Menu Close

ඉරණම් තුනක්!

ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව ආසියානු රටවල් තුනක්. 1991 වන විට මේ රටවල් තුනේම ශ්‍රමිකයින්ගෙන් අඩකට වඩා නිරතව සිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියාවකයි.

තායිලන්තය – ශ්‍රම බලකායෙන් 60.3%ක්
ඉන්දියාව – ශ්‍රම බලකායෙන් 62.6%ක්
උතුරු කොරියාව – ශ්‍රම බලකායෙන් 55.5%ක්

ඒ වන විට මේ රටවල් තුනේම දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය 2500 මට්ටමට වඩා අඩුයි.

තායිලන්තය – කැලරි 2,260යි.
ඉන්දියාව – කැලරි 2,297යි.
උතුරු කොරියාව – කැලරි 2,368යි.

බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක ඕනෑම රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රමුඛ ඉලක්කයක් විය යුතු බව කවුරුත් වගේ එකඟ වන කරුණක්නේ. ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව කියන රටවල් තුනත් ඔය ඉලක්කය පස්සේ හඹා ගියා. හැබැයි එකම ක්‍රමයකට නෙමෙයි. ක්‍රම තුනකට. දෙපැත්තට වැටුණු සත්තිගුම්බ ජාතකයේ ගිරවු දෙන්නා වගේ මේ රටවල් තුනේ කෘෂිකර්මයත් අදාළ රටවල ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඇසුරේ දශක තුනක් තිස්සේ වෙන වෙනම හැදුනා.

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ටිකෙන් ටික හැකිළෙන බව මම කලින් පැහැදිලි කරලා තියෙනවනේ. රටක වෙළඳපොළ නිදහස්ව හා විවෘතව තිබෙන තරමට ඔය වැඩේ වඩා වේගයෙන් වෙනවා. කෘෂිකාර්මික අංශයේ ඉන්න ශ්‍රමිකයින් ගොවිතැනෙන් ඉවත් වෙලා වැඩි ආදායම් ඉපැයිය හැකි වෙනත් රැකියා කරා යොමු වෙනවා. අවශ්‍යනම් රාජ්‍ය මැදිහත්වීම් මගින් ඔය වැඩේ සිදුවෙන වේගය අඩාල කරන්න පුළුවන්. එසේ කරනවාද නැද්ද කියන එක දේශපාලනික කරුණක්.

තායිලන්තය ඒ රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ඈත් වෙන එක වලක්වන්න වැඩිපුර උත්සාහ කළේ නැහැ. ඒ වගේම, නිදහස් හා විවෘත වෙළඳ ප්‍රතිපත්තියක සිටියා. ඉන්දියාව තායිලන්තය තරමට විවෘත වුනේ හෝ තරඟයට නිරාවරණය වුනේ නැහැ. එහෙත්, රටේ කෘෂිකර්මය මුළුමනින්ම ආරක්ෂා කළේ හෝ රට සංවෘතව පවත්වා ගත්තේත් නැහැ. උතුරු කොරියාව ප්‍රතිපත්තියක් ලෙස රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම ඉලක්ක කර රටේ කෘෂිකර්මය නැංවීම සඳහා විශාල රාජ්‍ය මැදිහත් වීම් කළා වගේම රටේ ආර්ථිකය සංවෘතව තබා ගනිමින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳ තරඟයෙන් ආරක්ෂා කරගත්තා.

මේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස තායිලන්තයේ ශ්‍රමිකයන් විශාල ලෙස කෘෂිකාර්මික අංශයෙන් ඉවත් වුනා. ඉන්දියාවේ එය සිදු වුනේ ඊට වඩා අඩුවෙන්. උතුරු කොරියාවේ හොඳටම අඩුවෙන්. 2017 වන විට මේ එක් එක් රටවල කෘෂිකාර්මික ශ්‍රම බලකායේ තත්ත්වය මේ විදිහයි.

තායිලන්තය – ශ්‍රම බලකායෙන් 31.6%ක්
ඉන්දියාව – ශ්‍රම බලකායෙන් 42.4%ක්
උතුරු කොරියාව – ශ්‍රම බලකායෙන් 51.3%ක්

අන්තිමට වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙන්නේ කවර ප්‍රතිපත්තියද කියා බලන්න වෙන්නේ මේ රටවල් තුනම විසඳුම් හොයපු මූලික ප්‍රශ්නය, ඒ කියන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක, කොයි තරම් දුරකට සිදු වෙලාද කියන එක මතයි.

2017 වන විට මේ එක් එක් රටේ දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය මෙහෙමයි.

තායිලන්තය – කැලරි 2,827යි.
ඉන්දියාව – කැලරි 2,517යි.
උතුරු කොරියාව – කැලරි 2,032යි.

ඉන්දියාව හා තායිලන්තය මේ වන විට ලෝකයේ වැඩියෙන්ම සහල් අපනයනය කරන රටවල් දෙකයි. උතුරු කොරියාව තවමත් වගා සංග්‍රාම කරනවා.

%d bloggers like this: