Menu Close

Rashomon (1950)

“තමන් ගැනම කල්පනා කරනකොට… කිසිම කෙනෙක් අවංක වෙන්නෙ නැහැ. ඇත්තම ස්වභාවය ටිකක් වෙනස් නොකර තමන් ගැන කතාකරන්න කිසිකෙනෙකුට බැහැ”
එහෙම කියන්නෙ ජපානයෙ මහා සිනමාකරු අකිරා කුරසාවා තමන්ගෙම ස්වයං චරිතාපදානයේ දි. කුරසාවාගේ ම රෂොමොන් චිත්‍රපටයෙත් තියෙන්නෙ මෙන්න මේ වගේ කතාවක්. එකම සිදුවීමක් ගැන හතර දෙනෙක් විස්තර කරන්නෙ හතර ආකාරයට. එතකොට ඇත්ත මොකක් ද?
යම් සිදුවීමක් විස්තර කරනකොට, ඒ ගැන අපේ අදහස, නැත්නම් ඒ සිදුවීම මට දැනෙන්නෙ කොහොමද කියන මගේ දැක්ම (Point of view) ඉදිරිපත් කිරීමයි දැන හෝ නොදැන අපිත් කරන්නෙ. ලෝකය පුරාම තියෙන්නෙ මෙහෙම එකම දෙයක් ගැන විසිරිච්ච Point of view ගොඩක්. හිතන්න, කෙනෙක් නිතරම යම් දෙයක් විස්තර කරන්නෙ තමන්ව සාධාරණීකරනය කර ගනිමින්. “මට අනුව මම හරි”.. ඒක තමා මූලික නියමය. වෙනත් පුද්ගලයෙක් කරන්නෙත් ඒකමයි. ඒ අයට අනුව ඒ අයව සාධාරණීකරනය කිරීම. හැම කෙනෙක්ම තමන්ට අනුව හරි. මේක තමා ලෝකෙ තියන ලොකුම ගැටලුව. සත්‍යයන් ගණනාවක් පැවතීම.
කැලෑවක සිද්දවෙන ස්ත්‍රී දූෂණයක් සහ මිනීමැරුමක්. ස්ත්‍රීයක්, ඇගේ ස්වාමිපුරුෂයා, හොරෙක් සහ හැම දෙයම බලා උන් බව කියන දර කපන්නෙක්. වෙච්ච සිදුවීම ගැන මේ හතරදෙනා කියන්නෙ කතන්දර හතරක්. ඒ කතා හතරම ඇත්ත වගේම කතා හතරම බොරු. හතරදෙනාම තමන් අතින් එකතුකරන කොටසක් සහ හිතාමතා මඟඅරින කොටසක් තියනව. ඒ හැම දෙයක්ම තීරණය වෙන්නෙ පුද්ගල අවශ්‍යතාව අනුව. තමන් කළ දේ මොකක් වුණත් ඊට සාධාරණ හේතු ඇති පෙන්වා දෙන්න. මෙතනදි ඇත්තටම වුණේ මොකක්ද කියන දෙයට වඩා “ඇත්ත” විවිධාකාර ස්වරූපවලින් පෙනී ඉන්න පුලුවන් බවත් එහෙම වෙන්නෙ ඇයි කියන කාරණාවත් වටහගන්නව.
රෂොමොන් චිත්‍රපටයෙදි, චරිත වල මුහුණෙන් මතු වන හැඟීම් වඩා සමීප රූප රාමු වලට අල්ල ගනිමින්, ඒ ඒ අවස්ථාවල ඔවුන්ගේ මනෝභාවයන් විශිෂ්ට අන්දමෙන් නිරූපණය කර තිබෙනව. දෙබස් වලට වඩා බරක් මේ හැඟීම් ප්‍රකාශනයන්ට වෙන් කර ඇති බවයි කුරොසාවා කියා තිබෙන්නෙ. මොකද සිනමාවෙ මුල් යුගයෙ නිහඬ චිත්‍රපට බිහිවුණ කාලයෙ වචනෙන් තොර ඉංගිතයන් හරහායි ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටයකින් ඉදිරිපත් වෙන යම් දෙයක් සන්නිවේදනය වුණේ. දෙබස් සහිත චිත්‍රපට බිහිවීමත් එක්ක මේ නිර්වාචික ප්‍රකාශනයන් සිනමාව ඇතුලෙ තරමක් අවප්‍රමාණය වුණු බව සමහර විචාරකයන් කියනව. වචන භාවිතා කලත් කුරසාවා මිනිස් මුහුණෙ සමීප රූපයට කැමරාව යොමු කිරීමෙන් වඩා ප්‍රබල ප්‍රකාශනයක් ගොඩනංවන්න සමත්වෙනව.
රඟපෑම්, සංගීතය, කැමරාව මෙහෙයවීම මේ හැම අතින්ම රෂොමොන් විශිෂ්ටතම සිනමා කෘතියක් බව නිසැකවම කිවහැකියි.


%d bloggers like this: