Menu Close

සැලසුමක් නැති පස් වසරක්!

අපි කවුරුත් විවිධ දේවල් සැලසුම් කරනවා. ගෙයක් හදන්න, උපාධියක් ගන්න, රස්සාවක් හොයාගන්න, පරස්තාවක් කරගන්න, කාර් එකක් ගන්න, රට පනින්න, ආණ්ඩුව වෙනස් කරන්න, ජාතිය ගොඩගන්න, ෂෝට් ලීව් එකක් දාලා කලින් ගෙදර යන්න, ගෙදර අලුතෙන් පේන්ට් කරන්න, කාමරේ අස් කර ගන්න, ගෙදරට හොරෙන් යාලුවෝ එක්ක හවසට සෙට් වෙන්න ආදී නානාප්‍රකාර සැලසුම් අපිට තියෙනවා. සැලසුම් කියන්නේ නරක දෙයක් නෙමෙයි.

අපට සැලසුම් අවශ්‍ය වෙන්නේ ඇයි? විකල්පයක් විදිහට හැම දෙයක්ම එවෙලේ ක්ෂණිකව තීරණය කරලා කරන්න පුළුවන්නේ. එහෙමනම් සැලසුම් මොකටද?

අපට මේ මොහොතේ වඩාත්ම වාසිදායක, අපට වඩාත්ම සතුටක් ගෙනදෙන, හොඳම තීරණය ගන්න පුළුවන්. එහෙත්, අපි අද ගන්න ගොඩක් තීරණ වල අනාගත බලපෑමක් තිබෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් තොලගාන කෙනෙකුට ඒ මොහොතේ ලැබෙන සතුට මත්පැන් වෙනුවෙන් වැය කරන මුදලට වඩා වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට ඒ මොහොතේ සතුට ගැන සිතා දිනපතා කරටි කැඩෙන්න ගහන කෙනෙක්ට අනාගතයේ දවසක ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ මොහොතේ ලැබෙන වාසි අවාසි වගේම අනාගත වාසි අවාසිත් සලකා බැලීමෙන් පසුවයි.

මෙතැනදී මතු වන ප්‍රශ්නය වන්නේ අනාගතය ගැන අපි හරියටම දන්නේ නැති වීමයි. අපි හිතමු අපිට අනාගතය නිශ්චිත ලෙස දකින්න හැකියාවක් තිබෙනවා කියා. හෙට මා වාහන අනතුරකට මුහුණ දෙන්න නියමිත බව අද දන්නවානම් මට එම අනතුරට හේතු වන ගමන නොගිහින් ඉන්න පුළුවන්. තමන්ගේ දුම්පානය කිරීමේ පුරුද්ද නිසා තව අවුරුදු දෙකකින් පසු පෙනහළු පිළිකාවක් හැදී සෑහෙන දුකක් විඳ මිය යන්න වෙන බව අද හරියටම දන්න කෙනෙක් බොහෝ විට අද දුම්පානයෙන් මිදෙනවා. ඒ වගේම, ජීවිත කාලයම දුම්පානය කළත් අවුරුදු අනූවක් යන තුරු ඉහින් බහින රෝගයක් හැදෙන්නේ නැති බව හරියටම දන්නා කෙනෙක් එම පුරුද්දෙන් මිදෙන්න තිබෙන්නේ අඩු ඉඩක්.

අපිට අනාගතය නිශ්චිතව දකින්න විදිහක් නැහැ. එහෙත්, අනාගතය ගැන අපිට යම් අදහසක් තිබෙනවා. උපාධියක් ලබා ගත්තොත් හොඳ රැකියාවක් ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. හොඳ රැකියාවක් තිබේනම් හොඳ පරස්තාවක් කර ගන්න තිබෙන ඉඩකඩ වැඩියි. ලොක්කාට මළ පැනලා ඉන්න වෙලාවක ඇහුවොත් ෂෝට් ලීව් එක අනුමත කරන්න තිබෙන ඉඩකඩ අඩුයි. අද ඉඳලා කීය කීය හරි ඉතුරු කර ගත්තොත් කාර් කට්ටක් ගන්න ලැබෙන ඉඩකඩ වැඩියි. ඔය වගේ දළ අදහසක් අපිට තිබෙනවා. අපි සැලසුම් හදන්නේ මේ දළ අදහස මතයි.

සැලසුමක් හදන්න කලින් පළමුව අනාගතය පිළිබඳව පුරෝකථනය කළ යුතුයි. මෙහෙම කළොත් කොහොම වෙයිද? මෙහෙම නොකළොත් කොහොම වෙයිද? අපට මේ විදිහට අනාගතය ගැන පුරෝකථනය කරන්න වෙන්නේ මේ මොහොතේ අපි දන්නා දේවල් මත පදනම්වයි. නමුත්, පසුව අලුත් තොරතුරු ලැබෙන විට කලින් හිතා හිටි දේ නිවැරදි නොවන බව තේරෙන්න පුළුවන්. හොරෙක්ට අහුවෙන්න යන බව කලින් තේරෙන්නේ නැහැ. තේරෙන කොට අහුවෙලා.

එකම තොරතුරු ටික දැනගෙන හිටියත් දෙන්නෙක් එක ලෙසටම අනාගතය දකින්නේ නැහැ. එය එක් එක් පුද්ගලයාගේ විශ්ලේෂණ හැකියාව මතද තීරණය වෙනවා. කාලය ගෙවෙද්දී තමන්ගේ මුල් විශ්ලේෂණය නිවැරදි නොවන බව කෙනෙක්ට පෙනෙන්න පුළුවන්.

ඉහත කී හේතු දෙක නිසා බොහෝ විට සැලසුම් හරියටම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා, කිසියම් සැලසුමක් ඕනෑම තත්ත්වයක් යටතේ මුලින් හිතපු විදිහටම ක්‍රියාත්මක කරන එක මෝඩ කමක්. අලුත් තොරතුරු ලැබෙන විට ඒ මත පදනම්ව අවශ්‍ය පරිදි සැලසුම වෙනස් කිරීම වඩා වාසිදායකයි.

මිනිස්සු වගේම රටවල්ද සැලසුම් සකස් කරනවා. සමාජවාදී රටවල් විසින් කාලයක් තිස්සේ උත්සාහ කළේ එක් මධ්‍යගත සැලසුමක් අනුව රටක බොහෝ කටයුතු සිදු කරන්නයි. මේ අනුව, රටේ සියලුම දෙනා මේ සැලසුමට අනුගත විය යුතුව තිබුණා. එවැනි සැලසුම් බොහෝ විට සකස් කළේ සුළු පිරිසක් විසින්. රටේ අනෙක් අයට සැලසුමට විරුද්ධ වීමේ හැකියාවක් තිබුණේ නැහැ. 2 + 2 = 5 කියා ආණ්ඩුව කියනවානම් මිනිස්සුන්ට ඒ බව පිළිගනු හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

ජෝර්ජ් ඕර්වෙල් යන ආරූඪ නාමයෙන් පෙනී සිටි ඉංග්‍රීසි ලේඛක එරික් ආතර්  බ්ලෙයාර් ඔහුගේ “1984” කෘතියේ මේ තත්ත්වය සමච්චලයට ලක් කළේ මෙහෙමයි.

“In the end the Party would announce that two and two made five, and you would have to believe it. It was inevitable that they should make that claim sooner or later: the logic of their position demanded it.”

“අවසානයේදී පක්ෂය විසින් දෙකට දෙකක් එකතු කළ විට පිළිතුර පහ බව දැනුම් දෙනු ඇති අතර ඔබට එය විශ්වාස කිරීමට සිදු වනු ඇත. ඔවුන් මෙවැනි ප්‍රකාශයක් කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. පක්ෂ ස්ථාවරය අනුව, එය තර්කානුකූලව සිදු විය යුතුම දෙයකි.”

ජෝර්ජ් ඕර්වෙල්ට මේ විදිහට ලියන්න පෙළඹුමක් ඇති කළේ සෝවියට් දේශයේ පළමු පස් අවුරුදු සැලැස්ම යටතේ එරට ඉතා වේගයෙන් කාර්මීකරණය කරන්න ගත් උත්සාහය තුළ අවුරුදු පහේ ඉලක්ක අවුරුදු හතරින් අත් කර ගැනීමට දැරූ උත්සාහය වෙන්න පුළුවන්. කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ වැනි කරුණකදී ඉහත ප්‍රකාශයේ පක්ෂය කියන එකට අවශ්‍යනම් ආණ්ඩුව කියන වචනය ආදේශ කරන්නත් පුළුවන්.

සෝවියට් දේශය අනුගමනය කරමින් චීනය, ඉන්දියාව, කොරියාව වගේ රටවල් ගණනාවක් පස් අවුරුදු සැලසුම් හැදුවා. සමගි පෙරමුණු ආණ්ඩුව 1972-76 කාලයේ ක්‍රියාත්මක කළේත් මෙවැනි පස් අවුරුදු සැලැස්මක්.

ඔය වගේ බරපතල සැලසුමක් නැතුව පටන් ගත්තත්, මේ බ්ලොග් එකටත් අදට අවුරුදු පහක්!

%d bloggers like this: