Menu Close

167. එඩ්වඩ් සර්!

අපි ඉස්කෝලෙ යන කාලෙ ඔය කියන්නෙ 1979 දී විතර අපේ ඉස්කෝලෙ පොඩි ගායක කණ්ඩායමක් හැදුවා. ඒක කුමන අරමුණකින් හැදුව එකක්දැයි කියන්නට මා අදටත් නොදන්නා අතර මේකෙ මූලික වෙලා කටයුතු කලේ අපේ සංගීත සර් පතිරණ මහත්තයා. 
අපි පුහුණු වුනේ වෙනත් පාසලක තිබුනු ප්‍රසංගයක් වෙනුවෙන්. පුහුණුවීමේ අවසන් දිනයේ පෙරහුරුව වෙලාවේදී මෙතනට ආවා නන්නාදුණනා අමුත්තන් දෙදෙනෙක්. 
එතැන හිටිය උස් කඩවසම් අමුත්තා අපේ පතිරණ සර් එක්ක පොඩි පහේ කයිවාරුවක යෙදිලා ඊළඟට එතැන තිබුණු ගුරු මේසය උඩට සර්පිනාව හෙවත් හාර්මෝනියම් එක ගත්තා. 
එතෙක් හාර්මෝනියම් එක වාදනය කරමින් අපිට ගීත පුහුණු කරමින් හිටිය පතිරණ සර් එතැනින් තබ්ලාව ඉදිරියට මාරු උනා.

පතිරන සර් කියන්නේ කට්ට කළු ඩෑල් එකක්. එයාගේ කට නිකං දුං ගහපු කජු ලෙලි වාගේ කට්ට කළුයි. මොකද ඒතරම් සිගරට් කාපු නිසා. 
මේ සර්ට ඒකාලේ වයස අවුරුදු 40 – 45 ක් විතර ඇති. ප්‍රේම සම්බන්ධයක් කඩා වැටීම නිසා අවිවාහකව ඉන්නා කට කතාවකුත් සර් වටා ගෙතිලා තිබුනා.
පතිරන සර් තබ්ලා උස්තාද් කෙනෙක්.  එයා එතෙක් වාදනය කරමින් තිබුනු හර්මෝනියම් එක මේ පැමිණි අමුත්තාට භාර දීලා තබ්ලාව ඉස්සරහින් වාඩි උනේ එතෙක් තබ්ලාවට තට්ටු දම දමා හිටිය හේමක අයියාව තල්ලු කර දමමින්!
සර් ට ඒ තරම් ගැම්ම!

අපි පුහුණු උනු ගීත අතර සරල ගීත,ජන ගීත හා නුත්‍ය ගීත තිබුනා. 
චාල්ස් ඩයස් මහතාගේ සිවම්මා ධනපාල නාට්‍යයයේ “ආරණ්‍යයේ ඉන්නාමේ රම්‍යයා කතේ” ඒ වගේම නීතීඥ්ඥ ජෝන්ද සිල්වා මහතාගේ රත්නාවලී නාටකයේ එන  මා ළඳවත තාරපතී අඳුරේ ලාපී – ලාක්ෂණවී” ගීත දෙක තමයි නුත්‍ය ගීත විදියට තිබුනේ. 
ඒ දෙකම අපි ගැම්මෙන්ම කියපු සින්දු!
ඉතින් අර ආපු තරුණ මහත්තයා අපිට සෘථිය අරණ් දුන්නේ “ආරණ්‍යයේ ඉන්නා  . . ” ගීතයට. පතිරන ස’රුත් අපි දිහා බලලා හොඳින් මෙන්ම හඬින් කියන ලෙස ඉඟියක් කලා. 
අපිත් ගීතය එකසිය ගානටම කිව්වා.අවසාන ප්‍රසංගයේදීවත් අපි ඒතරම් බොක්කෙන් කියන්න නැතිව ඇති. කණ්ඩායමේ 15 ක් පමණ හිටියා. දැනට සම්පත් බැංකුවේ පලාත් කළමණාකරුවෙකුව ඉන්නා  සිසිර දාබරේ,  දැනට දකුණු පලාතේ වෛද්‍ය අධ්‍යක්ෂක සිරිතුංග එහෙමත් එතැන හිටි බව මට මතකය.
 අපි සියල්ල වටයක් සේ සෑදී බලා සිටියේ හාර්මොනියම් වාදනයේ සුන්දරත්වය හා තබ්ලාවේ වියමනය! 
මා පුරුද්දක් ලෙස හැකි සෑම දිනකදීම; රාත්‍රී නින්දට යෑමට පෙර උස්තාද් zසකීර් හුසේයින් ගේ හා ඔහුගේ පියතුමා වන උස්තාද් අල්ලා රක්ඛාගේ තබ්ලා වාදන රස විඳිමි.
 පාත්‍රි සතිශ් කුමාර් හා උස්තාද් zසකීර් හුසේන් ගේ මෘදංග හා තබ්ලා යුග ගායනය මා කොපමණ නම් රස විඳ ඇත්ද?

පාත්‍රි සතිශ් කුමාර් හා උස්තාද් zසකීර් හුසේන්

මේ එවන්ම වූ තාල තරංග වැයුමක්.මෙය රාජෙස්ථානයට ආවේනික Kartal / Kadthal යන නමින් හැඳින්වෙන සංගීත භාන්ඩයක්. කුඩා ලී පතුරු හතරකින් සැදුම් ලත් මෙහි මාධුර්‍යය ඔබම රස විඳ බලන්න.

එසේම “හෝපළු වනපෙතට” හේමපාල ගාල්ලගේ වැඩ කිඩ දමා තබ්ලාව වයන අයුරුද නරඹමි. 

මේ සියල්ලටම මුල් වූයේ පතිරණ සර්ගේ එදා තබ්ලාවෙන් කල විචිත්‍ර වියමණ වියයුතුය.
කාලය ගෙවී ගියේය.
තවත් වසර ගනනාවක් ගතවීමෙන් පසු එක් නව වසරක් ආරම්ඹයේ කිසියම් සිසුවෙකු අළුත් ආරංචියක් ගෙනාවේය. 
ඒ අපගෙ මෙතෙක් හිටපු සංගීත ගුරු පතිරණ සර් වෙනුවට අළුත් ගුරුතුමෙක් පාසැලට පැමිණි වගය. ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ගායෙකයෙකු බවද ඔහු කීවේය.
ගායකයාගේ නම කීවද එය එතෙක් අසා පුරුදු නමක් නොවුනේය. 
එකල නැගී එන ගායකයා වූයේ සුනිල් එදිරිසිංහය.

“මොනවද බං එයා කියලා තියෙන සිංදු . . !?”

“තාම එකයිද කොහෙද! දොඹ මළින් මලට රේනු සලන . . . .න . නන  . .න . නන නනා .//

ඒ අළුත් ගායක සර් ගැන මිත්‍රයා කීව අයුරුය. 

ඒවන විට අපගේ විෂය නිර්දේශයට තවදුරටත් සෞන්දර්‍ය විෂයක් අඩංගුව නොතිබුනි.
 දිනක් අහම්බෙන් සංගීත කාමරය දෙසට යන විට ගායකයා ඇහැගැටුණි. මේ එදා පතිරණ සර් සමග හාර්මෝනියම් එක වාදනය කල තරුණයාය. .

ගයකයා නැගලා ආවේ “මේ මල් යායේ  . .”සමගය. තරුණ අපේ හිත්වලට ඔහු පැමිණියේ ඒ සමගය . අපගේ පාසල පමනක් නොව මුළු රටම එඩ්වඩ් ජයකොඩිව හඳුනා ගත්තේ ඒ සමගය.

කුමන කරුණක් නිසා හෝ අපි සංගීත කාමරයෙන් ඈත්වී තිබුණි. එයට අප පාසලේ භූගෝඅලීය පිහිටීමද හේතුවක් වන්නට ඇත.
 මොන හේතුවක් නිසා හෝ එඩ්වඩ් සර් අපේ පාසලේ මහා කාලයක් රැඳී නොසිටි බව නම් මතකය. අපගේ පාසැල් ගීතයේ තනුවට පොඩි පහේ ඉන්ටර්ලූඩ් කෑල්ලක් දෙකක්  වැටී අලංකාර වූයේ මේ කාලයේය. 
එකල ඔහුගේ සංගීත කාමරයේ සිටි එක් සිසුවෙක් මතකයක් ලෙස තබමින් ඔහු නික්ම ගියේය. එම සිසුවා රොහාන් ශාන්ත බුලේගොඩයි.

මතකද ඒ හඬ? 
ඉටු නොවනා බව දැන සිටිනා මුදු – ඔබම පතා සිත පෙරුම් පුරයි

එඩ්වඩ් සර් ඉස්කෝලෙ  හිටිය මුළු කාලය තුල මම ඔහු හා කතා කොට ඇත්නම් ඒ දෙවරක් වගෙයි මතක. දවසක් මම නුගේගොඩ සව්සිරිය ඉස්සරහ හවසක ඉන්නවා සති අන්තයක. 
බස් හෝල්ට් එකේ කෙල්ලො කොල්ලෝ රොත්තක් රොටරියෙන් එළියට බැහැපු. 

මමත් ඉන්නවා අයිනක. කෙල්ලො කොල්ලෝ ටික මගේ පසුපසින් තිබුණු සව්සිරිය දිහා ඇස් පිල්ලන් නොගහ බලාන ඉන්නවා.  
මමත් නිකමට වගේ බැලුවා. 
මං හිටිය තැනට අඩි10 – 12 ඈතින් එඩ්වඩ් ජයකොඩි – එඩ්වඩ් සර්! එඩ්වඩ් සර් පීක් එකේ හිටපු කාලේ. කෙල්ලො කොල්ලො පිස්සු වැටිලා. එඩ්වඩ් සුපුරුදු සුපසන් සිනහවෙන් මුව සරසාගෙන.

මම සර් දිහා බලලා ඉස්සරහ බලා ගත්තා. සර් මාව දැක්කද නොදැක්කද මන්දා. තප්පරයක් ගියේ නෑ මගේ ළඟ හිටපු කොළුවෙක් මගේ පිටට තට්ටුවක් දැම්මා! 

“ඔයාට කතා කරනවා . . !?”

මම පස්ස හැරිලා බැලුවා.

“හරි ගියාම ඔහොමතමයි! අපිව අඳුනන්නෙත් නෑ නේද?” එඩ්වඩ් සර් සව්සිරියේ උඩ පඩියෙ ඉඳන්ම කෑගහනවා එයාගේ ලස්සන කට හඬෙන්.

මට වෙලා තියෙන “හරි යෑමක්” නැත! ඒත් ඒ ආමන්ත්‍රණයෙන් මට ලැබිච්ච ගැම්ම . . .!!

අම්මට සිරි එක තත්පරෙන් මම එතන තරුවක් උනා කියන්නේ බොරුවට නොවෙයි. 
මුළු බස් හෝල්ට් එකේම හිටපු එවුන්ගේ කටවල් ඇරිලා.

මම අඩි දෙකට සර් ළඟට ගියා. 

“අනේ නෑ සර් . . .!” මම බයාදු උනා.

සර් මගේ උරහිසට අත තියාගෙන ඉස්කෝලෙ ගැන අහනවා! විනාඩි ගනනකින් ඔහුට සමුදුන්නා දෙපා නමැද!

අදත් එඩ්වඩ් ජයකොඩි ගාන්ධර්වයානණ් රූපවාහිණිය තුල දකින මොහොතේ මට සිතට එන අදහසක් වේ. එදා ඔහු මාහට දැක්වූ අනුග්‍රහයට වැන්දා මදිදෝ මන්දා!?

එහෙනම් අපි; සර්ගෙ මේ ගසල් එකත් අහගෙනම අදට සමුගනිමු!
%d bloggers like this: