Menu Close

කොරෝනා සටහන් -[2]

මම කාලයක් වැඩකරා හලාවත බැංකුවක. කවදාවත් අමතක වෙන්නේ නැති තැනක් වගේම ගොඩක් අත්දැකීම් එකතු කරගත්තු තැනක්. බැංකුවේ වැඩට යනකොට ඒ ගැන මෙලෝ සසරක් දැනගෙන උන්නේ නෑ. ඒක දැනගත්තු බොස් කිව්වේ “මෙයා බැංකුවේ වැඩට ආපු එක හරියට පීනන්න දන්නේ නැතුව මුහුදට පැන්නා වගේ වැඩක්” කියලා. කොහොමහරි බැංකුවෙන් අයින් වෙනකොට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තරංග බොස්, වජිරා අක්කා, ඔමාල් අයියා ගොඩක් උදව් කරා ඉගෙන ගන්න. ක්‍රෙඩිට් සෙක්ෂන් එක ගැන වැඩියෙන්ම ඉගැන්නුවේ සජිත් අයියා. එයා නම් දැන් අපි අතර නැහැ. මම ලියපු ඉතිහාස ලිපි වලට එයා පුදුම ආසාවකින් හිටියේ. බැංකුව පටන් න්න කලින්, දවල්ට කන ගමන් අපි නිතර ඉතිහාසය ගැන දේවල් කතා කරා. ඒ විෂයට කැමති දෙන්නෙක් එකතු උනාම කතාව ඉදිරියට ඇදිලා යනවා දන්නෙම නැතුව. මම එක දෙයක් කියනකොට එයා තව එකක් කියලා කියනවා “නෑ නෑ මෙහෙමයි ඕක උනේ” කියලා. ඒ කාලෙ නියමයි. මේ වගේ විෂයක් සම්බන්ධව කතා කරන්න දැන් කෙනෙක් නැති එක මට දැනෙන්නේ ලොකු අඩුවක් විදිහට.

හලාවත කුරුණෑගල පාරෙ තමා බ්‍රාන්ච් එක තිබුනේ. මේ පාරේ කිලෝමීටර් එකහමාරක් විතර ගියාම හම්බෙනවා මුන්නේෂ්වරම් කෝවිල. විශේෂ තැනක් වගේම ඓතිහාසික ස්ථානයක්. බැංකුවේ වැඩ අහවර වෙලා ගොඩක් දවස් වලට මම එතනට යනවා. ගිහින් වටේ පිටේ ඇවිදිනවා. පන්සලකුත් තියෙනවා ඒ කිට්ටුව. මට දවසක් ඕන උනා මේ කෝවිලේ ස්වාමි කෙනෙක්ව ඉන්ටර්විව් කරන්න. ඉතින් මම ගිහින් කිව්වා මට ලිපියක් ලියන්න විස්තර ටිකක් දැනගන්න ඕන, ඒ නිසා ඉන්ටර්විව් එකක් කරන්න පුලුවන්ද කියලා.

මට කිව්වා “විස්තර දෙන්නන්, හැබැයි මුලින් පූජා වට්ටියක් අරන් කෝවිල වටේ ගිහින් පූජා කරලා එන්න” කියලා. මමත් ඉතින් කිව්ව විදිහටම කරා. කොහොමහරි ඉන්ටර්විව් එකක් කරන්න ලැබුනා. විස්තර අරගෙන මම ඒ දවස්වල බ්ලොග් එකේ පොඩි සටහනකුත් ලිව්වා. මට ඒ හැටි ලොකු පාඨකයන් සංඛ්‍යාවක් නැහැ. මම ලියන ඉතිහාස ලිපි කියවන්නේ ඉතා අඩු පිරිසක්. හැබැයි මම ලියන ඉතිහාස ලිපි කියවන කිහිප දෙනාට හෝ මට හැකි විදිහට උපරිම සාධාරණයක් කරන්න මම උත්සහ කරනවා. ඒ නිසයි පොඩි බ්ලොග් ලිපියක් ලියන්න උනත් ඒ තැන්වලට ගිහින් පොත් පත් කියෝලා ලියන්නේ. කවුරුහරි කෙනෙක් දෙයක් නොදැන කතා කරනවට වඩා බාගෙට දැනගෙන කතා කරන එක වඩා භයානක යි. ඒ නිසයි මම බාගෙට දැනගෙන ලියන්නේ නැත්තේ. මේ කොරෝනා දවස්වල ඒවයින් වැලකෙන්නේ කොහොමද? රජය මේකට මොනාද කරන්න ඕනෙ කියලා වගේ දේවල් මොකවත් දාන්නේ නැත්තේ ඒ ගැන දැනුම මට මදි නිසා. ඒ පිළිබද දැනුම තියෙන උදවිය ඒ තොරතුරු සමාජ ගත කිරීම කරයි. බාගෙට දැනගත්ත උදවිය ඕක කරන්න ගියාම තමා බොරු තොරතුරු සමාජගත වෙලා මිනිස්සු අමාරුවේ වැටෙන්නේ. මට ඒ පවට කරගහන්න බැහැ.

ඔය මුන්නේෂ්වරම් කෝවිල ඉස්සරහා පාරෙන් එහා පැත්තේ පොඩි කෝවිලක් තියෙනවා. මෙතන ඉන්නවා ස්වාමි කෙනෙක්. එයාගේ විශේෂත්වය තමා බාරයක් විදිහට තමන්ගේ මුලු ජීවිත කාලෙටම කාත් එක්කවත් කතා නොකර සිටීම. මේ ස්වාමිව දකිනකොට මට මතක් උනේ අපි අවට සංස්කෘතියට මනුස්සයෙක්ව කොච්චර වෙනස් කරන්න පුලුවන්ද කියලා. ඉන්දියාවේ කට්ටඩියා කුකුළව මරලා බිල්ලට දුන්නට ලංකාවේ කට්ටඩියා කුකුළගේ කරමල කපලා ලේ බින්දක් බිල්ල විදිහට දෙන්නේ. එහෙම උනේ බෞද්ධ සංස්කෘතියත් එක්ක ලංකාව හැඩගැසුනු නිසා. බිලි දීම බෞද්ධ සංස්කෘතියට අයත් දෙයක් නොවුනට කාලයත් එක්ක ඒක වෙනස් වෙලා තියෙනවා.

හොයලා බලන්න විෂ්ණුගේ දස අවතාර හැදුන විදිහ. කාලෙන් කාලෙට එක් එක් ප්‍රදේශ වල දෙවිවරුන් වගේ අදහපු උදවියව තමා එකතු කරලා විෂ්ණුගේ අවතාර දහය විදිහට නම් කලේ. වැඩිය ඕන නෑ විෂ්ණුගේ නමවෙනි අවතාරය බුදුන්වහන්සේ. ඒ නිසා අද තියෙන්නේ බුදුන් වහන්සේ දෙසපු දහම, ක්‍රිස්තුස් වහන්සේ දෙසපු දහම කියනවනන් ඒක බොරුවක්. කාලයත් සමග මේ හැමදේම වෙනස් වෙනවා. ඒ නිසා අපේ සංස්කෘතියේ තියෙන හැම අංගයක්ම විචාරයක් නැතුව බාර ගන්නවද කියන එක ප්‍රශ්න කරන්න ඕන කාරණයක්. මේ දේවල් ගැන තව කතා කරනවනම් ගොඩක් දේවල් තියෙනවා. නමුත් මම හිතුවා මේ කොරෝනා සටහන් වචන පන්සීයකට සීමා කරන්න. දැනටමත් පන්සිය පනහටත් ඇවිල්ලා. එහෙනන් අදට ඇති.

මුන්නේෂ්වරම් කෝවිල හලාවත 


%d bloggers like this: