Menu Close

ශනිගේ වගතුග සහ ශනි ඒරාෂ්ටකයක් කාලයේ ඉන් මිදීමට කල යුතු දේවල්.

image_6a0ff7f31fශනි සත්‍යවාදීය. අවංකය. නිර්භීතය. වැරදි කරන්නාට දඬුවම් දීමට ශනි පැකිළෙන්නේ නැත. ශනි ගේ ඒ පණිවිඩය නිවැරදිව ග්‍රහණය නොකරන්නා ලෞකික ජීවිතයේ දුක් විඳ මැරී යයි. එය ග්‍රහණය කරන්නා එම ශනි ගේ අපල කාලය ලෝකෝත්තර ගුණ දහම් වඩා, තමාගේ භවගාමී ජීවිතයද ඉහළ තලයකට ගෙන යයි. ඒ නිසා ඇතිවන ප්‍රභාෂ්වර චිත්තය හේතුවෙන්, ලෞකික සේ ඔහුට හෝ ඇයට ඇතිවන අපලද හිරු දුටු පිණි මෙන් නැති වී යන්නේය. ශනි යනු බුද්ධි ගෝචර ග්‍රහයෙක් නොවේ.

එසේ හෙයින් ශනි ජය ගැනීමට බුද්ධිය භාවිතා කල යුතුය. ශනි හෙවත් සෙනසුරාගේ අපලය කෙනෙක් සෝවාන් වූ පසුව නැතිව යන්නේය යයි කියමනකි. 

ශනිගේ කාරක ස්ථාන අතරින් එකක් වන්නේ ‘දැඩි බවය’. ඒ නිසා බොහෝ කාලයක් පවතින, අතු පතර විවිධ අතට විහිද ගිය ‘නුග ගහ’ ශනිට හිමි වෘක්ෂය වන්නේය. නුග ගහේ ලක්‍ෂණ බොහොමයක් දරන බෝ ගහද මේ සඳහා හොඳ උදාහරණයක් සේ ගත හැක්කේ, බෝධි පූජා ලංකාවේ සමාජකරණය වී ඇති හෙයිනි. එසේම ශනිට කැත කුණු වල ගාණක් වත් නැත. එසේ හෙයින් ඕනෑම ජරා ගොඩාක් අවුස්සන කපුටා ශනිට හිමි පක්ෂියා වේ.

ශනි පැහැයෙන් කළු වේ. නමුත් කළු පැහැය පෙන්වීමට ගන්නේ නිල් පැහැය වේ. හේතුව නිල් තිර වලින් වටකර පැහැයට දැල්විය හැකි ලාම්පු භාවිතය කල හැකි වූ හෙයිණි. ඊයම්, පට පිළි, කහට රස දේ, නිල මැණික්, නිල් තිර, නිල් මල් මෙන්ම නිල් පැහැය ශනි ගේ නියෝජන වේ. එසේ හෙයින් නිල් පැහැය ශරීර වර්ණය වන විෂ්ණු දෙවියන්ගේ පිහිට, ශනි එරාෂ්ටක කාලයේ ලැබීම ප්‍රයෝජනවත් වේ. අපි ශනි ග්‍රහයාගේ ස්වරූපය විමසමු. 

කටයුතු ඉතා සෙමෙන් කරන, සිහින් දිග සිරුරක් ඇති, ලොකු දෑත් ඇති, කළු පැහැ වාතාධික,මහළු කාලකන්ණි  පෙනුමක් ඇති කෙනෙකි. සම්මතව පහත්  කුලයේ කෙනෙක් වන අතර රතු පැහැ දෙනෙත් සහ, වම් කකුලේ කොරයක් ඇත. ශරීරය වෙහෙසන මෙන්ම කුලයට නුසුදුසු රැකියා කරන කෙනෙක් වේ. ශරීරයේ නහර හා ස්නායු නියෝජනය කරයි. රෝග වශයෙන් සෙම් අමාරු, චර්ම අමාරු, ලේ දූෂිත වීම්, පක්ශාඝාතය ඇති කරයි. ඔහුට හිමි ද්‍රව්‍ය වන්නේ, බැබිල, විෂ්ණුක්‍රාන්ති, රසකිඳ, කළුතල, විළඳ, ජටාමාංශ, සතකුප්ප, කළාදුරු, ජටාමාංශ, කළු උඳු, ලෝකඩ, කළු තල වේ. ශනි අපලයෙදී පළඳින්නේ නිල් මැණික්, කාක නිල් සහ ලාභ ලෝහ වේ.

ඉහත කී බොහෝ බෙහෙත් ද්‍රව්‍ය බෙහෙත් කඩ වලින් ගත හැක. මේවා ජලයට මුසු කර, ස්නානය සඳහා මෙන්ම බීමට හැකි දේවල්, බීමද ගුණ දේ.   

හින්දුත්වයේ දෙවියන්ගෙන් යදින ආධාර ලබා ගැන්ම සහ බෞද්ධ ක්‍රමය අනුව දෙවියන්ගෙන් ආධාර සහ පිහිට ලබා ගැන්මේ වෙනසක් ඇත්තේය. බෞද්ධයන් යදින්නේ නැත. එයද මෙහි කීම වැදගත්ය. දෙවියන් ඒ ආධාර පිහිට වැඩියෙන් ලබා දෙන්නේද ඒ ඒ පුද්ගලයාගේ උසස් මානසික භාවය වැඩිවන තරමටය. …”හිටියොත් හොඳට හැදී -දෙවියොත් නුඹට වඳි”… සේ කියමනක් ඇත. කෙනෙක් ඉතා උසස් ගුණ ධර්ම වලින් යුතු වන්නේ නම්, එවැනි කෙනෙක් වැරදීමකින් හෝ දෙවියන් යැද්දොත් කුමක් වේද? දෙවියන් ගසෙන් බසිනු ඇත. එයත් හරියට සාමාන්‍ය මිනිසෙක්ට, උසස් ගුණ සම්පන්න භික්‍ෂුන් වහන්සේ කෙනෙක් වැන්දොත් වැනිය. එය නොවන දෙයකි.
එසේ හෙයින් මිනිස්සු වන අප දෙවියන් යැදිය යුතු නැත.

කරදර, දුක්මුසු බව හෝ ලෙඩ රෝග නිසා ඇතිවන කළකිරුණු බව තිබෙන විට යැදීමට මිනිසා පෙළඹේ. කොතරම් කරදර බාධක තිබුනත් යැදීම කල යුතු නැත. ඉංග්‍රීසි කියමනක් ඒ ගැන ඇත්තේය. .. “When you pray, you become the prey”… ලෙසය.  Pray යනු යැදීමද, prey යනු ගොදුරද වේ. … “ඔබ යදින්නෙක් නම්, ඔබ ගොදුර වේ”… එහි තේරුමයි.

දෙවියන් ගැන අපගේ ආකල්පය විය යුත්තේ බලවත් මිත්‍රයන් සේය.    

බුදු දහමේ ලෞකික ප්‍රාර්ථනා වලට එතරම් ඉඩක් නැත. එහෙත් ඒවා ලැබෙන්නේ, එනම් ඉටුවන්නේ කෙනෙක්ගේ ප්‍රතිපත්ති පූජාවේ ඔහු හෝ ඇය හැසිරෙන ආකාරය මතය. රතන සූත්‍රයේ මුල් කොටස් කල්පනාවෙන් කිවහොත් එය පැහැදිළි වනු ඇත. … “දිවා රාත්‍රී තොපට බලි පුද පූජා කරන මිනිසුන්, කෘත ගුණයේ පිහිටා රකිව්”… සේ එහි අර්ථ දැක්වේ. එය බුදුන් වහන්සේගේ ආඥාව වේ. එයට විරුද්ධ වන්නට තුන් ලොව සිටින කිසිම දෙවියෙක්ට හෝ බ්‍රහ්මයෙක්ට නොහැක. මෙහි ‘බලි’ යන්න සතෙක් මරා පූජා කිරීම නොවන බව කීම අනවශ්‍යය. මක්නිසාදයත් බුදු දහමේ ඊට ඉඩ නොමැති හෙයිණි.

දෙවියන් හට පින් දහම් කිරීමේ හැකියාවක් නැත. දෙවියන්ට පිං අනුමෝදන් කිරීම බෞද්ධ සිරිත වේ.

එනම් ඉන් පසු, … “දෙවියනි මේ පින් අනුමෝදන් වීමේ කෘත ගුණය සලකා, මගේ ලෙඩරෝග සුවපත් වීමට ආශිර්වාද කරත්වා “…හෝ, .. “මේ කරදර වලින් මිදීමේ මාර්ගය මට පෙන්වා දෙත්වා”…සේ ගෞරවයෙන් කරන පැතුම යැදීමක් නොවේ. එය හුවමාරුවකි.  

ශනි ග්‍රහයාට කරන පූජාවක සංස්කෘතික සහ කලාත්මක මුහුණුවරක් ඇත්තේ, එය කාලයක් කෙනෙක්ගේ සිතේ පැළපදියම් වීම සඳහා වේ. තවද ඉන් සිතට සහනයක් සහ පහන් ආගමික මුහුණුවරක් ඇති වේ. ශනිගේ නියෝජන මේ පූජා සඳහා ගත් විට පැරණි පූජා ක්‍රමය මෙසේ වන්නේය.

ශනි ග්‍රහයාට වින්ශෝත්තරී දශා ක්‍රමය අනුව වසර 19ක් හිමි වේ. එසේ ශනි ග්‍රහයා මුර්තිමත් කරන තෙල් වර්ග අබ සහ ගිතෙල් වේ. ශනි ග්‍රහයා මෘත කාරකයා හෙයින් මරණය නිරුපණය කරන බස්නාහිර දිශාව ඔහුගේ දිශාවයි. කළු පැහැය නිල් වර්ණයෙන් නිරුපනය කරන බව ලියා ඇත. එසේ හෙයින් පහන් 19 ක්, ඇති තරම් පිරිසිදු ගිතෙල්, ඇති තරම් නිල් මල් සහ බුලත් කොළ 57 ක් සොයා ගන්න. මේ බුලත් කොළ වල නැටි කපා කොළ තුනක් තුන් පැත්තට තබා, ඒ උඩ අබ තෙල් හෝ ගිතෙල් දමා ඇති පහන තියන්න. නිල් මල් ඒ බුලත් කොළ උඩින් තබන්න. මේ ආකාරයට සකසන ලද පහන් 19, සුළඟ නිසා නොනිවෙන අයුරෙන් දුන්නක ස්වරූපයෙන් තබා, එම දුන්න මෙන්ම දැල්ලද බටහිරට එල්ල වන පරිදි දල්වන්න.

මෙහි දුන්නක් ස්වරූපයෙන් තබන්නේ ශනි ග්‍රහයාගේ මණ්ඩල ලක්‍ෂණය පිළිබිඹු වීමටය. එය දුන්නකි. ඉන් පසු   සාමාන්‍ය බෝධි පූජාව සඳහා කරන කියන පිළිවෙත් කල යුතුය. තෙරුවන් නැමදීමට පන්සලට යන විට කරන පුද පූජා හෝ වන්දනාමාන වලට මේ පූජාව වැඩියෙන් එකතු කිරීම පමණක් කෙරේ. තෙරුවන් නැමද ගාථා කියා අවසානයේ දෙවියන්ට පිං දීමේදී විශේෂයෙන් ඉහත අයුරෙන් විෂ්ණු දෙවියන්ට පිං දී, කෘත ගුණය සලකා ඔබට  හෝ ඒ ආතුරයාට ඇති ශනි අපල වැළැක්වීම සඳහා පිහිටාරක්ශාව ඉල්ලා සිටින්න.

මෙය ආමිස පූජාවයි. වඩාත් වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාව බව අප දනිමු. ශනි ග්‍රහයා සඳහා කරන ප්‍රතිපත්ති පූජාද ඔහුගේ නියෝජන ආශ්‍රිත විය යුතුය. ප්‍රතිපත්ති පූජා කිරීම සඳහා මානසික ව්‍යුහයක් තනා ගැනීමට ඉහත ආමිස පූජා මුල් වේ.

දිනපතා තෙරුවන් වන්දනාමානය සහ අවබෝධයෙන් යුතුව තුන් සූත්‍රය සජ්ජායනා කිරීම, මෛත්‍රී භාවනාව වැඩීම, ගුරුවරු දෙමාපියන්ගේ වචනය පිළිපැදීම, සත් පුරුෂ ආශ්‍රය, ධර්ම ශ්‍රවණය, චිත්ත පාරිශුද්ධභාවය, සහ ශනි ග්‍රහයාගේ ඉහත නියෝජන වලට අදාළ පුණ්‍ය කර්ම කිරීම ශනි අපලය දුරු කිරීමට වැදගත් වේ. උදාහරණයක් සේ ආරණ්‍ය වාසී හුදෙකලා භික්ෂුන් වහන්සේලාට උපස්ථානය සහ දන් දීම, මහළු නිවාස වලට දන් දීම, මහළු අය රැක බලා ගැනීම, අංශ භාග රෝගීන්ට උපස්ථාන කිරීම ශනි ගේ පූජා නියෝජන වේ.

ආබාධිත හිඟන්නෙකුට සෙනසුරාදා දිනයක උදේ කාලයේ බත් සමඟ එළවළු දන්දීම, සෙනසුරාදා දිනයක අලුයම කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් දන්දීම, මේ ආකාරයේ දාන දීමෙන් පසුව දෙවියන්ට පිං අනුමෝදන් කිරීමද සිදු කළ යුතුය. කැමති කෙනෙක්ට ශනි මෘතුන්ජය නම් යන්ත්‍රය භාවිතා කල හැක. එහෙත් ඒ ක්‍රම නිවැරදිව කරන්නේ කව්දැයි දැන ගැනීම අපහසුය. 

මෙසේ කරන විටදී චිත්ත පාරිශුද්ධිය ඇති වීමෙන් ඒ ශනි අපල දුරුවේ යන්න, ශ්‍රාස්ත්‍ර නියමය වේ.   
    

 

    

      

    

%d bloggers like this: