Menu Close

රක්ෂණ වාරිකයට වට්ටමක්!

මා වාහන රක්ෂණ මිල දී ගෙන ඇති සමාගමෙන් ඊයේ විද්‍යුත් ලිපියක් ලැබුණා. ඔවුන් දැනුම් දී තිබුණේ රක්ෂණ ගිවිසුමේ මිල 15%කින් අඩු කළ බවයි. මේ කියන්නේ මාස කිහිපයකට පෙර මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා මිල දී ගත් තවත් මාස කිහිපයකට වලංගු වාහන රක්ෂණ ගිවිසුම ගැනයි. ඒ අනුව, දැනට ගෙවා ඇති මුදල හා අඩු කළ මිල අතර වෙනස ඔවුන් මගේ බැංකු ගිණුමට බැර කිරීමට නියමිතයි.

ඇමරිකාවේ රක්ෂණ කර්මාන්තය ඩොලර් ට්‍රිලියන 1.2ක කර්මාන්තයක්. මෙයින් අඩක් පමණ ජීවිත රක්ෂණ. ඉතිරි අඩ දේපොළ රක්ෂණ. දේපොළ ගොඩට ප්‍රධාන වශයෙන්ම වැටෙන්නේ වාහන රක්ෂණ හා නිවාස රක්ෂණ. බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වෙළඳපොළ කතිපයාධිකාරී වෙළඳපොළක් ලෙසයි. බොහෝ දෙනෙක් රක්ෂණ ගිවිසුම් මිල දී ගන්නේ ප්‍රධාන සමාගම් හත අටකින්. එහෙත්, ඇමරිකාවේ රක්ෂණ සේවා සපයන සමාගම් 6000ක් පමණ තිබෙනවා.

දැන් මේ විදිහට මගේ රක්ෂණ සමාගම මුදල් ආපසු ගෙවන්නේ ඇයි? ආණ්ඩුවෙන් එහෙම නියම කරලද? එහෙම නැත්නම් මේ සමාගම හදවතක් තිබෙන, මානුෂික සමාගමක් නිසා තමන්ගේ පාරිභෝගිකයින් ගැන අනුකම්පා කරලද?

හේතුව ඔය එකක්වත් නෙමෙයි. මෙය ධනවාදී ආර්ථිකයක ක්‍රියාත්මක වන සමාගම් තමන්ගේ ලාබ වැඩි කරගන්න දරන උත්සාහයේම කොටසක් පමණයි. ඒ උත්සාහය ඇතුළේ කාගේවත් මැදිහත්වීමක් නැතුව පාරිභෝගිකයින්ට මෙවැනි වාසි සැලසෙනවා.

අපි වගේ පාරිභෝගිකයින් වාහන රක්ෂණයක් මිල දී ගන්නේ ඇයි? නීතිය අනුව වාහනයක් පාරට දමන්න රක්ෂණයක් අවශ්‍ය වීම එක් හේතුවක්. අනෙක් හේතුව කිසියම් අනතුරක් වූ විට විශාල වන්දියක් අතින් ගෙවන්නට වීමේ අවදානම හා වාහනය හදාගන්න විශාල මුදලක් වැය කරන්න වීමේ අවදානම අඩු කර ගැනීමේ අවශ්‍යතාවයයි.

රක්ෂණ සමාගමක් විසින් රක්ෂණ ගිවිසුමක මිල තීරණය කරන්නේ කිසියම් පාරිභෝගිකයෙකු විසින් වාහන අනතුරක් කර ගන්න තිබෙන සම්භාවිතාව හා වාහනයේ වටිනාකම මතයි. වාරික ලෙස එකතු කර ගන්නා මුදලට වඩා මුදලක් වන්දි මුදල් ලෙස ගෙවන්න වෙනවානම් රක්ෂණ සමාගමකට පවතින්න බැහැ. ඒ වගේම, මේ විදිහට ගෙවන වන්දි මුදල් වල පිරිවැයට අමතරව සේවකයින් නඩත්තු කිරීම ඇතුළු අනෙකුත් පිරිවැය ආවරණය කර ගන්න වෙන්නෙත් රක්ෂණ වාරික ලෙස එකතු කර ගන්නා මුදලින්. ඔය සියලු වියදම් ඇරලා සමාගමේ ආයෝජකයින් වෙනුවෙන් ලාබයක්ද උපයා ගත යුතුයි.

පාරිභෝගිකයෙකු එක වරම රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නේ නැහැ. බොහෝ විට සමාගම් කිහිපයකින් ඇස්තමේන්තු ලබා ගැනීමෙන් පසුවයි ගිවිසුමක් මිල දී ගන්නේ. ඒ නිසා, රක්ෂණ සමාගම් වලට හිතුමතේ ලාබ ලබන්න බැහැ. එහෙම කරන්න ගියොත් පාරිභෝගිකයින් නැති වෙනවා. ඔවුන් ලබන්නේ තරඟකාරී වෙළඳපොළක ආයෝජකයෙකු විසින් ලබන සාමාන්‍ය මට්ටමේ ලාබයක් පමණයි.

මේ දවස් වල ඇමරිකාවේ ඉන්ධන මිල හොඳටම අඩු වෙලා. අපේ පැත්තේ පැට්‍රෝල් ගැලුමක් ඩොලර් 1.55ක් පමණයි. ඒ කියන්නේ ලීටරයක් රුපියල් 80ක් වගේ. සාමාන්‍යයෙන් ඉන්ධන මිල අඩු වෙනකොට ගමන් බිමන් වැඩි වෙන එකයි වෙන්නේ. එහෙත්, මේ වෙලාවේ සිදු වෙලා තිබෙන්නේ ගමන් බිමන් අඩු වීම නිසා ඉන්ධන මිල අඩු වීමයි.

ඉන්ධන මිල P කියාත්, ඉන්ධන සඳහා තිබෙන ඉල්ලුම Q කියාත් කිවුවොත් අපට Q = a  – bP වගේ සමීකරණයක් ලියන්න පුළුවන්. සාමාන්‍ය ගණිත මූලධර්ම අනුවනම් මේ සමීකරණයම P = (a  – Q)/b කියා ලියන්න පුළුවන්. එහෙත්, ආර්ථික විද්‍යාවේදී P = (a  – Q)/b කියන එකෙන් අදහස් වෙන්නේ  Q = a  – bP කියන එකම නෙමෙයි. ඒ දෙක දෙකක්. ආර්ථික විද්‍යාවේදී ගණිතය මෙවලමක් විදිහට යොදා ගත්තත් එය කරන්නේ ඒ බව දැන ගෙනයි. වසංගතවේදය වැනි වෙනත් විෂයකදී වුවත් එහෙමයි.

ඉන්ධන මිල වෙනස් වීම අනුව ඉන්ධන සඳහා ඉල්ලුම වෙනස් වන ආකාරය අපට Q = a  – bP ලෙස සූත්‍රගත කරන්න පුළුවන්. ඒ වගේම, ඉන්ධන සඳහා ඉල්ලුම වෙනස් වන ආකාරය මත ඉන්ධන මිල වෙනස් වීම P = c  + dQ ලෙස ලියන්න පුළුවන්. මෙහි c  + dQ කියන්නේ (a  – Q)/b නෙමෙයි. ඒ නිසා, සමීකරණ දෙකකින් නොදන්නා පද හතරක් හොයා ගන්න බැහැ. එය කරන්න තවත් තොරතුරු අවශ්‍යයි. ඒ අමතර තොරතුරු හොයා ගැනීම අභියෝගයක්. ඇත්තටම මෙහි මේ විදිහට රේඛීය සමීකරණ ලිවුවත් මෙහි තිබෙන්නේ නොදන්නා ශ්‍රිත දෙකක්. Q = f(P) හා P =g(Q) වගේ. ඒ ශ්‍රිත මොන වගේද කියා කලින්ම උපකල්පනය කිරීම පහසුවට කරන දෙයක් පමණයි.

මේ දවස් වල පාරවල් වල වාහන හොඳටම අඩුයි. පාරවල් වල වාහන අඩු වන විට අනතුරුත් අඩුයි. මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වන්නේ ධාවනය වන වාහන ගණනට අනුලෝමව සමානුපාතිකව නෙමෙයි. එය ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙනවා. පාරේ වාහන 2ක් තිබේනම් ඔය වාහන දෙක හැප්පෙන්න පුලුවන් ආකාර තියෙන්නේ එකයි. වාහන තුනක් වුනොත් ආකාර තුනයි. හතරක් වුනොත් හයයි. මෙය සරල උදාහරණයක් පමණයි. එක වාහනයක් තිබුණත් එය කොහේ හරි හැප්පෙන්න පුළුවන්. මගේ අතින් සිදු වුනු අන්තිම රථවාහන අනතුරු දෙකම සිදු වුනේ ගෙදර ගරාජ් එකෙන් වාහනය එළියට ගනිද්දී. ඒ වගේ අනතුරුනම් ඉහළ යන්නේ වාහන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික ලෙසයි.

වසරකට ඇමරිකාවේ රිය අනතුරු මිලියන 6ක් පමණ සිදු වෙනවා. ඒ අනතුරු වලින් වසරකට මිලියන 3ක පමණ පිරිසකට ශරීර හානි සිදු වෙනවා. එයින් මිලියන 2ක් පමණ ස්ථිර හානි. වසරකට 38,000ක පමණ පිරිසක් රිය අනතුරු හේතුවෙන් මිය යනවා. මේ වන විට කෝවිඩ්-19 නිසා මිය ගොස් ඇති පිරිස 11,000කට වැඩියි. දැනට තිබෙන ඇස්තමේන්තු අනුව මේ ගණන වාහන අනතුරු වලින් මිය යන ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් විය හැකියි.

පාරවල් වල වාහන අඩු වන විට වාහන අනතුරුත් අඩු වෙනවා.එවිට රක්ෂණ සමාගම් විසින් වන්දි සේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණයද අඩු වෙනවා. ඒ සමාගම් වල ලාබ ඉහළ යනවා. මා ඇතුළු පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්න පෙර සමාගම් ගණනාවකින් මිල ගණන් විමසන නමුත් අවසානයේදී මිල දී ගන්නේ මිල අඩුම තැනින් නෙමෙයි. එහිදී ගෙවන මිලට වගේම ලැබිය හැකියයි අපේක්ෂිත සේවාවටද බර තබනවා. රක්ෂණ සමාගම් හය දහසක් පමණ තිබුණත් බොහෝ දෙනෙක් ප්‍රධාන සමාගම් හත අටෙන් එකකටම යන්නේ ඒ නිසයි.

රක්ෂණ සමාගමක සේවාව වැදගත් වන්නේ අනතුරක් සිදු වූ විටයි. ගොඩක් අඩු මිලට සේවා සපයන ඇතැම් කුඩා සමාගම් වල ඉන්නේ සීමිත සේවක පිරිසක් නිසා අනතුරක් සිදු වූ විට වන්දි ලබා ගැනීමට සෑහෙන්න වද විය යුතුයි. මා කිහිප වරක්ම මේ අත්දැකීමට මුහුණ දී තිබෙනවා. මා එවැනි සමාගම් ගැන නොසිතන්නේ ඒ නිසයි. එහෙත්, වාහනය තිබෙන්නේ ගෙදරනම් මෙය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා, මා වැනි පාරිභෝගිකයින් මේ වෙලාවේ මිල අඩු රක්ෂණ ගිවිසුමක් ලබාදෙන සමාගමක් වෙත මාරු වෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත් එය මගේ රක්ෂණ සමාගමට පාඩුවක්. ඔවුන් මට 15%ක වට්ටමක් දෙන්නේ ඒ නිසයි.

(Image: https://www.ipwatchdog.com/2019/11/06/understanding-insurance-coverage-intellectual-property-claims/id=115632/)

%d bloggers like this: