Menu Close

මොකද, උඹට ජීවිතයක් එහෙම්පිටින්ම ණයයි !

ඒ උනාය කියපු මළ ගෙදර මැරුණු අයට අවුරුදු විසි හතරක්, ජීවත්ව ඉඳියා නම් අපේ ගැන්සියේ ඉන්න ඕනෑ කොල්ලෙක්, ඒත් එයාට ඒකට වාසනාව පින උපතින්ම තිබුණේ නෑ, සමකාලීන අය එක්ක සෙල්ලම් කරන්න, එකට ඉස්කෝලේ යන්න, අඩුම ගානේ වලියක් දෙකක් දාගන්න එයාට ඉඩ අවකාශය දෛවය හදලා දීලා තිබුණේ නෑ. ඒ නිසා බුදු හාමුදුරුවෝ කිව්ව නිරෝගීබව එයාට උතුම්ම ලාබය වුණේත් නෑ. නම ‘පැතුම් දිල්ෂාන්’. පවුලේ වැඩිමලා විදියට ඉපදුණේ ලෙඩ දරුවෙක් විදියට, සිරියා නැන්දටයි, දිසානායක මාමටයි. හැබැයි එයාගේ නංගි නිරෝගියි, දක්ෂයි, හැදියාවයි. ‘සුදු නෝනා’ ගමේ අය ආදරේට කතා කළේ එහෙම.

සාමාන්‍යයෙන් අවුරුදු 3,4 කට පස්සේ ගොඩක් වෙලාවට අපි අපේ දේවල් පොඩි පොඩියට අපේ විදියට කරගන්න ට්‍රයි එකක් දෙනවා. ලොකු වෙන්න ලොකු වෙන්න හෙමි හෙමිහිට දෙමාපියෝ ඒ වගවීම් වලින් රිලීස් වෙනවා. ඒ කනෙක්ෂන් එක පැත්තකින් තියලා අපේ මොළේ ස්ට්‍රක්චර් එක ගැන හිතුවොත්, අපි දේවල් කරන්නේ රිවොර්ඩ් (reward) එකක් බලාපොරොත්තුවෙන්. ජීවිතේ කරන හැම දෙයක්ම, ගන්න හැම තීරණයක් පිටිපස්සෙම හීනියට සෙල්ෆිෂ් රිවොර්ඩ් එකක් වෙයිටින් රූම් එකකට වෙලා බලන් ඉන්නවා. පැතුම් ගැන කිසිම අනාගත බලාපොරොත්තුවක් නැතිව, කවන කෑම කටේ ඉඳන් මළපහ සුද්ද කරන කර්තව්‍යය දක්වා අවුරුදු 24ක් පුරාවට කරනවාය කියන්නේ අම්මෙකුට තාත්තෙකුට තියෙන ප්‍රබල ඩිසිප්ලින් (discipline) එකක්. 8-5 රස්සාවක් අවුරුදු 10ක් එක දිගට කරනකොට ජීවිතේ ඒකාකාරී වීම දරාගන්න බැරි අපිට ඒ කැපකිරීම අඩුම ගානේ තේරුම් ගන්නවත් තේරෙන්නේවත් නෑ.

හැම කැටගරියම කියන තරම් සුදු නෑ, හිතන තරම් කළුත් නෑ. එහෙම අවුරුදු 24ක් ඇඳෙන් බැහැගන්න බැරි ලෙඩ ළමයෙක්ව බලාගන්න අම්මෙක් ඉන්න ලෝකේ කොනකම, අතපය හොඳට පිහිටපු නිරෝගී දරුවන් ගඟට විසිකරන අම්මලාත් ඉන්න පුළුවන්. හරියට මේ ලඟදි මම ලිව්ව රණවිරුවා උසස් කරපු උසස් වුණු සමාජයේම, පොඩි ගමක කෙල්ලෙක් යාළු කරගෙන අමාරුවේ දාලා පැනලා ගියපු බැඳපු රණවිරුවොත් ඉන්නට පුළුවන් වගේ දේවල්.

ඒ මළගෙදර ආරංචි වුණු මොහොතේම අපි කතා උනේ, කමක් නෑ, ඒ ළමයාගේ පව ගෙවිලා ඉවර ඇති. ඒ අම්මයි තාත්තයිත් මොකක්ම හරි කර්මයක් ගෙවන්නැති. ඉතිං අපේ පිළිතුරු හරිම දාර්ශනිකයි. ඒත් ප්‍රශ්නය අපේ නෙවේනේ, ඉතිං කොයි තරම් යතාර්ථයක් ගෙනවාත්, කොයි තරම් බණ කන්දරාවක් හාමුදුරුවෝ සීයක් ඇවිත් කිව්වත්, ගැලුම් ගණන් පැන් වැඩුවත් ඒ වේදනාව අපිට දැනෙන්නේ ටිකක් දුර තියලයි. මේ… , තමන්ගේ දරුවාගෙ මළගෙදර දෙමාපියන්ව, මම දෑහින් දකින පළමු වතාව. ඒ වේදනාවේ ලතෝනිය කනට අහපු පළමු වතාව.

දෙමව්පියෝ ජීවත් වෙනකොට දරුවා මිය ගියොත් ආදාහනය කරන්නේ නැතිලු. භූමදානය කරනවාලු. එහෙම එකක් ගම් වල තියෙනවාලු. අවසන් වතාවටත් ඥාතීන්ට මිනිය පෙන්නනකොට ඒ පොඩි හට් එකේ ඉඩ නැති හින්දා අපි හිත මිතුරෝ ටික එළියට වෙන්න හිටියේ, ඒ පොඩි වැස්සට තෙමීගෙනම. අත් දෙක පිටිපස්සට බැඳගෙන හිටපු මම හරියටම කොහේදෝ අතරමං වෙලා ආයෙත් මගේ ඇඟ ඇතුළට ආවේ, ‘අනේ අනූ අක්කේ’ කියලා දිලී බදාගත්තු හින්දා. එතකොට මගේ අත් තිවුණේ පපුවට තද වෙලා. කිසිම දැනුවත්වීමක් නැතිව. ඔව් මං පළමු වතාවට දැක්කා, කිසා ගෝතමිය මගේ ඇස් දෙකටම. හැම කෙනෙකුගෙන්ම හිඟමන් ඉල්ලනවා ඇගේ දරුවාගේ ජීවිතය. කවුදෝ අත දැමුවා වාගේ මගේ පපුව ඉරාගෙන, ලේ පෙරෙද්දීම හදවත මිරිකාගෙනම කිව්වා ‘අර බලපන් අම්මෙකුගේ ආදරය’ ඔව් ඒ මොහොත මට දැනුනේ එහෙම.

පැතුම් උඹට හොඳ ආත්මයක් ලැබියන්, උඹේ ඇරියස් ජීවිතය ගත කරලා ලෝකේ යහපත් නමක් ඉතුරු කරලා ඉවර කරපන්, මේ ආත්මේ උඹේ අම්මටයි තාත්තටයි, නංගිටයි ඒ යුතුකම ඉෂ්ඨ කරපං !! ඇඳිරි නීතිය වැටෙයි කියලා උඹ වෙනුවෙන් ගොඩ ගහපු කිරි පැකට් ටික බදාගෙන තාම හූල්ලන උඹේ අම්මා වෙනුවෙන් උඹට හොඳ ජීවිතයක් ලැබියන්. බෞද්ධයෙක් විදියට නිර්වාණ සුව ප්‍රාර්ථනා කරන්න මගේ හිතට ලෝබයි, මොකද උඹට ජීවිතයක් එහෙම්පිටින්ම ණයයි.

අනූ පෙරේරා | සිත්තම් මායා

%d bloggers like this: