Menu Close

සමාජ මතය දෝතින් පිළිගැනීම හා රාජ්‍යයේ දෘෂ්ටිවාදය

සාමාන්‍යයෙන් සමාජයේ පොදුජන මතය නිර්මාණය වන්නේ රාජ්‍යයේ දෘෂ්ටිවාදය අනුව ය. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය තම ආණ්ඩුව විසින් රාජ්‍යයේ දෘෂ්ටිය බවට පත්කර ඇති අවධියක පොදුජන මතය ද සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීවීම තාර්කික ය. ඊට හේතුව රාජ්‍යයේ ප්‍රචාරක උපකරණ වලින් තුන්තිස් පැයේම රාජ්‍යයේ දෘෂ්ටිය පොදුජනතාව අතර ව්‍යාප්ත කරමින් සිටින නිසාත් ඊට විකල්ප මතයකට ඉඩක් නොතබන නිසාත් ය.

එවැනි තත්ත්වයක දී සාමාන්‍ය පොදු මහජනතාව රාජ්‍යයේ මතයම දරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීම අරුමයක් නොවේ. එහෙත් දේශපාලන පදනමක් සහිත හා ආණ්ඩුව නියෝජනය නොකරන ජන කොටස් ද පොදු මහජනතාවගේ මතයම, එනම් රාජ්‍යයේ දෘෂ්ටිවාදී මතයම කරපින්නාගෙන සිටී නම් එහි බරපතල ගැටළුවක් පවතී.

මුස්ලිම් ජනකොටස සම්බන්ධයෙන් වූ ඉස්ලාම් ආගමික සංස්කෘතිය බොහෝදෙනෙකු විසින් නුරුස්නා බව රහසක් නොවේ. ඊට හේතුව සිංහලබෞද්ධ ජන කොටස තුළ පවතින සීමා සහිතකම් මෙන්ම මුස්ලිම් ජනකොටස තුළ පවතින සීමාසහිතකම් ද වේ. මේ නුරුස්නාව සිංහලබෞද්ධ අධිපති මතය විසින් සමාජය තුළ ගැඹුරින් ව්‍යාප්ත කර ඇත. සිංහලබෞද්ධ අධිපති රාජ්‍ය දෘෂ්ඨිවාදයක් තුළ ඉස්ලාම් ආගමික සංස්කෘතිය බැහැර කිරීමකට තල්ලු කිරීම තාර්කික ය.

90163085_3176120379106719_5577030401248985088_n

ජනකොටසක සංස්කෘතික ප්‍රතික්ශේප කිරීමක් සාධාරණීකරණය කිරීමට ඕනෑ තරම් සහේතුකයන් නිර්මාණය කරගත හැකිය. එහෙත් ප්‍රධානම කරුණ වන්නේ එක්සත් ජාතියක් ලෙස එකට සිටීම මිස වෙනස්කම් මත බෙදී යෑමත් සුළු ජනකොටස් වෙත අරියාදුකම් කිරීමත් නොවේ. එසේම පොදු සමාජයෙන් ඔවුන් එළවා දැමීමත් නොවේ. නමුත් ආණ්ඩුවේ දේශපාලනයට වෙනස් දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන පිරිස්ම විවිධ හේතූන් සහේතුකයන් කර ගනිමින් රාජ්‍යයේ අධිපති මතය වන සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය කර පින්නා ගනී නම් එය කෙතරම් දේශපාලන ව්‍යසනයක් ද?

ඊට හේතුව වන්නේ තමන් වෙනස් දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කීවත් රාජ්‍යයේ අධිපති දෘෂ්ටිය වෙනුවට තමන්ට වූ සමාජ දේශපාලන දෘෂ්ටියක් නිර්මාණය කර ගැනීමට ඔවුන් අසමත් වී ඇති නිසා ය. තම දේශපාලන ව්‍යාපාරයේ පදනම අතරමැදි පන්තිය වූ කළ ඊට දෘෂ්ටියක් නොවීම යුක්තිසහගත ය. ඊට හේතුව අතරමැදි පන්තිය සමාජය තුළ අචල හා නිශ්චිත දෘෂ්ටියක් නියෝජනය නොකිරීමයි. එනිසා එම සමාජ පන්තිය නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය ද යම් නිශ්චිත දේශපාලන දෘෂ්ටියක් නියෝජනය නොකර චලනය වන සමාජ මතය සමග එකට සිට ගනී. එහිදී සමාජයේ අධිපති සමාජ මතය තමනුත් වැළද ගැනීම බොහෝවිට සිදුවේ.

රාජ්‍යයේ අධිපති දෘෂ්ටිවාදය සමාජය කරා ගෙන යන දෙරණ රූපවාහිනියේ දේශපාලන වැඩසටහන තුළ සිදුවූ වර්ගවාදී සාකච්ඡාවට විරෝධයක් ජවිපෙ නියෝජිතයාගෙන් එල්ල නොවන්නේ එබැවිනි. එසේම රටපුරා සිටින ජවිපෙ සාමාජිකයන් ෆේස්බුක් තුළ ඉස්ලාම් සංස්කෘතික විරෝධයක් පළ කරන්නේත් එබැවිනි. ඔවුන් බොහෝවිට පවසන්නේ තමන් ජාතිවාදී නොවන බව ය. එහෙත් එසේ පවසමින්ම තමන්ගේ අංක එකේ දේශපාලන අදහස් පළ කිරීම් සමාජ පොදුජන මතය ශක්තිමත් කිරීමවීම අහඹුවක් නොවේ. එසේම තමන් කරන්නේ රාජ්‍යයේ වර්ගවාදී දෘෂ්ටිවාදය වැළද ගැනීමක් බවද ඔවුන්ට නොතේරේ.

ධනපති රාජ්‍ය විසින් නිර්මාණය කර ඇති නීතීන්, සමාජ සම්මතයන් හා සදාචාර ක්‍රම විධීන් කරතබාගෙන යෑම මාක්ස්වාදීන්ගේ භාවිතාව නොවේ. ඔවුන් සලකා බැලිය යුත්තේ සමාජ සාධාරණත්වය හා ජන කොටස් අතර සමානාත්මතාව ඇති කර ගන්නා ක්‍රමවේදයන් ය. ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාධනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ දේහයන් ඔවුන්ගේ සංස්කෘතික අවශ්‍යතාවන්ට ගරු කරමින් සෞඛ්‍ය ආරක්ෂිතව භූමදානය කිරීමේ තෝරා ගැනීම පිළිගැනීමට අපට කිසිම අපහසුවක් නැත. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාව විසින් එය ක්‍රියාත්මක නොකරන්නේ හුදු වර්ගවාදී අවශ්‍යතා මත මිස වෙනකක් නිසා නොවේ.

එකිනෙකට වෙනස් සංස්කෘතීන් සමග සමාජ දේශපාලන ගනුදෙනු කිරීම සදහා අපූරු දෘෂ්ටිවාදයක් නිර්මාණය කර ඇත්තේ මාක්ස්වාදී දැනුම් පද්ධතියයි. ඊට අනුව එකිනෙකාට ගෞරව කරමින් සමාජය සංවිධානය කිරීමට ඕනෑ තරම් ශක්තියක් ලබා ගත හැකිය. තමන් ආණ්ඩු විරෝධීන්, තමන්ට ආණ්ඩු විරෝධී දේශපාලනයක් ඇතැයි පවසන අය මාක්ස්වාදය හදාරා ඒ අනුව කටයුතු නොකරන්නේ නම් ඔවුන් හුදු පුස්සන් පිරිසක් බව අනිවාර්යෙන් පැවසිය යුතු ය.

විමුක්ති හඩ

%d bloggers like this: