Menu Close

හිට්ලර්ට එරෙහිව හඬ නැගූ ‘සුදු රෝස’ ව්‍යාපාරය

ඒ 1943 වසරයි. නාසි ජර්මනිය හරහා ගුවන් යානා කිහිපයක් පියාසර කළේ පත්‍රිකා විශාල ප්‍රමාණයක් පහතට හෙළමින්. අඥාත ජර්මානු වැසියන් විසින් ලියූ එම ලිපි වලින් ඔවුන් කියා තිබුනේ හිට්ලර්ට විරුද්ධ වී අනාගතය පිලිඹද බලාපොරොත්තු දල්වාගෙන අධෛර්‍ය නොවී කටයුතු කරන ලෙසයි. මෙම පත්‍රිකා නිවෙස්, ව්‍යාපාර ස්ථාන පමණක් නොව සිරගෙවල් තුලට ද ව්‍යාප්ත විය. මෙම පත්‍රිකා බෙදාහැරි පුද්ගලයින් කවුරුන් ද? ඔවුන්ට සිදු වූයේ කුමක් ද? යන්න අනාවරණය වූයේ යුද්ධය අවසන් වී සුළු කාලයකට පසුවයි.

මීට වසර දහයකට පමණ පෙර හිට්ලර් බලයට පැමිණෙන විට හාන්ස් සහ සෝෆී ෂෝල් යන සහෝදරයා හා සහෝදරිය සිටියේ යෞවන අවධියේ. නාසි ජර්මනිය තරුණ තරුණියන් කෙරෙහි දැක්වූයේ වැඩි අවධානයක්. ඔවුන්ව තරුණ අවධියේ සිට නාසි මූලධර්ම උගන්වා ඔවුන්ගේ ආකල්ප සකස් කිරීම එහි පරමාර්ථයකි. මේ කාලයේ දී හාන්ස් ෂෝල් හිට්ලර්ගේ තරුණ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර සෝෆී ෂෝල් ජර්මන් කාන්තාවගේ ලීගයේ සාමාජිකාවක් වූවා ය.

හාන්ස් සහ සොෆී ෂෝල් 1940 දී 


හාන්ස්ව කාලයත් සමග තනතුරෙන් උසස් කළ අතර 1936 වසරේ දී නාසි රැලියක දී නාසි කොඩිය රැගෙන යාමටත් අවස්ථාව හිමි වුනා. නමුත් හාන්ස් අත්දකිනවා එස්.එස්. හමුදාව අතින් තරුණයන් ඝාතනය වන ආකාරය. තමන් ගත් තීරණය නිවැරදි ද යන්න ඔහු සිතා බලන්නේ මේ අත්දැකීමෙන් පසුව. ඔහුගේ සහෝදරියත් තමා ඉගෙන ගත් දේවල් නිවැරදි ද කියා තමන්ගෙන් ම ප්‍රශ්න කරමින් නාසි මූලධර්ම තම සිතින් ඉවත් කිරීමට කටයුතු කරනවා. මේ සියල්ලට ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ලැබුනේ සුවිශාල සහයක්.

දෙවන ලෝක යුද්ධය පටන් ගත්තෙන් සොෆී හට රජයේ කාර්යාල වල රැකියාවක නිරත වීමට සිදුවූ අතර හාන්ස්ට මියුනික් හි වෛද්‍ය වරයෙක් වීමට ඉගෙන ගන්නා අතර සෙබළෙක් ලෙස ද කටයුතු කිරීමට සිදු විය. හාන්ස්ගේ ජීවිතයේ වෙනසක් කිරීමට සමත් වන ඔහුගේ සහෘදයන් වන ක්‍රිස්ටොෆ්, විලී ග්‍රාෆ් සහ ඇලෙක්සැන්ඩර් ෂ්මෝරෙල්ව මුණගැසෙන්නේ මියුනික්හි වෛද්‍ය ආයතනයේදී. දිනෙන් දින මොවුන් තුල වූ නාසි විරෝධී අදහස් වර්ධනය වන්නට විය. තමන්ගේ මෙම අදහස් සමාජය පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වුවත් විශ්වාස කල යුත්තේ කවුරුන්ද යන්න පිලිබද ඔවුන්ට තිබුනේ සැකයක්.

එමනිසා කිසිවෙකුගේ නම් භාවිතා නොකර අඥාතව මෙම අදහස් බෙදාහැරීමේ කටයුතු වල නියැලීමට ඔවුන් තීරණය කරනු ලැබුවා. 1942 වසරේදී මියුනික් නගරය පුරාවට නාසි විරෝධී අදහස් ඇති පත්‍රිකා සංසරණය වූ අතර ඒවා අත්සන් කර තිබුනේ ‘සුදු රෝස’ නමින්. මුල්ම පත්‍රිකාවේ හිට්ලර්ව විවේචනය කර තිබුනු අතර යුද්ධයට විරුද්ධ වන ලෙසත් ලියා තිබුනා. මෙම ලිපි බොහොමයක් ලීවේ හාන්ස් ෂෝල් විසින්.

1942 දී සොෆී ෂෝල් මියුනික් නගරය වෙත පැමිනෙන්නේ තම සහෝදරයාගේ මෙම ක්‍රියාකලාපය ගැන කිසිවක් නොදැනයි. දිනක් ඇය පාසලේ දී සිටිනා විටදී සුදු රෝස යනුවෙන් අත්සන් කළ පත්‍රිකාවක් හමුවෙයි. මෙම පත්‍රිකා ලියන්නේ තමන්ගේ සහෝදරයා යන වග සොයාගැනීමට ඇයට වැඩි කාලයක් ගත වූයේ නැත. මෙයින් සතුටට පත් ඇය තම සහෝදරයාගේ කණ්ඩායමට ඇතුලත් වෙයි. 1942 වසරේ ජූනි මාසයේ සිට 1943 වසරේ පෙබරවාරි මාසය දක්වා මෙම කණ්ඩායම හිට්ලර් විරෝධී ව්‍යපාරය පෙරට වඩා උද්යෝගයෙන් පවත්වාගෙන යයි. මේ අතර ගෙස්ටාපෝ රහස් පොලීසියත් ඔවුන්ගේ ආරක්ෂක විධි විධාන තර කිරීමට පියවර ගන්නේ මෙම පත්‍රිකා බෙදාහරින්නන් සොයා ගැනීමේ අදිටනින්.

සුදු රෝස ව්‍යාපාරය සිහිපත් කරමින් මියුනික් විශ්වවිද්‍යාලයේ ඇති සිහිවටනයක්. 


1942 වසරේ සීත ඍතුවේදී හාන්ස් චෙකොස්ලෝවැකියාව වෙත යයි. එහිදී ඔහු හිට්ලර් විරෝධී තවත් කණ්ඩායම් හමුවී තම අදහස් ඔවුන් සමග බෙදාගනියි. 1943 වසරේ පෙබරවාරි මාසයේදී සෝෆී සහ හාන්ස් මියුනික් හි විශ්ව විද්‍යාලය වෙත ගොස් තම පත්‍රිකා බෙදාහැරීම සිදු කරයි. අවාසනාවකට එහි සිටි අයෙක් ගෙස්ටාපෝ පොලීසියට ඒ පිලිබදව ඔත්තුවක් ලබා දුන් නිසා ඔවුන් දෙදෙනා අතඩංගුවට පත් වෙයි. එහිදී ඔවුන්ගෙන් මේ පිලිබඳ ප්‍රශ්න කළ නමුත් මෙම දෙදෙනා තමන්ට තිබෙන චෝදනා සියල්ල ප්‍රථික්ෂේප කරයි. තමන් සමග සිටි සහෘදයින් කිසිවෙක්ව පාවා නොදුන් මෙම දෙදෙනාට අවසානයේ අත්වූ දඬුවම වූයේ ගිලටීනයෙන් හිස ගසා මරණයට පත් කිරීමයි. තමන්ව ඝාතනය කිරීමට පෙරාතුව සෝෆී මෙවන් දෙයක් පවසයි.

“එක් එක් මිනිසා ධාර්මිකව සිටීමට උත්සහ ගන්නේ නැතිව ධාර්මික රටක් අපි බලාපොරොත්තු වන්නේ කෙසේද? හොදින් හිරු පායා ඇති අද වන් දිනක මට යන්නට සිදු වෙනවා. නමුත් මගේ මරණයෙන් මිනිසුන් දහස් ගණනක් අවධි වනු ඇත.”

රටක වෙනසක් බලාපොරොත්තු වනවා නම් පලමුව වෙනස් විය යුත්තේ එක් එක් පුද්ගලයාගේ ආකල්ප යි.

මූලාශ්‍ර:

  • Encyclopedia Britannica
  • History.com
  • BBC.com
  • Holocaust Encyclopedia
  • The German resistance memorial center website

%d bloggers like this: