Menu Close

ආදි මානවයාගේ ගින්දර පාලනය පිළිබඳ විස්මිත නව අදහස

අතිපුරාතනයේ මිනිසා බිහි කර ගත් නව අදහස් සොයා යන ගවේෂණ චාරිකාවක ප්‍රථම සටහන.

කාලය – ක්‍රිස්තු පූර්ව 1,600,000 පමණ. ස්ථානය – අප්‍රිකාව

මානව ඉතිහාසයෙහි මුලින් ම මිනිසා ඇති කරගත් නව අදහස ගින්දර පාලනයයි.

මෙය සිදු වූයේ නව හෝමෝ සාපියන් මානවයා බිහි වීමට පෙරයි. එහි ගෞරවය හිමි වන්නේ හෝමෝ ඉරෙක්ටස් මානවයාටයි. ඔහු මුලින් ම ගින්දර හඳුනා ගත්තේ සොබාදහමෙනි. එකල ගිනි ඇති වූයේ දැඩි හිරු රැස් නිසා හෝ අකුණු වැදීම නිසා ය. අයාලේ යමින් සිටි ඔහුට අහම්බයක් ලෙස ගිනිගත් ගසක් හමු විය. පළමු දසුනෙන් ම ඔහුගේ හිස ගිනි ගත්තේ ය. එයින් නිකුත්වුණු තාපය ඔහු ගත වෙළා ගත්තේ ය. ඒ එතෙක් නුදුටු බිහිසුණු සතෙකැයි සිතා ඔහු පැන දිව්වේ ය.

හෝමෝ ඉරෙක්ටස් මානවයා

මඳ දුරක් දිව ගිය ඔහු නැවතී ආපසු හැරී බැලුවේ ‘ඒ සතා’ තමා පසුපස හඹා එනවා ද කියායි. අනතුරක ලකුණක් නැත. ඔහු හෙමින් හෙමින් යළිත් ඒ වෙතට කිට්ටු කළේ ය. ඌ සිටි තැන ම හිඳිමින් ඉහළට ගිනි දලු විහිදුවමින් දුම් පිට කරමින් සිටියේ ය. මඳ වේලාවක් බලා හිඳි ඔහු තම අත වූ දණ්ඩෙන් ඌට ඇන්නේ ය. ප්‍රශ්නයක් නොවූයෙන් යළිත් වරක් ඇන්නේ ය. ඉන්පසු දණ්ඩ ඉවතට ගනිද්දී එහි අග ගිනිදැල් තිබෙනු දැක බිය වී එය එක්වරම අත හැරියේ ය. බිම වැටුණු දණ්ඩේ ගින්දරෙන් වියළි පරඬැල් පිළිස්සෙන්නට විය. ඔහු යළිත් බිය පත් වී පලා ගියේ ය.

හෝමෝ ඉරෙක්ටස්ට මුලින් ම ගින්දර හමු වූ අවස්ථාව, මානව පරිනාමය පිළිබඳ බීබීසී ආයතනය නිපදවූ රූපවාහිනී වැඩ සටහනක නිරූපණය කර තිබුණේ එසේ ය.

ඉන්පසු තවත් විටෙක දැඩි සුළං ඇති වෙලාවක ගස් දෙකක අතු එකිනෙක ඇතිල්ලෙද්දී ඉන් ගිනි පුපුරු නිකුත්වනු ඔහු නිරීක්ෂණය කළේ ය. කෝටු කැබලි දෙකක් එකිනෙක අතුල්ලා එය අනුකරණය කරන්න ඔහු උත්සාහ ගත්තේ ය. මහත් වෙහෙසක් ගෙන ඉන් ගිනිපුපුරු නැංවීමට ඔහු සමත් විය. ඒත් ගින්දර මතු කර ගැනීමට හැකි වූයේ නැත. ඒ සඳහා පරඬැල් එකතු කළ යුුතු බව ඔහුගේ ඉව ඔහුට කියා දුන්නේ ය. ආදි මිනිසා මිනිස් ශිෂ්ටාචාරයේ ලොකුම පිම්ම පැන්නේ මෙසේ ගින්දර නිපදවීමට හැකි වීමත් සමඟ ය.

හෝමෝ ඉරෙක්ටස් මානවයා ගින්දර නිපදවූ අයුරු දැක්වෙන 
මෙම නිර්මාණය මොංගෝලියාවේ ජාතික කෞතුකාගාරයෙනි.
මානව පරිනාමය – මෙහි මැද ගිනි හුළක් අතින් ගෙන ඉන්නේ 
හෝමෝ ඉරෙක්ටස් මානවයායි.

මිනිසා ගින්දර පාලනය කරන්න සමත් වීම මානව ශිෂ්ටාචාරයේ මුල් ම විශිෂ්ටතම සලකුණ විය. එය මානවයාගේ පරිනාමයට ඉමහත් බලපෑමක් ඇති කළේ ය. ගින්දර මිනිසාට නපුරු වන සතුන්ගෙන් ආරක්ෂා වීමට උදවු විය. අඳුර දුරලීමට උපකාරී විය. උණුසුම ලබා දෙමින් සීතලෙන් මිදීමට මග පෑදීය. ඒ වන තෙක් භාවිත මෙවලම් නිමවා ගැනීමට සහය දුන්නේ ය. එසේ ම ගින්දර පිසූ ආහාර කෑමට ගැනීමට ඉඩ සැලසීය. ආහාර විෂ බීජවලින් හා කෘමී සතුන්ගෙන් පමණක් නොව වෙනත් ක්ෂුද්‍රජීවීන්ගෙන් තොර කර ගැනීමට මග පෑදී ය. ආහාර අමුවෙන් ගිල දැමීම වෙනුවට පෝෂණ ගුණයෙන් පිරුණු පිසූ ආහාර අනුභවය කරන ලොව එකම සත්වයා බවට මිනිසා බවට පත් කළේ ය.

-පර්සි ජයමාන්න

%d bloggers like this: