, ඔක්කොම අඳුරු වෙලා ගියා. නැවත සිහිය එනකොට මම හිටියේ ඒ දවස්වල මම හිටපු මුරකුටියෙ මැස්ස මත.”
“එහෙමද ඒක වුණේ? මම හිතන්නෙ ඒ වෙනකොට මම සිහි නැතුව උන්නෙ. මට බෙහෙත් පොවද්දි මම ඇහුවත්, ‘ඔබ තුමා කවුද’ කියලා. ඒත් වචනයක්වත් කලා කළේ නෑ.”
“ඔව්. ඔහු කිසිම වෙලාවක මොනවත් කිව්වෙ නෑ.”
“අන්තිමට බලද්දි, බහිරවයා ත් ඇත්ත නම්….” තරුණිය තමන්ගේ ම වචනවලින් සලිත වී ගිය බව පෙනුණි. “…. අපි බේරගත්තෙත් ඒ වගේම මොකක් හරි බලවේගයකින් වෙන්න පුළුවන්….
“නමුත්…. ඔබට මම ජිවිතයෙන් ණයගැතියි. මා බේරගන්න ඒ වෙලාවේ සාමාන්‍ය මිනිහෙක් නොකරන විදිහේ පරිත්‍යාගයක් කරන්න ඔබ පැකිළුනේ නැහැ….”
ෂර්මයිල් කුමාරිහාමිගේ දෑස් දෙස බැලුවේ ය. ඇගේ දෑස් ලාලිත්‍යවත් බවින් යුතුව පහතට හැරවුණ ද, එක් ඇසිල්ලක් තුළ ඒ දෑසේ වූ තෙත්බර ළෙංගතු බව ඔහුගෙන් සැඟවිය නොහැකි විය. පපුව මැදින්, ඇතුළාන්තයෙන් පටන්ගත් උණුසුම් බවක් සිරුර පුරා පැතිර යනු ඔහුට දැණින.
——————————————————–
සතියේ කෙළවර වූ සෙනසුරාදා හැන්දෑවේ, ධනසේකර වළව්වේ උදවිය නාථ දේවාළය ට ගියහ. සිය නැඟණිය අකල් මරණයෙන් ගළවා දෙන ලෙස ටිකිරි බණ්ඩාර නාථ දෙවියන් හට භාර වූයේ ඊට පෙර සති‌යේ ය. වන්දනාවට ෂර්මයිල් ද එක් වීම ඇවැසි බව ධනසේකර තරුණයා වැඩියත්ම අදහස් කළේ, භාරය වන අවස්ථාවේ තමන් සමඟ සිටියේ ඔහු පමණක් වීම නිසාත් ය.

ගමනට සූදානම් වන ලෙස දැන්වූ අවස්ථාවේ සිට ම, ලක්දිව ජනතාවගේ ඇදහිළි විශ්වාස ගැන විදේශිකයා අසන්නට පටන් ගත් ප්‍රශ්න වැලෙන් වළව්වේ කිසිවෙකුටත් ගැළවීමක් නොවී ය. 

ඔවුන් දෙවියන් වැඳ ගත්තේ දේවාලයේ ඇතුළු ගැබට ම ගොසිනි. පූජා භාණ්ඩ දැවැන්ත පිළිමයේ පා මුළ තැන්පත් කළ තරුණිය, වැඩිහිටියන් අනුව දෑත් එක්කොට ළය මත තබා වැඳගෙන, හිස ඔසවා දේව රූපය දෙස බලාගෙන, සිතින් පින් දුන්නා ය. දේවාලයේ ප්‍රධාන කපුමහතා ගැඹුරු හඬින්, යාදින්න කියන්නට පටන් ගනිද්දී ඇතුල් ගැබෙහි පිරුණු නිල්වන් සුවඳ දුමෙන්හි ද කපු මහතාගේ ඒකාතනමය හඬින් ද, තමන් සියුම් මායාකාරී මෝහණයකට නතු වන බව කුමාරිහාමි ට දැණින. නාථ දෙවි පිළිමය මඳින් මඳ වෙනස් වී යනු තරුණිය දුටුවාය. නිල් වන් ව වර්ණ ගන්වා තිබූ පිළිමය බිඳෙන් බිඳ තළෙළු සමෙහි පැහැයට හැරෙන්නට ගත්තේ ය. එහි ජටා මකුටයේ වූ කුඩා බුදු රුවෙන් විහිදෙන්නට ගත් සුදුවන් සෞම්‍ය ආලෝකයෙන්, දේව රූපයේ මුහුණ ආලෝකවත් කෙරුණි. ඒ මුහුණ, තමන් කොතැනදී හෝ දැක පුරුදු බව ඇයට දැණුන ද, ඇයට එය සිහිපත් කර ගැනීමට නොහැකි විය. කරුණාවෙන් හා දයාවෙන් පිරුණු ඒ මුහුණ පහතට හැරවුණි. එහි දෙනෙත් එක එල්ලේම යොමු වුණේ ඇගේ දෑස් වෙත ය.

සිහිනයෙන් මිදෙන්නට නොහැකිව අඩ අවදියෙන් පසුවූ ඇගේ මනසෙහි එක් වරම විදුලිය රේඛාවක් ලෙස කෙටුණේ, දේව රූපයේ මුහුණ ඊට පෙර දුටු අවස්ථාව ය. එදා ඈ ගල් ලෙණෙහි වැතිර සිටියදී, ඔවුන්ගේ ගැළවුම්කාරයා දෙතොළට ඇඟිල්ල තබා නිහඬ වන ලෙස සංඥා කළ අවස්ථාව…. පෞරුෂයෙන් ද, කරුණාවෙන් ද, ආදරයෙන් ද පිරුණු ඒ මුහුණ ය, ඈ නාථ දෙවියන්ගේ රූපය ලෙස දුටුවේ.

ඈ නැවතත් දේව රූපය දෙස බැලුවේ එය සනාථ කරගැනීම ට ය. ශෛලිගතව අඹන ලද පිළිමයේ නිල්වන් මුහුණෙහි ඈ හට හඳුනාගැනීමට හැකි කිසිදු ලක්ෂණයක් නොවී ය.

———————————————————–
“රාසිං දෙවියන් ගේ වාසලට ඔබගේත්, ඔබ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!” 
රජවාසලේ පණිවිඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. 
%d bloggers like this: