Menu Close

අටවිසි මහල -12 පින්තුරයේ හිටි ළමයා කවුද ?

මේ කතාවේ මුල් කොටස් මෙතැනින්

දනම්  නිදා ගන්නට වෙන්නේ නැති බව දැනගත්  සිල්වා  ලොකු උණුවතුර බෝතලය පිරෙන්නට අලුත් කෝපි හදා ගෙනැවිත් කන්තෝරු මේසයේ කෙලවරක තැබුවේය.

නැත්නම් මනෝ බොස්ට  කෝපි  කෝප්පයක් ඕනෑ  වූ ගමන් තමන්ගේ කුකුල් නින්දට බාදා වෙන බව ඔහු දැනගන හිටියේය  . අනෙක් අතට අම්රිතාගේ පැමිණීම ගැන සිල්වා සතුටු වී සිටියේය . ඈ තනිපංගලමේ, රැයේ  රාත්‍රියේ පිරිමින් පමණක් සිටින කන්තෝරුවකට පැමිණීම පිලිබඳ සිල්වාගේ මෙන්ම වෙන කවුරුන් තුලත් කහටක් නොතිබුණේය . ඈ  මොන තරම් ආකර්ශනීය  කාන්තාවක් වුනත් තමන් අසලටම කිසිවෙකුට ලං  වීමට බැරි වෙන විදිහේ අදෘශ්‍යමාන ආරක්ෂක වළල්ලක් පවත්වාගෙන යන බවක් ඔවුන්ට දැනිණි .

“මනෝරන්ජන් කෑම  කන්න ” අම්රිතා කියද්දී මනෝරන්ජන් උප කොන්ත්‍රාත්කරුවන්ගේ ලැයිස්තුව පිරික්සමින් සිටියේය .  හැම දේටම මිනිස්සු ඉන්නවද කියල බලන්න එපැයි ” ඔහු කිව්වේ තවත් චෙක් ලිස්ට් එකක හරි ලකුණු දමාගෙන යන ගමන්ය.

” කෑම  කන්න ” අම්රිතා නැවතත් කිව්වේ තරමක් උස හඬකිනි . ඒත්  එය පෙර වතාවට වඩා මෘදු ආදරණීය බවක් පල කළේය .
” මම සිල්වාට කියල ආප්ප ගෙන්නාගෙන කෑවා . අම්රිතා අපරාදේ කරදර වුනේ ” මනෝරන්ජන් එසේ කියද්දීත් ඔහු අම්රිතා ගෙනා ආහාරය රස විඳීමට කැමැත්තෙන් සිටිනා බව අම්රිතා දැන  සිටියාය . බටර් නාන්  රොටියක් මිංචි කොළ ස්වල්පයක්, නිවිති කොළ  පනීර් සමග අඹරා  තැනු  පාලප්පනීර් හෝ චිකන් මසාලා හොද්දක් එහි තිබෙන්නට පුළුවන ” ඒත්  මේ හදිස්සියේ අම්රිතාට ඒවා උයන්නට බැරි වෙන්නට ඇති “. ඔහු සිතුවේය .

 මනොරන්ජන්ගේ  ප්‍රතිචාරය ගණනකට නොගත්  අම්රිතා ප්ලාස්ටික් බෑගය අතට ගත්තාය .   ඇලුමිනියම් කොළයේ  එතු රොටිය දිග හැර  නිකල් පාට භාජනය පරිස්සමින් විවර කර මේසය මත තැබුවාය  .

” මම යකඩ කම්බි ෂෙඩුල්  එක බලන්නම් ” ඇය  කීවාය .

කාමරය පුරවා විහිදෙන මිහිරි  කෑම  සුවඳත් සමග මනෝරන්ජන්ගේ  සිත අතීත ස්මරණ  තොටිල්ලක පාවෙන්නට පටන් ගත්තේය . ඔහු කෑම  ගත්තේ තනිකරම සිත මෙතැනින්  ගැලවී ඈත  මැද පෙරදිග වැඩබිමක හෝ  පුංචි ගෙයක හෝ කෝපි  හලක තබාගෙනය . ඒ හැම තැනම අම්රිතාද සිටියාය .  

 මීට අවුරුදු හයකට කලින් ඉදි කිරීම්, සැලසුම්, කම්බි විස්තර, ඒවායේ ප්‍රමාන  ආදී මේ කිසිවක් නොදැන තම වැඩබිමට ආ අම්රිතා මේ කාලය තුල ලබාගෙන තිබු දැනුම ගැන ඔහු පුදුම වුනේ නැත  . මුල් කාලයේ ඇය  රහස් පරීක්ෂිකාවක මෙන් තමන්ට අදාළ හා අදාළ නොවන හැම   දේම ගැන හාරා අවුස්සද්දී ඔහු මෙන්ම තවත්  කිහිප දෙනෙකුට එය නුරුස්නා කාරණක් වුනේය. ආරක්ෂක පහසුකම් සපයන අංශයේ ලිපිකාරිණියක් මෙන් රස්සාවට ආ තරුණිය තමන්ගේ තරමට ඉදිමෙන්නට ඕනෑ කියා ඔහු ඒ කාලයේ සිතුවේය.

“මේක මෙහෙම වෙන්න ඇත්තේ රිචර්ඩ්  වගේ කෙනෙක් අපිත් එක්ක හිටපු හින්දා වෙන්න ඇති” .

මනෝරන්ජන් කල්පනා ලෝකයෙන් එලියට එද්දී ඔහු අතේ තිබු අන්තිම රොටී කැබැල්ල මසාල හොද්දේ අන්තිම බින්දුව හොයමින් බඳුන අඩියේ එහා මෙහා ඇතිල්ලෙමින් තිබුනේය .  

ඔහු කා බී තෘප්තිමත් වුවාට පසු සුපුරුදු කතාව පටන් ගත්තේය .
” අම්රිතා දන්නවාද එම්පයර් ස්ටේට් බිල්ඩිම තට්ටු එකසිය දෙකක්. ඒක  සැලසුම් කරලා හදල ඉවර කරන්න කොච්චර කාලයක් ගියාද කියල ?”

ඒ වනවිට අසේල යළි පැමිණ  සිටියේ  කාබෝලික් සබන් සුවඳ තාමත් ඉතිරි වී තිබු  සිරුර අලුත් ටී ෂර්ටයකින් හා දිග කලිසමකින් වසාගෙනය .
ඔහු උනන්දුවෙන් මනෝරන්ජන් ගේ කතාව අසන්නට හරි බරි ගැහුනේය. අම්රිතා සිය කාරිය නතර නොකරම මීට පෙර කිහිප වතාවක් අසා සිටි මේ කතාවට යම්තමින් සවන් දුන්නාය .

එම්පයර් ස්ටේට් තියෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරෙ. බිල්ඩිමේ නමට  දාලා තියෙන්නේ නගරෙට කියපු වෙනත් නමක්. ඉතින් මේ බිල්ඩිම තමයි 1931 ඉඳන් 1970 වෙනකම් අවුරුදු හතළිහක්  ලෝකේ උසම බිල්ඩිම  වුනේ .

“තට්ටු කීයද මනෝ  මහත්තයා ?”

” මං  දැන්  සැරයක් කිව්වනේ . තට්ටු එකසිය දෙකයි . ඒ මුළු බිල්ඩිමේ ඩ්‍රෝවින් ඇඳලා , මේ වගේ ඉස්සරහ වැඩ ටික සැලසුම් කරලා , හදල ඉවර කරන්න ගියේ මාස විස්සයි . අපිට තට්ටු විසිඅට හදන්න විතරක්   මාස විසි හතරක්ම  දුන්නා. ඒ දෙනකොට ඔක්කොම ඩිසයින්  කරලා ඉවරයි. අපි දැන් මාස තුනක්ම ඉවර කරගෙන තියෙන්නේ  “

අසේලගේ මුහුණේ  යම් වරදකාරී මෙන්ම අසතුටුදායක පෙනීමක් මතු වී එද්දී   මෙතක් වෙලාවක් කතාවට සම්බන්ධ වී නැති බවක් පෙන්නුම් කළ  අම්රිතා කට ඇරියාය .
” ඔය කතාව  කල් ඇතිව ප්ලැන්  කරලා  පුංචිම විස්තරෙත් කල් ඇතිව ලියාගෙන වැඩ කරන එකේ වාසිය කියල දෙන්න ගන්න උදාහරණයක් . අමතක කරන්න එපා ඒක  යකඩ බිල්ඩිමක්. එක තට්ටුවක් සතියෙන් අමුණන්න  පුළුවන් . යකඩ ටික වෙන තැනක් හදලා , කපල, තවු විදලා, පාට ගාලා ගෙනල්ලා හයි කරන එකනේ තියෙන්නේ . ඒත් අපි හදන්නේ කොන්ක්‍රීට් බිල්ඩිමක්. මේකේ අලුත් කොන්ක්‍රීට් තට්ටුවක් හයි වෙන්න සති දෙකකට වඩා යනවා . මොනවා කලත් එක තට්ටුවක් හදන්න සති තුනක්වත් යනවා . “

ඒ තරම් සන්තෝෂයෙන් නොවුනත් මනෝරන්ජන් කතාව නවතා යලි වැඩට බැස්සේය .  ඒ අතරේ අසේල කලින් නවත්වා තිබු රුප සටහනක වැඩ කටයුතු කරගෙන ගියේය . එනම් වැඩබිම එක එක වර්ගයේ සේවාවන් සඳහා කලින් කලට පාවිච්චි  කරන්නට ඕනෑ භුමි  සැලැස්මයි.  මේ හරියෙන්  පොලොව යට වතුර ටැංකිය එනවා . මේ හරියෙන් ස්ථිර සේකුරිටි කාමරේ එනවා. මෙතන පඩිපෙළ. මෙතන ලිෆ්ට් එක.    පොඩි පොඩි ඔෆිස් , ගබඩා සේරම බිල්ඩිම හැදෙන තැනෙන් එලියට .  බිම කොන්ක්‍රීට් දාන්නේ මේ පිළිවෙලට. ඉස්සරහ පැත්ත කලින් ඉවර කර ගත්තොත්  බඩු  ගේන  ඒවාට ලේසියි. පලංචි බඩු  මෙතනින් . ටවර් ක්රෙන්  එක මෙතනින් ආදී වශයෙන් කලින් පිළියෙළ කර තිබු වැඩ පිළිවෙල ඔහු හාර හාරා කල්පනා කළේය. ටික වෙලාවකින් මනෝරන්ජන්ද ඔහු හා එකතු වුනේය . දෙන්නා තර්ක විතර්ක මැද  පාන්දර වෙද්දී සතුටුදායක එකඟතාවයකට පැමිණ සිටියහ .

අම්රිතා දිගටම යකඩ කම්බි අඩුම නාස්තියක් වෙන පරිද්දෙන් කම්බි ලයිස්තුවේ හැටියට  විශාල කොන්ක්‍රීට් තට්ටුවට ඔනෑ  කරන සියලු දේ වෙන් කර ගත්තාය .  පාන්දර එලිය වැටීගෙන එන විට අසේල වාඩි  වී හුන් පුටුවෙම හිඳගෙන  ගොරවන්නට විය. ඔහුට හීනෙන් පෙනුනේ පළමු තට්ටුව දමන දවසේ මුහුදු වෙරළේ පැවැත්වෙන දැවැන්ත සාදයකි. හිරම හිර කොට කලිසමක් ඇඳගෙන සිටි අම්රිතා හැමෝටම ඉහලින් වූ තැනක රිචර්ඩ් හා නටමින් සිටියාය . අනෙත් සියල්ලන් බීමත්ව ඔවුන්  අසල වටයක් සෑදී   කෑ කෝ ගසමින් සිටිද්දී කොහේදෝ සිට පැමිණි  මනෝරන්ජ්න්  රිචර්ඩ්ගේ  කමිසයෙන් ඇද බිමට හෙලුවේය . ඉන්පසු ඔහු  අම්රිතා සමග නටන්නට පටන් ගත්තේය.  මුහුදු වතුර ඉස්සී ගසාගෙනවිත්  ඔවුන් දෙදෙනාම තෙමී  ගියාට පසු මනෝ රන්ජන් සමග නටමින් සිටියේ අම්රිතා නොව නෙතදරාය.  ඈ  ඇඳ  සිටියේ මොහොතකට පෙර අම්රිතා හැඳගෙන  සිටි ඇඳුම් කට්ටලයමය .

මොහොතකින් සුදෝ සුදු ලෝගුවක් ඇඳගෙන තමා අසලට ආ අම්රිතා  සිය  අතින් අල්ලා ගනිද්දී අසේලට  ඒ අත  ඉතාම සීතලට දැනිණි .  ඔහු නින්දෙන් පිබිදුණේය

‘ අසේල ගිහින් කාමරෙන් නිදා ගන්න . කෝපි කෝප්පයක් තොලගාමින් සිටි මනෝරන්ජන් සිනාසෙමින් කීවේය. අසේල අම්රිතා දෙසත් මනෝරන්ජන් දෙසත් පුදුමෙන් මෙන් බැලුවේය. ඔවුන්ගේ මුහුණේ නිදි මැරු  පාටක් හෝ වෙහෙසකර බවක් නොපෙනිණි .
අසේල හිනැහෙමින් ගොස් කාමරයට පිවිස ඇඳේ  වතිරුනේය  .

“මේ ටික කර ගත්ත නිසා අද හවස මීටිමට මට හොඳ විශ්වාසෙකින් යන්න පුළුවන්. කට ඇරලා කතා කරන්න පුළුවන් ” මනෝරන්ජන්  කීවේය .
” ඒ ටික දන්නා නිසා තමයි අපි ඊයේ රෑ  ඇවිල්ල උදව් කලේ. ඔයා එක එක ඒවාගෙන් ඔලුව අවුල් කරගෙනනේ ඉන්නේ ” අම්රිතා කීවාය .

මනෝරන්ජන්  ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් අම්රිතා වෙත හෙලද්දී ඈ  යලි කතා කාලය .
” එක අතකට මට අයිතියක් නෑ ඔයාගේ පුද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න . අනික් අතට නැත්තෙමත් නෑ . මොකද ඔයාගේ ඉරණමේ හොඳ හරි නරක හරි වෙනසක් කරන්න මමත් සම්බන්ධ වුනානේ  මනෝ . ඒ නිසයි මම කියන්නේ . ඔයා විහිලුවට ආදරේ කරන කෙනෙක් නෙවෙයි. අර ගෑනු ළමයා එක්ක මොනා හරි සම්බන්ධයක් තියෙනවනම් ඒක  වෙන දෙයක්ද කියල ඉස්සෙල්ල හොයල බලන්න. පස්සේ ඔයා ආයෙමත් විඳවනවා බලන්න මම කැමති නෑ ”  අම්රිතා “ආයෙමත් ” යන වචනය අවධාරණය කරද්දී අගේ දෙනෙත් ලිහී කඳුළු කැට පේලියක් රූරා  වැටුණේය.

 මනෝරන්ජන් නිහඬ වුනේය . ඊයේ හවස නෙතදරා අහම්බෙන් හමු වීම . ඈ  නොකියාම සරසවි යන්නට පටන් ගැනීම . මේ සියල්ල අතරේ මනෝ රන්ජන් සිය අතීත චාරිකාව යලි ඇරඹීය .

ඉන්පසු ඔහු බොහෝ වෙලාවක් නිහඬව කල්පනා කළේය. විටින් විට එලියට ගොස් සිගරට් බිව්වේය. කෝපි  බිව්වේය. සිල්වා, මිස්කින්, අසේල සියල්ලෝ නින්දේය. අම්රිතා මේසයට ඔලුව ගසාගෙන ඉකි බිඳිමින් සිටිමුත් දැන් ඇයට  නින්ද ගිහිල්ලය .  මනෝරන්ජන්ට දැඩි වෙහෙසක් දැනුනේය. අම්රිතා ගෙදර ඇරලවා එන්නට සිතා ඔහු රථයේ යතුර සෙව්වේය. එහෙත් එය සොයා ගැනීමට බැරි වූ නිසා යලි හෙමින් සැරේ ඇවිදගෙන සිය නිදන කාමර පෙළ  වෙත ගියේය . 
නින්දේ සිටින අසේල අහරවන්නේ නැතිව යතුර සොයා ගන්නට නොහැකිය . ඔහු අසේලගේ බාහුවට අතක් තබා සෙලවුවේය .
පැය  දෙකක කෙටි  නින්දෙන් අවදි වී වහා ඇඳ  උඩ  ඉඳගත් අසේල තියුණු ලෙස හාත්පස බලද්දී  මනොරන්ජන් පැමිණ සිටින බව තේරුම් ගියෙන් ඔහු නැගී සිටියේය .

අසේලගේ මේ ආකාරයේ පරෙස්සම් සහගත හැසිරීම ඔහුට පුරුදු වුයේ  ඔහු මරණ බයෙන් ජීවත් වූ කාලයකදී  බව මනෝරන්ජන් දනී .

“අසේල තරහ වෙන්නෙපා නින්ද කඩුවට මට වාහනේ යතුර හොයා ගන්න බෑ . අම්රිතාව ගෙදරට අරලවලා එන්න ඕනි .”

එසේ කියද්දී අසේලට යතුර තැබූ තැන සිහිපත් විය. පෙරදා ඇඳගෙන සිටි කලිසම් සාක්කුවේය. යතුරු හා සියලු අම්පන්න තැබිය යුතු වෙනම තැනක් වැඩ බිමේ හා නවාතැනේ විය. ඒ මනොරන්ජන්ගේ අණයි .

අසේල යතුර රැගෙන මනෝරන්ජන් වෙත දිගු කරන විට මනෝ මහත්තයාගේ  ඇස්  දොඹ ගෙඩි මෙන් රතු වී මුහුණ තඩිස්සි වී තිබෙනු දැක මෙසේ කිව්වේය.

” මනෝ මහත්තයා එක ඩිංගක්වත් නිදා ගත්තේ නෑ  නේද ? හවස මීටිමටත් යන්න තියෙන නිසා දැන් ටිකක් නිදා ගන්න . මම මිස්ව බස්සලා එන්නම් “

පුටුවේ නිදා හුන් අම්රිතාව අවදි කරගෙන ඇය   ගෙදර ගෙන ගොස් ඇරලු  අසේල ඇය   රියෙන් බසිද්දී  බෑගය හා  කැම  බඳුන ඈ  අතට දී මද දුරක් ඈ  සමග ඇවිද ආවේ  කල්පනාවකින් තොරවමය.

එන්න අසේල තේ එකක් බීල යන්න . ඈ  කීවාය . අසේල ඈ  පසුපස ගියේය . දොර හැර ගෙතුලට ගිය අම්රිතා මුලින්ම කලේ මේසය මත වූ රාමු කළ  ෆොටෝ එකක් වැසෙන  සේ සිය අතේ තිබු ප්ලාස්ටික් බෑගය  තැබීමය .

‘ ඒ සේයාරුවේ හිටියේ ඉතා හුරුබුහුටි  කෙළි  සිඟිත්තියක් තුරුළු කරගත් අම්රිතාමය.”

එතකොට ඒ ළමයා  කවුද ? අසේල කල්පනා කරමින් මේසය මත තිබු ප්ලාස්ටික් බෑගය දෙස බලා සිටියේය



Image Source : Pixels
%d bloggers like this: