Menu Close

කඩා වැටෙන්නේ මොකක්ද?

සමහර අය කියන විදිහට ධනවාදය කඩා වැටෙමින් තිබෙනවා. තවත් අය කියන විදිහට බටහිර විද්‍යාව අසරණ වෙලා. බටහිර සංස්කෘතිය බිඳ වැටිලා කියා කියන අයත්, ඇමරිකාවට කෙළ වෙලා කියන අයත් බහුලයි. ඇමරිකාවේ අඩුපාඩුවක් ලෙස පෙන්විය හැකි මොකක් හරි දෙයක් අමාරුවෙන් හරි හොයා ගත්තොත් ඒක ධනවාදයේ කඩා වැටීම. බටහිර සංස්කෘතියේ කඩා වැටීම. ඒ දෙයම වෙන රටක සිදු වුනොත් ඒක ඇමරිකන් කුමන්ත්‍රණයක්.

ඔය කියන දේවල් කොහොම වුනත් රුපියලනම් කඩා වැටෙමින් තිබෙන බව පේනවා. අද ඉතිහාසයේ පළමු වරට ඇමරිකන් ඩොලරය රුපියල් දෙසීය පන්නලා. වෙනත් විදිහකට කිවුවොත් ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් දෙසීය ඉක්මවා ඉහළ ගිහින්. රුපියල ඇමරිකන් ඩොලර් ශත බාගෙකටත් වඩා අඩු වෙලා.

සමහර අය කියන විදිහට කොරෝනා එක්ක සටන් කර ගන්න බැරුව ඇමරිකාව අසරණ වෙලා ඉඳිද්දී, ලංකාව ඉතා සාර්ථකව අර්බුදයට මුහුණ දී තියෙද්දී ඩොලරයේ අගය ඉහළ ගිහින් රුපියලේ අගය පහළ යන්නේ කොහොමද? මේක කවුරු හරි විස්තර කරනකම් මම බලා ඉන්නවා.

කොහොම වුනත් කොරෝනා එක්ක ලෝකය යම් තරමකින් ප්‍රතිනිර්මාණය වීමක් වෙනවා. ඒ තුළ, කඩා වැටෙන දේවල් හා අලුතින් හැදෙන දේවල් තිබෙනවා. මේ දේවල් වෙන්නේ කොරෝනා නිසාම නෙමෙයි. කොහොමටත් සිදු වෙමින් තිබුණු හෝ සිදු වෙන්න නියමිතව තිබුණු දේවල් කොරෝනා එක්ක ටිකක් ඉක්මණින් වෙනවා පමණයි.

රුපියල කඩා වැටීමත් ඒ වගේ දෙයක්. රුපියල කඩා වැටෙන්න හේතුව කොරෝනා නෙමෙයි. එය ආසන්න හේතුව පමණයි. කොරෝනා නොතිබුණානම් මොකක් හරි ඒ වගේ වෙනත් ආසන්න හේතුවක් හැදෙයි. රුපියල කඩා වැටෙන්නේ කොරෝනා නිසා කියා කීම හරියට පළමු ධර්ම සංගායනාව පැවැත්වුණේ සුභද්‍රගේ අභද්‍ර වචනය නිසා කියා කියනවා වගේ කතාවක්.

කොරෝනා වලින් පස්සේ ලෝකය පරණ ලෝකයට වඩා ටිකක් වෙනස් වෙයි. හැබැයි ඒ කොරෝනා පැතිරුණු නිසාම නෙමෙයි. ලෝකයේ කොහොමටත් සිදුවෙමින් තිබුණු සමාජ පරිවර්තනයක් කොරෝනා නිසා වේගවත් වූ නිසයි. මෙහිදීත් කොරෝනා කියන්නේ ආසන්න හේතුව පමණයි.

මෙතැනින් ඉදිරියට යන්න ධනවාදය, සමාජවාදය, ජාතිකවාදය වගේ “වාද” මම තේරුම් ගන්නා විදිහ පැහැදිලි කරලා ඉන්න ඕනෑ. මේ වචන එක එක අය අර්ථදක්වන්නේ එක එක විදිහටයි. මගේ විග්‍රහ පදනම් වෙන්නේ මගේ ආකෘතිය හා මගේ අර්ථකතන මතයි.

ධනවාදය හා සමාජවාදය කියන බෙදීම සාපේක්ෂව පරණයි. ජාතිකවාදය ඔය දෙක අතරට අලුතින් තරමක් පසුව එකතු වූ එකක්. ඊට කලින් ගොඩක් වෙලාවට සමාජවාදීන් විසින් ධනවාදය හා සමාජවාදය “දක්ෂිණාංශික” මතවාද විදිහට එක ගොඩකට දමලයි තිබුණේ. මේ වාමාංශික හා දක්ෂිණාංශික බෙදීම ඔස්සේ ලෝකය දකින්න පුරුදු වී හිටපු ඇතැම් අය ජාතිකවාදය කියන එක දැක්කේ තුන්වන විකල්පයක් විදිහටයි.

මේ තුන ත්‍රිකෝණයක මුළු තුනේ තිබෙන විකල්ප තුනක් විදිහට මම දකින්නේ නැහැ. ඒ වගේ ආකෘතියක් යොදා ගෙන කිසියම් රටක් එක වරම ධනවාදී හා ජාතිකවාදී වීම එහෙමත් නැත්නම් සමාජවාදී හා ජාතිකවාදී වීම පැහැදිලි කරන්න බැහැ. එය කළ හැක්කේ මුළු හතරක් තිබෙන ද්විමාන ආකෘතියකින් පමණයි. පහත රූප සටහනේ තිබෙන්නේ එවැනි ආකෘතියක්.

මෙහි වම් පැත්ත සමාජවාදය, දකුණු පැත්ත ධනවාදය. උඩ පැත්ත ජාත්‍යන්තරවාදය. යට පැත්ත ජාතිකවාදය.

මෙහි ධනවාදය කියා කියන්නේ කුමක්ද? ඒක මේ පහුගිය සියවස හෝ දෙක තුළ ඇති වුනු දෙයක් නෙමෙයි. ඉතිහාසය පුරාම තිබුණු ස්වභාවික ක්‍රමය. මිනිස්සු තම තමන්ගේ ශක්ති ප්‍රමාණය අනුව විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. ඉන්පසුව, තම තමන්ගේ කැමැත්ත පරිදි ඒ දේවල් වෙනත් අය සමඟ හුවමාරු කර ගන්නවා.

එක එක පුද්ගලයාගේ හැකියාවන් වෙනස්. ඒ නිසා නිෂ්පාදන ධාරිතාවන්ද වෙනස්. ඒ වගේම එක් එක් පුද්ගලයාගේ රුචිකත්වයන්ද වෙනස්. නිදහස ගනුදෙනු වලට ඉඩ ලැබෙන සමාජයක කිසියම් පුද්ගලයෙකු තමන් පරිභෝජනය කරන්න වඩා කැමති දෙයම නිෂ්පාදනය කළ යුතු නැහැ. තමන්ට වැඩිම නිෂ්පාදන හැකියාවක් තිබෙන දෙය හදා එය වෙනත් අයෙකු සමඟ හුවමාරු කර තමන් කැමති දෙය ලබා ගැනීම වඩා වාසියි. ධනවාදය ඇතුළේ වෙන්නේ ඕකයි.

මේ හුවමාරු කිරීමේ හැකියාව ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමටද උදවු වෙනවා. තමන්ට පරිභෝජනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනය කරන අයෙකුට අතිරික්තය වෙනත් අයෙකු සමඟ හුවමාරු කර කල් තබා ගත හැකි ප්‍රාග්ධන භාණ්ඩයක හිමිකරුවෙක් විය හැකියි. ප්‍රාග්ධනය කියා කියන්නේ පරිභෝජනය කර වැය නොකළ ශ්‍රමයේ ඵලය. ඒ නිසා, යමෙක් පරිභෝජනය සීමා කරන තරමට වඩා වැඩියෙන් ප්‍රාග්ධනය රැස් වෙනවා.

ස්වභාවික තත්ත්වයන් යටතේ ඇතැම් අය තමන්ගේ පරිභෝජනය සීමා කර ප්‍රාග්ධනය එක් රැස් කර ගන්නවා. තවත් ඇතැම් අය එසේ නොකර මේ මොහොතේ පරිභෝජනය ගැන පමණක් හිතනවා. ප්‍රාග්ධනය එක් රැස් කරගත් අයට පසුව එම ප්‍රාග්ධනය යොදවා නිෂ්පාදන ධාරිතාව ඉහළ දමා ගන්න පුළුවන්. ධනවාදය කියා කියන්නේ මේ ස්වභාවික තත්ත්වයට ඉඩ දෙන එකටයි.

ධනවාදයේ විවිධ අවදි ලෙස බොහෝ දෙනෙක් විසින් හඳුන්වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ සිදු වූ විවිධ වෙනස් වීම්. ඉතිහාසය පුරා එවැනි වෙනස්වීම් වරින් වර සිදු වී තිබෙනවා. දැනටත් සිදු වෙමින් පවතිනවා. අනාගතයේදීත් සිදු වෙයි. එහෙත්, ධනවාදයේ මූලික ලක්ෂණ එසේමයි. එහි පදනම මිනිසුන්ට තමන්ගේ හැකියාවන් අනුව කැමති අයුරින් තනි පුද්ගලයින් ලෙස හෝ සාමූහිකව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්න සහ එහි ඵල වෙනත් අය සමඟ නිදහසේ හුවමාරු කර ගන්න ඉඩ සැලැස්වීමයි. මෙහිදී ඇතැම් අය අඩුවෙනුත්, තවත් අය වැඩියෙනුත් නිෂ්පාදනය කරනවා. ඒ නිසා, එකිනෙකාට පරිභෝජනය කරන්න ලැබෙන සම්පත් ප්‍රමාණයද වෙනස් වෙනවා. නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති අයට ජීවත් වෙන්න සිදුවන්නේ එවැනි හැකියාවක් තිබෙන අයගේ සහකම්පනය මතයි.

සමාජවාදය කියන එක සංකල්පයක් විදිහට වෙනස් වෙන්නේ ඉහත කී ස්වභාවික තත්ත්වය තිබිය යුතු හොඳම තත්ත්වය ලෙස පිළිනොගෙන එය වඩා යහපත් ලෙස වෙනස් කරන්න දරන උත්සාහය තුළයි. ධනවාදය ඇතුළේ වුවත් හැම මොහොතකම ලෝකය ප්‍රතිනිර්මාණය වීමක් වෙනවා. එහෙත්, එය වෙන්නේ කෙනෙකුගේ වෙනස් අදහස් තවත් අය වෙත කාන්දු වී අවසානයේ බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක් වීමෙන් පසුවයි. එසේ නැතුව එකවර හදිසියේ සිදුවන විප්ලවයකින් පසුව නෙමෙයි.

ධනවාදය ඇතුළේ මිනිස්සු කියන්නේ තමන්ට හොඳම දෙය තීරණය කිරීමේ හැකියාවක් තිබෙන සවිඥානක අය බව පිළිගැනෙනවා. නමුත්, සමාජවාදය ඇතුලෙ වෙන්නේ කිසියම් පිරිසක් සියලු දෙනාම වෙනුවෙන් වඩා හොඳ තීරණ ගත හැකි පිරිසක් ලෙස තමන්වම හඳුන්වා ගනිමින් ඉස්මතු වීමයි. තමන් වෙනුවෙන් තීරණ ගත නොහැකි අය ලෙස හඳුනාගන්නා පිරිස් වෙනුවෙන්ද තීරණ ගන්න ඔවුන් ඉදිරිපත් වෙනවා. එහි අන්තය රටේ නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්‍රියාවලිය මධ්‍යගත සැලසුමක කොටසක් වීමයි. එහි තනි පුද්ගලයින්ගේ තීරණ වලට ඉඩක් නැහැ. ඔවුන්ට සිදු වන්නේ සීමිත පිරිසක් විසින් හදන මධ්‍යගත සැලසුමේ දැති රෝද වෙන්නයි. තනි පුද්ගලයින්ගේ පරිභෝජනය තීරණය කරන්නෙත් මේ පිරිසයි.

මා කලින් කීවාක් මෙන් ධනවාදය යටතේ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති අයට ජීවත් වෙන්න සිදුවන්නේ එවැනි හැකියාවක් තිබෙන අයගේ සහකම්පනය මතයි. සමාජවාදය යටතේ ඔවුන්ට වගේම, තීරණ ගන්නා සුළු පිරිස හැර අති මහත් බහුතරයකටම ජීවත් වෙන්න සිදු වෙන්නේ මධ්‍යගත තීරණ ගන්නා සුළු පිරිසකගේ සහකම්පනය මතයි.

මේ අන්ත දෙකම සෛද්ධාන්තික අන්ත දෙකක්. මුළුමනින්ම නිදහස් ගනුදෙනු වලට ඉඩ සලසනු ලැබූ හෝ මුළුමනින්ම මධ්‍යගත සැලසුම් මත තීරණ ගැනුණු රටවල් කවදාවත් ලෝකයේ පැවතී නැහැ. පැවති හා පවතින හැම ක්‍රමයක්ම අඩු වැඩි වශයෙන් අතරමැදි තත්ත්වයක්. පැරණි සෝවියට් දේශය හෝ වත්මන් කියුබාව රූප සටහනේ වම් අන්තය කිට්ටුවෙන් හිටියත් එම රට වලත් මධ්‍යගත යාන්ත්‍රණයකින් පාලනය නොවුණු හෝ නොවන දේවල් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම, දකුණු අන්තයට කිට්ටුව ඇති ඇමරිකාව වගේ රටක ඒකීය පුද්ගලයෙකු විසින් කරන ගනුදෙනු සියල්ල මුළුමනින්ම නිදහස් නැහැ.

මේ සන්දර්භයට ජාතිකවාදය එන්නේ කොහොමද? ලෝකයේ හැම රටක්ම දේශපාලනික ලෙස සංවිධානය වී තිබෙන්නේ ජාතික ආණ්ඩු යටතේ. ඕනෑම රටක පුරවැසියෙකු වෙනත් රටක පුරවැසියෙකු හා සමාන සේ සැලකෙන්නේ නැහැ. මෙයත් හෝමෝ සේපියන්ස්ලා හා සම්බන්ධව ස්වභාවික දෙයක්. මිනිස්සු කාලයක් තිස්සේ පරිණාමය වී තිබෙන්නේ ගෝත්‍රවාදීන් ලෙසයි. එහිදී තමන්ගේ ගෝත්‍රයේ අය සහ වෙනත් ගෝත්‍ර වල අය ලෙස බෙදීමක් තිබෙනවා.

සමාජය සංකීර්ණ වීමත් එක්ක මේ ගෝත්‍ර වඩ වඩා පුළුල් වී තිබෙනවා. ජාතික රාජ්‍ය කියා කියන්නේ මෙසේ ඉතා විශාල ලෙස පුළුල් වී තිබෙන ගෝත්‍ර. ඊටත් වඩා කුඩා බෙදීම් මේ වන විට ප්‍රායෝගිකව කෙසේ වුවත් අඩු වශයෙන් ප්‍රසිද්ධියේ බොහෝ දෙනෙකු විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ වෙද්දී තමන්ව ජාතිවාදියෙකු හෝ වර්ගවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වාගන්න අය ඉන්නවානම් ඒ ඉතාම සීමිතවයි. මෙය සමාජවාදී ධනවාදී හරස් ඉර දිගටම දැකිය හැකි තත්ත්වයක්.

තමන්ව ජාතිවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා ගන්න කැමති නැති බොහෝ දෙනෙක් තමන්ව ජාතිකවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා ගන්න පැකිළෙන්නේ නැහැ. ජාතික සීමාවන්ගෙන් ඔබ්බට මිනිසුන්ගේ ගෝත්‍රික සීමාව පුළුල් වී නැහැ. බොහෝ විට ධනවාදයක් යටතේ නිදහස් ගනුදෙනු සිදු වෙන්නේත්, සමාජවාදයක් ඇතුලෙ මධ්‍යගත සැලසුම් හැදෙන්නෙත් මේ ජාතික රාජ්‍ය වල සීමාවන් ඇතුළේ. එහිදී රටින් පිටත සිටින අයෙක් සමඟ නිදහස් ගනුදෙනු සිදු නොවීම හෝ එවැනි අය මධ්‍යගත සැලසුමේ කොටසක් නොවීම සාමාන්‍ය තත්ත්වයක්.

කොහොම වුවත් ඇතැම් පුද්ගලයින් මේ ගෝත්‍රික සීමාව ජාතික රාජ්‍ය වල සීමාවන්ගෙන් ඔබ්බට පුළුල් කරන්න උත්සාහ ගෙන තිබෙනවා. දැනටත් එසේ උත්සාහ කරනවා. ජාත්‍යන්තරවාදය කියා කිව හැක්කේ ඒ උත්සාහයටයි. මේ උත්සාහයන් රූප සටහනේ වම්-දකුණු තිරස් ඉර දිගටම වරින් වර දකින්න ලැබී තිබෙනවා.

පැරණි සෝවියට් දේශය සෑහෙන තරමකින් ජාත්‍යන්තරවාදී නැඹුරුවක් පෙන්වූවා. ඒ සමාජවාදී මධ්‍යගත සැලසුම් ඇතුළේම සිටිමින්. තමන්ගේ රටේ මිනිස්සුන්ට පාඩුවක් වෙද්දී වෙනත් රටවල මිනිස්සුන්ට ඇතැම් දේවල් නොමිලේ හෝ සුබසාධිත මිලකට දුන්නේ මේ පදනමින්. එහෙත්, චීනය එසේ කළේ නැහැ. චීනය හැම විටම වගේ මධ්‍යගත සැලසුම් හැදුවේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව ඇතුළේ හිටපු මිනිස්සු කේන්ද්‍ර කරගෙනයි.

අනෙක් පැත්තෙන් නිදහස් ගනුදෙනු වලට මුල් තැන දුන් රටවල් බොහෝ විට ප්‍රමුඛතාවය දුන්නේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව ඇතුලෙ සිටින මිනිසුන්ගේ යහපතට වුවත් සීමාවෙන් පිටත සිටි මිනිසුන් ගැන සැලකිලිමත් වූ අවස්ථාද ඕනෑ තරම් තිබුණා. GSP සහන ලබා දීමේදී සලකා බලන කොන්දේසි ආදියේ පදනමත් එවැන්නක්. දැනටත් තිබෙනවා.ආගමික පදනමකින් ජාත්‍යන්තරවාදී වීම වෙනම කරුණක්. එය සිදුවන්නේ තෙවන මානයකයි. මා ඒ ගැන දැනට අවධානය යොමු කරන්නේ නැහැ.

මෑතකාලීන නැඹුරුව ලෝකයේ බොහෝ රටවල් ඉහත රූප සටහනේ දකුණු, පහළ අන්තය වෙත යොමු වෙමින් සිටීමයි. එහෙම වෙන්න හේතු සහ එහි අනාගත ප්‍රතිඵල ඉදිරියේදී කතා කරමු. මෙහි තිබෙන්නේ කතාව පටන් ගන්න අවශ්‍ය මූලික කරුණු පමණයි.

%d bloggers like this: