Menu Close

ඇවිලෙනසුලුයි (2020)

“ඇ(වි)ලෙනසුලුයි” කියන්නෙ නමෙන් ම අරගන්න පුලුවන් විදිහට “ඇලෙන සුලු” වැඩක්. ඇස් දෙක ගිනිකණ වට්ටවන තරම් රූප රාමු පෙළක් මැද්දෙ ඇවිලෙන්න නලියන ගිනි පුපුරු අහුරක්. ස්ක්‍රීන් එක පුරා පළල්ව විහිදිච්ච අහස, එක පැත්තකින් මුහුද, අනිත් පැත්තෙන් ඈත කෙළවරක් නැති ඈත අනන්තයට විහිදෙන පාරේ ඉස්සරහට ගමන් කරමින් තියෙන රතු පාට තනි ෆෝර්ඩ් කාර් එක. වචනෙන් කියන්න බැරි සෞන්දර්යයක් ඒ දර්ශන ටිකේ විතරක් තියෙන්න ඇති. සමහර විට කෙනෙකුට Kubrick ගේ Shining චිත්‍රපටයෙ මුල්ම දර්ශන ටිකත් මතක් වෙන්න ඇති. කොහොම වුණත් මේ වගේ යථාර්ථය එහෙමම නොපෙන්නා කෑලි කපල ෆෘට්සැලඩ් දාල ගන්න චිත්‍රපටි ලෝක සිනමාවෙ අපි දැකල තිබුණත් ලංකාවේ එහෙම වැඩක් දැකල නොතිබුණු ගාණයි. ඒ වගේම චිත්‍රපටයෙන් 90% ක් විතර මහපාරෙම දකින්න ලැබෙන Road movie ශොනරයත් අපිට අලුත්. ලාංකික සිනමාවේ මේ අඩු පාඩු ටික “ඇවිලෙනසුළුයි” එක්ක මැකිලා යනව. චින්තන ම හරි තව කවුරු හරි මේ පාරෙම තව ඉස්සරහට යනව නම් අපේ සිනමාවට තවත් හොඳ කාලයක් උදාවේවි. 
“ඇවිලෙනසුලුයි” බලපු අය කියල තිබුණ විදිහට සහ මටත් බලල හෝල් එකෙන් එනකොට හිතුණෙ “ඒ මොන මගුලක්ද වුණේ” කියල. නමුත් ඒ පැටලවීම අස්සෙන්ම මේ මොකක්ද කියල හිතන්න කවුළු විවර කරල තියනව. තාර්කොව්ස්කි වතාවක් කියල තිබ්බ එයාගෙ චිත්‍රපට තේරෙන්නෙ නැත්තම් ඒව තමන්ගෙම ජීවිතය එක්ක තමන්ටම මුණගැහෙන අය එක්ක සසඳල හිතන්න කියල. මෙතනත් තියෙන්නෙ එහෙම දෙයක්. ආදරය, ප්‍රේමය, විවාහය වගේ සම්බන්ධකම් ගැන තමන්ගෙ අත්දැකීම් අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේක සමපාත කරල බැලීමෙන් පැටලිලි සහගත බව තරමක් නිරාකරණය කරගත්තකි. 
ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුලෙ පවතින එක හරියට කන්දක් නගිනව වගේ. එක්තරා මුදුනක් මුණගැනව, ඉන්පස්සෙ ඉහළ නැගීමක් නෑ. එතනින් එහාට එක්කො දෙන්නම තැත්නම් එක්කෙන් ඔය මුදුනෙන් බිමට පනින්න ඕන. නැත්නම් කාලය ඒක හෙමිං සැරේ පහළට බෑවුම දිගේ බැහැගෙන එන්න ඕන. මොකද මේක “පස්සට යන්න තියනව නං මරු ඒත් යන්නෙ ඉස්සරහට නිසා” 
මට හිතෙන්නෙ ඔහොම දෙයක්.
සමනළී සහ ශ්‍යාම් ඇතුළු රංගනයෙන් දායකවුණු හැමකෙනෙකුගෙම රඟපෑම්, ඉන්ද්‍රචාප ගෙ සංගීතය, කැමරාකරණය ඔය හැම දෙයක්ම අතිවිශිෂ්ට මට්ටමෙන් චිත්‍රපටයට මුහුවෙලා තිබ්බ. ඒ ක්‍රෙඩිට් එකෙන් කොටසක් යන්න ඕන අද්‍යක්ෂවරයාට. ඉස්සරහටත් ඔහුට අපේ සිනමාව මේ වගේ අවුලවන්න ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනව..


%d bloggers like this: