Menu Close

අළුත් අවුරුදු නැකතෙන් අපේ ජීවිත අර්ථවත් කර ගන්නා අයුරු.

ජ්යෝතිෂය ගැන සැලකීමක් නැති, එය විහිළුවක් යයි සිතන අය, කරුණාකර මේ ලිපිය නොබලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එමගින් අප දෙපාර්ශයේම කාලය නාස්ති වනවා පමණි.

අද වැනි ව්යසනකාරී තත්වයක් ඇති කලෙක මොන අවුරුදු නැකත්ද, මොන නව වසරක්ද සේ කෙනෙක් අහන්නට පුළුවන. කෙසේ වුවද සියළු දේ අනිත්ය වන්නේය. රෝගයෙන් සාගින්නෙන් පීඩිත වූ මේ යුගයද කවදා හෝ අවසන් වනු ඇත. ඒ තත්වය ලබා ගැනීමට අප ශාරීරික වශයෙන් මෙන්ම, මානසික වශයෙන්ද සූදානම් විය යුත්තෙමු. අපගේ මනස ශක්තිමත් කරගැනීමේ ඉලක්කයට යාම සඳහා, සංස්කෘතික අගයයන් අනුව උත්සාහ කිරීම වඩාත් පහසුය.
 
අවුරුද්ද ලබනවා යන්නේ තේරුම වන්නේ පොළවේ සිට සූර්යයා දෙස සරළ රේඛාවක් ඇඳි විට සහ එය සූර්යයාගෙන් ඔබ්බට ඇදී යනවිට, එම රේඛාව කපන ස්ථානය මේෂ රාශියේ මුල වීමය. අප සෞර ග්රහ මණ්ඩලය වටා මේෂ වෘෂභ…මීන ආදී වශයෙන් රාශි දොළහක් අංශක 360 ක විසිර ඇත. අවුරුදු දින පොලවේ සිට බලන විට, මෙතෙක් මීන රාශියේ ගමන් කල සූර්යයා ඒ මොහොතේ මේෂ රාශියට ඇතුලත් වෙනවාක් මෙන් පෙනේ. අවුරුදු සැමරීම සඳහා ජ්යෝතිෂ හේතුව පමණක් දක්වමි.
 
ඉන් පෙර එක් දත්තයක් දැන සිටීම වටී. මේෂ, සිංහ සහ ධනු රාශි වල මුල් අංශකය ‘ගන්ඩාන්ත’ සේ හැඳින්වේ. මේ ස්ථාන වල රවි සහ සඳු එකවර හෝ එක ග්රහයෙක් සිටියද ඒ අවස්ථාව සුභ නැත. කිසියම් දිනෙක රවි සඳු මේ ගන්ඩාන්ත වල හරියටම සංක්රමණය වන අවස්ථාවේ ලෝකය විනාශ වේ යන්න ශාස්ත්ර නියමය වේ. එම වෙලාවේ පුණ්ය කටයුතු කිරීමට කියා ඇත්තේ එහෙයිනි. එනම් අවුරුද්ද ලබන වෙලාව සහ ඉන් පසු ඇතිවන, ‘නොනගතය’ යන කාලය හොඳ කාලයක් නොවේ.
 
‘නොනගතය’ යනු, … “නැකත් නැති” යන අර්ථය ගෙන දේ. නැකත් නැති වෙලාවක් නැත. ඇත්තටම මේ කියන්නේ ‘හොඳ නැකතක්’ නැත යන අර්ථයයි. නැකතක් යනු, ඒ වෙලාවේ සඳු සිටින නැකතයි. ඉහත කී රාශි බෙදීම මෙන්ම සෞර ග්රහ මණ්ඩලය වටා ඇති අංශක 360, 27 කට බෙදීමෙන් ඒ නැකත් 27 ලැබේ. එනම් එක රාශියකට නැකත් දෙකයි කාලක් ඇත.
 
රවී මේෂ රාශියට එන මෙම නව වසරේ, සඳුද සිටින්නේ ධනුවේ වුවද අංශක ගණන, අංශක 13 සහ කළා 47ක නිසා ලොව විනාශ වේ යයි කලබල වීමට හේතුවක් නැත. තව විදියකින් කිවහොත්, සඳුද ගන්ඩාන්තයක පතිත වී නැත.
 
අලුත් අවුරුද්ද බොහෝ දෙනා විසින් එක දිනයක එක කාලයක සමූහ වශයෙන් සමරන දෙයකි. එසේ හෙයින් මේ ව්යසන කාලයේ, හදවතින්ම අපගේ බෞද්ධ සහ සිංහල හැදියාව මත එකිනෙකාට ආශිංශනය කිරීමෙන් සමහරවිට ඉන් සෙතක් සැලසෙනවාත් ඇත. කොරෝනා වසංගතය නිසා අපව නිවසට කොටු කරන තෙක්ම අප, ජීවිතයේ භෞතික දේ පසුපස හඹා ගියෙමු. මෙය අධ්යාත්මික දියුණුව ගැන සිතන්නට අවස්ථාවක් ලැබූ කාලයයි. එසේ හෙයින් අවුරුදු නැකතේ නියම අර්ථයන් ගැනද සිත යොමු කිරීම වටී.
 
සමහරවිට එකට හිඳ ගෙන අවුරුදු සමරන්නට පව්ලේ සියළු සාමාජිකයන්ට නොහැකි වෙනවා ඇත. එසේ නැතහොත් ඉතාම සරළ ආකාරයේ සීමිත ආහාරයකින් පමණක් එදින සෑහීමකට පත් වන්නට පුළුවන. එසේ නැතහොත් පන්සලක් නැති දුර රටක කෙනෙක් ජීවත් වනවා ඇත. පන්සලක් තිබුනද, අපට එළියට ගිය නොහැක. පන්සල අපේ හදවතේ ඇඳ ගත යුතුය. මේ ආකාරයේ දෑ ගැටලුවක් කරගන්නේ නැති නම්, අප ජීවිතය දිනුවා වෙන්නට පුළුවන.
 
අන්තර් ජාලයෙන් ලබාගත් නැකත් පහත සේ දක්වමි. එහෙත් *1, *2,…සේ දැක්වෙන දේ, ජ්යෝතිෂය ගැන කුඩා හෝ අවබෝධයක් ඇති හිතවතුන්ට වඩාත් යෝග්ය වේ. මා ඉදිරිපත් කරන ගැටළු වලට පිළිතුරු දෙන අවුරුදු නැකත් කමිටුවේ ගරු කටයුතු මහතෙක් හෝ, වෙනත් උගත් ජ්යෝතිෂවේදියෙක් සිටී නම් කෘතඥ පූර්වකව බොහෝ ස්තුතිවන්ත වෙමි. 
 
++++++++++++++++++++++++++++++++++++
*1 = අලුත් අවුරුදු උදාව ~. අප්රේල් මස 13 වෙනි සඳුදා දින අපර භාග 08.23 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.
*2 = ~ පුණ්ය කාලය ~
අප්රේල් මස 13 වෙනි සඳුදා අපර භාග 01:59 සිට එදින රාත්රී 02:47 (අප්රේල් මස 14 වන අඟහරුවාදා පූභා. 02:47) දක්වා පුණ්ය කාලය බැවින් අප්රේල් මස 13 වෙනි සදුදා දින අපර භාග 01:59 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්ය කාලයේ අපර කොටස තුළ එනම් අප්රේල් මස 13 වෙනි සඳුදා අපර භාග 08:23 සිට අප්රේල් 14 අගහරුවාදා පුභා. 02:47 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්ර ඉටු කිරීම මැනවී.
*3 = ~ ආහාර පිසීම ~
අප්රේල් මස 13 වෙනි සදුදා අපර භාග 10.05 ට ස්වේත වර්ණ (සුදු පැහැති) වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවාදී කිරී මිශ්ර කිරි බතක් ද තල මිශ්ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කර ගැනීම මැනවී.
*4 ~ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ~
අප්රේල් මස 13 වෙනි සදුදා අපර භාග 10:43ට ස්වේත වර්ණ ( සුදු පැහැති) වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවී.
~ හිසතෙල් ගෑම ~
අප්රේල් මස 15 වෙනි බදාදා දින පූර්ව භාග 09:17ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා හරිත වර්ණ ( පළාවන් ) වස්ත්රාභරණයෙන් සැරසි කොහොඹ පත් යුෂ මිශ්ර නානු දතෙල්ද ගා ස්නානය කිරීම මැනවී.
~ රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම ~
අප්රේල් මස 17 වෙනි සිකුරාදා පූර්ව භාග 07:56 ට ලා නිල් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී, තල සහ හකුරු මිශ්ර කිරී බතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවී.
 
+++++++++++++++++++++++++++++++++++
ප්රශ්ණ :-
 
*1= අවුරුද්ද ලබන වේලාව.
මේ නව අවුරුද්ද ලබන වෙලාව විනාඩි කීපයකින් වෙනස් විය හැක්කේ, ඒ සඳහා භාවිතා කරන ලිත් හෝ මෘධුකාංග වල ඇති සුළු වෙනස් වීම් හේතුවෙනි. ජගන්නාත මෘධුකාංගය භාවිතා කරන විට නම්, වසර 2020ක් වූ අප්රියෙල් මස 13 වනදා රාත්රී 07 පසුවී විනාඩි 51 සහ තත්පර 12ට, රවි ග්රහයා මේෂ රාශියේ අංශක 00, කළා 00 විකලා 03 ට පැමිණේ. මෙය මහනුවර අක්ෂාංශක සහ දේශාංශක භාවිතා කිරීමෙනි. මා මහනුවර තෝරා ගත්තේ එය දිවයිනේ දළ මධ්යය සේ ගනිමිනි.
 
කෙසේ වුවද අලුත් අවුරුදු කමිටුවෙන් තීරණය කරන ලද නව වසර එළඹීම එදින රාත්රී 08 පසුවී විනාඩි 23 සේ ගෙන ඇත. එවිට රවි ග්රහයා මේෂ රාශියේ කළා 1ක ඇත්තේය.
 
ප්රශ්ණය:- පැහැදිළිවම රවී මේෂයට යන අවස්ථාව අප්රියෙල් 13 දා රාත්රී 07 පසුවී විනාඩි 51 වුවද, නව අවුරුද්ද ලබන වෙලාව රාත්රී 08 පසුවී විනාඩි 23 වීමට කිසියම් හේතුවක් තිබේද ? ලංකාවේ සම්මත කාලය සේ මෙහි රැගෙන ඇත්තේ කුමක්ද ?
 
*2 = පුණ්ය කාලය.
පුණ්ය කාලය යනු, ‘නොනගතය’යි. එනම් පින් දහම් කිරීමට යෝග්ය කාලයයි. පුණ්ය කාලය සේ 13 දින රාත්රියේ 01 පසුවී විනාඩි 59 සිට [14 දින උදේ 01 පසුවී විනාඩි 59 ] ගන්නට ඇත්තේ සඳු කන්යා නවාංශකයට සංක්රමණය වූ නිසායි සිතමි. එනම් රවි මේෂ රාශියට එන ඉහත කාලයේ [13 දින රාත්රී 07 පසුවී විනාඩි 51 තත්පර 12] අවස්ථාවේ සඳු සිංහ නවාංශකයේ සංක්රමණය වේ.
 
ප්රශ්ණය:- කන්යා නවාංශකය එදින ඒ අවස්ථාවේ නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවෙන රාශිය වන තුලාවට මිත්ර නිසා එසේ ගන්නට ඇතැයි සිතමි. හේතුව එයද ? එසේ නැත්නම් ගන්ඩාන්තයට පැමිණුනු හිරු ගේ නැකතක සඳු යෑම නිසා ඇති වන දෝෂය අඩු කිරීමට, හිරු ගේ නවාන්ෂකයකද සඳු යෑම එසේ සලකනු ලැබුවේද ?
 
*3 = ~ ආහාර පිසීම ~
අපර භාග 10.05 ට ආහාර පිසීම නියම කර ඇත. නමුත් රාත්රී 10:00 සිට 10:12 තෙක් සඳුගේ ප්රථම හෝරාව වන සඳු විෂ හෝරාව පවතී. එදින හිරු උදාව හරියටම උදේ 6:00 වේ.
 
ප්රශ්ණය:- කුමක් නිසා නැකතක් තැනීමට විෂ හෝරාවක් ගත්තේද ? මෙය පහසුවෙන් 10:12 න් පසුවද විනාඩි කීපයක් එම ග්රහ චාරය එතරම් වෙනස් නොකර ගත හැකිය. එසේ නොකරන්නට හේතුවක් තිබේද ?
 
 
%d bloggers like this: