Menu Close

වෙරළ වාගෙයි ඇය

“වෙරළ වාගෙයි ඇය
නොගැඹුරුයි
තොරතෝංචියක් නැති සද්දෙ
උඩ පනින නටන දැඟලිල්ල විතරයි”
ඔහු ලියා තිබුණා
වෙරළත
බොහෝ දිග සවස් වරු ගත කළ කාලයෙදි
“ඇය බොහෝ ගැඹුරුයි
ඉමක් නොපෙනෙන සුළුයි
දරාගත නොහැකි තරම්
නිහඬයි…”
ලියා තිබුණා ඔහු 
මුහුදු නැවියෙකුව
මුහුදු මං ඔස්සෙ බොහො දුර
පැදයන්න පටන්ගත් කලෙක..
“උස් මුදුන් මතුයේ පැන නැඟ
බෝ දුර ඇවිද දුක් විඳ
උල්පතයි ඇය
මහ සයුරකට දියවර දෙන”
කඳුකර දුර්ග පෙදෙසක
නිවහන් තනාගත් පසු ව
ලියා තිබුණා ඔහු…
කලකට පසුව
හිරු මියෙන සැඳෑවෙක
තනිවී නිහඬ වෙරළක
බලා සිට බොහෝ වේලා
ඔහු දිය තලය දෙස.
ලිවීය 
මෙ කව වැලි මත..
“දුටිවෙමි මම ඇය
දුටිමි මම අද
මේ නිසල දිය මත
පැහැදිලිව පෙනෙන
මගෙම පිළිබිඹුව තුළ”

%d bloggers like this: