Menu Close

ග්‍රාමීය දරිද්‍රතාව හා ප්‍රාග්ධනය ගමට ගලා ඒම

1978 වනවිට ශ්‍රී ලංකාවේ පැවැතුනේ සරල හා සීමිත අවශ්‍යතා වලින් පිරුණු ජීවන රටාවක්. එතෙක් පැවති සංවෘත ආර්ථික ක්‍රමය තුළ ආහාර සොයා ගැනීම හා ජීවත්වීම යන්න පමණක් මූලික වූ අතර මුළුමනින්ම දේශීය නිෂ්පාදනයන් මත වෙළෙද පළ සීමා වුනා. 1977 මහා මැතිවරණයේ දී පාලක සමගි පෙරමුණු ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවත් ග්‍රාමීය ප්‍රදේශ වලින් ශ්‍රීලනිපය ලැබූ චන්ද සංඛ්‍යාව නොසලකා හරින්න බැහැ. ඒත් එදා ගම් මට්ටමෙන් තිබුනේ නොදියුණු හා ප්‍රාථමික මට්ටමේ වූ ජීවන ක්‍රමයක්.

උදාහරණයකට ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශය ගන්න පුළුවන්. එම ප්‍රදේශය 1994 පමණ වෙන තෙක්ම පැවතුනේ නොදියුණු මට්ටමකයි. ඒ කියන්නේ ළමා මරණ අනුපාතිකය, සියදිවි නසා ගැනීම් අනුපාතිකය, කළ කෝලාහල කර ගැනීම, දරිද්‍රතාව ආදී නිර්ණායකයන්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නරකම ලකුණු පෙන්නුවේ කරන්දෙණියයි. අවම වශයෙන් මහ ඒදණ්ඩ නගරයට රජයේ බැංකු ශාඛාවක් හෝ තිබුණේ නැහැ.

මේ තත්ත්වය වෙනස් උනේ 1978 දී වෙළෙද පළ ආර්ථිකය ඇති කළාට පස්සෙයි. ඒ නිසා කරන්දෙණියේ ජනතාව සීඝ්‍රයෙන් විදේශ රැකියාවන් කරා ගිය අතර කුරුදු වගාවට ද යහපත් කලදසාවක් උදා උනා. මේ නිසා කරන්දෙණියට ප්‍රාග්ධනය ගලා ආ අතර ඊට සමාන්තරව ප්‍රදේශයේ ධනේශ්වර සංවර්ධනය යහමින් සිදුවුනා. මහා මාර්ග, පාළම් බෝක්කු ඉදිවූ අතර විදුලි බල හා ජල පහසුකම් සීඝ්‍රයෙන් ව්‍යාප්ත උනා. මේ භෞතික සංවර්ධනයට සමාන්තරව මිනිසුන්ගේ භෞතික ජීවන තත්ත්ව දර්ශකය ද ඉහළ ගියා.

90246248_3683477565026657_6593577855165136896_o

කෙසේ වුවත් ධනේෂ්වර සංවර්ධනයට සීමා මායිම් තියෙනව. වෙළෙද පළ සංවර්ධනය උපරිමයට ආ පසුව එහි ප්‍රසාරණය වීමේ සීමාසහිතකම් මගින් සංවර්ධනය බල රහිත වෙනව. ඒ වගේම එහි අතුරු ප්‍රථිඵල ද පැන නගිනව. පැවැති තත්ත්වය නැවත සකස් වී (Reshuffle) අලුත් තත්ත්වයක් උදා වෙනව. ඒ අනුව මිනිස් ගුණාත්මකභාවය අලුත් මට්ටමකින් නරක ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගත්ත.

කරන්දෙණියේ බහුතරයක් විදේශ ගත වූයේ කාන්තාවන් නිසා පවුල් ඒකකය තුළ අභ්‍යන්තර ආරාවුල් ඇතිවූ අතර එම ප්‍රතිපල දරුවන්ට ද බලපෑව. පාදඩ ආර්ථික හැසිරීම වලට ප්‍රදේශය නතු වූ අතර පාතාල ක්‍රියාකාරීත්වය යහමින් වර්ධනය වූවා. මහජන නියෝජිතයන් පවා පාතාලය සමග ගනුදෙනු කළ අතර අවසානයේ පාතාලය විසින්ම ඔවුන් ඝාතනයට ලක්වුනා.

කරන්දෙණියෙන් අපට ගත හැකි ආදර්ශය වන්නේ 1978 තෙක් පැවැති ග්‍රාමීය දරිද්‍රතාව අහෝසි කරන්නට ප්‍රාග්ධනයට හැකි වුවත් ගම අලුතෙන් අර්ථ දක්වාගෙන (Restructure) එය මිනිස් සමාජයට නොගැලපෙන මට්ටමට සකස් කරන්නට ඊටම හැකි වූ බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ ගමට ප්‍රාග්ධනය ගලා යෑම බොහෝ ප්‍රගතිශීලී වුවත් ඒ හා අනන්‍ය වූ සමාජ කඩා වැටීමක් සමාන්තරව සිදුවූ බවයි.

විමුක්ති හඩ

%d bloggers like this: