Menu Close

පිරිමි ලංසුවක් – 04 කොටස


“තාත්තා”


කොල්ලා සීතල වෙලා ගියා. විශේෂ දෙයකට ඇරෙන්න ඔහු කිසිම දවසක දරුවා බලන්න ආවේ නැහැ.


“උඹ හොඳට ඉන්න කොල්ලගෙ ජීවිතේ බිල්ලට දෙන්නද හදන්නේ සුනිල්” 


“උඹ මගෙ  මරණෙටවත් නාවට කමක් නෑ”


“ඒකා ඉන්න එක මට බරක් නෙමේ”


“ඌ අවුරුදු දෙකේ ඉඳන් මගෙ උණුහුමට හැදුන එකා වෙච්චි උඹ දැන් ඒකව මගෙන් උදුරගන්න හදන්නෙ ඇයි”


“ඌ ටිකක් ඉගෙනගෙන ඉහළට ආවා විතරයි”


“ඉස්කෝලේ ගමන නතර කරොත් උඹලා ඔක්කොටොම සහගහයි සුනිලෝ”


අත්තම්මා ඔළුවේ අතගහගෙනම බෙරිහන් දුන්නා. 


“අම්මා… මෙච්චර කාලයක් අනිත් උන් ටිකගෙ බඩ රැකුනේ එඩ්වින් මහත්තයට පිං සිද්ද වෙන්න”


“මං කොහොමද ඒ මිනිහගෙ ඉල්ලීම අහක දාන්නේ? “


“අම්මට උන් ගැන පපුව උණු වෙන්නැද්ද? මේකා ගැන විතරමද අම්මා දුක් වෙන්නේ”


“අනික මූට එතන අඩුවක් වෙන එකක් නෑ”
  
“මහත්තයා එදා ඉඳන් අපි දන්න කියන කෙනානේ”


“අම්මටත් පුළුවන් ඕනි වෙලාවක ගිහින් කොල්ලව බලලා එන්න”


“අම්මා අයියා කියන්නේ ඇත්තනේ”


පැත්තක හිටපු සේනකත් මැදින් පැනලා අයියගෙ කතාවට ලුණු ඇඹුල් දැම්මා.


“කොල්ලා එහෙ ගියොත් දෙයක් ඉගෙන ගනියිනේ අම්මා”


කියන්න කටට දාහක් දේවල් ආවත් ඈ පුතන්ඩියගෙ කතාව අහගෙන හිටියේ බොහොම ඉවසිලිවන්තව. කොහොමත් ගෙදරට පොඩි එකාව ගෙනාව දවසේ ඉඳන් ගෑණිටයි මිනිහටයි ඒකා එක්ක තිබුණේ ලොකු තරහක්.


මේ කිසි දෙයක අගක් මුලක් නොදන්න සිතුම් හිමින් හිමින් අත්තම්මා ලඟට ආවා.


“කොල්ලෝ රෙදි ටික අර ට්‍රන්කා පෙට්ටියට දාගෙන ලෑස්ති වෙයන්, පොඩි එකෝ උඹට අද යන්න වෙනවා මෙහෙන්”


“නාකි මට මුන් එක්ක හැප්පෙන්න බැහැ මගෙ රත්තරනේ”


කොල්ලව ලං කරගෙන අත්තම්මා හොඳටෝම අඬනවා. වෙන්නේ මොනාද කියලා හිතා ගන්න බැරිව කොල්ලත් බලාගෙන ඉන්නවා. 


“අනේ අත්තම්මේ…”


පොඩි එකා අත්තම්මගෙ චීත්තේ එල්ලිලා අඬන්න ගත්තා.
***


එදා අත්තම්මගෙ උණුසුමත් නුවර හුරු පුරුදු පරිසරයත් අකමැත්තෙන් වුනත් දාල යන්න සිතුම්ට සිද්ද   වුණා. කහ පාට ඇහැල මල් පිරිච්ච අත්තම්මගෙ ගෙමිදුල යස අගේට හැඩ වෙලා තිබුණේ කොල්ලට අලුත් ගමනට පාවඩ එලන්න වාගේ. සීතල සුළං රැල්ලක් හිමින් හිමින් ඇවිත් කොල්ලගෙ මූණට හරි  ආදරෙන් හාදුවක් තිබ්බා. ඒ සීතල සුළං රැල්ල වැලපෙන පුංචි කොල්ලගෙ හිත ආදරෙන් වැළඳ ගත්තා. 


ට්‍රන්කා පෙට්ටිය අතින් ගත්ත සිතුම් තාත්තගෙ පස්සෙන් වැටුණා. 


යන්න කලින් සිතුම් සුද්දා හොයන් සුද්දගෙ ගෙදරට ගියේ, ජීවිතේ නොතේරෙන කාලේ  ඉඳලාම අම්මෙක් තාත්තෙක්ගේ ආදරයක් නැතුව හැදිච්ච ජීවිතේට ලොකු සතුටක් ගෙනාව හොඳම යාළුවට සමුදෙන්න හිතාගෙන. 


“රන් මහත්තයා එන්න ආයෙත් ගමේ අපිව බලන්න”


සුද්දගෙ අක්කා ඇස් දෙකේ කඳුළු පුරවාගෙනම කීවා.  


හිතේ තියෙන දුක දෙන්නම කඳුලින් පිට කරා.
  
සුද්දගෙ ඇස් වලින් සට සට ගාල වැටෙන කඳුළු සිතුම් චූටි අත් වලින් පිහ දැම්මේ යාළුවා ගැන හිතෙ තිබ්බ අපමණ ආදරයෙන්.


වත්තේ තියෙන සාදික්කා ගස් පොළොවට කඩන් වැටෙන්න වගේ හරිම දුක්බර ලීලාවෙන් හුළඟට එහෙට මෙහෙට පැද්දෙනවා. 


මේ සාද්දික්කා ගස් උඩ සුද්දත් එක්ක නටපු හැටි කොහොම අමතක කරන්නද, අත්තම්මා හොයන් එද්දි   සාදික්කා ගස් අස්සේ හැංගිලා දෙන්නත් එක්ක අත්තම්මට හිනා වෙවී ඔච්චම් කරපු හැටි. සාදික්කා හොරෙන් කඩන් හංදියේ මුදලාලිට විකුණලා, ඒවායින් ගෙදරට හොරෙන් දෙන්නත් එක්ක නුවර ටවුමේ තම්බිගෙ කඩෙන් කාලා, වැව පාරේ ඔහේ ඇවිදපු හැටි. ඒ සල්ලි වලින්ම ඉස්කෝලේ දාපු හිල් වෙච්ච  සපත්තු දෙක වෙනුවට අලුත්ම සපත්තු කුට්ටමක් සුද්දගෙ බලකිරිල්ලට කොල්ලට ගන්න වුණු හැටි පුංචි හිතට දරා ගන්න බැරි  තරමටම ඒ මතක හරි ආදරණීයයි.


සිතුම් සුද්දව කියාගන්න බැරි ලෙන්ගතුකමකින් අන්තිම පාරටත් වැළඳ ගත්තා. 


“කොල්ලෝ වරෙන් ඉක්මනට”


“පහේ බස් එක මග ඇරුනොත් ආයේ යන්න වෙන්නේ මහා රෑට තමයි”


තාත්තා කෑ ගහනවා.


“මං ගිහින් එන්නම් සුද්දා”


“බුදු සරණයි ! රන් මහත්තයා “


සුද්දා අන්තිමට කියපු වචන ටික බස් එක මුල්ලට වෙලා වේදනාවෙන් කල්පනා කරමින් උන්නු ගමනෙම  හිතෙයි ගතෙයි දෙකේම මහන්සියට පුංචි සිතුම්ට නින්ද ගිහින් තිබුණා. අතරින් පතර අත්තම්මගෙ ආදරණීය ඇස් හීනෙන් පේන්නත් ගත්තා.


“ක්ක්ක්‍ර්ර්ර්ර්රාරාරාස්ස්ස් ….”


එක පාරම බස් එකේ වේගෙ පාලනය කර ගන්න බැරුව ඩ්‍රයිවර් මහත්තයා ගහපු බ්‍රේක් පාරට පොඩි එකා ගැස්සිලා ඇහැරුණා….    (ලබන සතියට)


අමා සිල්වා | සිත්තම් මායා 
%d bloggers like this: