Menu Close

කොරෝනා සටහන් -[3] ~වඳුරු රජා~

ඒ දවස්වල ඉස්කෝලෙ ගිහින් ගෙදර එන්නේ කොටුවට ගිහින්. එක්කෝ එයාපෝර්ට් බස් එකක් හරි එහෙම නැත්තන් මීගමු සී.ටී.බී. බස් එකක තමා එන්නේ. බස් එකට නගින්න කලින් අනිවාර්යෙන් එතන පොඩි පෙට්ටි කඩේකින් මොනාහරි කනවා. සමහරු හිතයි “චිකේ මූ එහෙම කඩවල් වලිනුත් කනවද? ඕවට මොන ජරාවක් දානවද දන්නෑ” කියලා. කොහොම වෙතත් මෙතුවක් කාලෙකට එහෙම කාලා ලෙඩක් හැදිලා නන් නෑ. ඔය කොටුවේ හැම කඩේකින්ම කාලා තියෙනවා. ඒ අතරින් එයාර්පෝර්ට් බස් නවත්තන තැනට කිට්ටු කඩේකින් තමා වැඩිපුර කන්නේ. මම හැමදාම කන්නේ එකම දේවල් නිසා සමහර දවස්වලට මම ඕන දේ කියන්න කලින් කෑම එක හම්බෙනවා. මට තියෙන්නේ පුටුවේ ඉඳගන්න ටික විතරයි. අතේ සල්ලි මදි උන දාට අඬගහලා මට කන්න දීපු අවස්ථාත් තියෙනවා.

ඔය කිට්ටුවම තියෙනවා තව බීම කඩයක්. ලමීර් අංකල් ඒ කඩේ කරන්නේ. ඔය පැත්තේ පලවෙනියෙන්ම බීම කඩයක් දාපු කෙනා ඒ. කොටුවට යනකොට එයත් එක්කත් හරියට දේවල් කතා කරනවා. කාලෙකට පස්සේ කොටුවට ගියාම මම ගියා එයාව හම්බෙන්න. සරුවත් එකක් එහෙම බොන්න. මම එනකොටම ඈත තියලා අත වැනුවා. මං හිතුවා හැමෝම වගේ බිස්නස් එකට මේ අඬගහන්නේ, මෙයාට මාව මතක නැතුව ඇති කියලා. ඇවිල්ලා ඉඳගත්තම මගෙන් ඇහුවා “දැන් බැංකුවේ වැඩ කොහොමද?” කියලා. මම බැංකුවේ ඉන්ටර්වීව් එකට ගිහින් ගෙදර යනකොටත් මෙයාගෙන් බීම එකක් බීලයි ගියේ. ඒ ගොඩ කාලෙකට කලින්. එහෙම වෙලත් මතක තිබ්බ එකට මට ඇතිවුනේ ලොකු සතුටක්. මේ කොරෝනා කාලේ ඒ මිනිස්සු කරදරයක් නැතුව හොදින් ඇති කියලා හිතනවා.

මම නිතර චිත්‍රපටි බලන කෙනෙක්. කොයි තරම් වැඩ තිබ්බත් දවසක් හැර දවසක්වත් මොනාහරි චිත්‍රපටියක් බලනවා. මේ ළඟදී ආයෙම බලන්න ගත්තා චීන ජනප්‍රවාද වලින් එන කථා කිහිපයක්. කථාවේ ප්‍රධාන නළුවා වඳුරු රජෙක්. සමහරු නම් මේ වගේ සුරංගනා කතා බලන්න කැමති නෑ. ඒත් මම කැමතියි හැම දෙයක්ම විඳලා බලන්න. ඒත් එක්කම ඔයාලා කියවලා තියෙනවනම් ‘A journey to the west’ නවකතාව, වඳුරු රජතුමා ගැන පැහැදිලි අදහසක් තියෙයි. දහසය වෙනි සියවසේ ලියවුනු මේ නවකතාව සැලකෙන්නේ චීන සාහිත්‍යයේ හොදම නවකතා හතරෙන් එකක් විදිහට. ඒ නිසා කියවන්න වටින පොතක්. ලංකාවේ රාවණා ගැනම කියවලා මදි චීනෙ වඳුරු රජා ගැනත් හොයන් කියවන්න.

ලංකාවේ රජ කෙනෙක් ගැන කියවනකොටයි වෙන රටක රජ කෙනෙක් ගැන කියවනකොටයි මට ඇතිවෙන්නේ එකම ආසාව. මට ඒ දෙකේ වෙනසක් තේරෙන්නේ නැහැ. මෑතකදී ඒක දේශීය හූනු විශේෂ කිහිපයක් හොයාගෙන ඒවට ලංකාවේ වීරයන්ගේ නම් දාන්න ගියාම ප්‍රශ්නයක් ආවනේ. ඒ අර මම කිව්ව ආසාවේ වෙනස නිසා. පරිසරවේදියෙක්ට හූනත් එකයි අලියත් එකයි. ඉතින් අපි මේ දේවල් තේරුම් අරගෙන ජීවත් වුනොත් ප්‍රශ්න අවම කරගන්න පුලුවන් කියලයි මගේ අදහස.

කොහොමෙන් හරි මම උඩම කිව්ව වඳුරු රජා ගැන එක කතාවක මෙහෙම තියෙනවා. මේ වඳුරු රජතුමා දිර්ඝ නින්දක ඉන්නකොට ආත්ම එකතුකරන්නෙක් ඇවිදින් මේ රජාව අරගෙන යනවා අපායට. මෙහෙදී මේ වඳුරු රජා දකිනවා අපායෙදී ලැබෙන දඬුවම්. කටු වලින් පිරිච්ච කන්දක් , ලේ වලින් පිරිච්ච ගංගාවක්, රත් වෙන තෙල් වෛන් පිරුණු ගංගා මෙයා දකිනවා. ඒ අතරේ මරණයට අධිපතීන්ගේ මාලිගාවත් තව පැත්තකින් තියෙනවා. ඒ විතරක් නෙමේ දිග පාළමක් කෙරවලේ ගෑනු කෙනෙක් ඉන්නවා. මේ ගෑනු කෙනා ඊළග භවයට ආත්මයක් ලබා දෙන්නේ. ඒ ආත්මය ලබාගත්තම කලින් භවයේදී කරපු කියපුවා කිසි දෙයක් මතක නෑ.

අලුත් ආත්මයක් ලබා ගන්නවත් අපායේ දඬුවම් විඳින්නවත් මේ වඳුරු රජතුමා කැමති වුනේ නැහැ. ඉතින් මෙයා සටන් කරලා යනවා අපායේ මාළිගාවට. එහෙ ඉන්න දෙවිවරු මේ වඳුරු රජාව නවත්තන්න උත්සහ කරත් ඒ හැම උත්සහයක් ම අසාර්ථක වෙනවා. මේ මාළිගාවේ තියෙනවා හැම ජීවියෙක්ගේ ම මරණය සිදුවෙන දිනය ලියාපු ලැයිස්තුවක්. ඉතින් මේ දෙවිවරු ඒ ලියවිල්ලේ හෙව්වා මේ වඳුරු රජා මැරෙන්නේ කවද්ද කියලා. මොකද ආත්ම එකතුකරන්නන් වදුරු රජාව අපායට අරගෙන ආවේ මැරුණට පස්සේ නෙමේ දීර්ඝ නින්දක ඉන්නකොට නිසා.

කොහොමහරි වදුරු රජාම තමන්ගේ නම තියෙන තැන හොයාගන්නවා. එතනදි එයා දකිනවා තමන් මැරෙන්නේ වෙන කවදවත් නෙමේ අද රෑට කියලා. මේක දැකපු වඳුරු රජා දුක් වෙන්නේ නෑ. තමන්ගේ නම මේ ලැයිස්තුවෙන් ඉරලා දානවා. එතනින් නතර නොවී තමන්ගේ වඳුරු ගෝලයන්ගේ නම් පවා ලැයිස්තුවෙන් ඉවත් කරනවා. එතනින් එහාට වඳුරු රජා තමන්ගේ අනාගතේ තමන්ට අවශ්‍ය විදිහට හදාගන්නවා.

මේ වගේ තමා අපේ අනාගතේ තීරනේ කරන්නේ දෙවි කෙනෙක්වත් හඳහනක්වත් නෙමේ, අපිම යි. ඔයත් වඳුරු රජෙක් වෙන්න.


%d bloggers like this: