Menu Close

  අපේ රසඥතාවය සහ කරෝලිස් පිස්සන්.

                                      392584_6432_2   මේ වචනය මා කොහේදෝ දුටුවෙමි. මා හිතන්නේ මෙහි තේරුම, ‘කෙනෙක්ට හෝ තමාට හානි නොවන සේ ජීවිතය රස විඳීම’… යන්න කියාය. එසේ සිතමින් ලිපිය ලියමි.  ලිපියේ ආරම්භය මගේ මතකයේ මා ගමේ සිටි කුඩාම අවදිය වෙත ගෙනයයි.

තුනේ හෝ හතර වන පන්තියේ ඉගෙන ගත් කාලයේ, එනම් මෙය බලන බොහෝ අය දෙව්ලොව සිටි කාලයේ, අපේ ගමේ එක්තරා මනුස්සයෙක් සිටියේය. ඔහුට මුළු ගමම කිව්වේ, ‘කරෝලිස් පිස්සා’ කියාය. ඊට හේතුව වන්නේ දිනයේ වැඩි වෙලාවක් ඔහු බීමතින් සිටි හෙයිණි. ඔහුගේ පුතා පද්මසිරි අපේ පන්තියේ ඉගෙන ගත්තේය. පාසැලේ කෘෂි කර්ම පාඩමේ බෝවිටියා සහ කැප්පෙටියා කොළ ගෙනෙන්නට ලඳු කැලෑව වෙත යන ගමනේ, ඔහු ඒ කැලෑවේ පඳුරු අස්සේ තාත්තා සඟවා තිබූ හොර අරක්කු කළ සහ බූලි පෙන්වයි.  

පද්මසිරි හෙවත් කෙටියෙන් අප අමතන ආකාරයට පද්මේ, ඉහත කී වන වදුළේ හැම පඳුරක්ම දන්නා හේතුව එය විය. ඔහු සමඟ වනය ඇතුලට යාම නිසා ඉක්මනින් ඒ අවශ්‍ය කොළ අතු සොයා ගැනීමට හැකි විය. ඔහුගේ පියා හොර අරක්කු පෙරන්නේ මේ වන වදුළ ඇතුලේ බව අප දැන ගතිමු. එකළ ගම්මානයේ මත්පැන් පානය කරන්නන් ඉතාමත් දුලබ විය. එවැනි කෙනෙක්ට ගමේ තැනක් තිබුනේම නැත. එහෙයින් පද්මේගේ තාත්තා ගැන ගමේ මිනිසුන්ගේ තිබුනේ හොඳ ආකල්පයක් නොවේ.

කිහිප වතාවක් ඔහුගේ ආම්පන්න සමඟම පොළිසියට කුදලාගෙන ගොස් තිබිණ. එහෙත් ඔහු ඒ හොර අරක්කු පෙරීම නම් කවදාවත් අත හැරියේ නැත.

දිග කතාවක් කෙටියෙන් කිවහොත් පන්සලක් මුල් කරගෙන තිබි ගම්මාන හතක ප්‍රසිද්ධියේ බොන මිනිසෙක්ට හිටියේ, මේ ‘කරෝලිස් පිස්සා’ සේ නම තැබූ පුද්ගලයා පමණි. ඔහු නොබී ඉන්නා වෙලාවට නම්, සාමාන්‍ය මනුස්සයෙක් බව පමණක් මට මතකය. දැන් අපි මේ කාලය දශක කීපයක් ඉදිරියට, ‘ෆාස්ට් ෆෝර්වර්ඩ්’ කර බලමු. සමහරවිට දැන් ඒ ගම්මාන හතේම නොබොන එක මිනිසෙක් සිටිය හැක.

එනම් එහි තේරුම, ගම්මාන වල අද සිටින සියළුම පාහේ මිනිසුන් ‘කරෝලිස් පිස්සන්’ බවද ?

එදා මිනිසුන් බීමතට ඇබ්බැහි නොවුනේ කුමන හේතුන් නිසාද යන්න සොයා බැලීම නම් වටී. රා ටිකක් මැද ගෙන බිව් මිණිසුන් සිටියෝය. එහෙත් සමාජයීය වගකීම ඒ අය නිසා නැති වූවා යයි මතකයක් නැත. ප්‍රායෝගිකව ලබා ගත හැකි දේවල් මෙන්ම ලැබිය නොහැකි දේවල් ගැන අවබෝධය එකල සිටියන් අවබෝධ කරගෙන සිටීම නිසා, අපේක්ෂා භංගත්වය හෝ මානසික ආතතිය යන්න ඒ පැරණි සමාජයේ අඩුවෙන් තිබිණ. ඒ කාලයේ මුදල් ඇති අයට, අදට සාපේක්ෂව තිබි බලය මෙන්ම, සැළකීම් ලැබීම විශේෂයක් නොවීය.

ගමේ සිටි බොහෝ අය කුමන හෝ ආකාරයකින් නෑදෑයන් විය. එසේ නොවුනද එකිනෙකා ඇමතුවේ සීයා, ආච්චි, මාමා , නැන්දා …යන ඥාති නම් වලිනි. ගොයම් කපන කාලයට සියල්ලන් එකතු වේ. ඒ කාලේ ගෙවිළියන් ගොයම් කවි කියමින් කුඹුරේ වැඩ කරති. කිසිදිනෙක කුඹුරේ ඒ කමත් භාෂාව හැර වෙන වචන භාවිතා කලේ නැත. සමාජයීය ආශ්‍රය නිසා මිනිසුන් සතුටක් ලැබූහ. එය රසඥතාවයයි.

මොනම හේතුවක් නිසාවත් කුණු හරුපයක් කුඹුරේ කමතේ කිසි කෙනෙක් නොකියූහ. බලන්න, ඒ සමාජයේ එළදෙනට පවා පුන්නක්කු හෝ තණකොළ තැබුවේ, … “බීපන් අම්මේ ,.. කාපන් අම්මේ …සේ කියමිනි.  

තවත් දශක දෙකකින් පමණ එය සම්පූර්ණයෙන්ම වෙනස් විය. හරකුන්ට පවා කුණු හරුප කියමින් බැන හඬ ගෑම පමණක් නොව, කුඹුරේ වැඩ කරන්නන් අතරේද කුණු හරුප කතාව සුලභ දෙයක් විය. ව්‍යංගයෙන් කී කුණුහරුප වල කලාවක් තිබෙන බවක් ඔවුන්ට අවබෝධ නොවිය. ගොයම් කවි අතීතයට ගිය දෙයක් විය. කටින පිංකම සඳහා වූ පෙරහැරේ ස්ත්‍රීන් පමණක් දැකිය හැකි විය. කුමක් නිසා එදා ගමේ රටේ තිබුණු සාමාන්‍ය තත්වය වෙනස් වූයේද යන්නට එක හේතුවක් පමණක් නොපවතී. ‘සරළ දිවි පෙවෙතින් ඉවත් වීම’, නම් ප්‍රකටම හේතුව යයි සිතේ. 

එකළ ගමේ තිබුණු තවත් දෙයක් වූයේ වසරකට වතාවක් පන්සලේ නාථ දේවාලය මුල් කර කරන ලද ඇසළ පෙරහැරයි. ගම්මාන හතෙන්ම පෙරහැරවල් පන්සලට එක් එක් දිනයේ පැමිණේ. එක ගමක් අනෙක අභිබවා යන්නට උත්සාහ කරන්නේ, පෙරහැර වඩාත් හොඳින් සංවිධානය කිරීමෙනි. එකළ කුඩා පන්තිවල නැටුම් ඉගෙන ගත් මාද ඒ එක පෙරහැරක නටමින් ගියෙමි. දැවැන්ත මහ බඹා ඔසවාගෙන ගියේ, හැඩිදැඩි පිරිමින් දහ දෙනෙක් පමණ එකතු වීමෙනි. මේ කාලය මහ කන්නයට කුඹුරු වැපිරීමට පෙර කාලය විය.

පෙරහරේ ඇති නොයෙක් දේ වලින් මිනිසුන්ට විනෝදයක් ලැබිණි. මේ කාලයේ ගමේ නොයෙක් ආකාරයේ සර්කස් කරුවන්, රිලව් නටවන්නන්, නළා හඬවන්නන්, රබන් කරකවන්නන් ආදී විවිධ කළා කරුවන් මෙන්ම පිටින් ගෙනෙන කෑම වර්ග විකුනන්නන්ද එහි සිටිති. පාසැල් භුමියේ අටවන ලද ‘මැරී-ගෝ-රවුන්ඩ්’ එක කුඩා එවුන්ගේ සිත් බැඳ ගන්නා අතර, ‘මාරක ළිඳේ සයිකල් පැදවීම’ දැකීමට තරුණයන් ප්‍රිය කළහ. දීප්තිමත් කාබයිඩ් පහනෙන් යුතු සාර බුලත් තට්ටුව ඔසවා ගත් වෙළෙන්දන් රාත්‍රී කාලයේ එහෙ මෙහෙ ඇවිද ගියේ තාරකා ලෙසිනි.            

මිනිසුන්ට සහ ගැහැණුන්ට තිබුණු විනෝද වීමේ ක්‍රම එකළ බොහෝ විය. තවත් එකක් නම් අළුත් අවුරුදු උළෙල වෙනුවෙන් වසරක් පාසා කෙරෙන අළුත් අවුරුදු උත්සව විය. ඉන් පසු එන්නේ වෙසක් උළෙලයි. එයද වෙනස් ආකාරයේ විනෝදයක් ලැබීමේ මාර්ගයක් විය. පොසොන් උළෙල එතරම් උත්කර්ශවත් නොවුනද, එයද වෙනස් විනෝදයක් දෙන දෙයක් විය.

තොවිලයක්, බලියක් හෝ යක් නැටුමක් කොහේ හෝ තිබිණ. මල් හත් වර්ගයක් කැවිලි හත් වර්ගයක් සපයා ගැනීම මෙන්ම, ගරා යකා සඳහා අයිලය තැනීමත්, ගොක් කොළ සැරසිළිත් සමාජ චාරිත්‍රයන් වී තිබිණ. පිරිත් මණ්ඩපද එසේම සැරසීම හරහා කලාවට සියල්ලන්ගේ සහභාගීත්වය ලැබිණි. සමහරවිට මේ වෙනස් වූ සමාජ ශීලී වටපිටාව හෝ වෙනත් කුමක් හෝ හේතුවක් නිසා, ආතුරයා හෙවත් යක්ෂ දෘෂ්ටිය හෝ ප්‍රේත බැල්ම ඇති ලෙඩා, මේ තොවිලයෙන් පසු සුව වීමද විය. 

මඟුලක් හෝ මළ ගෙදරක් වුවද, එය සමාජ ඇසුර වැඩි කරන්නක් විය. මඟුල් ගෙදර මෙන්ම මළ ගෙදරද කුඩා සංස්කෘතික උත්සවයක් මෙන් විය. මිය ගිය අයගේ දෙන ඔසවන අවස්ථාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශනා කරන ගාථාව වන. … “වයධම්මා සංඛාරා”… හී ශාන්ත මධුර ස්වරය ඒ ශෝකය යතාර්ථයක් බව පෙන්වීය. මොහොතකට හෝ ඒ මධුර ස්වරය නිසා හඬන්නන් ගේ සිත් තැවුල අඩු වන්නට ඇත. විශේෂයෙන්ම මළ ගෙදරක ප්‍රියයන් ගෙන් වෙන් වීමෙන් ඇතිවන ශෝකය නැති වීමට, රාත්‍රී කාලයේ වෙස්සන්තර ජාතකය ගායනා ස්වරූපයෙන් කීම සුලභ දර්ශනයක් විය.

මේ ආකාරයේ සමාජ ඇසුර මත වන විවිධ ක්‍රියා කාරකම් නිසා, මළ ගෙදරින් පසු එන දින හතේ දානය වන විට, මිය ගිය කෙනා වෙනුවෙන් දුක් වන අය මේ තත්වය නිසා තරමක් සාමාන්‍ය ජීවිතයට පුරුදු වී ඇත. ගමේ තිබුණු වොලී බෝල් සමාජ නිසාද ක්‍රීඩාව හේතුවෙන් තරුණයන් මතෙන් ඉවත්වී සිටියහ. මේ කාලයේ ඒ වොලිබෝල් කණ්ඩායම යාපනේ ගොස් වොලිබෝල් ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කර පැමිණියහ.

මේ සමතුලිතතාවය බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූයේ ගමට පිටින් පැමිණි අලුත් පන්නයේ අවශ්‍යතාවන් වන්නට ඇත. මා මේ කියන කාලයේ රේඩියෝව ගමේ සාමාන්‍ය දෙයක් වී තිබිණ. එහෙත් ගමට විදුළිය සහ ඒ හා සමගාමීව රූපවාහිණිය පැමිණීමෙන් පසුව, ඉන් පෙන්වන ලද වෛවාරන්න සරුව පිත්තල ලෝකය සත්‍ය වශයෙන්ම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට එදා අනවශ්‍ය විය. අද මෙන් නොව, ඒ කාලයේ රූපවාහිණියේ තත්වයෙන් ඉහළ වැඩ සටහන් තිබුනද, වෙළෙන්දා ගේ ක්ෂණික සහ ආකර්ශනීය දැන්වීම් ඒ වැඩ සටහන් වල ඔපය නැති කළා වෙන්නට ඇත. පුදුමයට මෙන් යාබද ඉන්දියාවේ තත්වයද මෙයට සමාන විය.  

ඒ භෞතික අවශ්‍යතාවයන් නොලැබෙන තැන විශේෂයෙන් ස්ත්‍රීන් මැදපෙරදිග වහල් සේවයට ගියහ. එතනින් ඔවුන් සොයා එවන මුදළ වියදම් වූයේ, ගමේ සිටින පිරිමින් ගේ බීමත් කමට අවශ්‍ය මත්පැන් සඳහා විය. තවත් වසර කීපයකින් නිවසට එන ඇය දකින්නේ බංකොලොත් වූ නිවසකි. සැමියා පමණක් නොව, දරුවන්ද අයාලේ ගොස් ඇත. ඒ අසමතුලිතතාවය තුලිත කරන්නට ඒ අහිංසක ගැහැණියට නැවත රට පැටවෙන්නට සිදු විය. ඒ අතරේ අප බොහෝ උජාරුවෙන්, රටට වැඩියෙන්ම විදේශ විනිමය ගෙනෙන්නේ පිටරට සිටින වෘත්තිකයන් ගෙන් යයි කියමු. නමුත් ණය බර අහස උසට ගොස් ඇත. 

කෙමෙන් හොරෙන් පිළිකන්නට ගොස් බීම තොලගා ගැනීම, නිවසේ ඉදිරියේම කෙරෙන්නට විය. වැඩිහිටියන් ඉදිරියේ බීමක් ගැන නොසිතූ කෙනෙක් අසූව දශකය අවසානයේ ඒ සිරිත් ආකල්ප තවත් අනුගමනය නොකළේ හෝ නොතකා හැරියේ, එදා තරුණ අය ඒ වන විට වැඩිහිටියන් වී සිටීම නිසා වෙන්නට ඇත. බුදුන් දවස සිටි ලිච්චවී නම් ධනයෙන්, බලයෙන් සහ පිවිතුරු සිරිතෙන් ඔපවත්ව සිටියවුන්ගේ ඒ දියුණුවට හේතුව වූයේ පැනවූ සිරිත් නොකැඩීමත්, අලුත් සිරිත් නොපැනවීමත් යන්න විය. සමාජය සම්පූර්ණයෙන් ඊට විරුද්ධ අතට ගමන් කළේය.

මෙය අතීත කාමය නැවත සිහිපත් කරවීමක් නොවේ. එකලට අප නැවත යා යුතුය කීමත් නොවේ. එහෙත් එදා සමාජයේ තිබුණු ගතික සමතුලිතතාවය අද සමාජයේ නැති වී ගිය බවද, මිනිසුන් පිරිහීම නිසා පොදුවේ රටක් පිරිහුණු බවද පෙන්වන්නට කල උත්සාහයකි.

කොතැනක අපට වැරදුනේද යන්න හරියටම මෙය යයි ඇඟිල්ලෙන් පෙන්වන්නට නොහැක. බොහෝ තැන් වල වැරදුණු බවක් පෙනී යයි. මේ සමඟ දමන පින්තුරය දැමීම මාධ්‍ය සදාචාරයට විරුද්ධ නැතැයි මා සිතමි. මක්නිසාදයත්, ඔවුන් සතුටෙන් සිටින හෙයිණි. සිනහ වෙමින් පින්තුර වලට මුහුණ දෙන හෙයිණි. එය ඔවුන්ගේ සතුට වේ. එහෙත් ඒ සතුට වෙනුවට ඔවුන් හිලව් කරන්නේ අඹු දරුවන්ගේ අනාගතයයි. ඔවුන්ගේම සෞඛ්‍යයයි. 

එය රසඥතාවය යයි ඔබ සිතන්නේද ?    

පෙනෙන එක දෙයක් වන්නේ, ගමේ තිබුණු සමාජ ඇසුර නැති වී මිනිසුන් වඩ වඩාත් තමා වෙතම නැඹුරු වීම යයි සිතේ. එවිට විනෝද වන්නේ තනි තනිවය. සමාජ විද්‍යාඥයන් දැන් සොයාගෙන ඇති දෙයක් වන්නේ, මිනිසෙක්ගේ ජීවිත කාලය දිගු වන්නට නම් සිතේ සාමය සතුට තිබිය යුතු බවත්, ඒ සාමය සතුට ලැබෙන හොඳම ක්‍රමය සමාජයීය ඇසුර සහ සරළ දිවි පෙවෙත මිසෙක, බීමත් කම හෝ භෞතික සම්පත් හරහා නොවන බවය.       

 

%d bloggers like this: