Menu Close

සාධාරණ හා තිරසාර වෙළෙද පළක්. –

1978 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරමින් සාපේක්ෂව නිදහස් වෙළෙද පළක් නිර්මාණය කළ අතර ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් බර තබා ශක්තිමත් කළේ ආර්ථිකයේ සේවා අංශය පමණි. කෘෂිකාර්මික හා කාර්මික අංශයන් එන්න එන්නම වියැකී ගියේ ය. ඉන්දියන් සාගරයේ විශේෂිත පිහිටීමක වූ ශ්‍රී ලංකාවට සේවා අංශයෙන් බැහැරවිය නොහැකි වුවත් කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ගෙන් ඈත්වීම උපක්‍රමික දුර්වලතාවකි. එහෙත් සේවා අංශයේ ප්‍රසාරණය නිසා පාදඩ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් විය. පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු වූ ඩිව් ගුණසේකර 2013 දී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රටේ ආර්ථිකයෙන් 50%කට ඔබ්බෙන් වූ වපසරියක් පාදඩ ආර්ථික ක්‍රියාකාරකම් වලින් ගහණ බව ය. ඒ නිසා මූල්‍ය ගලනය සිදුවන්නේ කළු සල්ලි වලින් බව රහසක් නොවේ.

84278561_538334680105038_4444715746001420288_o

ආර්ථිකය පාදඩකරණයවීමත් සමග සමාජ පාදඩකරණය සිදුවූයේ ධනපති පන්තිය තුළ පමණක් නොවේ. නිර්ධන පන්තිය ද ඒ හා සමාන්තරව පාදඩකරණයට ගොදුරුවිය. මේ නිසා නිල ආර්ථික ක්‍රියාකාරීත්වයට බැහැරින් පවුල් ඒකකය තුළට මුදල් ගලා ඒම සිදුවූ අතර ඒ නිසා සම්මත මිනුම් දඩු වලට අහු නොවන යැපුම් ක්‍රම සමාජය තුළ නිර්මාණය විය. ඒ නිසා සමාජ පන්ති නියෝජනය කළ සියළු ජන කොටස් වලට යැපුම් ක්‍රම නිර්මාණය වූ අතර ඔවුන් තව තවත් උත්සාහ ගත්තේ පවතින ක්‍රමයට සම්බන්ධ වී තමන්ගේ ඉපයීම් ශක්තිමත් කර ගැනීමට පමණි. ඒ නිසා පාදඩ නිර්ධන පන්තියට සමාජ වෙනසක් අවශ්‍ය නොවීය. පාදඩකරණය වූ මැද පන්තියට මෙන්ම ධනපති පන්තියට ද සමාජ වෙනසක් අරභයා සටන් කිරීමට අවශ්‍යතාවක් නොවූයේ තමන්ට අවශ්‍ය පරිදි මුදල් ඉපයීමට මේ ක්‍රමය තුළ ඉඩ අවකාශය තිබෙන බැවිනි.

පාදඩකරණයවීම සම්භාව‍ය ධනේශ්වරයේ විකෘතියක් විය හැකිය. එහෙත් බොහෝ අය කියන්නේ ධනේශ්වරයම පාදඩ ක්‍රමයක් බවය. තවත් අය කියන්නේ කේන්ද්‍රයේ පවතින තත්ත්වයන් පරිධියේ සිදු නොවන බවය. ඒ නිසා පරිධියේ රටවල නිර්මාණය වන්නේම පාදඩ ආර්ථිකයක් බව ය. කොහොම උනත් සමාජ පාදඩකරණය නිසා සමාජ වටිනාකම්, සංස්කෘතික වටිනාකම් හා වෘත්තීයභාවයන් අවතක්සේරු වී ඇත. එනිසා විමුක්ති අරගල, ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප දෙස සමාජ කොටස් බලන්නේ හාස්‍යයෙනි. නිදහස් වෙළෙදපළ පරාජය කර සාධාරණ හා තිරසාර වෙළෙද පළක් නිර්මාණය කර ගැනීමට පවතින බරපතලම ගැටළුව වන්නේ එයයි.

එහෙත් සම්භාව්‍යය ධනේශ්වර ක්‍රමය පුපුරා යෑමට වඩා වැඩි සීඝ්‍රතාවකින් පාදඩකරණය වූ ධනේශ්වර ක්‍රමය පුපුරා යෑමට වැඩි ඉඩකඩක් පවතී. ඊට හේතුව ඉවක් බවක් නැතිවම සම්පත් විනාශ කිරීම හා සමුච්චකරණය එමගින් සිදුවන බැවිනි. ඒ නිසා අපහසු වුවත් වඩා ඉක්මනින් සමාජය විකල්පයක් කරා තල්ලු කරන්නේ පවතින පාදඩ ආර්ථිකය විසින් යැයි කිව හැකිය.

සමාජ සංවර්ධනයේ දී දියුණුවට පත්වන්නේ පවතින වෙළෙද පළ යාන්ත්‍රණයම ය. නිදහස් වෙළෙද පළ ශක්තිමත්, කාර්යක්ෂම හා ඵලදායි වුවත් එහි ඇති භයානකකම වන්නේ සාධාරණ හා තිරසාර නොවීමයි. ඊට හේතුව ලාභය උපරිම කර ගැනීමත් ඒ ලාභය ඒකරාශී කර ගැනීමටත් ව්‍යවසායකයන් දක්වන ඇල්මයි. එහෙත් ලංකාවේ කළින් පැවැති ඒක පුද්ගල සිල්ලර වෙළෙද සැල් ක්‍රමයට වඩා සුපිරි වෙළෙද සැල් ජාලය වඩා සාධාරණ යැයි කිව හැකිය. ඒවා බැලූ බැල්මට ඉහළ සමාජ කොටස් වලට වෙන්වූ ඒවා යැයි පාරිභෝගිකයන් සිතුවත් අඩු ආදායම්ලාභී ජන කොටස් වලට පවා සාධාරණව භාණ්ඩ මිල දී ගත හැකිය. ඒක පුද්ගල සිල්ලර කඩවල් සමාජය සූරාකෑම සදහා සිතූ සිතූ මිල ගණන් වලට භාණ්ඩ අළෙවි කළත් සුපිරි වෙළෙද සෑල්වල එසේ වන්නේ නැත. ඒ අනුව කාර්යක්ෂම භාණ්ඩ බෙදා හැරීමේ ජාලයක් ලෙස මෙම ක්‍රමය තුළ සුපිරි වෙළෙද සැල් පවතී.

නිදහස් වෙළෙද පළ බාධාවන් නොමැතිව දියුණු නොවූ නිසාම ධනේශ්වර සංවර්ධනයේ උපරිමයට එය ලගා නොවීය. එහෙත් සමූපකාර සමාගම් කඩයට හා ඒක පුද්ගල සිල්ලර කඩවලට සීමා වී සිටි පොදු මහජනයාට ඊඩ වඩා විවිධත්වයක් හා සාධාරණයක් සුපිරි වෙළෙද සැල් මගින් උදා වුණි. භාණ්ඩ හා සේවාවන් බෙදා හැරීමට සුදුසු සාධාරණ හා තිරසාර වෙළෙද පළක හැඩහුරුව මේ තුළ පවතී. එහෙත් මාක්ස්වාදීන් බලාපොරුත්තු වන දියුණු, සාධාරණ හා තිරසාරත්වය උදා වන්නේ ලාභය උපරිම කර ගැනීමත් ඒ ලාභය ගොඩගසා ගැනීමත් සමාජ විරෝධී බව අවබෝධ කර ගත් විට ය.

කම්කරුවන් සූරාකෑම මගින් ලාභ ගොඩ ගසා ගැනීමට ධනේශ්වර වෙළෙද පළ නිර්මාණය වුනත් ක්‍රමයේ යම් යම් ප්‍රතිශෝධනයන් මත කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බැලීමට පවා යුරෝපයේ කොම්පැණි දියුණු විය. ඒ අනිවාර්යෙන්ම කම්කරුවන් කෙරෙහි වූ පන්ති හැගීමකින් නොවේ. එහෙත් කම්කරුවන් දියුණු මට්ටමක ජීවත් වුවහොත් නිෂ්පාදනය ගුණාත්මක වන බව නූතන ධනපති පන්තිය තේරුම්ගෙන තිබුණි.

දියුණු නිදහස් වෙළෙද පළ සාධාරණ හා තිරසාර මට්ටමට වර්ධනය කර ගැනීම සදහා විශාල වශයෙන් සමාජ පෙරළියක් සිදුවන අරගලයක් අවශ්‍ය වේ. ඒ සදහා මූලිකවම දැනුම සම්පාදනය කර ගැනීමක් අවශ්‍ය වේ. එහෙත් පවතින ලොකුම බාධාව වන්නේ එවැනි දැනුමක් සහිත මානව සම්පත තවමත් වර්ධනය වී නොතිබීම ය. එහෙත් නිදහස් වෙළෙද පළ අහෝසි කරමින් සාධාරණ හා තිරසාර වෙළෙද පළ නිර්මාණය කර ගැනීමේ අරගලය ස්ථිර ලෙසම කළ යුතුය.

විමුක්ති හඩ

(නිදහස් වෙළෙද පළ සම්බන්ධ ලිපි පෙළ නිමාවේ)

%d bloggers like this: