Menu Close

රන් කෙන්දෙන් – මහින්ද රත්නායක – කාම්බෝජ සංචාරය අතරතුර

පසුගිය සැප්තැම්බරයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේදී  තවත් ග්‍රන්ථ කතුවරයකු මට  මුණ ගැසුණි. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයකු වන මහින්ද රත්නායකය. ඔහු ලිවූ ග්‍රන්ථයන් දෙකක් මම එතනදීම මිලදී ගතිමි. ඉන් එක පොතක් “රන් කෙන්දෙන්” නම් වෙයි.

පොත කියවන විට මුලදී මට එය මදක් නීරස විය.මා එය දුටුවේ  සුනිමල් නැමැත්තෙකු වෙනත් පවුලක් ගැන කරන හොඳ හා නරක සුනිමල් තමන්ගේ  පැත්තෙන් බලා කරන විවේචනයක් ලෙසය. එනම් සදාචාරය ගැන කරන ජනනායක වර්ගයේ  බණ දේශනාවක් ලෙසය. එහෙත් කුමක් දෝ හේතුවකට මම එය පසු ගිය දෙසැම්බරයේ කළ කාම්බෝජයේ සංචාරය  අතරතුර කියවීමට ගමන් බෑගයේ බහා ගතිමි.  මුලදී ගුවන් යානයේදී කොටසක් කියවා ඉතිරිය අවසන් කළේ ප්නොම්පෙන් නගරයේ දීය.

පොතේ අවසානය සමග මගේ මුල් තීරණය වැරදි බව පසක් විය. මා කැමති එවැනි පොත් වලටය. මගේ අදහස වෙනස් කරන , මට පොත ගැන සිතීමට  බල කරන ලියවිල්ලකටය.

මුලින්ම ඩැරියන් ලීඩර් විසින් ගාඩියන් පුවත්පතට ලියන ලද ෆ්‍රොයිඩ් ගේ මනෝ විශ්ලේෂණය පිලිබඳ “මහා නොදත් බව – The great unknown ” නමැති ලිපිය කෙරෙහි අවධානය යොමු කලෙමි.

“අප ජිවිතය හසුරුවන රැහැන් අත තබාගෙන සිටින්නේ යයි සිතුවත්  අප එකම වරද දෙතුන් වර කරන්නෙමු. සමහරවිට අප  තෝරා ගන්නා රැකියාව අප කැමති එක නොවේ. අප යහළුවන් සමග සබඳතා බිඳ ගන්නෙමු, ආදරණියයන්ගෙන් අහේතුකව වෙන්වන්නෙමු. සමහර විට භයානක හීනයක් ලෙසට අපටම පෙනෙන  ජිවිතය අප විසින්  නොව වෙනත් බලවේග  වලින් හසුරුවන බවක්  හදිසියේ වැටහෙනු ඇත.    මේ අනුව ඩැරියන් පවසන ලෙසට ෆ්‍රොයිඩ් විශ්වාස කලේ අවිඥාණක මනස මගින් දේවල් මෙහෙයවන බවය.”  එසේම  ප්‍රතිවිරෝධී සිතිවිලි වලින් මනසේ පීඩනයක් ඇති කරන අතරතුර ශාරීරික බලපෑමක්ද කරයි.

 අපට අප මුහුණ පාන දේවල්හි හි හේතුඵලය සෙවීම අපට ෆ්‍රොයිඩ් පවසයි. ෆ්‍රොයිඩ් ට අනුව අප සමහර විට යමෙකුට ආදරය කරන්නේ ඔහු හෝ ඇයගේ හොඳ ගතිගුණයකට කියා යයි සිතුවත් සමහරවිට ඒ මව හෝ පියා සම්බන්ධ හැසිරීමක් අපේ අවිඥාන යේ සටහන්ව ඇති නිසා විය හැකිය. අවිඥාණක මනස විසින් බොහෝ විට තමාගේ  ළඟම අයට ලිංගිකතත්වය සහ ප්‍රචණ්ඩත්වය එල්ල කරනු ඇත.

 ඩැරියන් ට අනුව මනෝ විශ්ලේෂණය මේ නිසාම අමුතු සංවාදයක් වී ඇත. මනෝ විශ්ලේෂණය ඔබගේ ප්‍රශ්නය සුව නොකරයි. එය ඔබගේ අවිඥානය නැමති දුම්රියට ප්‍රවේශ පතක් පමණි.

 අපි කාර්ල් යුංග් පවසන්නේ කුමක්දැයි බලමු. ඔහු මුලදී ෆ්‍රොයිඩ් ගේ අවිඥාණය පිළිබඳ  අදහසට එකඟ වුනි. නමුත් ඔහු පසුව ෆ්‍රොයිඩ් ගේ ඊඩිපස් සංකීරණය සහ ළඳරු ලිංගිකත්වය (infantile sexuality) පිලිබඳ  අදහස් වලට එරෙහි වුනි. ඔහු කෙනකුගේ අතීතය සහ ළමා කාලයේ හැසිරීම අනාගතයට බලපාන බවට විශ්වාස කලත් ඔහු අපගේ අනාගත බලාපොරොත්තුද අනාගතය තීරණය කරන බව පැවසීය.
 එසේම සිද්ධීන් වෙන වෙනම සාකච්ඡා කරනවාට වඩා ඒවා සාමූහික අවිඥාණය, පෞරුෂත්වයේ උප අංශ වලට වර්ධනය වීමක් බව පවසන යුන්ග් ඒවා පාරම්පරික මතකයන් හා ඡායාවන් හි නිදර්ශනයන් (archetypes) බවත් පවසයි.

යුන්ග් විශ්වීය නිදර්ශන කිහිපයක් දක්වන  අතර ඔහු පවසන්නේ අපට කිසිදා ඒවා සම්පුර්ණයෙන්ම උකහා ගත නොහැකි බවය. එනිසා ඔහු ජන කතා, මිත්‍යා ප්‍රබන්ධ, ආගම , සිහින හැදෑරීම උනන්දු කළ අතර ඔහුගේ සායනය  ආත්ම අවබෝධය පිලිබඳ ක්‍රියාවලියක් විය.

 ලැකාන් ගේ සමය වනවිට මනෝ විශ්ලේෂණය  ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් විය.  ලැකාන් අවධාරණය කලේ සංකේත පමණක් නොව ඒවායේ වියුක්තය ද වැදගත් බවයි. ඒ අනුව ඉහත කී යුන්ගේ විශ්වීය නිදර්ශනයන් ගේ වියුක්ත භාවය විසින් මානවයාගේ මැදිහත්වීම, නිර්මාණශිලිත්වය හා නියුරෝසියාව උත්පාදනය කරන බවයි.

සුනිමල් පිළීකා රෝගය වැළඳී ඇති බිරිඳගේ සියලු කුදු  මහත් කටයුතු ඉටු කරන ආදර්ශවත් සැමියෙකි. “ගුඩ් මෝනින් තාත්තා” කියාගෙන නිවසට එන ආදර්ශවත් දියණියක ගේ පියෙකි. එසේ නැත්නම් රත්නායක  අපට ඒ ලෙසට ඒත්තු ගන්වයි.

සුනිමල් කරන්නේ පර්යේෂණයකි. ඒ ඔහු හදා වඩාගත් දරුවෙකු ගැන විය හැකිය.
සුනිමල් ගේ සහයට ස්ටින්නේ ඩැනී සෝමසිරිය. වත්ත පිටියේ වැඩට අමතරව සුනිමල්ගේ ඊනියා පර්යේෂණයේ මූලික දත්ත සොයන්නෙක් වන්නේද සෝමසිරිය. ප්‍රථම පුරුෂයෙන් ඇරඹෙන කතාව ඉන්පසු සුනිමල් ගැන කරන කතාවකට  හැරෙන්නේ දෙවන පරිච්ඡේදයේ මියගිය ධනුක හෙවත් පර්යේෂණ වස්තුව සුනිමල් සමග සංවාදයකට එළඹීමෙනි. කතාව පැහැදිලි වන්නේ මේ පරිඡේදය පසු කල විටය.

“උදේ ඉඳන් රෑට රෑ වෙනකල් ගිරිය පුප්පගන කෑ ගාන තාත්තෙග්ගෙයි කටකම සෙයියාවක් නැතිව පීකරේ ගස් බැඳගෙන ඕපාදුප කියා කියා ගම  වටේ ඇවිදින කට හැකර අම්මෙග්ගෙයි දරුවෙක්ට හොඳ ජන්මයක් තියෙන්ඩ බෑ. ඒත් ඒකටත් වඩා පුරුද්ද ලොකුයි”

මේ ඡේදයත් සමග රත්නායක විසින්  සුනිමල් පටලවන්නේ කොතනටද යන්න පැහැදිලි වන්නට පටන් ගනියි. දැන් අපට ඇත්තේ සුනිමල් විසින් වෙනත්  කෙනෙකු විශ්ලේෂණය කරතිද හෝ  අප (පාඨකයා ) විසින් සුනිමල් ව විශ්ලේෂණය කරනවාද යන පැනයයි.

“ඇත්තටම ඔය හැමදේටම වඩා පුරුද්ද තම වැදගත් ඔය ළමය හරියට නිස්කලංක පරිසරයක තියන වැදගත් විධිහට හැදුව නම් ළමය අනාගතේ අපුරු තරුණියක් ” සුනිමල් ගේ පුරුෂමූලික සමාජයේ වැදගත් විධිහට හදන ගැහැණු ළමයෙකු පිලිබඳ සදාචාර විග්‍රහය ආරම්භ වන්නේ මෙතැනිනි.

සුනිමල් ගේ ආදරණිය ලොකු අම්මාද කතාවේ වැදගත් චරිතයකි. ඇය ඉතා කරුණාවන්තය. සුනිමල් ඇයට දණ ගසා වඳින්නේ වැඩිහිටියන්ට ගරු සරු කිරීමේ ආදීනව පහදා  දීමටත්ය. ඇය ඔහුට රත්නත්තරේ පිහිට ආරස්සාව පතන්නීය.

කතාව මුලදී සුන්දර ලොකු අම්මා  කතාව අගදී රූපාන්තරණය වන්නේ අමූලික බොරු කියන බුදු වදනේ පරිදි නොහැසිරී කේළාම් කියන ගැමි ගැහැණියක ලෙසටය.

පුෂ්පජිත් නිරෝෂන් ජයසිංහ විසින් “පරපෝෂිතයා ” චිත්‍රපටය ගැන කරන ලද විචාරයේදී ආශාවේ වස්තුව  “object a ” බවට පත්වන්නේ ගන්ධය  බව නිවැරදිව  හඳුනා ගනී. 


// ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව ‘objet a’ යනු නො පැමිණි යමකි. එය සැමවිට ම නැති වී ඇති දෙයකි, හිඩැසකි. නමුත් එහි විශේෂත්වය වන්නේ හඹායාමට උනන්දුවක් ඇති කරවන යමක් ලෙස ද එය අභිමුඛවීම ය. එම අභිමුඛවීම නිරූපණය කිරීම සඳහා සිනමාව තුළ එය මූර්තිමත් කරවන ආකෘතියක් එයට අවශ්‍ය ය. එය බැලූ බැල්මට එක්වර ම තමා තුළ මෙන් ම අනෙකා තුළ පවතින යමක් ලෙස ද තවත් විටෙක දෙදෙනාට ම අයත් නො වන යමක් ලෙස ද පැවතිය හැක. ‘Parasite’ චිත්‍රපටය තුළ ගන්ධය ‘objet a’ බවට පත් වන්නේ ඒ ආකාරයට ය. මෙම චිත්‍රපටයේ පාක් පවුල හා කිම් පවුල අතර සම්බන්ධතාවයට පාදක වන්නේ එම සාධකය ය. පවුල් දෙක තුළ ආශාව පිරුණු උණුසුම් මිනිස් සම්බන්ධතා වෙනුවට සීතල සම්බන්ධතා ඇති වන්නේ මේ නිසා ය.// පුෂපජිත් නිරෝෂන ජයසිංහ 

“රන් කෙන්දෙන්” පොතේ සුනිමල් හා ඔහු විසින් ඊනියා පරීක්ෂණයට භාජනය කරන ළමයා / තරුණිය (සුපුනි)  අයත්  අසල්වැසි පවුල හා ඔහු අතර සීතල  සම්බන්ධතාවය ඇතිවීමට  හේතුව කුමක්ද යන්න වටහා ගැනීමට මම වෙහෙසුනෙමි.

සුනිමල් තම නිවස හැර ගියේ නැත. ඔහු ඒ වෙනුවට අර පවුලේ “කරදරය” විඳිමින් ම තම නිවසේම ජිවත් වෙයි. අර පවුලේ ඝෝෂාකාරී සංගීතය, ඒ පවුලේ බිරිඳගේ නොමනා  හැසිරීම  ආදී සියල්ල ඉවසයි. සුනිමල් ගේ “ගඳ” වන්නේ අර පවුල විසින් ඇති කරණ කරදරයයි .  එයින් පැන නගින ඔහුගේ නොසන්සුන් බව හා ව්‍යාකූල බව එම බිඳුණු විසිරුණු පවුල හා  තමන්ගේ   පවුල හා සංසන්දනය කිරීමෙන් ඔහු ලබා ගන්නා ආශ්වාදයයි. තම පවුල ඉහත කී  කරදරකාරී පවුලට වඩා සරුය. බිරිඳ හා දියණිය ඔහුට ආදරය කරයි. ඔහුට අනෙක් අයගේ ගරු බුහුමන් ලැබේ. ඔහුගේ ලෝකයේ වඩාත්ම වැදගත්ම තැනැත්තා ඔහුය. ඔහුගේ පවුල ඉතා සාර්ථක එකකි. ඒ ඔහුගේ මවාගත් යථාර්ථයයි. යථාර්තයක් මවා  ගන්නේ කෙසේද? මවා ගැනීම යනු යථාර්තයේ විරුද්ධභ්‍යාසය නොවන්නේද? එසේ නම් සුනිමල් ජිවත් වන්නේ ඔහුම සැබෑවක් යයි සිතා ගන්නා  මායාවක් තුලද? 

 “නෑ කෙල්ල අම්මට වෛර කරනවා  වගේම ඊටත් වඩා තාත්තට වෛර කරනවා අනාගතේ. ඇයි කෙල්ල හිතනවා තාත්ත පිරිමියෙක් වගේ  හරියට හිටියානම් තාත්තට වගේම තමන්ට ඔහොම වෙන්නේ නැහැනේ කියල. ” පි. 46


“හ්ම් .. ඔව් නෝනේ, ඉවරයි මෙතනින් පස්සේ ඉවරයි, මං ඔය කිසි දෙකට අත දාන්නේ නැහැ. මං උගත් නෑනේ කියන්නේ. එයාල උගත් . ඉතින් එයාලට විසඳ ගන්න දෙමු.  ” පි.51 
මේ සුනිමල්ගේ විශාදය උත්සන්න වෙන අවස්ථාවක්ද? නැත්නම් ඔහුගේ උගත් බව අනිත් අය නොපිළිගන්නේ යයි සිතන හීනමානය වැනි දෙයක්ද?

කතාවේ අග හරියේදී හොඳ බෞද්ධ ලොකු අම්මා මුසාවාද පවසන, නැති තැන කේලාම් කියන තැනැත්තියක බව සුනිමල් වටහා ගනී.
 
සුපුනි නමැති තරුණියගේ හැදියාව විවේචනය කරන සුනිමල් අවසානයේ සත්‍යය පසක් වෙයි. ඒ ඔහුගේම දියණියගේ හැසිරීමෙනි.

සුපුනි ගේ සැමියාගේ මල ගෙදරට යාමට සුනිමල් පැවසූ විට දියණිය එය ප්‍රතික්ෂේප කරයි.
“න්හඃ අනේ මට බෑ  තාත්තේ , මට ගෙදර යන්ඩෝන. ළමයි දෙන්න ස්කූල් ඉවර වෙලා ඇවිත් බලාන ඇති…”

ඉතා හොඳට ආදරයෙන් හැදු තම දියණිය ආත්මාර්ථකාමයෙන් පෙලෙන අයෙක් වීයයි සිතා  සුනිමල් ළතවෙයි.

නමුත් ඔහුගේ ලෝකය කඩා වැටෙන්නේ දියණිය ඊළඟට පවසන දෙයින්ය.

ශිෂ්‍යත්වය සමත් වූ පසු ඔහුගේ නැන්දනියගේ නිවසට යවා ආදරයෙන් වියදම් කර ඉගැන්වූ දියණියට අසනීප මව අසල සිටීමට වෙලාවක් නැත.

මරණය සිදුවී ඇති  නෑදෑ සුපුනිගේ නිවසට නොයන දියණිය මෙසේද කියයි.
“මං මේ අම්ම ටිකක් බලල ආපහු දුවන්ඩයි  ආවේ. ඒක නොකර බෑනේ “

දියණිය මව බලන්නට එන්නේ එය නොකර බැරි නිසාය.

ගණිතය උගැන්වූ නිසා දියණිය තර්කානුකූලව සිතන්නේ යයි හිත හදා  ගැනීමට සුනිමල් සැරසෙයි.    එහෙත් ඔහුගේ සිත සැබෑ තත්වය වටහාගෙනය.
“කෙල්ල අපෙන් වෙන් කරල නැන්දලෑ දිහා නවත්තපු එකද වැරැද්ද?” පි . 119

ජිවිතයේ පරාජය පිලි ගන්න සුනිමල් සියල්ල කර්මයට භාර දෙයි.

මේ ප්‍රශ්නය මගේ පියා සම්බන්ධයෙන් මටත් තිබූ එකකි.  ඒනිසා මෙහිදී මට ඒ දියණිය විවේචනය කිරීම කළ නොහැකි දෙයකි.

මේ පොතේ අනපේක්ෂිත අවසානය දෙස බලන විට වර්තමාන මිනිස්  සමාජය දෙස කතුවරයා ඉතා උපහාසයෙන් බලන බවක් මට හැඟේ.

සුනිමල් ගේ චරිතය ගැන කියවීමේදී දීප්ති කුමාර ගුණරත්න ගේ විශ්ලේෂණයකින්  අවසන් කරන්නට සිතමි. මහේෂ් හපුගොඩ ගේ ජිජැක් අධ්‍යයනය පොතේ (ජයසිරි අලවත්ත සමග) හැඳින්වීමට දීප්ති  මෙසේ ලියයි.

“ආච්චි අම්මා  බැලීමට යන්නට පියකු තම දරුවාට යෝජනා කළ හැකි ක්‍රම දෙකක් පවතී.
01. හෙට උදේ ට ආච්චි බලන්න යන්න සූදානම් වෙනු, !
මෙය ඒකාධිපති පියෙකුගේ ලක්ෂණයකි, නමුත් සමස්තතාවාදී පියෙකු දරුවාට යෝජනා කරන්නේ මෙවැන්නකි.
02.හෙට උදේ දහයට ආච්චි මුණ ගැසීමට  යාමෙන් ඔබ  හොඳ දරුවෙකු බව ලෝකයට පෙන්නුම් කරාවි. සැබවින්ම දරුවාගේ ගෙල හිර කරන්නේ මෙම දෙවන යෝජනාව හරහාය.
  
දීප්ති මෙය ලියා ඇත්තේ පශ්චාත් නුතනවාදය දේශපාලනයට රිංගන්නේ දෙවන පියවරෙන් යයි කියන්නටය.  එනම් ජේ ආර් ජයවර්ධන ලංකාවට අලුත් පිය ආකෘතියක් හඳුන්වා දුන්  සර්වාධිකාරී පියෙකු ලෙස හැඳින්වීමටය.
  
මේ අදහස මෙය සුනිමල් වැනි පෞද්ගලික චරිතයක් සඳහා අදාල කර ගන්නේ කෙසේද? සුනිමල් ඒකාධිපති හෝ අධිකාරිවාදී පියෙකු නොවේ. එසේනම් ඒ දීප්තිට  මග හැරුණු  “නෝංජල් ” පියා විය හැකිය.
 වර්තමාන සමාජයේ ලිබරල්වාදී  උගත් පියාට තම දරුවන් ට කෙලින් ම අවවාද දෙන්නට හෝ තර්ජනය කරන්නට  නොහැකිය. ඔහුට කළහැකි එකම දෙය දරුවන්ට අධ්‍යාපනය දී ඉන් නැවත කිසිවක්  බලාපොරොත්තු නොවීමය.

 සුනිමල් සමස්තතා වාදී පියෙකු ලෙස දියණියට හොඳ දෙයක් කිරීමට යෝජනා කරනමුත් දියණියට තව දුරටත් පියා වැදගත් චරිතයක් නොවේ.
පොත අවසන් වන්නේ අපට කාංසාවක් ඉතිරි කරමිනි.



මූලාශ්‍ර:
https://www.simplypsychology.org/carl-jung.html

%d bloggers like this: