Menu Close

ජීවිතයක වටිනාකම හරියටම කීයද?

ජීවිතයක වටිනාකම මිල කළ නොහැකියි වගේ කතා නිතර කියැවෙනවා. මේ කතාව ඇත්තද? ඕනෑම දෙයකට නියම මිලක් තියෙනවානම් ජීවිතයක වටිනාකමට මිලක් තියෙන්න විදිහක් නැද්ද?

වෙනත් හැම දේකටම වගේම ජීවිතයකටත් මිලක් තිබෙනවා. ටිකක් අමාරු වුනත් ඒ මිල ඇස්තමේන්තු කළ හැකි ක්‍රමවේදත් තිබෙනවා. ඒ ක්‍රමවේද අනුසාරයෙන් සිදු කළ ඇස්තමේන්තුත් තිබෙනවා. මහජන සෞඛ්‍යය, වෛද්‍ය ප්‍රතිකාර, නියාමන ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධ තීරණ ගන්නා අවස්ථා වලදී මෙවැනි ඇස්තමේන්තු ප්‍රයෝජනයට ගැනෙනවා.

කෝවිඩ්-19 හා අදාළව අනුගමනය කරන විවිධ ක්‍රියාමාර්ග වලදීද ජීවිතයක වටිනාකම සැලකිල්ලට ගන්න වෙනවා. රටක් ලොක් ඩවුන් කර තබා ගැනීමෙන් කෝවිඩ්-19 මරණ ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. එහෙත්, ඒ වෙනුවෙන් වෙනත් පාඩු රැසක් සිදු කර ගන්න වෙනවා. ඒ වෙනත් පාඩු මුදලින් මැනිය හැකියි කියා අපි හිතමු. එසේනම්, ඒ පාඩුව අඩුවන මරණ වල වාසිය සමඟ සැසඳිය හැක්කේ කෙසේද? මෙය කරන්නනම් රට ලොක්ඩවුන් කිරීම නිසා ඉතිරිවන ජීවිත වල වටිනාකම පිළිබඳ කිසියම් හෝ අදහසක් තිබිය යුතුයි.

ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කළ හැකි ප්‍රධාන ක්‍රම දෙයක් තිබෙනවා. පළමුවැන්න පුද්ගලයෙකුගෙන් කෙළින්ම අසා දැන ගන්නා සෘජු ක්‍රමයයි. දෙවැනි ක්‍රමය පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර විශ්ලේෂණය කරන වක්‍ර ක්‍රමයයි.

මේ ක්‍රම දෙකේදීම පළමුව කරන්නේ කිසියම් පුද්ගලයෙකු තමන් මරණයට පත් වීමේ සම්භාවිතාව කිසියම් ප්‍රමාණයකින් අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන්නට සූදානම්ව සිටින උපරිම මිල සොයා සොයා ගැනීමයි. ඉන් පසුව ඒ අනුසාරයෙන් ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කළ හැකියි.

උදාහරණයක් විදිහට ඔබට කෝවිඩ්-19 හැදුනොත් මිය යන්න 1%ක ඉඩක් තිබෙනවා කියා හිතමු. ඒ ඉඩකඩ නැති කර ගැනීම වෙනුවෙන් ඔබ උපරිම වශයෙන් කොපමණ මුදලක් ගෙවන්න ලෑස්තිද? මේ මිල රුපියල් මිලියනයක්නම් එයින් අදහස් වන්නේ ජීවත් වීමේ ඉඩකඩ 1%කින් වැඩි කර ගැනීමේ වටිනාකම රුපියල් මිලියනයක් බවයි. ඒ අනුව, මිය යාමේ ඉඩකඩ 100%කින් අඩු කර ගැනීමේ වටිනාකම රුපියල් මිලියන 100ක් කියා කිව හැකියි. මේ විදිහට ඇස්තමේන්තු කරන අගය සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම (value of a statistical life) ලෙස හැඳින්වෙනවා.

සෘජු ක්‍රමයේදී කරන්නේ නියැදි සමීක්ෂණයක් මගින් එක් එක් පුද්ගලයා තමන්ගේ ජීවිත අවදානම යම් ප්‍රතිශතයකින් අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන්න සූදානම් මුදල සෘජුවම අසා දැන ගැනීමයි.

වක්‍ර ක්‍රමය ඊට වඩා තරමක් සංකීර්ණයි. මෙහිදී කරන්නේ පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමයි. උදාහණයක් විදිහට කවුරු හෝ කෙනෙක් සල්ලි බෙදනවා. මේ සල්ලි ගන්න ගොස් පෑගී මැරෙන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. අපි හිතමු මේ සම්භාවිතාව 1/1000ක් කියා. රුපියල් 5000ක් වෙනුවෙන් මේ අවදානම ගන්නා කෙනෙක් තමන්ගේ ජීවිතයේ වටිනාකම ලෙස දකින්නේ රුපියල් 1000×5000 = රුපියල් මිලියන 5ක මුදලක්.

ඔය වගේ පෝලිමකට එකතු නොවන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ අවදානම් ගන්නා වෙනත්  අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෝටර් රථයක් පදවාගෙන ගමනක් යන කෙනෙක් අනතුරකට ලක් වී මිය යන්න යම් ඉඩක් තිබෙනවා. එහෙත්, බොහෝ දෙනෙක් ඒ අවදානම ගන්නවා. මසුන් මරන්න මුහුදු යන අය අනතුරකට ලක් වීමේ අවදානමක් තිබෙනවා. එහෙත්, ලැබෙන ආදායම වෙනුවෙන් බොහෝ දෙනෙක් එම අවදානම ගන්නවා.

සාමාන්‍යයෙන් මුහුදු රස්සාව කරන කෙනෙක් මුහුද ගොඩක් රළු දවසක මුහුදු නොයා ගෙදර ඉන්නවා. ඒ වගේ කෙනෙක් මුහුදු යන හා නොයන දවස් නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන මාළු වෙනුවෙන් ගන්නා ජීවිත අවදානම ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඉන් පසු ඒ අනුසාරයෙන් සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කරන්න පුළුවන්.

ඇමරිකාව වැනි බටහිර රටවල සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම පිළිබඳව පර්යේෂකයින් බොහෝ දෙනෙකු විසින් ඇස්තමේන්තු හදා තිබෙනවා. ඒ නිසා, ඇමරිකානුවෙකුගේ ජීවිතයක වටිනාකම පිළිබඳව බොහෝ දෙනෙකු එකඟ වන අගය පරාසයක් තිබෙනවා. මේ අගය ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 9ක් පමණ වෙනවා.

ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම පිළිබද පර්යේෂණ අධ්‍යයන සිදුව තිබෙන්නේ ඉතා අඩුවෙන්. එක් මෑතකාලීන ඇස්තමේන්තුවකට අනුව ලංකාවේ සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම ඇමරිකන් ඩොලර් 654,000ක් හෙවත් රුපියල් මිලියන 125ක් පමණ වෙනවා.

මේ ආකාරයට ඇස්තමේන්තු කරන සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම සාමාන්‍ය අගයක්. මෙවැනි ඇස්තමේන්තුවක් බොහෝ විට යොදා ගැනෙන්නේ රටටම බලපාන පොදු තීරණයක වාසි අවාසි සැසඳීම සඳහා බැවින් ජීවිතයක වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, කාලයත් සමඟ බොහෝ දේ වෙනස් වී මේ ඇස්තමේන්තුවත් වෙනස් වෙන නිසා වරින් වර එය යාවත්කාලීන විය යුතුයි.

Reference 
Viscusi, W. K., & Masterman, C. J. (2017). Income elasticities and global values of a statistical life. Journal of Benefit-Cost Analysis, 8(2), 226-250.

%d bloggers like this: