Menu Close

    හැඳිමිටේ දිග – ව්‍යාජ කුරුඳු වලට නොරැවටෙමු  – 17 

                     කෑමක් සකස් කිරීමට වඩා, ඒ කෑම සඳහා අවශ්‍ය වන වැදගත් දෙයක් හරහා අප මුහුණපාන තත්වයක් කීම වඩා වැදගත් යයි සිතෙනවා. අපි කුරුඳු ගැන කතා කරමු.

සමහරවිට මේ ප්‍රශ්ණය ලංකාවේ නැතිව ඇති. හේතුව ලංකාවේ කුරුඳු දුර්ලභ නොමැති නිසා. නමුත් සෑම දෙයක්ම වාණිජ මට්ටමෙන් බලන ලෝකයේ, මේ කියන්න යන ව්‍යාජ කුරුඳු වලට කෙනෙක් රැවටෙන්න පුළුවන්. මොකද මා ඊට රැවටුනා. පාලක පරීක්ෂණයක් සේ මුන් ඇට හොද්දකට ඉන්දියාවෙන් ලැබුණු තුන පහ සහ අනෙක් හොද්දට ලංකාවේ තුන පහ දැමූ විට රසය සහ සුවඳ වෙනස් වීම ඊට සාක්කියක්.

එක වර්ගයක් වක්‍ර වී රවුමක් පමණ ඇති අතර, අනෙක් වර්ගය සර්පිල කීපයක් සේ වක්‍ර ව ගොස් ඇත.

මෙන්න මේ දෙවන වර්ගය නිවැරදියි. කුරුඳු ගන්නා විට කුඩු නොගෙන මේ ආකාරයේ රෝල් ගැනීමේ වාසිය ඒකයි. ඔය ව්‍යාජ වර්ගය වැඩියෙන්ම එන්නේ ඉන්දුනීසියාවෙන්, චීනයෙන්, වියට්නාමයේ සහ ඉන්දියාවේ සමහර පළාත් වලින්. මේ ව්‍යාජ වර්ගයේ හොඳට දැනෙන කුරුඳු සුවඳක් නැහැ. එමෙන්ම ඒවාට බොහෝ තද ගතියක් ඇති අතර හොඳ කුරුඳු ලෙහෙසියෙන් කුඩු වේ. ඒ නිසා සමහරවිට කෘතීම සුවඳ එකතු කරනවාත් ඇති. ඊටත් වඩා භයානක වන්නේ ඒ ව්‍යාජ කුරුඳු හෙවත් ‘කැසියා’ (Cassia) යන්න ශරීරයට අහිතකර වීමයි.

ව්‍යාජ කුරුඳු දිනපතා භාවිතයෙන් හිසේ රුදාව, කෑම අජීර්ණය මෙන්ම කාලයක් තිස්සේ භාවිතා කළහොත් අක්මාවට එය අහිතකර සේ බලපානවා. එසේ හෙයින් හොද්දට කුරුඳු දානවා නම්, සැකයක් තිබේ නම් කුරුඳු භාවිතා නොකර සිටීම නුවණට හුරු දෙයක්. මෙහි ජීව විද්‍යාත්මක නාමය වන්නේ, ‘සිනමොන් ඇරෝමැටිකා’. නියම වර්ගයේ ජීව විද්‍යාත්මක නම ‘සිනමන් සිලොනිකා’. එනම් මේ ශාඛය ලංකාවට ආවේණික බව ඉන් පෙනී යනවා.

නියම කුරුඳු වැවෙන්නේ ලංකාවේ සහ ඊසාන දිග ඉන්දියාවේ පමණයි.       

මේවා රූපයේ ආකාරයට රෝල් වශයෙන් පැමිණියහොත් නම් හඳුනා ගන්නට පහසුයි . කුඩු වශයෙන් මිළදී ගත යුතු නැත්තේ අන්න ඒ නිසා.තවත් දෙයක් වන්නේ, හොඳ කුරුඳු නිවසේදී වුවත් කුඩු කරගන්නට හැකියි. ව්‍යාජ වර්ගය ඉතා තද නිසා එසේ කිරීමට නොහැකි වෙනවා. විශේෂයෙන්ම පිටරටක සිටී නම්, ‘තුන පහ’ මිලදී ගන්නවා නම් ප්‍රවේශම් විය යුතු වෙනවා.  මෙහි තේරුම, නියම කුරුඳු භාවිතා කරන, ‘තුන පහ’ නිෂ්පාදනය කරන, අවංක ආයතන ලංකාවේ නැතුවා යන්න නම් නොවේ.

එහෙත් කල යුතු හොඳම දේ වන්නේ අපේ ආච්චිලා අම්මලා හදා ගත්තා වගේ තුන පහ නිවසේදී හදා ගැනීමයි. එහෙත් අපේ ජීවන රටාව අනුව එය කරන්නට පහසු නැහැ. නමුත් යම් කාලයක් වියදම් කර එක සැරේ තරමක ලොකු ප්‍රමාණයක් තනා ගැනීම වැදගත් වේවි. නියම කුරුඳු කුඩු, ‘ලා දුඹුරු’ පැහැයෙන් යුතු වන අතර ව්‍යාජ කුරුඳු කුඩු හෙවත් ‘කැසියා’ යන්න ‘තද දුඹුරු’ පැහැයෙන් යුතු වෙනවා.

නියම කුරුඳු වලින් ලේ වල සීනි ප්‍රමාණය නිවැරදිව නඩත්තු වෙනවා කියා, ඉන්දියාවේ කියමනක් තියෙනවා.

පොළොස් ගෙඩිය ෆොර්මැල්ඩිහයිඩ් වලින් සෝදන ලංකාවේ, මේ ව්‍යාජ කුරුඳු භාවිතා කර තුන පහ හදන්නේ නැහැ කියා අපට හරියටම කියන්නට බැහැ. කුඩු වශයෙන් එන තුන පහ කෙසේ සකස් කරනවාද කියා කව්රුවත් දන්නේ නැහැ. ඒ නිසා ප්‍රවේශම් වීම නුවණට හුරුයි. තවද ලංකාවේ කුරුඳු තලන සම්ප්‍රදායික ක්‍රමයෙන් එපමණ කුරුඳු නිෂ්පාදනය කල නොහැකි නිසා ඉහත කී ව්‍යාජ කුරුඳු ලෝක වෙළඳපොලේ බහුලව තිබෙන අතර එය 90% ක ප්‍රමාණයක් වේ යයි කියති.

නමුත් නියම කුරුඳු ඉහත කී ව්‍යාජ කුරුඳු මෙන් පස් ගුණයක් පමණ වටී.  විද්‍යාවේ දියුණුවත් සමඟ වඩා කාර්යක්ෂම කුරුඳු තැලීමේ යාන්ත්‍රික මෙන්ම නිවැරදි ක්‍රම ලංකාවට හඳුන්වා දීමේ වැදගත්කම මින් පෙනී යයි.

තවත් වැදගත් දෙයක් වන්නේ, ඒ පැරණි කෑම රටාව නොමැති වීමෙන් ශරීරයට නොයෙක් ලෙඩ රෝග බෝවෙන්නට පුළුවන්. විශේෂයෙන් මේ කාලයේ පවතින කොරෝනා වසංගතය සඳහා ඒ සෞඛ්‍යමය ආකාරයේ ආහාර රටාවකට පුරුදු පුහුණු වීමෙන්, ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්නට හැකි වේවි. උදාහරණයක් ගතහොත් වාසනාවට ලංකාවේ කොරෝනා රෝගය සාපේක්ෂව පැතිරී යාම අඩුවුණු එක හේතුවක් අපේ ආහාර රටාව, සහ ඒ ආහාර වලට දාන ඖශධ ස්වභාවයේ තුන පහ වෙන්නත් පුළුවන්.  

කඩෙන් අරගන්නා තුන පහ ගැන කොතෙක් දුරට විශ්වාස කල හැකිද යන ගැටලුවට මුහුණ දිය හැකි හොඳම ක්‍රමය වන්නේ, අප විසින්ම ඒවා නිවසේ තනා ගතහොත් පමණයි. 

වෙන දවසක අපි තුන පහ හදන ආකාරය ගැන සාකච්චා කරමු. පලාතෙන් පලාතට පමණක් නොවේ රටින් රටටද ඒවා වෙනස් වන නිසා එය තුලින් අපට බොහෝ දේවල් දැන ගන්නට පුළුවන් වේවි. උදාහරණයක් සේ ඉරානයේ මල් වර්ගයක රේණු වන සැෆ්රන් [saffron] යන අවුන්සයක් ඩොලර් 500ක් පමණ වන ඉතා මිළ අධික කුළු බඩු වර්ගය භාවිතා කරනවා. එක මලකින් ගන්නට හැකි රේණු තුනක් පමණක් නිසා ඒවා තනා ගැනීමට බොහෝ වෙහෙසවිය යුතු වෙනවා. ඒ නිසා සැෆ්රන් අධික මිළක් වන නිසා, ඒවා එහි සාමාන්‍ය මිනිසුන්ට භාවිතා කරන්නට නොහැකියි.

කෙසේ හෝ මොන ‘තුන පහ’ භාවිතා කලත්, හොඳම ක්‍රමය වන්නේ, කඩෙන් ගන්නා තුනපහ සහ ඔබ හදන තුන පහ මගින්, එකම ආකාරයේ ව්‍යංජනයක් එකවර උයා පාලක පරීක්ෂණයක් කර එහි රස බැලීමයි. 

   

%d bloggers like this: