Menu Close

Bullying සහ විහිලු

අපි පුංචි කාලේ bullying කියලා වචනයක් පාවිච්චියේ තිබුණේ නැහැ. ඒ වෙනුවට කිව්වේ ‘විහිලු කරනවා’ කියලා. “මෙයාට ඉස්කෝලේ ළමයි එක එක නම් කියලා විහිලු කරලා නේ!” කියලයි වැඩිහිටියනුත් ඒ කාරණේ නොසලකා හැරියේ. ඒවා ගණන් ගත යුතු දේවල් බව, පිළියම් කළ යුතු දේවල් බව, ජීවිත කාලෙටම තුවාල ඉතුරු කරන දේවල් බව කිසිකෙනෙකුට අවබෝධයක් තිබුණේ නැහැ. විහිළුවක් කියන්නේ ඒකට අදාළ පාර්ශව දෙකම ඒකෙන් විනෝදයක් ලබන දෙයක් බව කවුරුවත් විග්‍රහ කළේ නැහැ. ඉතින් අපේ යුගයේ හැමෝම අඩු වැඩි වශයෙන් ‘විහිලු’ කරමින්, ‘විහිලු’ ලබමින් වැඩිහිටියෝ වුණා.
bullying කියන දේ කොයිතරම් විනාශකාරී ද කියලා දැන් සමාජයේ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. ඉස්කෝලවල ඒ ගැන කතා කරනවා. ළමයි ඒ ගැන දැනුවත්, තමන්ට ප්‍රශනයක් උනාම සද්ද නැතිව නොඉඳ කතාකරනවා. වැඩිහිටියෝ ඒවාට පිළියම් හොයනවා. එහෙමයි කියලා bullying මේ ලෝකෙන් තුරන් වෙලා ද? නැහැ. ඉස්සරටත් වඩා අලුත් ක්‍රම වලින්, අපේ කාලේ නොතිබුණු cyber-bullying වගේ ක්‍රම වලින් අදටත් හැමතැනම ඒකේ විසකුරු අඬු පඬු පැතිරෙනවා. ඒ වගේම ළමයි අතරේ විතරක් නෙමෙයි වැඩිහිටියෝ අතරේත් එක එක විදිහේ bullying තියෙනවා. ළමයින්ට සාපේක්ෂව bullying situation එකකින් අයින්වෙන්න වැඩිහිටියන්ට හැකියාව වැඩි බව විතරයි වෙනස.
මේ හැම දේම මතක් වුණේ Julie Anne Peters ලියූ ‘By the Time You Read this I’ll be Dead’ පොත කියවද්දී. ඒකෙ තියෙන්නේ bullying නිසා ජීවිතේ එපාවුණු දැරියකගේ කතාවක්. ජීවිත කාලයක් තිස්සේ ඇගේ හැඩරුව ගැන ඇහුණු විහිලු නිසා ඇයට ඇතිවුණු depression ගැනත්, ඇගේ දෙමව්පියන් ඈ එක එක විධි වලින් උදවු ඉල්ලුව බව නොතේරුණු අවාසනාවන්ත තත්ත්වයත් මේ කතාවෙන් කියවෙනවා. ළමයි අතරේ සූක්ෂමව, භයානක විදිහට කෙරෙන bullying ගැන මේ කතාවේ කියවෙන්නේ හිත කීරිගැස්වෙන විදිහට. අන්තිමේදී එකම එක ලෙන්ගතු කෙනෙක් නිසා මේ දැරියගේ ජීවිතේ නම් බේරෙනවා. ඒත් මේ ලෝකේ ඈ තරම් වාසනාවන්ත නැති කොයිතරම් අය ඇද්ද?
මේ පොත යොවුන් නවකතාවක්. සාමාන්‍යයෙන් මම කියවන වර්ගයේ පොත්වලින් වෙනස්. ඒත් මම රැකියාව කරන පාසැල් පුස්තකාලේ තිබිලා නිවාඩු දෙන්න කලින් මම මේ පොත ගෙදර අරගෙන ආවේ නිකමට වගේ. ගෙදරටම වෙලා ගතකරන මේ දවස් ටිකේ මම එක හුස්මට මේ පොත කියවල ඉවර කළේ ඒ කතාව බොහොම සාර්ථකව ගලපලා තියෙන නිසා. පොත කියවලා ඉවරවෙලා මේ සටහන ලියන්න පෙළඹුනේත් මේ මාතෘකාව ගැන තවදුරටත් හිතුන නිසායි.
මමත් පුංචි කාලේ bullying වලට ලක්වුණු කෙනෙක්. ඒත් ඒවා ‘විහිලු’ නෙමෙයි bullying කියලා තේරෙන්නේ දැන්. මම එක වසර පන්තියට ඇතුල් වුණේ සේෂෙල්ස් රටේ පාසැලකට. ඒ මගේ දෙමව්පියන්ගේ රැකියාවට අපි ඒ කාලේ ඒ රටේ පදිංචි වෙලා උන්නු නිසා. ඒ පන්තියේ හිටිය එකම විදේශික ළමයා මම. අනෙත් ළමයින්ට වඩා මගේ හැඩරුව වෙනස් වුණු එකට අමතරව මම ඒ පන්තියේ හිටිය ප්‍රමාණයෙන් පුංචිම ළමයාත් වුණා. මාස ගණනක් යනකම් මට අනෙත් ළමයින්ගෙන් එක එක උසුළු විසුළු තිබුණු බව මට හොඳටම මතකයි. ඉස්කෝලේ යද්දී එද්දී ළමයි කණ්ඩායම් පිටින් මගේ පස්සෙන් එමින් මට එක එක දේවල් කිව්වා. ඒ වෙද්දී මටඒ භාෂාව නොතේරුණු එක එක්තරා විදිහකට සහනයක් වුනත් ඒ කරන්නේ සමච්චල් බව පුංචි වයසේ හිටියත් මට තේරුණා. මම පන්තියට ආවේත්, ගියේත්, විවේක කාල ගතකළේත් අඬමින්.ඉස්කෝලේ නොගිහින් ඉන්න බොරු බඩේ අමාරු, අතේ පයේ අමාරු මට ඒ දවස්වල නිතර හැදුණා. මේවාට පිලියමක් තිබුණේ නැහැ. ටික කලක් ගිහින් මට ඒ රටේ භාෂාව පුළුවන් උනාමත්, හැමෝටම මාව දැකලා පුරුදු උනාමත් මේ කරදර අඩුවෙලා නැතිවෙලාම ගියා. ඒ අතින් මම වාසනාවන්තයි, මට ඒ අත්දැකීම ලැබුණේ බොහොම පොඩි කාලයයි. ඒත් ඒ කාලේ නම් දැනුණේ ඒක කල්පයක් වගේ. මේ වෙද්දී දශක කීපයක් ගෙවිලා තිබුණත්, අවුරුදු හයක කෙල්ලෙකුට ඒ ටික කාලේදී දැනුණු අසරණකම ගැඹුරු තුවාලයක කැළලක් වගේ මගේ හිතේ කොණක තාම තියෙනවා. ඒ නිසා ජීවිත කාලයක් ම bully වුණු කෙනෙකුට දැනෙන දේවල් මට ඇත්තටම හිතාගන්නවත් බැහැ.
අපි වටේ ඉන්න අය, අපේ ළමයි මේ විදිහට ‘විහිලු’ කරනවානම්, ‘විහිලුවට’ ලක්වෙනවානම් කරුණාකරලා වහාම ඊට මැදිහත්වෙන්න. ‘ඕවා ගණන් ගන්න එපා’ ‘කොල්ලෝ ඔහොම තමයි’ වගේ දියාරු උත්තර දීලා ඒවගේ හැසිරීම් සාධාරණීකරණය කරන්න එපා. මේ වගේ දේවල් හිතේ හංගගෙන නොඉඳ වැඩිහිටියෙකුට කියන්න දරුවන් ව උනන්දු කරන්න. තමන් එහෙම පැමිණිල්ලක් ලැබුණු වැඩිහිටියෙක් නම් කල් නොයවාඒ ගැන සුදුසු පියවරක් අරගන්න. කාලය ගතවෙද්දී එක එක විදිහෙන් වෙන්න පුළුවන් හානි වැඩියි.
ඒවගේම තමන් අනෙත් අයගේ පෙනුම, තරාතිරම, රැකියාව වගේ දේවල්වලට ‘විහිලු’ කරන වැඩිහිටියෙක් නම් තමන් ගැන තව සැරයක් හොඳට කල්පනා කරලා බලන්න.
%d bloggers like this: