Menu Close

174. විජයග්‍රහණයෙන් දශක 1.1 ට පසු . . !

ගලේ කෙටූ දරු කම . . . !

තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් ලොව අතිශය ප්‍රභල ත්‍රස්ථ කණ්ඩායමක් වන එල්ටීටිය යටපත් කොට ශ්‍රී ලාංකික හමුදා විජයග්‍රහණය කොට අදට දශකයකුත් තවත් වසරක් කල් ගත වී ඇත.
කොරෝණා නො එන්නට රජය හා බහුතර ජනතාව විසින් මෙම සැමරුම අති උත්කර්ශවත් භාවයෙන් යුතුව සැමරීමට ඇවැසි සියළු යටිතලයන් සැකසී ඇති මෙවන් දිනක් යලිදු ඒ දැයි සැක සහිතය.
මන්ද එදා යුද්ධයට සෘජුව සහභාගීවී සිටි බොහෝ චරිත නැවතත් අපරටේ දේශපාලන කරළියේ චරිත බවට පත්වී ඇති හෙයින්ය.
එදා සේම අදත් රාජපක්ෂ රජයක්ද වික්‍රමසිංහ විපක්ෂයක්ද රටේ විද්‍යාමානවූ අවදියක් යලිදු ඇතිවී ඇත.
යුධ ජයග්‍රහණයෙන් පසුව ගෙවුනු වසර එකොලහක කාල පරිච්ඡේදයෙන් වැඩි කාලයක් රට පාලනය කල රාජපක්ෂ ආණ්ඩුවට මෙම ජයග්‍රහණය පොදු ජයග්‍රහණයක් ලෙස සමස්ථ ශ්‍රී ලාංකිකයින් හට දැනෙන ආකාරයකට රට ගෙන ඒම අපොහොසත් වී ඇත.
එය මුළු මහත් රටේම අභාග්‍යසම්පන්න බවකි.

මෙය ගැන අප ටිකක් කථා කරමු.

තිස් අවුරුදු යුද්ධය පැවති කාල සීමාව තුල මෙරට සිටි විවිධ පාලකයින් ගෙන් බහුතරයක් දෙනා තම තමන්ගේ නැණ නුවනේ තරමට මෙම ප්‍රශ්ණයෙන්ගොඩ ඒමට උත්සාහ කල බව මා පිළිගනිමි.
ආර්. ප්‍රේමදාස ජනාධිපති විසින් එල්ටීටියට අවි ආයුධ ලබා දුන් සිද්ධිය සත්‍යයක් යන මතයේ සිට කථා කලහොත්; එම සිද්ධිය හැරෙණ්නට අනෙක් සෑම කලෙකම සිටි මෙරට පාලකයින් මා පෙරකී ලෙසට මෙම ප්‍රශ්නයෙන් රට මුදා ගැනීමට තම ශක්ති ප්‍රමානයෙන් කටයුතු කොට ඇත.
උදාහරණයක් ලෙස; රනිල් වික්‍රමසිංහ විසින් ඇතිකල සාම ගිවිසුම තුලින්ද ඔහු උත්සාහ කර ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් එල්ටීටිය හුදෙකලා කිරීමට බව මා විශ්වාස කරමි.
එසේම එල්ටීටිය ඉතිහාසයේ ලබූ දැඩිතම මානසික පසුබෑම ලෙස මා විශ්වාස කරණ; කරුණා අම්මාන්ගේ ඉවත්වීමටද හේතු භූත වූයේ රනිල්ගේ තීක්ෂණ භාවය ලෙස මා දකිමි.
තමළණී ජෙයික්කුමාරන්ගේ පොතේ මෙම සිද්ධිය සමග එල්ටීටියේ මානසික ඇදවැටීම පිළිබඳව සඳහන් කරයි.
මෙසේ සෑම සියළුම නායකයන් පාහේ එල්ටීටිය පරාජය කිරීමට විවිධ උත්සාහයන් ගත්තද එහි විපුල ඵල නෙලා ගැනීමට අවස්ථාව ලැබුනේ මහින්ද රාජපක්ෂටය.

1994 දී චන්ද්‍රිකා අති බහුතරයකින් ජනාධිපති වන්විට එම බහුතරය තුල එක්තරා දෙමළ චන්ද ප්‍රථිශතයක්ද විය.
ඒ; චන්ද්‍රිකා මෙම ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් දෙනු ඇතැයි ඔවුන් විශ්වාස කල නිසාය.
මහින්ද බලයට පැමිණෙන්නේ ජාතික ප්‍රශ්ණයට පැහැදිලි විසඳුමක් දෙන බව පවසමිනි.

2004 ජනවාරි 23 ශ්‍රිලනිපය හා ජවිපෙ අතර අත්සන් කරණ එකඟතා ගිවිසුමෙන් පසු එළඹෙන 2004 අප්‍රේල් 5 මැතිවරණයෙන් එම සංධානය ජය ලබා ගන්නා අතර මහින්ද එම ආණ්ඩුවේ අගමතිවරයා වන්නේය.

මහින්ද ජනාධිපති වන්නේ 2005 නොවැම්බර් 17 පැවති මැතිවරනයෙන්ය.එදා ඔහු ලබා ගන්නේ රනිල් වික්‍රමසිංහට වඩා වැඩි චන්ද 181,786 කි.
එම පදවි ප්‍රාප්තිය සමග ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරයට කැඳවෙන අතර ගෝඨාභය විසින් සරත් ෆොන්සේකා තම හමුදාපති ධූරයේ රඳවා ගනු ලබයි.

මාවිල් ආරු සටන ඇරඹී 2006 අගෝස්තු 8 වනදින මාවිල් ආරු අමුණු දොරටු විවෘථ කරණු ලබයි.
2006 ඔක්තෝබර්28 දින ජිනීවාහීදී පැවති සාම සාකච්ඡා බිඳ වැටේ.
ඉන්පසු දිගෙන් දිගටම ඇවිලී යන සටන් වලින් දිනෙන් දින පියවරෙන් පියවර ජය ලබන රජයේ හමුදාවෝ 2009 මැයි 15,16 සහ 17 යන දිනවල පැවති සටන් වලින් පසු මැයි 19 වන දින අළුයම ප්‍රභාකරන් ගේ මළ සිරුර සොයා ගනීමෙන් පසු සටන; සංග්‍රාමික ජයග්‍රහණයෙන් කෙළවර විය.

මම මෙසේ ගෙන හර දැක්වූයේ එම ඉතිහාසයේ ඉතා සියුම් අවස්ථා කිහිපයකි.
මෙම යුධ ජයග්‍රහණයෙන් පසු කෙරෙණ ජයග්‍රහනයේ ප්‍රකාශන වලදී එම ජයට ප්‍රධාන හේතුව ලෙස ගෙන රාජපක්ෂවරු ගෙන හැර දැක්වූ ජිවමාන සාධකය වූයේ සරත් ෆොන්සේකාවය.
වරෙක ඔවුන් ඔහුව හඳුන්වන්නේ ලොව සිටින හොඳම හමුදාපති ලෙසින්ය. එහෙත් මේ අගය කිරීම් පවතින්නේ ඉතා කෙටි කලෙකි.
2010 ජනවාරි 26 වෙනිදා පවැත්වීමට දින නියම කල ජනාධිපති වරණයට සරත් ෆොන්සේකා නාමයෝජනා දීම සමගම එම ගරුත්වය නැත්තටම නැතිවී ගියේය.
සරත් ෆොන්සේකාහට සේවා දිගුවක් ලබා දී ඔහුව නවතා ගැනීමට ගෝඨාභය තීන්දු තීරණ ගන්නේ; සරත් දිනන යුද්ධයක තීරණාත්මක සාධකයක් වන හෙයින් මිස වෙන කුමණ කරුණක් කරණ කොට ගෙනද?
එතෙක් හමුදාවේ ගතකල දශක ගනනාවක ජීවිත කාලය තුලදී තමාට විනාශ කල නොහැකිවූ ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කිරීමට සරත් ෆොන්සේකාහට අවශැකියාව ලබෙන්නේ රාජපක්ෂ දෙබෑයන් විසින් සමස්ථ ත්‍රිවිධ හමුදාවට මෙන්ම රටටද නායකත්වය දුන් හෙයින් බව මාගේ විශ්වාසයයි.
මහින්ද හට එවන් ශක්තියක් ලැබෙන්නේ 2004 සිට ඔහුට සහය ලබා දෙන ජවිපෙ හා හෙළ උරුමය වැනි කුඩා එහෙත් ජනතාව තුල මතයක් ඇතිකිරීමට හැකි පක්ෂ එක්ව කටයුතු කල හෙයින්ය.
එසේම මෙම යුද්ධය පිළිබඳව කටමැත දෙඩවූ එජාපයේ රවී කරුණානායක, කිරිඇල්ල,රනිල් වැනි නායකයින් සිටියද සමස්ථයෙන් අති මහත් බහුතරයක් වූ එජාප පාක්ෂිකයින්ගේ ආශිර්වාදය ලැබුනේ රාජපක්ෂවරුන්හටය.
එහෙත් සරත් ෆොන්සේකා; මහින්ද සමගින් සටනට එළඹීමත් සමගම යුද්ධයේ ජයග්‍රහණය හුදෙක්  රාජපක්ෂවරුන්ගේ  ජයග්‍රහණයක් බවට පෙරළුනි.
මෙම තත්වයට රාජපක්ෂවරුන් පත්වීමට සරත් ෆොන්සේකාගේ ක්‍රියා කලාපයන්ද තුඩු දෙන්නට ඇත.

මෙයට උදාහරණ දෙන්නට පෙර සරත් ෆොන්සේකා චරිතය පිළිබඳව යාන්තමින් සිහියට නගා ගනිමු.
ඔබ හිතනවාද සරත් ෆොන්සේකා වෙනුවට; මනුෂ්‍ය කමින් පිරිපුන් ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි වචනයේ පරිසමාප්තියෙන්ම මහත්වරයෙකු සිටියානම් යුද්ධය දිනා ගත හැකිවෙයි කියා?
කෙක්කෙන් නැත්නම් කොක්කෙන් තමාට අවශ්‍ය ජයග්‍රහණය තනිව ලබා ගැනීමේ නොනිත් ආශාවෙන් පෙළුණු සරත් ෆොන්සේකා වෙනුවට සොල්දාදුවන්ගේ රුධිරය, සොල්දාදුවන්ගේ මෑණිවරුන්ගේ කඳුළු පිලිබඳව අප්‍රමාණ වටිනාකමක් ලබාදෙන සෙනෙහෙබර පියෙකුට මෙම යුධ ජයග්‍රහණය නෙලා ගත හැකියැයි ඔබ සිතනවාද?
එනිසාම 2010 දී තමාගේ ප්‍රථිමල්ලවයා පරදා ජනාධිපති සටනෙන් ජය ලබා ගැනීමට ඔහු කුමක් නම් නොකරාවිද?
මා දකින්නේ එය ඔහුගේ ස්වභාවය කියාය.
එසේම ඔහු තුල පවතින සංග්‍රාමික ජීව ගුණය වන්නේද එයමය ය.
තුවක්කුවක වටිනාකම වන්නේ එය දරණ්නා විසින් එල්ල කරණු ලබන ඉලක්ක සුණු විසුනු කරණු විනා බටයෙන් මල් පොහොට්ටු, පැනි බූන්දි පිටවීම නොවේ.
තුවක්කුවට; තමා විසින් මරා දමනු ලබන්නේ තමාගේ අයිතිකරු වුවද කම් නැත.
සරත් ෆොන්සේකා චරිතය මා දකින්නේ උශනත්වය හඹා යන රොකට් මුක්ත කරණ රොකට් ලෝන්චරයක් (Heat seeking rocket launcher) ලෙසය.
එය මුදා හැරිය පසු තමාගෙ අම්මා තමාට උයන බත් මුට්ටිය වුවද කම් නැත.
උෂනත්වය ගැලපේනම් එය සුනු විසුණු කොට දමනු ලබයි.

එහෙත් එම ජනාධිපති සටනේදී මහින්ද හා සරත් යන දෙදෙනාහටම; තම ප්‍රථි මල්ලවයන් වෙත දැඩි හානි ඇතිකිරීමට මෙන්ම තමාට ජයග්‍රහණය සඳහා තිබුණු සුදුසු කම වූවේ අන් කිසිවක් නොව යුධ ජයග්‍රහණය පමණක්ම විය.
මෙය කෙතරම් ඛේදණීය තත්වයක් වූවේද යත් යුධ ජයග්‍රහණය  තමාගේ තනි උත්සාහක් ලෙසත්; ජනපතිවරණයේ ප්‍රථිමල්ලවයන් එම ජයග්‍රණයේදී කකුලෙන් ඇද බාධා පැමිණවූවන් බවට දැක්වීමට තරම් දෙපාර්ශ්වයම සාහසික විය.
සරත් ෆොන්සේකා හට සහය දුන් එජාපය හා ජවිපෙ ඇතුළු සියල්ලන් විසින්ම එතෙක් තම හදවත් තුල පැවති යුධ ජයග්‍රහණයේ ආශ්චර්‍යමත් පොදු අයිතිය; රාජපක්ෂ වරුන් විසින් සාහසික ලෙස උදුරා ගත්තේ එය තමන්ගේත් තම පාක්ෂිකයින්ගේත්; පරවේණියෙන් භුක්තියට සවිවූ බූදලයක් ලෙස පෙන්වමින්ය.
2009 මැයි 19 වනදින කිරිබත් උයාගෙන රතිඥ්ඥා පත්තු කරමින් කොඩි බැඳගෙන සමරා ඇත්තේ තමන්ගේ ජයග්‍රහණයක් නොව වෙනත් කණ්ඩායමකගේ ජයග්‍රහනයක් බවට; රාජපක්ෂ වාදීන් නොවන රටේ ඉතිරි මිනිසුන්ගේ හදවත් තුල පැල පදියම් වී මේ වන විට  අවසානය.

වඩාත්ම ශෝක ජනක තත්වය වන්නේ සමාජ මාධ්‍ය මගින්ද; රාජපක්ෂ වාදීන් නොවන අන් සියළුම “කුහකයින්” හට මෙම යුධ ජයග්‍රහණය සැමරීමේ අයිතියක් නැති බව හුවා දැක්වීමයි.

යුද්ධය පටන් ගත් කාලයේ සිට මෙම යුද්ධයට සිංහල-බෞද්ධ තීන්ත ආලේප කර තිබුණි. හාමුදුරුවරු පවා රණ ගී ලියා යුද්ධයට සිංහල බෞද්ධ උප්පැන්නයක් ලබා දී තිබුණි. මේ නිසාම යුද්ධයෙන් මුස්ලිමුන් මෙන්ම සාමකාමී ද්‍රවිඩයන් ඉවතට තල්ලු වී ගියෝය.
අනුන්ගේ යුද්ධයකට එකතුවී මිය යාමෙන් පලක් නැති බව නිසා හෝ “අපි දෙමළ” යන පදනම නිසා හෝ හමුදාවට ද්‍රවිඩයින් එක් වූයේ නැති තරම්ය.
එසේම වතුකරයෙන් හෝ ද්‍රවිඩයින් හමුදාවට  එක් කර ගැනීමට උනන්දු නොවූයේ එය සංග්‍රාමික උපක්‍රමයක් ලෙසදැයි මා නොදනිමි.
එය එසේ සිදු නොවී එල්ටීටිය සමග කල සටන් වලදී ද්‍රවිඩ හමුදා සෙබළුන් මිය ගියා නම් මෙම යුද්ධ ජයග්‍රහනය පොදු ජයග්‍රහණයක් වීමට ඉඩ තිබුණි.

එදා දෙවරක්  හෝ අවම වශයෙන් එක් වරක් හෝ මහින්ද පත් කිරීම සඳහා තම ඡන්දය පාවිච්චිකොට මේවන විට එජාපයට, ජවිපෙට සහය ලබා දෙන සාමාන්‍ය පුද්ගලයෙකු පිළිබඳව හෝ එදා වෙනත් පක්ෂයක  පාක්ෂිකයෙකුව සිට හදවතින් යුද්ධයේ ජයග්‍රහණයන්හට ආශිර්වාද කල අයෙකුගේ තත්වය සිතා බලන්න.
එදා ඔහු මහින්දව පත් කිරීමට ඡන්දය පාවිච්චි කලද අද වන විට රාජපක්ෂවරුණ්ගෙන් වියෝ වී ඇත්නම් ඔහුට යුද්ධ ජයග්‍රහණයේ ආශ්චර්‍යය නොවිඳිය යුතු කුහකයෙකි!

මෙය සාධාරණද?

මේ සියළු මුග්ධ ක්‍රියා වලින් පීඩාවට පත්වන්නේ යුද්ධයට සෘජුවම දායකත්වය දක්වූ සොල්දාදුවන් හා මිය ගිය සොල්දාදුවන්ගේ දෙමව්පියන් හා නෑ සියන්ය.
මන්ද අදද රාජපක්ෂ පාක්ෂිකයින් යුද්ධ ජයග්‍රහණය “පොදු” සාධකයක් හෝ පොදු අයිතියක් බවට ජනසතු නොකොට එය රාජපාක්ෂිකයින්ගේ පරවේණී උරුමයක් සේ දකිමින් ඔවුන් ගේ ප්‍රථිවාදීන් හට පහර දීමට භාවිතා කරණ පහසුම ආයුධය ලෙස; යුධ ජයග්‍රහණය පිළිබඳව කණගාටුවන කුහකයින්සේ; තම ප්‍රථි මල්ලවයින් පිළිබඳ අර්ථකතනයන් ලබා දීමය.
එනිසා රාජපක්ෂ පාක්ෂිකයින්  හැරුණුකොට අන්සියල්ලම හා  සිංහල නොවන සියල්ලන්ම ගාල් කොට ඇත්තේ එකම තැනකටය.

මේ නිසාම ඔවුන්ද “උඹලගෙ නම් උඹලාම තියාගන්!” කියනවා හැරෙණ්නට එම ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්නට එන්නේද නැත.

මේ සියල්ලෙන්ම හදවත් ඉරී යන්නේ රට වෙනුවෙන් දරුවන් දන්දුන් වන්දණීය පූජනීය අම්මා වරුන්ගේය. තාත්තලාගේය.
සෑම නගරයකම බැරිනම් අවම වශයෙන් සෑම දිස්තිරික්කයකවත් ස්ථාපිත කල රනවිරු ස්මාරකයක් අභියස; අභිනවයෙන් ජීවිත අරඹන තරුණ තරුණියන් වෙතින් පූජෝපහාර ලැබීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය අයුරු!
රුසියාවේ එවන් සිරිතක් ඇති බව මා අසා ඇත.
අප පාසැල් යන කාලයේ කොළඹ මහජන පුස්ථකාල භූමියේ  පසෙක තිබෙන නන්නාඳුනනා සොල්දාදුවන් වෙනුවෙන් ස්ථාපිත කොට ඇති ස්මාරකය  වෙත බොහෝ වරක් මා ගොස් එහි අති ඵලකය කියවා ඇත!

ඔවුන්ගේ හෙට දිනය අපගේ අද වෙනුවෙන් පුදකලෝය!”එහි ලියා ඇත!

මේ මව් වරුන් පිය වරුන් වෙනුවෙන් අප කලයුතු කුඩා වගකීමක් තිබේ.

මෙම ජයග්‍රහනය ජනගත කරණ්න!
එහි පරම අයිතිය අත් හරින්න, එය තනි අයිතියක් නොවන බව හදවතින් හා බුද්ධියෙන් තේරුම්ගන්න!!
සෑම ශ්‍රී ලාංකිකයෙකුහටම එහි ඇති අයිතිය තහවුරු කරණ්න!!!
එහි ඇති වටිනාකම පහදා දෙන්න!!!!
සෑම ශ්‍රීලාංකිකයෙකුම මෙම ජයග්‍රහණය ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව වැළඳ ගන්න!!!!!
%d bloggers like this: