Menu Close

දර්ශනය සහ ක්‍රිස්තියානි ආගම අතර සම්බන්ධය (සහ ‘අපේ’ බුදු දහම)

දර්ශනයේ ඉතිහාසය සහ ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය අතර, එක නිශ්චිත කාල සීමාවකදී, සමපාත වීමක් ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක. දර්ශනය ආරම්භ වන්නේ ක්‍රිස්තියානි ආගම බිහි වීමට පෙර කියා අපි දනිමු. සත්‍ය වශයෙන්ම, බදියු රසවත් ලෙස පෙන්වා දෙන පරිදි, ඇතන්ස් යනු ශාන්ත පාවුළු හට ක්‍රිස්තියානි සුභාරංචිය රැගෙන යාමට නොහැකි වූ ‘මුදා නොගත් ප්‍රදේශයයි’. ශාන්ත පාවුළු ගේ ගමන් පථය අධ්‍යයනය කරන විට ඔහු ඇතන්ස් වලට ගොස් තිබිය යුතු බව පැහැදිළි වුවත් පාවුළු ගේ ලියවිලි වල ‘ඇතන්ස්’ යනුවෙන් රචනයක් හමු නොවන්නේ – ‘තෙසලෝනික’, ‘එෆීස’ ආදී වෙනත් ග්‍රීක පුර රාජ්‍ය සම්බන්ධයෙන් එවැනි ලියවිලි හමු වන විට – ඔහුගේ අදහස් ග්‍රීක දාර්ශිකයන් සත පහකට ගණන් නොගත් නිසා කියා පැහැදිළි වේ. එසේ වුවත් හෙලනික යුගයේ අවසානයේ සිට ග්‍රීක දර්ශනය සහ ක්‍රිස්තියානි ආගම අතර සම්බන්ධයක් ඇති වූ බවත් එය මධ්‍යතන යුගය හරහා ඩේවිඩ් හියුම් සහ ඉමැනුවෙල් කාන්ට් වැනි චරිත බිහි වන තුරු අකණ්ඩව පැවති බවත් පැහැදිළි වේ.

මෙයට හේතුව තේරුම් ගැනීම ද අපහසු නැත. මේ වනවිට එම යුගයේ උගත් පුද්ගලයන් යනු අනිවාර්යයෙන් ග්‍රීක දර්ශනය පිළිබඳව කිසියම් අධ්‍යාපනයක් තිබෙනා පුද්ගලයන් ය. එවැනි කෙනෙක්ට දෙවියන් පිළිබඳව සිය පුද්ගලික විශ්වාසය මේ දැනුම සමග සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවය අනිවාර්යයෙන් ඇති වෙයි.

එම නිසාම අපට මෙම සම්බන්ධය තේරුම් ගත හැකි වන්නේ ඓතිහාසික අහම්බයක් ලෙස පමණි. වෙනත් ආකාරයකට කියන්නේනම් මේ සම්බන්ධයේ කිසිදු අනිවාර්යතාවයක් නැත. කිතු දහම වෙනුවට එම ප්‍රදේශ වල ඓතිහාසිකව තහවුරු වූයේ, නිදර්ශනයක් ලෙස, බුදු දහම වූවානම් මේ සම්බන්ධය අනිවාර්යයෙන් ඇති වන්නේ බුදු දහම සහ දර්ශනය අතරයි.

වැදගත් කරුණ වන්නේ මෙම අහඹු සම්බන්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූයේ කුමක්ද යන්නයි. පළමුවෙන් මෙම සන්ධානය සියවස් කීපයක් අතර තුර බිඳ වැටුණි. හියුම්, කාන්ට්, හේගල්, මාක්ස්, නීට්ශේ ආදීන් මගින්, දහඅටවන සහ දහනමවන සියවස් වල දී දර්ශනය සිය වෙන් වීම වඩ වඩාත් තියුණු ලෙස සලකුණු කරයි. ඒ වෙනුවට නැවත දර්ශනය පරිමිතවාදය වෙත ගමන් කරයි (මෙහි දී මෙයසූ පෙන්වා දෙන අනපේක්ෂ්ඨික ප්‍රතිඵලය කිතු දහමෙන් වෙන් වීම යන ඓතිහාසික කරුණේ දී අදාළ වන්නේ නැත).

දෙවෙනි කරුණ වන්නේ මෙහිදී සිදු වූයේ කිතු දහම ග්‍රීක දර්ශනය හමුවේ ලෞකිකරණය වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කිතුණු විශ්වාසයේ ඇති දාර්ශනික මූලයන් නිශ්චිත ලෙස නිරාවරණය කර ගැනීමට හැකි විය. ඔගස්ටීන්, ඇක්වයිනාස්, ස්කොටස්, ඩෙකාට්, ලයිබ්නීට්ස්, බාක්ලී ආදීන් හරහා සිදු වූයේ මෙයයි.

මෙහිදී නිශ්චිත දාර්ශනික ප්‍රශ්න ව්‍යුහගත වූ ආකාරය සම්බන්ධයෙන් කිතු දහමේ සිතීමේ විධික්‍රම බලපෑ බවට සැකයක් නැත. එම අර්ථයෙන් කිතු දහම වෙනුවට වෙනත් ආකාරයක විශ්වාස පද්ධතියක් සමග මෙලෙස දර්ශනයේ ඉතිහාසය සන්ධානගත වූවානම් එහිදී අසන සමහර ප්‍රශ්න වල වෙනස්කම් සිදු විය යුතු වනවා යන්න පැහැදිළි වේ. නමුත් මේ මගින් දර්ශනය ක්‍රිස්තියානිකරණය වූ බව අපට කිව හැකිද? මෙයට පිළිතුරු දීමේ දී වැදගත් ‘ක්‍රිස්තියානිකරණය’ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න තීරණාත්මක වේ. එමගින් අදහස් කරන්නේ දර්ශනයේ සෑම අස්සක් මුල්ලක් නෑර ක්‍රිස්තියානි ආගමේ මුද්‍රාව මකා දැමිය නොහැකි සලකුණක් සේ සටහන් වනවා යන්නනම් එයට පිළිතුර වන්නේ, මෙය කිසි සේත් සිදු වී නොමැති බවයි. දර්ශනය ඉතාම පැහැදිළිව ක්‍රිස්තියානි ආගමේ ප්‍රශ්න වලින් තොරව, එවැනි පසුබිමක් නොමැති කෙනෙක්ට පහසුවෙන් වටහා ගත හැකි ලෙස වර්ධනය වී තිබේ. එමෙන්ම, මෙය ‘රහසින්’ ක්‍රිස්තියානි මිනිසුන්ට, ක්‍රිස්තියානි සංස්කෘතියට, ක්‍රිස්තියානි විශ්වාසයන්ට පක්ෂපාතී වනවා යන්නනම්, මෙයට ඇති එකම පිළිතුර වන්නේ ද එය එසේ සිදු නොවූ බවයි.

අප නැවත නැවතත් අවධාරණය යුතු අතිශය මූලධාර්මික පණිවුඩය මෙයයි: දර්ශනය හමුවේ ක්‍රිස්තියානි දෙවියන් පිළිබඳව විශ්වාසය සහතික කරගැනීමට ගත් ඓතිහාසික උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වූයේ ක්‍රිස්තියානි ආගම වෙත තිබුණු බුද්ධිමය ආධිපත්‍යය මුළුමනින් බිඳ වැටීමටයි! දර්ශනයේ වර්ධනය් වීමත් සමගම ක්‍රිස්තියානි ආගම පිළිබඳව වූ අචල විශ්වාසය මුළුමනින් බිඳ වැටෙයි.

නමුත් මෙහිදී ‘ක්‍රිස්තියානිකරණය’ පිළිබඳව විශ්වාසය මගින් අදහස් කරන්නේ ක්‍රිස්තියානි ආගම පිළිබඳව සිතීමේ දී ඇති වන ප්‍රශ්න ඇසුරින් දාර්ශනික විමසා බැලීම වර්ධන වූ බවනම්, එයට පිළිතුර වන්නේ එය එසේ වී ඇති බවයි. නමුත් මෙය සිදු වී ඇත්තේ ක්‍රිස්තියානි ආගමට පක්ෂපාතී ලෙස නොව එයට අවාසිසහගත ලෙසයි.

නමුත් අපට වැදගත් ප්‍රශ්නය, එය ඉතාම මෝඩ විදියට සූත්‍රගත කළහොත්, මෙසේ ඇසිය හැකිය: ‘ක්‍රිස්තියානි එවුන්ට උන්ගේ ප්‍රශ්න වලින් දර්ශනය ගැන හිතන්න පුළුවන් වුනානම් අපිටත් පුළුවන් වෙන්න බුද්ධාගමේ ප්‍රශ්න වලින් දර්ශනය ගැන හිතන්න’ කියා අප කිව යුතුද? ඒ අනුව, නිදර්ශනයක් ලෙස, අප දර්ශනය සහ බුදු දහම සම්බන්ධ කර, සියවස් කීපයක් මේ සන්ධානය පවත්වාගෙන ගොස්, බුදු දහම පිළිබඳව සිතීමෙන් දර්ශනය වර්ධනය වන ආකාරය සිතා බැලිය යුතුද? මා සිතනා ආකාරයට මෙය ඓතිහාසිකව සිදු විය හැකි දෙයක් නොවේ. අවම වශයෙන් මුළුමනින් බාහිර ලෝකයෙන් වැසුණු සමාජයක් ගොඩ නගන්නේ නොමැතිව මෙය කළ හැකි නොවේ. ඓතිහාසික අහම්බයක් ලෙස ඇති වූ සම්බන්ධයක් මේ ආකාරයට කෘතිමව නිර්මාණය කළ නොහැකිය. අනෙක් අතට, මෙවැනි ප්‍රවේශයක ඇති ‘අපි’ සහ ‘උන්’ යන බෙදීම ඉතාම ගැටලුකාරී බව තේරුම් ගැනීම අපහසු නැත. එයටත් වඩා, දාර්ශනිකයෙක් ගේ අදහස් විමසා බැලීමට අපට ක්‍රිස්තියානි දෙවියන් පිළිබඳව විශ්වාසය කිසිසේත් අවශ්‍ය නොවේ. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබ කියවන දාර්ශනිකයා ට ඔබ එකඟ වන්නේ ද, ඔහුගේ/ඇයගේ අදහස් ඔබගේ වර්තමානය තුළ, ඔබගේ ජීවිතය මත තබා, ඔබගේ සාංදෘෂ්ඨික ප්‍රශ්න ඉදිරියේ පරීක්ෂා කර බැලීමයි. ඔබ විසින් ගවේෂණය කළ යුතු ප්‍රශ්නය ලෙස ඔබ ගේ පැවැත්ම විසින් ඔබට ඉදිරිපත් කරනා ප්‍රශ්නය කුමක්දක් කියා සොයා බැලීමයි. එය කිතු දහමට, බුදු දහමට, කලාවට, විද්‍යාවට, දේශපාලනයට, ආදරයට සම්බන්ධ වීම ඔබගේ ජීවිතයේ අහම්බය විසින් තීරණය කිරීමට ඉඩ දෙන්න – දර්ශනය ඒ ඇසුරින් ඔබට හසුරුවා ගැනීමට ඉඩ දෙනු ඇත.

වංගීස සුමනසේකර

%d bloggers like this: