Menu Close

දළදා මාළිගාවට පාරුකාර සේවාව සැපයූ ආදම් ලෙබ්බේ සහ උදුමා ලෙබ්බේ විසූ උඩ පලාත දිසාව

හිඳගල විහාර සිතුවමක්

උඩරට රාජධානියට අයත් දිසාවනියක් වන උඩපළාත බ්‍රිතාන්‍ය යුගය වන විට කෝරළ 4 ක එකතුවකින් සැදී තිබින. ඉන් කෝරළ දෙකක් පිළිබඳව තොරතුරු පෙර ලිපියකින් ඉදිරිපත් කල අතර (Link >>) මෙම ලිපියෙන් ඉතිරි කෝරළ දෙකේ විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. රැල්ප් පීරිස් මහතා සිය ග්‍රන්ථයේ 1796 පමණ වන විට උඩ රට පළාත් දැක්වෙන සිතියමේ මීට පෙර ලිපියකින් අප කතා කල උඩ බුලත්ගම (Link 1 >>,  Link 2 >> ) සහ ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තු වන කොත්මලේ රටත් උඩ පළාතටම අයත් කර දක්වා ඇතත්, 19 වන සියවසේ අවසාන භාගය වන විට එම ප්‍රදේශ උඩපළාතට අයත් නොවූ වෙනම රටවල් ලෙස සලකා ඇත.

උතුරින් පහල හේවාහැට කෝරළයෙන්, දකුණින් කොත්මලේ රටින්, නැගෙනහිරෙන් උඩ හේවාහැටින් සහ, බටහිර පෙදෙසින් උඩුනුවරින් සහ සතර කෝරළයෙන් සීමා වූ උඩපළාත දිසාවේ විශාල ප්‍රදේශයක් පුරා 19 වන සියවසේ අවසාන භාගය වනවිටත් තේ වගාව පැතිර තිබූ අතර, පැරණි සිංහල ගම්මාන ප්‍රධාන වශයෙන් ගංගා නිම්න වලට සීමා වී තිබී ඇති බව මෙම ලිපියෙන් විස්තර වන දැනට හඳුනාගත හැකි ලෝරි සඳහන් කරන ගම් සලකුණු කල පහත දැක්වෙන සිතියම් වලින්ද පැහැදිලි වේ. එතෙක් ගම්මුන් විසින් හේන් වගාවන් සහ ගවයන්ගේ ආහාර අවශ්‍යතා උදෙසා යොදා ගත් උස් බිම් වල පිහිටි තෘණභූමි සහ වනාන්තර බ්‍රිතාන්‍ය යුගයේ ඔවුනට අහිමිව වතු අධිරාජ්‍යයකට බිලී විය.

පෙර ලිපියෙන් විස්තර කල ඇතැම් උඩරට පෙදෙස් වල මේ යුගයේ සිදුවූ සිදුවීම් උදාහරණයක් වශයෙන් විහාර දේවාල ගම් වලට අයත් ඉඩම් එම ආයතන වලට අහිමි වීම් සහ එම ආයතන වලට සේවා සැපයූ ඉස්ලාම් ආගම ඇදහූ සංක්‍රමණික එහෙත් ඒ වන විට ස්ථිර ඉඩම් ලැබ ඒවායේ පදිංචිව සිටි ජන කොටස් පිළිබඳව මෙම ලිපියෙන්ද කරුණු ඉදිරිපත් වේ. ඊට අමතරව බොහෝ විට 1803 සහ 1804 සිදුවූ බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ උඩ රට ආක්‍රමණ වලදී සහ 1818 විමුක්ති අරගලය අවස්ථාවේ ඉංග්‍රීසි හමුදා භට කණ්ඩායම් සිදු කල බවට සිතිය හැකි බෞද්ධ විහාර ගිනි තැබීම් ආදිය සම්බන්ධවද මෙහිදි විස්තර හමුවේ.
කඳුකර ඉහල කෝරළය
නැගෙනහිරෙන් හේවාහැටින්, දකුණින් කොත්මලේ රටින්, උතුරින් කඳුකර පහල කෝරළයෙන් සහ බටහිරෙන් මහවැලි ගඟින් සහ ගඟ ඉහල කෝරළයෙන් වටවූ කඳුකර ඉහල කෝරළයේ පිහිටි අංගම්මන ගම හැරුන විට බොහෝ ගම් එවකට පහත් කුල වලට අයත් ලෙස සැලකූ ජන කොටස් සිටි ගම් බව පැවසේ. පුපුරැස්ස, අටබාගේ සහ පුස්සැල්ලාව තේ දිස්ත්‍රික්ක (Tea Districts) මෙම කෝරළය තුල ඒ වන විට තිබී ඇත.

කඳුකර ඉහළ කෝරළයේ පිහිටි ඩෙල්ටා වතු යායේ පිහිටා ඇති එංගලන්ත සභාවට අයත් ක්‍රිස්තියානි දේවස්ථානයක්

  • අංගම්මන කොබ්බෑවල ආරච්චි වසමට අයත් ගමකි. දළදා මාළිගාවට රත්වත්තේ දිසාව විසින් පූජා කල මෙම ගමේ වූ ඉඩම් ලියාපදිංචි කිරීම විහාර දේවාල ඉඩම් කොමසාරිස් (Temple Lands Commissioner) විසින් ප්‍රතික්ශේප කර ඇත. පසුව මුතු කරුපන් චෙට්ටියාර් (Muttu Karpen Chetty) හට අයත් වූ කෝපි වත්තක් මෙම ගමේ ඉහලින් පිහිටි බිම් වල තිබී ඇත. පැරණි පවුලකින් පැවත එන අංගම්මන අධිකාරමට අයත් වලව්වක් අංගම්මන ගමේ තිබී ඇති අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී ඔහු විසින් පට්ටිපොල විහාරය (Pattapola Vihara) ඉදි කර ඇත. ලෝරිගේ සමය වන විට එම පරම්පරාවෙන් පැවත එන්නන් හට අයත් වලව් 3 ක් අංගම්මන ගමේ තිබී ඇත. අමුණුපුර මෙම ගම තුල පිහිටි කුඩා ගමකි.
  • අටබාගේ (පල්ලේගම සහ උඩගම) – පදු කුලයට අයත් ජනයා වාසය කල ගම්මානයකි. පල්ලෙගම කොටසේ පෙර ඔරියන්ටල් බැංකුවට (Oriental Bank) අයත්ව තිබූ අටබාගේ වතු යාය තිබී ඇත. උඩගම පිහිටි විහාරය වර්ෂ 1797 දී ඉදිකල බව පැවසේ. 
  • දෙල්පිටිය – පදු සහ නවන්දන (Blacksmiths) කුල වලට අයත් ජනයා වාසය කල ගමකි.
  • දෙවිට – පදු කුලයේ ජනයා වාසය කල ගමකි.
  • දුණුකේඋල්ල පුස්සැල්ලාව වසමට අයත් පුපුරැස්ස ඔය බඩ පිහිටි ගමකි. කළුගල කෝවිල  මෙම ගම තුල තිබූ බව පැවසේ.
  • ගලාත– දුරයෝ කුලයේ ජනයා වාසය කල ගමකි.
  • කැකුලන්දල ගලාත ආරච්චි වසමටම අයත් දුරයෝ  කුලයේ ජනයා වාසය කල ගමකි.
ගම්පොල – පුපුරැස්ස ( B125 ) මාර්ගයට දිස්වන මහවැලි ගඟේ අතු ගංගාවක් වන අටබාගේ ඔයේ නිම්නය,
  • මාවතුර – ගලාත ආරච්චි වසමට අයත් ගමකි.
  • පිලිවෙල – කොත්මලේ ඔය මහවැලි ගඟ හා එක්වන ස්ථානයේ පිහිටි ගලාත ආරච්චි වසමට අයත් ගමකි.
  • කොබ්බෑවල – වර්ෂ 1787 පමණ ඉපදුන කොබ්බෑවල දියවඩන නිලමේ මෙම ගමේ පිහිටි වලව්වේ වාසය කර ඇත. කොබ්බෑවල පිහිටි අප්පලගොඩ විහාරයට කොබ්බෑවල වලව්වේ මුදියන්සේ රාලහාමි විසින් සිංහලේ  අවසාන රජුගේ යුගයටත් පෙර පූජා කල ඉඩම් වල අයිතිය පිළිගැනීම විහාර දේවාල ඉඩම් කොමසාරිස් විසින් ප්‍රතික්ශේප කර ඇත. පසුව කොබ්බෑවල වලව්වට එම ඉඩම් උකස් කර ඇති අතර පන්සල පසුව අතහැර දමා ඇත.
  • පුස්සැල්ලාව – 19 වන සියවසේ අවසාන භාගය වන විට පොලිස් ස්ථානයක්, ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් (Public Works Department Station), එංගලන්ත සභාවට අයත් පල්ලියක් (Church of England church), කඩපොලක්, බෞද්ධ විහාරයක් මෙන්ම ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබා දුන් චර්ච් මිෂණරි සමිතියට අයත් මිශ්‍ර පාසලක්ද (Church missionary society’s mixed vernacular school) තිබූ ගමකි. 
  • පුපුරැස්ස
  • වහුගේපිටිය
  • වත්තේහේන
පුස්සැල්ලාව නගරයට දිස්වන මොණරගල කඳු. මෙම කඳු වලට එපිටින් කොත්මලේ ජලාශයද  කොත්මලේ රටට අයත් ගම්ද පිහිටා ඇත.
කඳුකර පහල කෝරළය
උඩපළාතේ උතුරු සීමාව වන කඳුකර පහල කෝරළය නැගෙනහිරෙන් හේවාහැටින්, දකුණින් කඳුකර ඉහල කෝරළයෙන්, බටහිරෙන් මහවැලි ගඟින් සහ ගඟ ඉහල කෝරළයෙන්ද, උතුරින් යටිනුවර රටින්ද සීමා වේ. මහවැලි ගඟ දෙපස කුඩා ප්‍රදේශයක් හැරුන විට මෙම කෝරළයේ වැඩි ප්‍රදේශයක් කඳු වලින් යුක්තය.


  • ගොඩවෙල – ජනප්‍රවාද වලට අනුව මහවැලි ගඟ සහ මල්හළුව ඔය අතර පිහිටි ගොඩවෙල නුවර ලෙසින් හැඳින්වූ රාජකීය නුවරක් මෙහි තිබී ඇත. ගඩොල් සහ උළු කැබලි එම ප්‍රදේශයේ පොලව යට හමුවේ. ගොඩවෙල බස්නායක නිලමේ හෙවත් දුග්ගන්නා නිලමෙට අයත් වලව්ව මෙම ගමේ තිබී ඇති අතර ඔහු  ඉංග්‍රීසින් මඩකලපුවේ සිට උඩරට ආක්‍රමණය කල සමයේ (1804?) රජුගේ සැතපෙනගේ රාජකාරි ඉටු කල බව පැවසේ. මෙම ගමේ වැසියන් ලංකාතිලක විහාරයට සේවා සපයයි.
  • අඹකුඹුර – ගොඩවෙල ගම තුල පිහිටි කුඩා ගමකි.
  • මැදපිටිය ගනේගොඩ, ගොඩවෙල සහ අංකුඹුර ගම් අයත් වන ආරච්චි වසමටම අයත් ගමකි.
  • ගනේගොඩ – මෙම ගමේ නිලඹේ ඔය මහවැලි ගඟ හා එක්වන ස්ථානයේ පිහිටි ගනේගොඩ දේවාලය පැරණි දේවාලයකි. ඉංග්‍රීසින් පැමිණීමට පෙර එය ගිනි තබා ඇති අතර (කවුරුන් විසින්ද යන්න සඳහන් නොවේ) ඉන් පසුවද දෙවරක් එහි තිබූ දෑ සොරුගෙන ඇත. රාජසිංහ රජු (?) ගනේගොඩ ගමේ ඉඩම් මෙම දේවාලයට පිරිනමා ඇති අතර. කීර්ති ශ්‍රී රාජසිංහ රජු උඩෝවිට, ඇල්පිටිය, ගොඩවෙල, මැදපිටිය, සහ නියංගම ගම් දේවාලයට පූජා කර ඇත. එහෙත් විහාර දේවාල ගම් කොමසාරිස්  එම ඉඩම් බදු වලින් නිදහස් කිරීම ප්‍රතික්ශේප කර ඇත.
  • පල්ලේ දෙල්තොට
  • දොළුව – පට්ටිවල අනු කුලයට අයත් වෙල්ලාල හෙවත් ගොවි කුලයේ ජනයා වාසය කල ගම්මානයකි. නවන්දන කුලයට අයත් එක් පවුලක්ද සිට ඇත. ගමේ තිබූ 1858 වර්ෂය වන විටත් වසර 20 පුරා අතහැර දමා තීබූ විහාරයට ගම් වැසියන් විසින් පිරිනමා තිබූ ඉඩම් ලියාපදිංචිය ප්‍රතික්ශේප කර ඇත. නව විහාරයක්, බණ මඩුවක් සහ ආවාසයක් වනවාසී භික්ෂූන් සඳහා පසුව ඉදිකර ඇත. ලියන්දෙණිය, දොළුව ගම තුල පිහිටි කුඩා ගමකි.
  • කවුඩුපිටිය නාරංවිට ආරච්චි වසමට අයත් ගම්මානයකි. නවන්දන කුලයේ ජනයා වාසය කල රජ මාළිගාවේ ‘රන්කඩු පට්ටලයට’ අයත් ගමකි.
  • ඉඟුරුවත්ත – නාරංවිට ආරච්චි වසමට අයත් වහුම්පුර කුලයේ ජනයා විසූ ගමකි. ගම්මානයේ බොහෝ ඉඩම් පරනතලා පරම්පරාවට අයත්ය. ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව මෙහි පිහිටි ඉඟුරුවත්තේ වලව්වේ විසූ ඉඟුරුවත්තේ  අධිකාරම් මහත්මයාට අයත් ඉඩම් සමහරක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉඟුරුවත්ත විහාරයට පවරා දී ඇත්තේ රජු විහාරය වන්දනා කිරීමට යෑමේදී අධිකාරම් ඒ සඳහා පාලමක් නොසෑදීම හේතුවෙනි. ඉඟුරුවත්තේ විහාරය කුන්ඩසාලේ රජුගේ අවදියේදී ගම් වාසීන් විසින් සාදා ඇත. විහාරය ගිනි තබා විනාශ කල පසු (කවරෙක් විසින්ද යන්න කියා නැති මුත් 1818 නිදහස් අරගලය අවස්ථාවේ ඉංග්‍රීසි හමුදාව විසින් විය යුතුය. ) හපුගොඩ උන්නාන්සේ විසින් නැවත ඉදිකර ඇත.
  • මහර හෙවත් මහරගම නාරංවිට ආරච්චි වසමට අයත් තවත් ගමකි.
  • වැවතැන්න නාරංවිට ආරච්චි වසමට අයත්ය.
  • නාරංවිට  නාරංවිට විහාරය කුන්ඩසාලේ රජතුමාගේ අවදියේදී ගම්මුන් විසින් ඉදිකර ඇත. 1818 දී විහාරය ගිනි තැබූ මුත් එම කාලයේම නැවත සාදා ඇත. අන්ඳියකඩවර මෙම ගම තුල පිහිටි මුස්ලිම් ජනයා විසූ කුඩා ගමකි. 
  • නියංගම – දුරයෝ කුලයේ ජනයා විසූ නාරංවිට ආරච්චි වසමට අයත් ගමකි.
  • කහවත්ත
  • ලැඟුන්දෙණිය – රොබට් නොක්ස් කාලයක් සිටි ගමකි. ඔහුගේ ග්‍රන්ථයේ ලැඟුන්දෙණිය පිළිබඳව බොහෝ තොරතුරු හමුවේ.
  • පුලියැද්ද- ලැඟුන්දෙණිය ආරච්චි වසමට අයත් ගමකි.
  • මුල්ගම – කඳු මුදුනක පිහිටි ගමකි. මෙහි පිහිටි විහාරය ගමේ ප්‍රධාන පුද්ගලයන් දස දෙනෙකු විසින් ඉදිකල බවට පැවසේ. එයට අයත් ඉඩම් ලියාපදිංචි කිරීම සඳහා කල ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත.
  • පන්විලතැන්න
  • තුන්පෑලවක – වහුම්පුර කුලයේ ජනයා විසූ ගමකි.
  • තුන්දෙණිය
  • උඩවෙල
  • උඩුදෙණිය
හිඳගල ලෙන් විහාරය
  •  හිඳගල – පාහිංගොමුව සහ කළුගොමුව ගම් අයත්වන ආරච්චි වසමටම අයත් වූ ගමකි. පේරාදෙණිය උද්භීද උද්‍යානය ඉදිකිරීම උදෙසා ඔවුන්ගෙන් රජය ලබාගත් ඉඩම් වලට හිලව් වශයෙන් මෙම ගමේ පිහිටි අධිකාරම් වලව්වේ විසූ හිඳගල අධිකාරම් මහත්මයාගෙන් පැවත එන්නන් ඉඩම් ලැබූ බව ලෝරි පවසයි. මහවැලි ගඟේ නිම්නයට ඉහල මනා දර්ශනයක් සහිත තැනක පිහිටි හිඳගල ලෙන් විහාරය, බාන්ස් ආණ්ඩුකාරයාගේ යුගයේ එහි පැමිණ පදිංචි වූ දෝපේ නායක උන්නාන්සේ විසින් නැවත ඇරඹූ බව ඒ හිමියන් විසින් විහාර දේවාල ගම් කොමසාරිස් හට පවසා ඇත. දෝපේ හිමියන් පැමිණෙන විට ලෙන් විහාරය තුල ඇති පැරණි විශාල ප්‍රතිමාව තිබී ඇති මුත්, එය කැඩී බිඳී ගොස් නටබුන් වූ තත්වයෙන් තිබී ඇත. දෝපේ හිමියන් විසින් කුඩා ප්‍රතිමා දෙකක් එහි අලුතින් සාදා ඇත. දෝපේ හිමියන් හෙලිකරන ආකාරයට හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ සමයේ විහාරය ඉදිකර ඇති අතර හිඳගල ගමේ සියලුම ඉඩම් එම දේවිය විසින් විහාරයට පවරා දී ඇත. ජනප්‍රවාද ගත තොරතුරු පවසන්නේ එම දේවිය දිනක් රාත්‍රියේ ගමනක් යනවිට හිඳගල ගමේ ප්‍රධානියාගෙන් හුළු අතු සහ සේවකයන් ඉල්ලූ මුත් ඔහු “ඇයට ඒවා හිඳගල ගුහාවේ සිටින මහළු මිනිසාගෙන් [ඔහු එමගින් හිඳගල ගුහාවේ තිබූ බුදු පිළිමය අදහස් කර ඇත. ] ඉල්ලා ගන්නා ලෙස පැවසූ බවත්, එම හේතුව නිසා හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය ඔහුට අයත් සියළුම ඉඩම් පසුදිනම විහාරයට පැවරූ බවත්ය. එවක ජීවත් වූ හිඳගල විදානේ පවසා ඇත්තේ විහාරයට අයත් ඉඩම් ඔහුගේ පරම්පරාවට අයත් නින්ද ගම් බවත්, ඔහුගේ පරපුරේ පුද්ගලයන් පසුව ශාසනයට ඇතුලත් වී පන්සලේ නායක පදවිය දැරූ බවත්, එවැන්නන් 31ක් ඒ වනවිට එම පදවියේ සිට ඇති බවත්ය. දෝපේ හිමියන්ද එය තහවුරු කර ඇත.
කුඩා හිඳි පිළිමයක් – හිඳගල ලෙන් විහාරය

  • කළුගොමුව – දළදා මාළිගාවට
     අයත් මුත්තෙට්ටු ඉඩම් පැවති, එයට විවිධ සේවාවන් සැපයූ ජනයා විසූ ගමකි. ඒ අතර ‘පාරුකාර සේවාව’ සැපයූ ආදම් ලෙබ්බේ සහ උදුමා ලෙබ්බේ හෙවත් පාරුකාර නයිදේ ලෙසින් හැඳින්වූ මුස්ලිම් ජන වර්ග‍යට අයත් පුද්ගලයන් දෙදෙනෙකුගේද නම් ඇති අතර, ඔවුන්ට අයත් රාජකාරිය වූවේ කළුගොමුවේ තොටුපලේ සිට ගැටඹේ තොටුපොල දක්වා ගමේ වෙනත් පුද්ගලයන් දළදා මාළිගාවට යැවීම සඳහා ලබාදෙන ඕනෑම දෙයක් ගෙනගොස් දීම සහ නව වසර උදාවීම සමග බුලත් කොළ 40 කින් සමන්විත ‘පෙනුම’ දිව නිලමේට දීමය (එනම් එම ප්‍රමාණයෙන් යුත් බුලත් හුරුල්ලක්ද රැගෙන දිව නිලමේ හමුවේ පෙනී සිට එය ඔහුට පිරිනැමීම.) ඒ වෙනුවෙන් ඔවුන්ට මෙම ගමේ අක්කර 1.5 ක ඉඩම් ලැබී ඇත.
  • පායින්ගොමුව
  • නිල්ලඹේ – රොබට් නොක්ස් සිය ග්‍රන්ථයේ විස්තර ඉදිරිපත් කරන තවත් ගම්මානයකි නිල්ලඹ. මෙහි පිහිටා තිබූ රජ මාළිගාවට අයත්ව තිබූ ගල් කණු සහ ගල් ඇඳක් (Stone pillars and a stone bed) නිල්ලඹ වත්තේ ලෝරිගේ යුගය වනවිටත් තිබී ඇත. දළදා මාළිගාවට අයත් නින්දගමක් වන අතර එයට අයත් ගව පට්ටිය නිල්ලඹ ගම තුල එකල සිට ඇත. 
මූලාශ්‍ර

  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • Sinhalese Social Organization, The Kandyan Period, Ralph Pieris, 1956
%d bloggers like this: