Menu Close

තුර්කියේ නව ඔටෝමන් ව්‍යාපෘතිය සිරියාවෙන් ලිබියාවට නාභිගත වේ

turkish-project-shifts-to-libya

මේ සතිය තුල ලැබුණු දැවැන්ත තුර්කි හමුදා සහාය නිසා අවසානයේදී ලිබියානු ජාතික හමුදාවට එරෙහිව යම් ජයග්‍රහණයක් අත්පත් කරන්නට ජාතික සම්මුති රජය සමත් වූයේය.

මැයි 18දා ජාතික සම්මුති රජයේ හමුදා සහ සිරියාවෙන් පැමිණි තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වල සාමාජිකයෝ,තුර්කි විශේෂ බලකා සහ සංග්‍රාමික ඩ්‍රෝන් යානාවල සහාය ඇතිව ලිබියාවේ වයඹදිග කොටසේ පිහිටා ඇති අල් වටියා ගුවන් හමුදා කඳවුර අල්ලා ගත්හ.ඒ අවට ප්‍රදේශයේ දින කිහිපයක සටන්වලින් පසුව ලිබියානු ජාතික හමුදාවේ සෙබලුන් කඳවුරු භූමියෙන් පසුබැස ගිය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබා දී තිබූ පැන්ට්සියර් එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක්,Mi-35 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් සහ උණ්ඩ සැලකිය යුතු ප්‍රමාණයක් කඳවුරේ දමා ගොස් තිබිණි.ගුවන් හමුදා කඳවුර අල්ලාගෙන සිටි ලිබියානු ජාතික හමුදාව ඉලක්ක කර තුර්කි ප්‍රොක්සි හමුදා සතියක් පමණ කාලයක් කාලතුවක්කු සහ ප්‍රහාරක ඩ්‍රෝන් යානා යොදාගෙන ප්‍රහාර එල්ල කලෝය.

සර්ට් නගරය ආසන්නයේදී තවත් පැන්ට්සියර් එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක් සහ රුසියාවේ නිෂ්පාදිත ක්‍රසුකා නම් ජංගම ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියක් ඩ්‍රෝන් ප්‍රහාර හමුවේ විනාශ වූ බවද තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.තුර්කි වාර්තාවලට අනුව මේ සියලු උපකරණ ලිබියානු ජාතික හමුදාවට ලබා දී තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.දුසිම් ගණනක් යුද ටැංකි ඇතුලුව ලිබියානු රථ පෙළ ඉලක්ක කර එල්ල කරන සාර්ථක ඩ්‍රෝන් ප්‍රහාර සම්බන්ධව වාර්තා තුර්කි මූලාශ්‍ර නිතර ඉදිරිපත් කරති.නමුත් මේ සමහරක් හමුදා රථ පෙළ කොමඩු ප්‍රවාහනය කල ට්‍රක් රථ යැ‍යි අනාවරණය විය.

සිරියානු සටන්කාමීන් දහස් ගණනක් සහ සන්නද්ධ රථ සිය ගණනක් ජාතික සම්මුති රජයට ලබා දෙමින් තුර්කිය මාස ගණනක් තිස්සේ දැරූ පරිශ්‍රමයන්ගේ සාර්ථක ප්‍රතිඵලයක් දැන් ලැබී තිබේ.ජාතික සම්මුති රජය යටතේ ඇති ට්‍රිපොලි නගරය අල්ලා ගැනීමට දියත් කල මෙහෙයුමට ගුවන් ප්‍රහාරක සහාය ලබා දීමට ලිබියානු ජාතික හමුදාව අල් වටියා ගුවන් හමුදා කඳවුර භාවිතා කලේය.නුදුරු අනාගතයේදී ලිබියානු ජාතික හමුදාව මෙම කඳවුරේ බලය නැවතත් සියතට නොගත හොත් ට්‍රිපොලි නගරයේ නිරිතදිග කොටසේ බලය ඔවුන්ගෙන් ගිලිහී යනු ඇත.එමගින් නගරය වටලෑමේ සියලු අවස්ථාද හිමි වේවි.තුර්කියට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව තුර්කිය ප්‍රමුඛ හමුදාවල ඊළඟ ඉලක්ක වනු ඇත්තේ ටර්හුනා නගරයයි.ටර්හුනා නගරය අල්ලා ගැනීමට මෙම වර්ෂයේ මුලදී තුර්කි ප්‍රොක්සි හමුදා දැරූ උත්සාහය අසාර්ථක විය.ඒ නිසා මෙවර ඔවුන් අහිමි වූ ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රයත්න දරනු ඇත.

මේ හරහා උතුරු ලිබියාවේ වාතාවරණය තවත් නරක අතට හැරේවි.තවද ලිබියානු හමුදාවේ ප්‍රධාන ආධාරකරුවන් වන එක්සත් අරාබී එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව ලබා දෙන සහාය වැඩි කරනු ඇත.රුසියාවෙන් සීමා සහිත සහයෝගයක් හෝ ලැබෙනු ඇතැයි එමිරේට්-ඊජිප්තු පක්ෂය විශ්වාසයෙන් පසුවන බව නිසැකය.මේ දක්වා මොස්කව් රජය ලිබියානු අර්බුදයට සෘජුව මැදිහත් නොවුනේ තුර්කි සහ රුසියානු ඇලුම්කම්වල සංතුලනයට විය හැකි හානිය සැලකිල්ලට ගෙනය.ලිබියානු ජාතික හමුදාව පාර්ශ්වය යටතේ ක්‍රියාත්මක් රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන්(කුලී හේවායන්)නිරූපණය කරන්නේ රුසියානු සමූහාණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති නොව සමහරක් රුසියානු විශේෂ බලකා කණ්ඩායම්වල ආර්ථිකමය ඇලුම්කම්ය.

ඊට අමතරව,කටාර් රාජ්‍යය සහ සමහරක් නේටෝ සාමාජික රාජ්‍යයන්ගේ සහාය හිමි තුර්කිය,ලිබියානු වෙරළේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය කිරීමේ සිය සැලසුම් මේ වන විටත් නිවේදනය කර තිබේ.ලිබියාවේ සිය යුද මෙහෙයුමේ සැබෑ අරමුණු සහ අභිප්‍රායන් සඟවන්නට තුර්කිය උත්සාහ කරයි.එසේම,අභ්‍යන්තර දේශපාලනික අර්බුදය,ලිබියාවේ ස්වභාවික සම්පත් නිසා බාහිර මැදිහත්කරුවන් අතර විවෘත සංග්‍රාමයකට මග විවර කරනු ඇත.

මෙහිදී දැක ගන්නට ලැබෙන සිත්ගන්නා සුළු කරුණක් වන්නේ ලිබියාව තුල තුර්කියේ යුදමය ක්‍රියාකාරකම් වැඩි වෙද්දී සිරියාව තුල එවැනි ක්‍රියාකාරම් අඩුවීමයි.සිරියාවේ සිටි දහස් ගණනක් තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් ලිබියාවට යවන්නට තුර්කිය පසුගිය සමයේ කටයුතු කලහ.මේ හරහා ඉඩ්ලිබ් පළාතේ තුර්කි මෙහෙයුම් සීමා කර තිබේ.මෙම වාතාවරණය හමුවේ,තුර්කි නිවේදනවල සඳහන් ඉඩ්ලිබි ත්‍රස්තවාදයට එරෙහි සමහරක් අභිරහස් මෙහෙයුම් ප්‍රශ්නාර්ථයක් මතු කරයි.ඇත්තටම,වර්තමාන වාතාවරණය යටතේ,වයඹදිග සිරියාවේ වැඩි බලයක් හිමි හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්ත කණ්ඩායම සමග පෙරට වඩා සමීප ගනුදෙනු කරන්නට අන්කාරා රජයට බල කරනු ඇත.හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සැලැස්ම වන්නේ සිය පාලන ප්‍රදේශයේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කර,ආර්ථික සහ සමාජීය ජිවිත යොදා ඇති ග්‍රහණය දැඩි කිරීම මගින් තමන්ගේ මූල්‍ය පදනම පුළුල් කිරීම හරහා කලාපය තුල අමතර ගම්‍යතාවයක් ලබා ගැනීමයි.

තුර්කි රජය සම්බන්ධව කතා කරද්දී,දැනට පෙනෙන ආකාරයට වර්තමාන ආර්ථික දුෂ්කරතා නිසා සිය “නව ඔටෝමන්” විදේශ ප්‍රතිපත්ති ව්‍යාපෘතිය,එතරම් පොහොසත් නොමැති සිරියාවේ කලාපවල සිට අතට දැනෙන අමතර ආදායමක් ලබා ගත හැකි බලශක්ති වෙළඳාම සහිත ලිබියාවට මාරු කරන්නට ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් තීරණය කර තිබේ.

source:southfront.org

%d bloggers like this: