Menu Close

බ්‍රිතාන්‍යයේ අද තත්වය දිට්ට ධර්ම වේදනීය කර්මයක්ද ?

corona-defenceබ්‍රිතාන්‍යට කාලයක් කිව්වේ ‘හිරු නොබසින රාජධානිය කියාය. මේ කතාවේ තවත් පැත්තක් ඇත. සමහරවිට දෙවියන් පවා එහි රාත්‍රී කාලයේ හෝ සිදු වෙන අපරාධ අඩු කිරීම සඳහා, හිරු නොබසින්නට එදින ඉඩ නොදුන්නේ යයි සිතීමට හැක..

සමාජයක් කඩා වැටෙන විට එයට සතුටු වීම මනුස්ස ගතියක් නම් නොවේ. එසේ හෙයින් එංගලන්තයේ මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා වසංගතය නිසා මියයන සාමාන්‍ය මිනිසුන් දෙස බලා සතුටු වීම මිනිසෙක්ට නොහොබිනා දෙයකි. සතුටු වන කෙනෙක් ඇත්නම්, ඔහු නරුමයෙකි. නමුත් බ්‍රිතාන්‍යය විසින් යටත් විජිත සමයේ කරන ලද අපරාධ දන්නා කෙනෙක් අද ඔවුන් පත්ව ඇති අවාසනාවන්ත තත්වය ගැන කුමක් කියනු ඇතිද ?

මේ ගැන දෙපාර්ශවයම ගැන සිතා ලියන ලද ලිපි ඇත. ඒ එක් පාර්ශවයකට හෝ නැවෙන්නේ නොමැතිව බ්‍රිතාන්‍යයේ වර්තමානය සහ අතීතය වෙන වෙනම ආවර්ජනය කිරීම සහ එහි සම්බන්දයක් තිබේදැයි බැලීම වඩාත් යෝග්‍ය වේ. ඒ කෙසේ වුවද, මේ තොරතුරු, දන්නා දහන් ගැට වලින් කෙසේ හෝ එංගලන්තයට ගොස් පුරවැසි කම ලබා, දැන් එහි ගුණ ගායනා කරන වන්දි භට්ටයන්ට නම් නොවේ.

අද එහි මිය යන දහස් ගණන් මිනිසුන්ගේ අවාසනාවන්ත ඉරණමට හේතුව ඔවුන්ගේ මුතුන් මිත්තන් කල අපරාධ යයි සිතීම කොතරම් සාධාරණද, කොතරම් ආචාරශීලීද යන්න සිතීම ඔබට භාරය. එකළ බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ට සිදු වූ ඒ අපරාධ වලට කිසිසේත් එකඟ නැති, ඒ ගැන හදවතින්ම දුක්වන බ්‍රිතාන්‍ය වැසියන් ඕනා තරම් අද දින ඇත. වර්තමානයට අතීතය සම්බන්ද නොකර අතීතයේ ඔවුන් කල ක්‍රියා මොනවාදැයි අද දින බ්‍රිතාන්‍යයට ගොස් ජීවත් වන බොහෝ අය දන්නේ නැත.

කිසිම පද්ධතියක් එකම ආකාරයෙන් පවතින්නේ නැත. එය බ්‍රිතාන්‍යයටද උරුම වේ. බ්‍රිතාන්‍යයේ වර්තමාන තත්වයට පදනම් වූ ඉහළ ආර්ථික තත්වය ඔවුන්ට උඩින් කඩා වැටුනා නම් නොවේ. එය කපටි කමෙන් උපක්‍රමයෙන්, අන් රටවල් යටත් විජිත සේ තබා ගනිමින්, අනන්ත මිනිසුන් හඬවමින් ලබා ගත් දෙයකි. බ්‍රිතාන්‍යය විසින් අත් පත් කර ගන්නා ලද යටත් විජිත වලින් එකක් පමණක් වන ඉන්දියාවට අත් වූ ඉරණමට මුල් තැනක් දී සලකා බලමු.

බ්‍රිතාන්‍ය යටත් විජිත වාදය හරහා එහි ආර්ථික සහ සමාජයීය තත්වය ඉහළ ගිය ආකාරය සහ ඒ හා සමගාමීව ඉන්දියාව අන්ත දුගී භාවයේ පත්ලට ගියේය. එය සලකන කල, අද දින ස්වභාව ධර්මයෙන් බ්‍රිතාන්‍යයට සිදු වී ඇත්තේ දිට්ට ධම්ම වේදනීය කර්මයක් පල දීමක්දැයි සිතේ. බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යය ඉන්දියාවට එල්ල වෙන්නට පෙර ඉන්දියාව ලෝක ආර්ථිකයට දැක්වූ ප්‍රතිශතය 23%ක් විය. බ්‍රිතාන්‍යය ඉන්දියාවෙන් ඉවත්වන විට ඉන්දියාව කෙතරම් ආර්ථික පරිහානියට පත්වීද යත්, එය 4%ක් වීය යයි කියනු ලැබේ.

ඊට ප්‍රධාන හේතුව බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව විචිත්‍ර ආකාරයෙන් කොල්ල කෑම හේතුවෙනි.

සමහර විචාරකයන් කියන ආකාරයට බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවයේ දියුණුවට හිලව්ව වූයේ, ඉන්දියාවේ කාර්මික විප්ලවය අඩපණ වීමය. මෙයට එක උදාහරණයක් සේ, අත් යන්ත්‍ර මගින් රෙදි පිළි තැනීමය. එය ඉන්දියාවේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් විය. මේ කපු ඇඳුම්, පැරණි සේද මාවත කාලයේ සිටම ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ වී තිබිණ. ඉන්දියානුවන් විසින් තැනු රෙදි පිළි ලොව සෑම අතටම එදින විකිණී ගියේය. බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කර ගත් පසු ඒ නිෂ්පාදන සඳහා අපනයන බදු අය කර ගැන්ම කළහ.

ඒ අතරේ ඉන්දියාවේ එම රෙදි පිළි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය එංගලන්තයට යවා රෙදි පිළි එංගලන්තයේ තැනීම ආරම්භ විය.

අවසානයේ සිදු වූයේ මෙතෙක් ලෝකයට රෙදි පිළි අපනයනය කල ඉන්දියාව, රෙදි පිළි අවම ජාතියක් බවට පත්වීමය. 27%ක් වූ ඔවුන්ගේ අපනයන ශක්තිය 2%ක් කරවීමෙනි. 19 වන ශතවර්ෂය වන විට ඉන්දියාව බ්‍රිතාන්‍යයට වැඩිම ආදායමක් ගෙන දෙන යටත් විජිතය වී තිබිණ. මේ අතර බ්‍රිතාන්‍ය නිෂ්පාදන වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නට සිදු වූයේද ඉන්දියාවටය. එපමණක් නොව ඉන්දියාවට ඔවුන්ගේ සේවා ලබා ගැනීම සඳහා විශාල වේතන සහ සේවා දෙමින් කුළියට ගන්නා ලද බ්‍රිතාන්‍ය නිළධාරීන් ගැනීමටද සිදු විය.

අප්‍රිකාව වැනි රටවල් වලින් බලයෙන්, ජීව ග්‍රහයෙන් ගන්නා ලද මිනිසුන් වහළුන් බවට පත් කර ශ්‍රමය සූරා කෑමට ඉඩ දුන් බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා පවුල් ධනවත් බවේ අග්‍රයට ගියහ. මේ සුපිරි ධනවත් පවුල් වලින් පහෙන් එකක් මිලියන තුනක වහළුන් ලොව පුරා විකිණීමෙන් අසීමිත සේ ධනවත් වුවන් විය. 1833 වසරේ වහල් මෙහෙය තහනම් කිරීමෙන් පසු හානි පූරිත [Compensation] මුදලක් ගෙවන්නේ යයි කියමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් වියදම් කලේ බ්‍රිතාන්‍යයන්ටම විය. එය එකල ඩොලර් මිලියන 30 ක් විය. ඉන්ද ධනවත් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් මිසෙක අප්‍රිකානුවන් නොවේ.

එක පවුමක් අප්‍රිකානුවන්ට නොලැබිණි.

එහෙත් බ්‍රිතාන්‍යය ප්‍රජාතන්ත්‍ර වාදයේ කේන්ද්‍රස්ථානය යන ප්‍රචාරය දිගටම ගෙන යාමට ඔවුන් සමත් වූවෝය. හිට්ලර් ගේ ප්‍රවෘත්ති ඇමති ගොබෙල්ස්, …”ඕනෑම බොරුවක් දිගටම සත්‍ය යයි කියන විට, එය කිසියම් දිනෙක සත්‍ය වනු ඇත”… යන කියමන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලේ එකළ බ්‍රිතාන්‍යය විය. එනම්, ‘අප ලෝකයේ ඇති ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙමු’ යන මුසාව තෙපලීමෙනි. මිලියන 15 සහ 29 අතර ඉන්දියානුවන් සා පිපාසාවෙන් සහ හාමතෙන් මිය ගිය සාගතය පසු පස සිටියේ බ්‍රිතාන්‍යය විය.

එනම් දෙවන මහා ලෝක සංග්‍රාමයට අවශ්‍ය කෑම බීම ඉන්දියාවෙන් සැපයිණි. එවිට පැවති සාගතයට එය තවත් අබග්ගයක් විය.

ඉන්දියාවේ පමණක් නොව දෙවන මහා ලෝක සංග්‍රාම සමයේ බෙංගාලයේ ප්‍රසිද්ධ වූ, ‘මහා බෙංගාල සාගතය’ [The great Bengal famine] නිසා මියගිය මිලියන 4ක් වූ බෙංගාල වැසියන් මියයන්නට එකම හේතුව වූයේ, එකල එංගලන්තයේ අගමැති වූ ‘වින්ස්ටන්ට් චර්චිල්’ ගේ ලේඛනගත කරන ලද ප්‍රතිපත්තිය වූ, බෙංගාලයේ ආහාර සියල්ල යුරෝපයේ යුධ පෙරමුණට යැවිය යුතුය යන ලියැවිල්ල විය. මේ ගැන මධ්‍යස්ථ මත ධාරී දේශපාලනඥයන් විවේචනය කරන අවස්ථාවේ, චර්චිල් ඔවුන්ගෙන් අමානුෂික ප්‍රශ්ණයක් ඇසුවේය.

… “මෙතෙක් ගාන්ධී නොමලේ ඇයි ? යන්න ඒ ප්‍රශ්ණය විය.

ඉන්දියානුවන් සමඟ ද්වේශයෙන් සිටි බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් මෙසේද කියා ඇත. “ඉන්දියානුවන් සතුන් ආකාරයේ උන් විය. උන්ට තියෙන්නේද සත්ව ආගමකි. එහෙත් ඔවුන් ඉතා දරුණු ගණයේ සටන් කරුවන් විය”. මෙහි ඉන්දියානුවන් කියා කීවේ ඉන්දියාවෙන් පමණක් පැමිණි අයට පමණක් නොවේ. එය ලංකාවේ සොල්දාදුවන්ටත් අදාළ විය. සුද්දා කවදත් ආසියානුන්ට සැලකූවේ දෙවන පන්තියේ මිනිසුන් මෙනි.

අන් ජාතියක් යටත් කර ගැනීම සහ ප්‍රචණ්ඩත්වය යටතේ රටක් යටත් කරවීම, යටත් විජිත ක්‍රමයේ ප්‍රධාන සාධකය විය. මේවා අතීතයට ගොස් ඇති පරණ කතා යයි කෙනෙක් සිතනු ඇත. එහෙත් ඒ රටවල් යටත් කිරීමේ ක්‍රමය පමණක් පසුව වෙනස් විය.

දෙවන මහා ලෝක සංග්‍රාමයේ බ්‍රිතාන්‍යය වෙනුවෙන් සටන් කරන ලද සොල්දාදුවන්ගෙන් හයෙන් එකක් ඉන්දියානුවන් විය. ඒ සඳහා සේවය කල මිලියන 1.3 ක ඉන්දියානුවන් අතරින් 54,000 ක් මේ යුද්ධය නිසා දිවි දුන්හ. 65,000ක් සදාකාලික අබ්බගාතයන් වූහ. ඉන්දියාවේ මුදලෙන් නිෂ්පාදනය කර යුධ පෙරමුණට යැවූ රයිෆල් සහ මැෂින් තුවක්කු පමණක් හය ලක්ෂයක් විය. රෙදි පිළි ප්‍රමාණය මිලියන 42කි.

බ්‍රිතාන්‍යයන් එක දේකට නම් ඉතාම දක්ෂයන් වූහ. එනම්, ‘බළලුන් ලවා කොස් ඇට බානවා’ යයි කියන උපහරණය අයුරින් ක්‍රියා කිරීමය. උදාහරණයක් ගනිමු. 1942 වසරේ 25,000 කින් පමණක් සමන්විත ජපන් සොල්දාදුවන්ගේ බල ඇණියක් මගින් මැලේසියාව සහ සිංගප්පුරුව අල්ලා ගන්නා ලදී. ලක්‍ෂයක බ්‍රිතාන්‍ය හමුදාවට ඔවුන් පැරදවීමට නොහැකි විය. බ්‍රිතාන්‍යයේ නැගෙනහිර සේනාංකයේ අණ දෙන්නා වන ‘ජෙෆ්රි ලේටන්’ බ්‍රිතාන්‍ය භටයන් ගැන ඔහුගේ දින පොතේ ලියා ඇත්තේ මෙසේය.

… “සොල්දාදුවෙක්ට සොල්දාදුවෙක් හමු වීම හෙවත් මුහුණට මුහුණ ලා කෙරෙන සටනකදී බ්‍රිතාන්‍ය භටයන් ජපන් භටයන්ට වඩා පැහැදිළිවම, විනයෙන්, කැපවීමෙන්, ස්ථිර භාවයෙන් සහ වගකීමක් ගැනීමේ හැකියාවෙන් අඩු වූ අය විය” ….

ජපනුන් ආක්‍රමණය කල විට බ්‍රිතාන්‍ය ජාතිකයන් පැන දුවන ලදී. මේ බ්‍රිතාන්‍ය නිළධාරීන් බංගලා, අශ්වයන් සහ ඉන්දියානු, බංගලාදේශ කෝකියන් ඇතිව බොහෝ සුවපහසු ජීවිත ගත කරන ලදී. එහෙත් ඔවුන් ඊළඟට කලේ, ඉන්දියානුවන් මේ අරගළයට යැවීමය. මැලේසියාවට නිදහස ලැබුණේ එමගිනි. අනෙක් අතට ඇමරිකාව යුද්ධයට අවතීර්ණ විය. එසේ නොවුනා නම් හිට්ලර්ට ඉතා පහසු ජයක් අත් වනවා ඇත. යුද්ධය පටන් ගත් මුල් කාලය වන 1939 වසරේ ඉන්දියන් හමුදාව සිටියේ ලක්ෂ දෙකක් පමණි.

එහෙත් එය 1940 වසරේ මිලියනයකට වැඩි විය.

ඒ අතර යුධ කර්මාන්ත ශාලා සහ ගොවිපොළවල් නඩත්තු කිරීමට තවත් ඉන්දියානු කම්කරුවන් මිලියන දාහතරක් සිටියහ. මෙතරම් සෙනඟක් බ්‍රිතාන්‍ය හමුදාවට බැඳෙන්න හේතුව වූයේ, පසු ගිය අවුරුදු දෙසීය තුල ඉන්දියාවේ ආර්ථිකය බිමටම කඩා දැමීමට බ්‍රිතාන්‍යයන් සමත් වීමය. ඒ නිසා ඕනෑම දෙයක් කර මුදල් සෙවීමට ඉන්දියානුවන්ට සිදුවිය. බඩගින්නට මූලික තැනක් ඇති විය.

ඉන්දියානුවන් බොහෝ දෙනා යුද්ධයට සහභාගී වූයේ හුදෙක් සොල්දාදුවන් ලෙසින්ම පමණක් නොවේ. ටේලර් වරු, රෙදි සොදන්නන්, සපත්තු මහන්නන්, බර ඔසවන්නන්, කෝකියන්, ලෙස නොයෙක් වර්ගයේ වෘත්තීන් කල ඉන්දියන් ජාතිකයන් යුද්ධයට දායකත්වය සැපයූහ. එහෙත් ඔවුන්ටද සොල්දාදුවන් මෙන්ම ජීවිත දානය දීමට සිදු විය.

මිලියන දෙකහමාරක ඉන්දියානුවන් ලෝකයේ අස්සක් මුල්ලක් පාසා ඇති ස්ථාන වල, යුද්ධය වෙනුවෙන් බ්‍රිතාන්‍ය සහ මිත්‍ර ජාතීන් සමඟ සටන් කලහ. ජර්මන් යුද්ධ ටැංකි හමුදා අකර්මන්‍ය කිරීමට අප්‍රිකාවේ, ජපන් බලය මැඩ පැවැත්වීමට බුරුමයේ, ඉතාලිය අල්ලා ගැනීමේ මෙහෙයුමේ, මැද පෙරදිග රටවල් වල ලෙස බොහෝ ස්ථාන වල ඔවුන් සටන් කලහ. එපමණක් නොව යුද්ධයට අවශ්‍ය ද්‍රව්‍ය සැපයුමද ඉන්දියානුවන් මහා පරිමාණයෙන් කලහ.
යුද්ධය අවසානයේ ජර්මනියේ බර්ලින් නුවර අල්ලා ගැනීමේ අරගලය සඳහා බ්‍රිතාන්‍ය හමුදාවේ ඉන්දියානුවන් සහභාගී වුනේ නැත්නම්, එම සේනාංකය ඉතා සුළු දෙනෙකුගෙන් සමන්විත සේනාංකයක් වෙන්නට ඉඩ තිබුණි.

මේ සියල්ල මෙසේ වන විට කිසියම් බ්‍රිතාන්‍ය යටත් විජිතයකට ලැබූ ප්‍රතිලාභද ඇතැයි යයි කෙනෙක් කියනු ඇත. ලංකාවේ නම් දුම්රිය ඇතුළු පාරවල් පද්ධතිය ගැන කියනු ඇත. ඒ සියළුම දේවල් කරනු ලැබුවේ ඒ ඒ රටවල් වලින් සූරා ගන්නා සම්පත් එම රටවල් වලින් බ්‍රිතාන්‍යයට නැව් ගත කිරීමේ උපක්‍රම ලෙසිණි. ඕනෑම යටත් විජිතයකින් ඉවත් වුවද, එය අනියම් ආකාරයේ පාලනය කිරීමක් කිරීමට ඔවුන් ‘කළු සුද්දන්’ එහි ස්ථාපිත කළහ.

ඉන් පෝෂණය වූ සහ ආරම්භ කල බ්‍රිතාන්‍ය සමාජ ව්‍යුහය අද තෙක්ම පවතී. බැංකුවක ඇති මුදලක් ඒ.ටී.එම්.යන්ත්‍රයක් හරහා කෙනෙක් ගන්නා විට, ඒ ගණුදෙනුව කෙරෙන්නේ සිදුවන්නේ ලන්ඩනය හරහා බව බොහෝ අය නොදනී. බොහෝ අධ්‍යාපනික ආයත සඳහා සාමාජිකත්වය නොගත්තේ නම්, ඒ අධ්‍යාපනයෙන් පල අඩුවේ. ඒ සාමාජිකත්ව මුදල දියුණුවෙමින් පවතින රටක ජීවත් වන පුද්ගලයෙක්ට දැරීමට නොහැකි තරම් ඉහළ මුදලකි. මේ හුදෙක් කාරණා දෙකක් පමණි.

බ්‍රිතාන්‍ය සෞභාග්‍යය වසර දෙසීයක් අන් රටවල් කොල්ල කා ලබාගත් දෙයක් මිසෙක, වෙන ක්‍රමයකින් ලැබූ දෙයක් නොවේ.

එනමුදු ඔවුන් අදද කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ බ්‍රිතාන්‍යය බවය.

මේ සියල්ලන්ටම වන්දි ගෙවිය යුත්තේ අද එහි ජීවත්වන ජනතාව බව නොකියමි. නමුත් මෙය යතාර්ථය වේ. කිසිම පද්ධතියකට එක ලෙසින්ම පවතින්නට නොහැක. එය වෙනස් වේ. බුදුන් වහන්සේ අනිත්‍යය යයි වදාළේ මේ සංසිද්ධියටය. එය දිට්ට ධම්ම වේදනීය කර්මයද, වෙන කුමක්ද යන්න නම් නොදනිමි. නමුත් අද සිදුවන මේ ව්‍යසනය ඔවුන් අතීතයේ කල කර්මයන් පල දීමක්ද ? එයට පිළිතුරු දෙන්නට අපගේ නුවණ මඳ වේ. එහෙත් ගමේ ගොඩේ භාෂාවෙන් කිවහොත්, …”ගින්නක් නොමැතිව දුමක් නොනගී”… යි කියමනකි.

බුදු දහම අනුව අපද මේ ගත කරන්නේ පිටු අනන්තයක් වන පොතක් කියවීමකි. ඒ එක පිටුවක් මේ අවස්ථාවේ ඔබත් මමත් කියවමින් සිටින්නෙමු. මින් පෙර පිටු තිබිණ. කියවන්නට තවත් පිටු තිබේ. සමහරවිට අනාගත ලංකාවේ තත්වය බ්‍රිතාන්‍යයට වඩා අශුභ වන්නටද ඉඩ ඇත. අපට මොන ආකාරයේ පිටු අනාගතයේ කියවන්නට වේදැයි කිසි කෙනෙකුට කිව නොහැක. අපට කල හැකි එකම දෙය නම්, වර්තමාන පිටුව කියවන විට එය සියළු සත්වයා වෙත කරුණාවෙන් කියැවීමය. අන් රටවල් යටත් කර එහි සාරය උරා බීමට ආගමද භාවිතා කල බ්‍රිතාන්‍යයන්ට වඩා අපගේ වෙනස එයය.

බුදු දහමේ ආලෝකයෙන් එසේ සිතන්නට අපට පිළිවන් විය.

බ්‍රිතාන්‍යයේ මියගිය ජනතාවට මෙන්ම මෙතෙක් කොරෝනා රෝගයෙන් මියගිය ලංකාව ඇතුළු අන් රටවල ජනතාවටද අප අප පිළිපදින එක් එක් ආගමේ නාමයෙන්, වඩාත් හොඳ භවගාමී ජීවිතයක් ලැබේවා යයි පතමු

%d bloggers like this: