Menu Close

හඳහන් බලන හැටි සහ ග්‍රහයන්ගේ ආකාරය.

මේ සටහන ජ්‍යෝතිෂය දෙස කුතුහලයෙන් බලන කෙනෙක්ට පමණි. අනවශ්‍ය තර්ක විතර්ක ගෙනැවිත් එසේ නොබලන කෙනෙක් තමාගේ කාලය සහ, මගේ කාලයද නාස්ති නොකරන්නේ නම් මැනවි. 

කේන්ද්‍රයක් විග්‍රහ කරන විට ඒ ඒ ග්‍රහයන් ගැන කියන විට බොහෝ අය එය එසේ අර්ථ දක්වන්නේ ඇයිද යයි අසති. ඒ සඳහා ග්‍රහයන්ගේ නියම ස්වභාවය හඳුනා ගත යුතුය. ග්‍රහයන් සහ වෙනත් ජ්‍යෝතිෂ සිද්ධාන්ත ගැන බොහෝ පොත් තිබේ. ඒවා සියල්ල බැලීමට මේ සීමිත මිනිස් ජීවිත කාලය ප්‍රමාණවත් නැත. කල යුත්තේ, ඒ ග්‍රහයන් ඔබ දන්නා හඳුනන අය මෙන් සැළකීමය. ඒ නව ග්‍රහයන් ගැන සාමාන්‍ය චරිත සේ අවබෝධයක් ලැබීමට උත්සාහ කිරීමය. 

හරියට ග්‍රහයන් අපේ සමාජයේ සිටින මිනිසුන් වැනිය. ඔවුන් ගැන වැඩි වැඩියෙන් දැන ගන්නා තරමට ග්‍රහ ඵල වැඩියෙන් දැන ගත හැක. මේ ග්‍රහයන්ට දේවත්ව දී ඇත. ගුප්ත ස්වභාවය හෝ මේවායේ ඇති ලෞකික තර්ක ස්වභාවය ඇති නැති බව පසෙක ලන්නේ නොමැතිව, ජ්‍යෝතිෂය ඉගෙන ගැනීමට නොහැක. ඒ ඉගෙන ගෙන මේවායේ සත්‍ය අසත්‍යතාවය සාධනය කිරීම වෙන දෙයකි. හරියට ආපෝ, තේජෝ, වායෝ, පටවී, ආකාශ තත්ව අමතක කර ආයූර්වේදය ඉගෙන ගන්නවා මෙනි.     

රවි හෙවත් හිරු හෙවත් ඉරු යනු, රජු වේ. සඳු හෙවත් චන්ද්‍ර යනු බිසව වේ. කුජ හෙවත් අඟහරු නිර්භීත සේනාධිනායකයා වේ. ගුරු හෙවත් බ්‍රහස්පති යනු පුරෝහිතයා හෙවත්, පූජකයා වේ. සිකුරු හෙවත් ශුක්‍ර හෙවත් කිවි යනු සුන්දර ලලනාව හෝ, ගණිකාව වේ. බුද යනු හොඳට කතා කරන කුඩා දරුවෙකි. ශනි යනු දැකීමට ප්‍රියක් නැති අපිරිසිදු මහල්ලෙකි. රාහු යනු විසිළු මුහුණක් හෝ නයි ඔලුවක් ඇති වේගයෙන් ගමන් කරන මුරණ්ඩු, උමතු ගති ඇති හොරෙකි. කේතු යනු දුම් පැහැය ඇති කකුල් නැති, අබ්බගාත, පොත් පමණක් කියවීමට ලිවීමට දක්‍ෂ, කුඩුකේඩු, දෙපිටකාට්ටු ලෝභයෙකි. පසුව කී රාහු සහ කේතු යනු, ශරීර නැති චායා ග්‍රහයන් වේ.  

මේ අය මේෂ, වෘෂභ …මීන සේ වූ නොයෙක් ස්ථාන හෙවත් රාශි දොළහේ හැසිරෙති. ඒ හැසිරෙන ආකාරයට ඒ ඒ ගුණ දෙති. එම රාශියක් අපි දැනට අංශක 30ක් කියා ගනිමු. අංශක 13 ක් සහ කළා 20ක් වූ ප්‍රමාණයක් නැකතක් යයි කියමු. එනම් නැකත් දෙකයි කාලක්, එක රාශියක් ඇතුළට දැමිය හැකිය. අස්විද, බෙරණ,…රේවතී සේ නැකත් 27කි. ඉහත කියන ලද නව ග්‍රහයන්ට මේ නැකත් තුන බැගින් වෙන්ව ඇත. තවත් සියුම් කල විට නවාංශක කියා කොටසක් පැමිණේ. නැකතකට නවාංශක 4 කි. එනම් රාශියකට නවාංශක 9 කි. නවාංශකයකට අංශක 3 ක් සහ කළා 20 කි.   

මුලින්ම කී ග්‍රහයන් හතර දෙනා වන රවි, සඳු, කුජ සහ ගුරු හොඳ මිතුරන් වේ. සිකුරු, බුද, ශනි, රාහු ද එකිනෙකා සමඟ හොඳ මිතුරන් වේ. ගණිකාවගේ පණිවිඩ ගෙන යන්නට කොල්ලා සහ හිඟන්නාද ඉදිරිපත් වන අතර, හොරා ද මේ කාණ්ඩයේ මිතුරෙකි. එවිට පළමු කී කාණ්ඩය සමඟ මේ කාණ්ඩයේ අය විරුද්ධ වේ. කේතු දෙපිටකාට්ටු ගති ඇති නිසා ඔහු සමඟ සිටින ග්‍රහයාගේ ගතිය ගනී. පාප සහ සෞම්‍ය සේ ග්‍රහයන් දෙකොටසකි. රවී කුජ ශනි රාහු කේතු සහ අව පස සඳු පාපයන් වේ. ගුරු, සිකුරු, බුද සහ පුර සඳු සෞම්‍ය ග්‍රහයන් වේ. කිසිම ග්‍රහයෙක් හොඳ හෝ නරක කියා කියන්නට නොහැක. ඒ ඒ ස්ථානයේ ස්ථාපිත ආකාරය අනුව ඒ හොඳ නරක ලැබේ. 

ඇත්තටම මේ ග්‍රහයන් ගැන ඉතා හොඳ විස්තර, ‘බෙන්තොට හියුබර්ට් ප්‍රනාන්දු’ සහ ‘හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ’ යන මහත්වරුන්ගේ පොත් වල පළවී ඇත්තේය. ඒ මහතුන් සරළ ආකාරයෙන් එසේ පොත් ලිවීම නිසා අපත් ඉන් ඉගෙන ගතිමු. කෙටියෙන් මේ ටික ලියන්නේ පිටුව වෙනුවෙනි. 

රවි සඳු මේ ග්‍රහ මණ්ඩලයේ පියා සහ මාතාව වේ. එසේ හෙයින් පියාට සහ මවට එක රාශිය බැගින් තබා ගෙන අනෙක් ග්‍රහයන්ට රාශි දෙක බැගින් දී ඇත. එනම් රවිට සිංහ, සඳුට කටක, ගුරුට ධනු සහ මීන, කුජට මේෂ සහ වෘශ්චික, සිකුරුට වෘෂභ සහ තුළා, බුදට මිථුන සහ කන්‍යා, ශනිට මකර සහ කුම්භ ලෙසිණි. රාහුට කේතුට එසේ වෙන් කල රාශි නැත. දැන් මේ රාශි වලට ග්‍රහයන් ඵල දෙන ආකාරය බලමු. ග්‍රහයන් ඒ ඒ රාශියේ යන ආකාරයට, උච්ච, ස්වක්ෂේත්‍ර  මිත්‍ර, සතුරු සම සේ එම රාශි බෙදේ. 

රවිට සිංහ හිමි වේ. රවිට මේෂ උච්ච වන අතර, තුලා නීච වේ. සඳුට කටක හිමි වේ. සඳුට වෘෂභ උච්ච වන අතර වෘශ්චික නීච වේ. මේ උච්ච, නීච යනාදී කරුණු දැන ගැනීමට සරළ ජ්‍යෝතිෂ පොතකින් ඉගෙන ගත හැකිය. උදාහරණයක් සේ සිංහ රාශියක ඉපිද, නයෙක් ගැසීම නිසා මිය ගිය කෙනෙක්ගේ කේන්ද්‍රයක, සිංහ රාශියේ අධිපතියා රවි වී, සිංහයෙන් තුන් වැන්නේ තුලාවේ ස්ථාපිත විය.

තුලාව, සිංහය අධිපති රවිට නීච වූයේය. ඒ මදිවාට ඒ සිංහ රාශිය ඇතුලත රාහු හෙවත් විෂට අධිපති රාහු ගේ නැකතක් වූ ‘සා’ නැකතේ රාහු සමඟ රවි සිටියේය. රාහු හෙවත් හොරා, රවි හෙවත් රජු සමඟ තිබි වෛරය මෙයට හේතු විය. හොර ගුහාවකට රජු ගියා වැනිය. මෙය ඒ මරණයට හේතුව වූයේය. දැන් මෙහිදී කියන්නේ එසේ ග්‍රහ පිහිටීම් ඇති සියල්ලන් නයි විසෙන් මිය යන බවද? කිසි සේත් නැත. එසේ මිය යන්නට ඒ වෙලාවේ යන කාලය හෙවත් දශාව සහ අනෙක් කාරණා බැලිය යුතුය. නමුත් එවැනි ග්‍රහ පිහිටීම් ඇති අය, විශේෂයෙන්ම විසෙන් ප්‍රවේශම් වීම මැනවි. 

කෙනෙක් උපන් ලග්නය සේ හඳුන්වන්නේ ඔහු හෝ ඇය උපදින අවස්ථාවේ නැගෙනහිර ක්ෂිතිජයේ පායමින්  එන රාශිය අනුවය. එය කටකය යයි සිතමු. කටක රාශිය ඉහත පැහැදිළි කල ආකාරයට නවයකට බෙදා ඇත. එනම් ඒ එක කොටසක් නවාංශකයක් වේ. මේ වෙලාවේ තුලා නවාංශකය නැගෙනහිරෙන් පායමින් තිබුනේ නම්, එය ඔහුගේ හෝ ඇයගේ නවාංශකය යයි කියනු ලැබේ. දැන් කටක යනු 1 වන රාශියයි. සිංහ යනු 2 වන රාශියයි. මෙසේ ගණන් කල විට අවසාන රාශිය වන 12 වන රාශිය මිථුන රාශිය වේ.  

මෙන්න මේ 1, 2, 3,….12 යන කොටස් වලින්, ඒ ඒ ගුණ සොයාගත හැක. 1 යනු ලග්නය සහ ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය වේ. 2 යනු ප්‍රධාන මාරක ස්ථානය, ධන ස්ථානය සහ විවාහයෙන් පසු පවුල වේ. 3 සහෝදරස්ථානය සහ වික්‍රමය වේ. 4. මව සහ නිශ්චල දේපල, 5. දරුවන් සහ ඉගෙනීම, 6. ලෙඩ රෝග සහ සතුරන්, 7. විවාහය සහ ද්විකීයික මාරක ස්ථානය . 8. ආයුෂ සහ අවාසනාව, 9. ධර්මය, පියා සහ වාසනාව, 10 . රැකියාව. 11. අය ස්ථානය, 12. විදේශය, සහ වැය ස්ථානය වේ. මේ ස්ථාන වලට තවත් කාරක තිබේ. මෙය කෙටියෙනි. මේ ආකාරයට එම කොටස් 12 ට ගුණාගුණ පවතී.

මෙහි 1, 4, 7, 10 යන ස්ථාන කේන්ද්‍රස්ථාන සේ හැඳින්වෙන අතර, 1,5,9 ත්‍රිකෝණස්ථාන සේ හැඳින්වේ. කිසියම් ග්‍රහයෙක්ට මේ කේන්ද්‍රස්ථානයක් සහ ලග්න ස්ථානයක් යන දෙකම හිමිවන්නේ නම්, ඒ ග්‍රහයා එම ලග්නයට ඉතා ශුභ ඵල ලබා දේ. උදාහරණයක් සේ කටක ලග්නයේ 5 වැන්න මේෂ වේ. මේෂ රාශිය කුජ ග්‍රහයාට අයත්ය. කටක ලග්නයේ 10 වැන්න වෘශ්චික වේ. එයත් කුජට අයත්ය.

එනිසා කටක ලග්න හිමියන්ට කුජ ඉතා ශුභ ග්‍රහයෙකි. උදාහරණයක් සේ සිදුහත් කුමරා ගේ කේන්ද්‍රය ගත හැක. සිදුහත් කුමරුවන් කටක ලග්නයෙන් උපන් අතර, කුජ ග්‍රහයා 7 වැන්නේ පතිත ව උච්ච වී සිටියේය. 7 විවාහය වේ. මේ නිසා කුජ ගේ ඵල දෙන්නේ 7 ආශ්‍රිතව වේ. එසේ හෙයින් වෘතාන්ත අනුව, මෙතෙක් ලෝකයේ උපන් ලස්සනම කාන්තාව වූ යශෝධරා සිදුහත් කුමරාගේ බිරිඳ විය. එහෙත් විවාහය අතර මඟ දී කැඩී ගියේය. එය වෙනම කතාවකි. එය දැන ගැනීමට කැමති අය මගේ ‘අස්විද ජ්‍යෝතිෂ විසඳුම්’ පිටුව බලන්න.   

ජ්‍යෝතිෂය වූ කලී එක්තරා මාර්ගයක් පෙන්වන දැනුමකි. එය සියේට සීයක් කියන ආකාරයම සේ වනවා යයි කීම අපහසුය. [Science of tendencies]  එහි නිරවද්‍යබව ජ්‍යෝතිෂවේදියාගේ දැනුම අනුව තීරණය වේ. උදාහරණයක් සේ මා කල එක නිරීක්‍ෂණයක් ඔබට කියන්නට කැමැත්තෙමි. තරුණ වියේදී කෝච්චියේ පා පූවරුවේ යනවිට එකට සිටි යහළුවෙක් දුම්රියෙන් වැටුණි. රෝද ඔහුගේ කකුල් දෙක සහ බඳ හරහා ගියේය. ඔහු එතැනම මිය ගියේ නැත. රෝහලේ දින තුනක් ජීවත් වූ ඔහු ඉන් පසු මිය ගියේය. මේ දින තුන යන්නට පෙර මා ඔහුගේ කේන්ද්‍රය, ප්‍රවීන මෙන්ම අති දක්ෂ ජ්‍යෝතිෂවේදික් වන, බණ්ඩාරවෙල එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න මහතා වෙත ගෙන ගියෙමි.

මඳ වෙලාවක් ඒ දෙස බලා සිටි එතුමා කීවේ, … “මොහු පැළිලා මැරෙන බවය”… !  …!!.. දේශපාලනය හරහා ලාභ ලබා ගැනීමට හෝ, කටෙන් අල්ලා ගෙන අනාවැකි කියා බඩ වියත රැක ගන්නා හෝ, නිවසේ වාස්තු දෝෂ ඇතැයි බොරු කියා මුදල් හොයන ව්‍යාජ මිනිස් ප්‍රතිරූපකයන්ට, එවැනි ජ්‍යෝතිෂවේදීන්ගේ දක්ෂතාවයෙන් අබමල් රේණුවක් නැත.  

හින්දුත්වයේ කර්මයට ඉහළ තැනක් දෙන්නේය. ජ්‍යෝතිෂයෙන් විශේෂයෙන් කර්ම ඵල පෙනවයි. මේ කර්ම ඵල වලට අමතරව සෘතු, ධර්ම, බීජ  වැනි ඵලද බුදු දහමේ ඉගැන්වේ. කල්පනාකාරී ජ්‍යෝතිෂවේදියෙක් කේන්ද්‍රයෙන් පෙන්වන කර්ම ඵල, බුදු දහමේ ඇති ධර්මය පදනම් වූ පුද පූජා මගින් වෙනස් කර ගනී. එහෙත් එමගින් කර්ම ඵල වෙනස් කර ඒ අපල වෙනස් කල හැක්කේ ධර්ම මාර්ගයේ නිවැරදිව හැසිරෙන සුළු පිරිසකට පමණි. මෙය තව දුරට විස්තර කිරීමේ වටිනාකමක් ඇත. 

කකුලේ තුවාලයකට, අතට බෙහෙත් කර ඇති වැඩක් නැත. එසේම ජ්‍යෝතිෂයෙන් දකින යම් කර්ම ඵලයකට පුද පූජා කරන ආකාරය, බෞද්ධ ක්‍රමයකට සකස් කරගත හැක. උදාහරණයක් සේ ‘සඳු ගේ අපලයකට’ කල යුත්තේ වයසක මාතාවන්, සිල් මෑණියන් වැනි අයට දන් දීම හෝ උපස්ථානය වේ. මක්නිසාද යත්, සඳු මාතාව වීමය. ගුරු ගේ අපලයකට බෞද්ධ භික්ෂුවකට දන් දීම හෝ උපස්ථානය ප්‍රයෝජනවත් වන්නේ, ගුරු ගෙන් නියෝජනය වන්නේ, පුරුෂ පූජක පක්ෂය හෙයිණි. රාහු ගේ අපලයකට මතට ඇබ්බැහි වුවෙක්ට හෝ පිස්සන්ට උදව් කිරීම වටී.

ඒ ඒ කෙහෙල් ගෙඩියට, ඒ ඒ බනිස් කියා කීවේ එබැවිනි.        

https://www.facebook.com/groups/236530610785411/?ref=bookmarks

 

            

%d bloggers like this: