Menu Close

238. සුහදිනියේ – 31 | මධුලිකා තවදුරටත් අතුරුදහන්ව. තීක්ෂණ කුමක් කරයිද?

 කලින් කොටසට 

උමතු වන්නට ආසන්න රෝගියෙකු සේ දෑතම හිසේ රඳවාගෙන මම බස් නැවතුමේ බංකුව මතට කඩා වැටුනෙමි. බස්නැවතුමේ කුඩා පඩිය මත තිබුණු මධුලිකා මිට මොහොතකට පෙර පැළඳගෙන සිටි පිච්චමල් රැහැන අතට ගනිද්දී මගේ හදවත කඩාවැටුනාසේ දැනී දෑසින් කඳුළු පැනනැගුණි.

මධුලිකා අනතුරකද? ඈ කොහි ගියාද? මම නොමැතිව ඈට ඇති ආරක්ෂාව කුමක්ද?

එකසිය එක් වරටද මම මධුලිකාගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි. එය නාද වනවා මිස, කිසිදු පිළිතුරක් නොලැබුණි.

ඇය මා කොයි කියා සොයන්නද? පටු පාරේ වූ බස් නැවතුම පෙනෙන මානයක මිනිස් පුළුටක් නැත. අතරින් පතර ගමන් ගන්නා තේ දළු එක්කාසුකරන ලොරි රථ හැරුනුකොට පලාතම පාලුය. සවස් වීමට ආසන්න බැවින් අඳුරද , මීදුමද එක්ව මහා මුසල බවක් ඇතිකොට තිබිණි.

කවර කලෙකවත් නොදැනුනු වියෝ දුකකින් මගේ සිත පිරි ගොස්ය. ඇයට කුමන ආකාරයට සීරීමක් හෝ වුවහොත් මරාගෙන මැරෙන තරමට මගේ ආවේගය දැඩිය!

‘ලොකුකම ඉහට ගහල ගොන් වැස්සියෙක් වගේ බිමට පැනපු හැටි! දෙන්න හිතෙනවා හොම්බට!! දැන් බලපන් මී හරකියේ මම උඹව කොහෙන්ද හොයන්නේ කියලා?’

‘ඔච්චර ඩෝන් යන්න මොකද්ද උනේ? මම පොඩ්ඩක් කෑගැහුවා තමයි ඩඩාගේ ප්‍රශ්නේ නිසා ඔලුව අවුල් වෙලා හිටිය හින්දා. මේ මී දෙනට මොකෙක් වැහිලද හිටියේ?’

කවුරුන් හෝ විසින් ඈ පැහැරගෙන ගියාද? නැතිනම් කෝපය විසින් හසුරවනලද ඈ විසින්ම කොහේ හෝ ගියාද? ඒ නැතිනම් කවුරුන් හෝ විසින් රවටාගෙන ගියාද?

මේ කිසිවකට පිළිතුරක් මට පෙනෙන මානයක නැත. හැඩීමෙන් පලක් නැත. මම වහා තාරුක අයියා ඇමතුවෙමි. ඒ අතරතුර නගරයේ වීදියක් පාසා රථය පදවාගෙන යමින් දෙපසම විපරම් කලෙමි.

පුවත අසා ඔහුද අතිශය කලබලයට පත්වූ බවක් පෙනුනි. ඒ කෙසේ වුවද සුන්දර්ට තවමත් කිසිවක් නොකියා සිටින්නට මට සිතුනේ ඇයිදැයි මම නොදනිමි.

“මචං… උඹ පොලිසියේ ඇන්ට්‍රී එකක් දැම්මොත් නරකද?”

මම කල්පනා කලෙමි.

“එතකොට මධුලිකා ඉන්න තැන ඔෆිශියලි කොහේ හරි ලියවෙනවා. ඊටත් වඩා, අපි ඉන්න තැන අහුවෙනවා”

මම කල්පනාවෙන් පැවසුවෙමි. මේ මොහොතේ කල්පනාවෙන් ක්‍රියාකළ යුතුය.

ප්‍රධාන බස්නැවතුම්පල අසලින් බට මම, එහි ඇවිද යද්දී මිනිසුන්ගෙන් හිස්වගිය බස්නැවතුමේ, යාචකයින් මා දෙස විපරමින් බලමින් සිය රාත්‍රී ආහාරයට සුදානම් වෙමින් සිටියහ. මම බස් නැවතුමේ කෙටි  කණ්ඩියට පිටදී සිටගතිමි.

“ඒ උනාට කල් ඇරලා බැහැනේ. කවුද දන්නේ මධුලිකාව වාසුලයා උස්සලාද කියලා?”

මගේ පපුව සිරවෙන්නා සේ දැනුනි. මධුලිකා පවසා ඇති අන්දමට වාසුල තිරිසන් ගති සහිත මිනිසෙකි. එසේ වුවහොත් මධුලිකාට අනතුරක් වීමට ඇති ඉඩ ඉතාම වැඩිය. ඒ ගැන සිතනවිට පවා මගේ ගත වෙවුලා යයි.

“මට ඒ ගැන හිතාගන්නවත් බැහැ බන්.. ඌ මහා තිරිසන් මිනිහෙක්. මධූට නියපිටින් හරි තුවාලයක් වෙලා තිබ්බොත් මම ඌට වෙඩි තියනවා ; අම්මපල්ල!”

මම මිටිමොලවා සිමෙන්තියෙන් සැදුනු බස්නැවතුම්පලේ බිත්තියට ආවේගයෙන් පහර දුන්නෙමි. මගේ අත තුවාල වී ගිය බවක් දැනුනද මගේ සිත ඊට වඩා වේදනාවෙන් මිරිකී ගොස්ය.

“මට තේරෙනවා මචන්…. අපි දැන් වෙන්න පුළුවන් නරකම දේට තමයි ලැස්ති වෙන්න ඕනේ. උඹේ තාත්තා ආවා කිව්වා නේද? එයත් ටවුන් එකේ ඉන්න පුළුවන් නේ? “

“ඒ උනාට ඩඩා මධුලිකා දැක්කට අඳුරන්නේ නැහැ.. ඒ උනාට.. අර ගෑනි…”

“මොන ගෑනිද ?”

“අනුලා ගෑනි බන්.. ඒ ගෑනි මධුලිකාව හන්ට් කරනවා. ඒ ගෑනිට අඳුරගන්න පුළුවන්   මධූව”

තාරුක අයියා මදක් නිහඬව සිටියේය. මම උන් තැනින් නැගී සිටියෙමි.

“ඕනේ එකක් වෙන්න මම පොලිස් ස්ටේෂන් එකට ගිහින් ඉව අල්ලලා බලනවා. ටවුන් එකෙත් බලනවා…. බලපන්කො මේ කෙල්ලගේ තියෙන #@@#% ගතිය! මෙහෙම වැඩක් කරයි කියල හිතුවේ නැහැ. දැන් මීදුමත් ඇවිත්, රෑ වෙලා. මම කොහේ කියලා හොයන්නද? අයියට පුලුවන්ද අපේ ගෙදර තත්වේ පොඩ්ඩක් හොයල බලන්න?”

“හරි ඒක මම කරන්නම්. කරන දෙයක් පරිස්සමෙන් කරපන්. හෙට පත්තරේට නිවුස් එකක් ඕනේ නැහැ. උඹ ගන් ඒවා මේවා එහෙම ගෙනියන්නේ නැහැ හරිද? කරන දෙයක් කලබල නොවී කරපන්  “

ඊට පිළිතුරක් මම නොසැපයුවෙමි. වාහනයේ සැමවිටම තබාගන්නා කුඩා ; නමුත් ඉතාම මුවහත් පිහිය රියදුරු අසුනේ පහලින් ස්ථානගත කර තිබේ. රිවෝල්වරය නොමැතිවීම පාඩුවක් වුවද මේ මොහොතේ ආවේගශීලි මා අත එය නොපැවතීම යහපතක් වන්නට ඇත.

නගරයේ සාප්පු අතරින් ඈ යතැයි සිතා ජීප් රථය නවතා මම පයින් ඇවිද කුඩා පටු මාවත් පවා පිරික්සුවෙමි. පමණක ජන ඝනත්වයක් තිබුන බැවින් පටු මාවත් අතර වීදි තුල ඈ වෙන්කොට හැඳිනීම උගහට විය. උමතු වූවකු පරිද්දෙන් මම ඒ මේ අත දිවගොස් හති වැටුනේ මානසිකව වන්නට ඇත.

මේ වනවිට මධුලිකා අතුරුදහන්ව හෝරා දෙකකටත් වඩා ගතවී  ගොස්ය. සුන්දර් ඇමතු මම ඈ බංගලාවට ගොස් ඇතිදැයි විමසද්දී සුන්දර් දැඩිව කලබලව ගියේය. ඈ එහි පැමිණ නැත. ඔහුට විස්තරය කීම පසෙක තබා මම පියවි සිහි එලවාගන්නට උත්සහ කරමින් සිටියෙමි.

තරුණියක මහමග මෙලෙස නන්නාදුනන පරිද්දෙන් අතුරුදහන් වීම ; ඊටත් මධුලිකා වන් තරුණියක අතුරුදහන් වීම අතිශය බියජනක තත්වයකි!

නැවත ජීප් රථය කරා එන අතරතුරද මම මධුලිකාගේ දුරකතනයට ඇමතුම් විස්සක් පමණ ලබාගත්තද එය නාද වනවා මිස පිළිතුරක් නොවුනි. මගේ රථයට පැමිණ එහි දොර විවෘත කරනවිටම එයට පිළිතුර මට වහා ලැබිණි.

ඇගේ දුරකථනය  ඉදිරි අසුනේ බිම තිබී නාදවනු මට ඇසුනි.

************************************

ජීප් රථයෙන් බට මම හැකි උපරිමයෙන් මගේ මුහුණේ වූ කැළඹීම මකා ගන්නට යත්න දැරුවෙමි. මීදුමත් , අඳුරත් විසින් ගිලගනිමින් පැවති පොලිස්ථානයේ  ප්‍රධාන ගොඩනැගිල්ල වෙත යොමුව තිබුණු පියගැට නගිමින් මම අවට නිරීක්ෂණය කලෙමි. ගොඩනැගිල්ල අවට අමුත්තක් නොපෙනේ. එහි වූ පුවරු ඔස්සේ මම ඉවෙන් මෙන් ප්‍රධාන ගොඩනැගිල්ලේ පසෙකින් ඇතුළු වී ස්ථානාධිපතිතුමාගේ කාර්යාලය වෙත හැරුනෙමි.

එතැනම ලි වලින් කල පුටුවක් මතට වී බහිරවයෙකු සේ මා දෙස බලාගත්වනම සිටියේ මා සමඟ නොමනාපයෙන් උන් පොලිස් නිලධාරයාය. නයාට පහර දී පොල්ල වරදා ගන්නවාක් මෙන්, පොලිස් සොක්කෙකුට වචනයක් කියා කට වරද්දා ගැනීම පාප කර්මයකි.

මා දුටු වනම ඔහුගේ මුහුණ කොරහක් මෙන් රවුම් විය.

‘මොකද?’ කියා ඇසුවේ මුවින් නොවේ හිසෙනි. මගේ කෝපය ඇවිලුනද නුවණ විසින් එය මඩනා ලද්දේය.

“OIC මහත්තය ඉන්නවද?”

“සර් නෑ…. ඕෆ්.. ! හෙට එනව “

මුගුරකින් දමා ගසන්නාක් මෙන් ඔහුගේ පිළිතුර අතරතුර මගේ උකුසු ඇස් තාවකාලික සිරමැදිරි තුල පවා දිව ගියේය.

“.. ඇයි මොකද්ද ඕමනාව ?”

මධුලිකාත් මමත් ගැන ඔහුට සැක සිතුනේ දෙදෙනාගේ ලාබාල පෙනුම නිසා වන්නට ඇත. මා කෙසේ වෙතත් මධුලිකා හුරුබුහුටි පෙනුමකින් යුක්ත  ඔහු අනවරතයේ මා කෙරෙහි කෝපයක් ඇතිකරගත් බැවින් වඩා ප්‍රවේශම් විය යුතුය. මධුලිකා පොලිසියට පැමිණියා නම් මොහු මා දෙස මෙලෙස බලන්නේ නැත. එබැවින් ඈ මෙහි සිටීමට හෝ ඇගෙන් එවන් තොරතුරක් ලැබෙන්නට ඉඩක් නැති බව මම තාවකාලිකව තීරණය කලෙමි.

“ඩඩා පණිවිඩයක් කිව්වා ඔෆිසර්ට කියන්න කියලා. එහෙනම් කමක් නැහැ මම කෝල් එකක් දෙන්නම්”

මම ආපසු හැරුණද මගේ පංච ඉන්ද්‍රියයන් ඊට වඩා  ඉවකරන්නාක් මෙනි. පොලිස් සොක්කා මා පසුපස එන බවට යම් ඉවක් දැනුනද මම ආපසු හැරී නොබලාම මගේ රථය කරා ගමන් කලෙමි.

පියගැට අවසානයට අඩිය තබත්ම ඔහුගේ අමනාපය මුසු අශිලාචාර හඬ නැගී ආවේය.

“ඔහොම ඉන්නවා….”

මම වේගය අඩාල කල නමුත් හදවත වේගයෙන් ගැහෙනු දැනුනි. පියවර හඬ මා අසලටම ලංවූ බැවින් මම සන්සුන් බවක් මවාගෙන ආපසු හැරී බැලුවෙමි.

“… කෝ අර ඉස්සර වෙලා හිටපු ගෑනු දරුවා?”

කොස්තාපල් වරයාගේ මුහුණ අයහපත්ය. මා දෙසම යොමුවූ සැකසහිත දෑස් වල ඊට අමතරව නොමනාපය ඇති පදමට තිබිණි. මට බියක් දැනුනේම නැත. මෙය මම අපේක්ෂා  කලෙමි. මට  තෝරාගැනීම් තිබුනේ දෙකකි. එකක් නම් මධුලිකා සොයාගැනීමට පොලිසියේ ඍජු ආධාරය පැතීමයි. අනෙක ඒ සියල්ල වසන්කොට තනිව මධුලිකා සෙවීමයි. ක්ෂණයෙන් මම තීරණයකට එළැඹියෙමි.

“ටවුන් එකෙන් බැස්සුවා බඩු වගයක් ගන්න”

“…………….”

පිළිතුරක් නොදුන් ඔහු ඒ පිළිතුර පිළිතුරක් ලෙස බාර නොගන්නා බව මට පැහැදිලි විය. කොස්තාපල්වරයාගේ දෑස කුඩාවී ගියේය. ඔහු කිසිවක් පැවසුවේ නැත.

මධුලිකා පිළිබඳව මෙවන් නිලධාරියෙකු ගෙන් බලාපොරොත්තුවක් තබාගත නොහැක. අඩුතරමේ ස්ථානාධිපතිතුමා සිටියා නම් යමක් කරගත හැකිව තිබිණ. නමුත් ඔහුද තාත්තාගේ මිතුරෙකි. තාත්තාට ආරංචි නොවන්නට එවැන්නක් කිරීම උගහට වනු ඇත.

රථය පණගන්වන්නට උත්සහ කරනවිටම මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණු බව දැනුනි. මම දුරකථනය පිරික්සීමි. කෙටි පණිවිඩය විරංගගෙනි.

‘මම විරංග සමඟ,  ආරක්ෂිතව. කතාකරන්න වෙහෙසෙන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න – මධුලිකා’
(I am with Viranga, Safe. Do not bother to call me. Leave me alone – Madhulika)

කෙටි පණිවිඩය ලැබී තිබුනේ කාගෙන්දැයි මම නැවත වරක් බැලුවේ එය  මායාවක්දෝයි සිතමිනි. හිස තුල බෝම්බයක් පිපිරී ගියාක් මෙන් කම්පනයක් ඇතිවිය. මධුලිකා මේ තරම් ඉක්මනින් විරංග වෙත ගියේ කෙලෙසකින්ද? ඇය අතුරුදහන්ව ගතවී ඇත්තේ හෝරා තුනක් පමණකි. මම මේ වනවිට මුළු නගරයේ වීදියක් පාසා යමින් ඈ සෙවුවෙමි. 

විය හැකිව තිබුණු  දේවල් මගේ සිත වහ වහා ආක්‍රමණය කරන්නට විය.

මෙය විරංග ගේ ගැටයක් වන්නට හැකිය. නමුත් ඔහු හෝ වෙනත් අයෙකු අප පසුපස ආවා නම් පමණක් මෙතරම් ඉක්මනින් මධුලිකා ඔහු ළඟට යාමට නොහැකිය. මධුලිකා සතුව ඇගේ දුරකථනය නොමැති බැවින් එවැන්නක් විය නොහැකිය. ඇයට එම දුරකතනයට මෙතෙක් ඇමතුමක් පැමිණියේ මගෙන් පමණකි.

එසේ නොමැති නම් මධුලිකා බස් නැවතුම්පලින් බසයකට නැග කොළඹ ගියා වන්නට පිළිවන. නැතිනම් ඇයට සැබෑ උවමනාවක් තිබිණි නම් පාර අසමින් හෝ බංගලාවට එන්නට හැකියාවක් තිබේ. ඇය එසේ නොකොට විරංග සොයා ගියේ ඇයි ?

ඊර්ෂ්‍යාව ; කෝපය සහ අධික මාන්නය විසින් මා රාක්ෂයෙකු කරන්නට ඇත. මගේ සියලු ක්‍රියාකාරකම් පාලනයකින් තොර වන්නට ඇත. ගින්දර විදින මකරෙකු සේ බංගලාවට පැමිණෙන අතරතුර විසි වතාවකට වඩා විරංගගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබාගත්තද , දුරකථනය කාර්යබහුල බව දක්වන හඬක් මිස පිළිතුරක් නොලද්දෙන් , ස්ථාවර දුරකතනයට ඇමතුමක් ගත්තෙමි. එය නාදවෙනවා මිස පිළිතුරක් ලැබුනේ නැත.

‘මම ඔබ ගැන වදවෙමින්. කරුණාකර පිළිතුරක් ලබාදෙන්න – තීක්ෂණ’
( I’m worried about you. Please reply – Thikshana)

මම ලියා යැව්වෙමි. නමුක් කිසිදු වෙනසක් වුයේ නැත. බංගලාවට මා කඩාපාත් වනවිට වාකිෂ්ඨ මහතා පෙනෙන්නට සිටියේ නැත.  මගේ මුවින් ගිලිහුන නොසරුප් වදන් වැල් මැදින් සුන්දර් සිදුවී ඇති දෙය යන්තමට හෝ වටහා ගන්නට ඇත. එසේ නොවුවද මට කම් නැත. අතට හසුවූ ඇඳුම් සියල්ල බෑගයේ ඔබාගත් මම කුණාටුවක්  හමන්නාක් මෙන් ඝර්ජනා කරමින් පිටව යනතුරුම  භ්‍රාන්තව සිටිනවා හැරුනුකොට සුන්දර් කිසිවක් නොකීවා කියා මතකය.

‘කතාකරපන් වැස්සියේ මාව මිනීමරුවෙක් නොකර….!’

දුරකථන දෙකට මාරුවෙන් මාරුවට ඇමතුම් ලබාගනිමින් මම රථය පැදවූයේ තනි අතින් බැවින් දෙවරක්ම රිය අනතුරු වැළකුණේ මිලි තත්පර ගණනකිනි. විරුද්ධ පස රියදුරන් මගේ පවුලේ සියල්ලෝම ආදරයෙන් සිහිපත්කොට ආශිර්වාද කරන බව මගේ කන් වලට ඇසුනේ නැත. මම නාසයෙන් ගින්දර පිඹින මකරෙකු වැනිව දැවෙමින් උන්නෙමි. කොළඹ ආසන්නයට එද්දී අවසානයේ ස්ථාවර දුරකතනයට එකවරම පිළිතුරක් ලැබුණි.

“හලෝ?”

ඒ විරංගගේ මවයි. මගේ සිත මිශ්‍ර හැඟීමකින් පිරී ගොස් ගොළුවිය.

“අ… අ….. ආන්ටි!”

“හ්ම්ම්ම්?? මේ තීක්ෂණ පුතා නේද? ආ? ඇයි පුතේ මේ කලබලේ??”

මම හැකි තරම්  හුස්ම පාලනය කරන්නට උත්සහ කරමින් වහාම වාහනය පාරේ  අයිනට කොට නතර කලෙමි.

“ආ.. ඔව් ආන්ටි.. මේ මම… මේ… එහෙම කලබලයක් නෑ ආන්ටි… මේ කෝල් කලේ පොඩි වැඩකට. ආන්ටි විරංග ඉන්නවද?”

“විරංග?”

“ඔව් ආන්ටි…. මම මේ පොඩි වැඩකට කෝල්  ෆෝන් එක ආන්සර් කරන්නේ නෑනේ… මේ පොඩි හදිස්සියක්”

“ආ.. ඔව් පුතා… විරංග එළියට ගිහින්. මම මේ දැන් ටිකක කලින් සැලෝන් එකෙන් ආවේ.”

විරංග එළියට ගිහින්! එනම් මධුලිකා සමඟ!!?? මගේ සර්වාංගයම වෙව්ලනවා සේ දැනුනි.

“අ.. ආ හරි ආන්ටි.. කෝල් කලොත් කියන්න මට කතාකරන්න කියලා. කොහෙද දන්නේ නැහැ නේද ගියේ…?”

මම සුක්කානමේ හිස තබාගත්තේ  හිස බමන්නාසේ දැනෙන්නට වූ බැවිනි.

“ඒක තමයි පුතා.. කෝ .ඉන්නකෝ බලන්න මම එයාට කෝල් එකක්… ආ….. මේ මට මැසේජ් එකක් දාලානේ මම දැක්කෙත් නැහැ… ආ සුනේත්ලා එක්ක මිගමු යනවා කියලා ලියලා. අද එන්නේ නැහැලු. ඇයි පුතා මොකද්ද හදිස්සිය? මොකක්වත් කරදරයක්ද?”

මගේ හිස පුපුරන්නට ආසන්න විය.

“හරි ආන්ටි..  නෑ එහෙම එකක් නැහැ… තෑන්ක් යූ ආන්ටි”

දුරකථනය විසන්ධි කල මට දැනුනේ මගේ සිරුරෙන් සියලු හැඟීම් දැනීම් මිදී , මනෝ කය අහසේ පාවෙන්නාක් මෙනි. ඊට එකහෙලාම අනෙක් පසින් දැවැන්ත කුළුගෙඩි ප්‍රහාරයක් මෙන් යක්ෂාවේශ වූ මම ජීප් රථය දෙවනත් කරමින් අරමුණක් නොමැතිව කෑගැසුවෙමි! මගේ සිත තුල ඇති වේදනාව , කෝපය විසින් පිළිබිඹු වන්නට ඇත.

‘මායාකාර හැතිරිය! උඹ මට මෙවන් නින්දාවක් කලේ මම කුමන වරදක් කලාටද? හසුවූ අවස්ථාවෙන්ම උඹගේ ස්ත්‍රීත්වය උදුරාගන්නට හැකිව තිබියදී එසේ නොකොට ; මුග්ධ ප්‍රේමය යයි සිතමින් උඹගේ නොයෙකුත් නපුරුකම් ඉවසමින් උඹව මෙතරම් සුරැකියේ උඹගේ මේ උද්දච්චකමින් වන විනාශයෙන් බේරාගන්න නොවේද? ‘

මගේ සිත බුර බුරා නගින්නට විය. හුස්ම කෙටි සහ වේගවත් බවින් යුතු වූ බැවින් යලි පණගන්වන ලද රථයේ වේගය වඩා වැඩිවිය.

————————————————

නිවසට කිලෝමීටර් බාගයක් තිබියදී මම ජීප් රථය නවතා ගත්තේ පාරේ පසෙකට කරමිනි.  මට නිවසට යන්නට සිත් නොදේ. සිත මහා හඬින් මුරගානුත් ඒ සමඟම වේදනාවෙන් කෙඳිරි හඬක් නගනුත් මට එකවර දැනෙනවා සේ විය. මට පියවි සිහිය වදයක් විය.

වෙලාව රාත්‍රී නවයට ආසන්නය. මධුලිකා කුමක් කරනවා ඇතිද? විරංග සමඟ?… මගේ තරුණ සිත ඊර්ෂ්‍යාව දැරිය හැකි පමණට වඩා මේ මාත්‍රාව අධිකය. මම වහාම මගේ හිතවත් මිතුරාගේ කබානා අවන්හල අසල තිරිංග තද කලෙමි. ජීප් රථයෙන් බට මම කෙලින්ම එහි මත්පැන්හල වෙත ගමන් කරන අතරමගදී මට අම්මාගෙන් ඇමතුමක් පැමිණියේය. එයට පිළිතුරු දෙම්දෝ සිතමින් මම ජින් ඇනවුම් කලෙමි. ඇමතුම නතරව ගියේය.

මගේ සුපුරුදු කබානාව ඒ වනවිට වෙන කිසියම් පිරිසක් විසින් අත්පත්කොටගෙන ඇති බවක් පෙනුනි. මිතුරා පෙනෙන්නට නොසිටීම එක අතෙකින් සහනයකි. මම එතරම්ම අඳුරු නොමැති වෙනත් කබානාවක මුහුද දෙසට හැරුණු උස් බංකුවක හිඳගත්තෙමි.

මගේ සිතට දැඩි තෙහෙට්ටුවක් දැනේ. උදෑසන මගේ පියාගේ කම්පිත දර්ශනයෙන් සලිතව ගිය සිත මධුලිකාගේ අතුරුදන් වීමෙන් අතිශය කැළඹී ගොසිනි. පතුලක් නිශ්චය කරගත නොහැකිවන පරිද්දෙන් සිත කැළඹී ගොහොරුව ගොසිනි.

මධුලිකා කුමක් කරනවා ඇතිද? විරංග සමඟ ප්‍රේමයෙන් සිටිනවා විය හැකිය මා මෙන් නොව ඈ කිසිවිටෙක විරංග සමඟ දබර කරගන්නේ නැත. සිය ආරක්ෂාව පතා මා ලියවිල්ලකින් විවාහ කරගත්තද, ඈ සැමවිටම විරංග කෙරෙහි ප්‍රේමයෙන් සිටින්නට ඇත. මධුලිකා සැමවිටම මා කෙරෙහි සිය දුරස්ථභාවය දැක්වුයේ එබැවිනි. එය ඇගේ වචන වලින්ම අසා දැන තහවුරු කරනතුරු මගේ සිත එය අවබෝධ කරගන්නට ; පිළිගන්නට තිබු නොකැමැත්ත මේ වේදනාවේ ආරම්භයයි.

එය තේරුම් නොගන්නට තරම් මම අතිශය මුග්ධ වී ඇත. ඈ කෙරෙහි ඇති ආසක්ත බවින් අන්ධව ගිය මට ඒ කිසිවක් නොපෙනුණි. ඇගෙන් මෘදු බැලුම්, මෘදු ස්පර්ශයන් මෙන්ම සිපගැනුම් සොරා ගනිමින් මම හැසිරුනේ කොතරම් මෝඩ කොටළුවෙකු පරිද්දෙන්ද?

ජින් මත විසින් මා සිතුවිලි වඩ වඩාත් විසිරුවන්නට විය. මධුලිකා මා සමඟ සෑහෙන තරමක සෙල්ලමක් කරන බව මට වැටහුණි. මා තුල ඈ කෙරෙහි ඇති ඒ මෘදු දුර්වලකම නිසා ද ඈ මා මෙතරම්ම නටවන්නේ? මාස කිහිපයකට තරුණියක බැගින් ඇසුරු කරන තරමට මම නිදහස්ව සිටියදී මට නොදැනීම මම මධුලිකා වෙනුවෙන් ස්වයන් වාරණයකට පත්ව සිටියා නොවේද? මොන තරම් මෝඩ වැඩක්ද ඒ?

මම එවැනි තරුණයෙකු නොවේ!

ජින් වීදුරුව දෙවනවර පුරවන අතරතුර යමෙක් මා අසලට එනු පෙනුනේ මගේ සුපුරුදු කබානාව දෙසිනි.

“තීක්ෂණ?”

ඒ කවරෙකු වත් නොව අම්මාගේ මිතුරියගේ දෙටු දියණිය ; ටාෂා ය. ඈ එහි පැමිණියේ ඇස්වල සිට සියලු ශරීරාංග වලින් විමතිය සහ ප්‍රීතිය පෙන්වමිනි. එකවරම මට සිහියට පැමිණියේ දින කීපයක් වනතුරුම ඈ මට ඒවා තිබුණු නොයෙකුත් කෙටි පණිවිඩ රැසයි. අඩ අඳුරේ වුවද අගේ මුහුණේ තිබුණු ඒ සිනහව මට හොදින් පෙනුනි.

“ආ.. ටාෂා!”

“ඔයා කොහෙද මෙහෙ?”

ටාෂා ඇසුවේ වටපිට බලමිනි. ඇය මා පැමිණ ඇත්තේ කා සමඟ දැයි විමසිලිමත් වන බවකි. ඇගේ මුවින් බියර් සුවඳක් හමා එනබව මට දැනුනි.

“මෙතනට මම එනවා.. ඇයි ?”

“ඔයා ඇයි මම ලියපුවට උත්තර නොදුන්නේ?”

ටාෂා මා අසලටම පැමිණ සිටගත්තී මගේ ඇස ඈ වෙතම යොමුව තිබිණි. කළුපැහැ කෙටි ගවුමක් හැඳ සිටි ඈ මා දෙසම බලා සිටියාය. ඈ සතියක පමණ සිට මගේ කෙටි පණිවිඩ රැසක් ලියා ඒවා තිබුනද ඒ කිසිවකට පිළිතුරක් යැවීමට මට සිතක් නොවුනි. නැවතත් මධුලිකා මගේ හිස පුරා බුවල්ලෙකු සේ එතෙන්නට විය.

“මට වැඩ තිබ්බා. මම…”

“ඔයා වත්තට ගියාද? මට ආන්ටි කිව්වා”

ටාෂාට මගේ දුරකථනය අංකය ලැබුනේ අම්මාගෙන් බව මම දනිමි. අම්මා ටාෂා මගේ ඇඟේ ගසන්නට සාදන බවක් මට ඉව වැටුනද මට ඒ ගැන මෙතෙක් වගක් තිබුනේ නැත. ටාෂා නරක කෙල්ලක නොවේ. අම්මා පෙර දිනෙක තාත්තා සමඟ කල කතාබහේදී මේ ගැන හෝඩුවාවක් මට ලැබී තිබිණ. කුමක් හෝ වෙනත් යමක් සිදුවෙමින් පැවතියද, ඒ කිසිවක කෙරෙහි මගේ සිත රැඳුනේ නැත.

“ඔයා මොකද මෙහෙ කරන්නේ?”

“යාළුවො වගයක් එක්ක එළියට ආවා. ක්ලබ් යන්න ආවේ… එක්කෙනෙක්ට බෑ කිව්වා නිසා මෙතනට ආවා… ඔයා..”

ඈ චතුර ලෙස ඉංග්‍රීසි හසුරවයි. ටාෂා තුල අන් කවරදාටත් වඩා ආකර්ෂණයක් ඒ මොහොතේ මට දැනුනේ මායාවක් නිසා නොවන්නට ඇත. ටාෂා රූමත් තරුණියකි. ඇය මා අසලම පුටුවක් ඇද එහි හිඳ ගත් අතර එයට එපා කියන්නට මට සිතක් නොවුනි. මේ මොහොතේ තනිවන්නට අවැසිව තිබුනද ටාෂා මට බාධාවක් සේ හැසිරුනේ නැත. ඉඳහිට මට ජින් කලවම් කරන්නට උපකාර කල ඇයට මම බීර ඇනවුම්කොට ලබාදුනෙමි.

“ඔයාගේ යාළුවො ටික ඉන්න තැනට යන්න. නැතිනම් ඒක හරි නැහැ “

“නෑ ප්‍රශ්නයක් නැහැ… මම කියලා ආවේ එනකොටත්.ඔයාට ප්‍රශ්නයක් නැතිනම්.”

ටාෂා මා දෙස බැල්මක් හෙලා දෑස සිහින් කොට සිනාසුනාය. තරුණියකගේ සබකෝලය නොමැතිකම මම තදින් මනිනා මිම්මක්ව පැවතුනි. චාපා දක්වා ආ තරුණියන් සියල්ලම එවැනි අනවශ්‍ය සබකෝලයක් නොමැතිව සිය සිතැඟි පළකරනා තරුණියන්ය. යලිත් මධුලිකා මගේ සිතුවිලි හරස් කොට වේල්ලක් බැන්දාක් මෙන් හරස්ව ගියාය. ඇය ? කෙතරම් ගුප්ත චරිතයක්ද?

“තීක්ෂණ… තනියෙන්ද ආවේ?”

“ඔව්.. ඇයි ?”

“ඔයාට වෙරි වෙයි. වැඩිය බොන්න එපා.”

මට මධුලිකා සිහිවනු වලක්වනු බැරිවිය. වෙරි මරගාතයෙන් වාහනයේ උන් මා, නිවසට පදවාගෙන ගිය ඇය සිහිවීම වලක්වනු බැරිවිය. මම යන්තම් සිනාසුනෙමි.

“…. ඔයාගේ ඔය හිනාවට තමයි මම ගොඩක්ම කැමති”

මම ජින් බඳුන පසෙක තබා ඈත මුහුද දෙස බැලුවෙමි.

“මම දැන් යනවා…”

මම වේටර්වරයා අමතා බිල ගෙනෙන ලෙස පැවසුවෙමි. ටාෂා මා දෙස බලා සිනාසුනාය. එය තනිකර විදුලියකි.

“කැබ් එකක් අරගෙන යන්න. ඔයාට ටිකක් වැඩි නේද?”

“නෑ මට පුළුවන්. වාහනේ විශ්වාස මට වඩා”

වේටර්වරයා ගෙන ආ බිලට මම ණය කාඩ්පත තැබුවෙමි.

“ඇත්තට? තව මොනවද විශ්වාස?”

අම්මව”

“අම්මව විතරද?”

මම කල්පනා කරනවා මෙන් රඟපෑවෙමි.

“ඔව්”

ටාෂා මගේ උරහිසට බරවී මුහුණට එබුනාය.

“මාව විශ්වාස නැද්ද?”

මම යන්තම් සිනාසීමි. මට මත් බවක් දැනේ. ටාෂාගේ සිරුරේ උණුසුම මට දැනේ.

“මම කෙල්ලොන්ව විශ්වාස කරන්නේ නැහැ”

“ඔයාට වෙරි”

ටාෂා රහසින් මෙන් කීවාය.

“ඔව්…. වැඩිය නැහැ… ටිකක් විතර”

ණය කාඩ්පතේ ස්ලිපය අත්සන්කොට මම එය මුදල් පසුම්බියට හොවා ගත්තෙමි. මගේ මත්  බව සහ තරුණ සිරුර යමක් ඉල්වයි.මම ටාෂා දෙස නොබලා සිටින්නට උත්සහ කලෙමි.

“ආන්ටි ඔයාව ඔහොම දැක්කොත් නම් හොඳ මදි. එතරමට ඔයාට වෙරි”

“නෑ මට ඩ්‍රයිව් කරන්න පුළුවන්. කොහොමත් මම ගෙදර යන්නේ නැහැ”

ටාෂා මගේ සිරුරට බර වුණාය. මට නිරායාසයෙන් ඇගේ බඳ වටා අත යැවුනි. ටාශාත් මමත් ජ්ජිප් රථය වෙත ඇවිද ආවේ එකිනෙකාට වත්තම් වෙමිනි. ජීප් රථයෙ අගුල හැරි මම අඩ අඳුරේ පෙනෙන ටාෂා දෙස බැලුවෙමි.

“මම ඔයාට කැමතියි තීක්ෂණ”

මම සිනාසුනෙමි.

“… මම ඩ්‍රයිව් කරන්නද?”

“එපා!”

පමණට වඩා එය සැරෙන් ඇසෙන්නට ඇත. මධුලිකා මෙන් මා එලෙස පදවාගෙන යනවාට මගේ සිත මට ඉඩ නොදෙන්නට තරම් සිතුවිල්ල වේගවත් විය.

“… නෑ .. මේ.. ජීප් එක මම කාටවත් දෙන්නේ නැහැ ඩ්‍රයිව් කරන්න.. ඒකයි.. නගින්න”

මම ටාෂාට ඉදිරිපස අනෙක් දොර හැර දුන්නෙමි. මගේ හිස බමන බව මට වැටහේ. රථය පාරට ගත් පසුව ටාෂා සිය අතක් මගේ කලවේ ඉහල කොටසින් තබාගෙන මට වඩාත් ලං වුවාය. මට මධුලිකා සිහිවිය. ඇය මෙවන් තරුණියක නොවේ! මගේ සිත වේදනාවට පත්වී එය වසාගෙන ඊර්ෂ්‍යාවෙන් සහ කෝපයෙන් වැසිගත්තේය. ඇය මේ වනවිට විරංග සමඟ මීගමුවේ මිට වඩා සමීපව සිටිනවා ඇත.

මගේ රිය පැදවීම වේගවත් වන්නට ඇත. ටාෂා කියූ කිසිවක් මගේ මනසට ඇසුනේ නැතුවා සේ මම මහල් නිවාසය කරා පදවාගෙන ආවෙමි. කෙසේ ආවාදැයි මට දැනුමක් නැත. මගේ හිස මත්වී බමයි.

‘කෙළෙහිගුණ නොදන්නා අසමජ්ජාති මායාකාරිය… උඹ සිතන්නේ මට තරුණියන් නැතිව උඹ මත්තේ මියෙන්නට සැදුවා කියාද? එසේ සිතුවා නම් උඹ තරම් මෝඩියක් තවත් නැහැ. ඔව්… මට ඇති තරම් තරුණියන් සිටිනවා… උඹ සිතන්නේ මම උඹ මත්තෙම මිය යාවි කියාද? උඹ එන්නට පෙරත් මට තරුණියන් සිටියා. ඔවුන් කිසිවෙක් උඹ මෙන් මට කෙනෙහිලිකම් කලෙත් නැහැ.. උඹ දැන් බලා සිටියාවේ…’

වාහනය මහල් නිවාසයේ වාහන අංගනයට ඇතුළුකොට මම මද වෙලාවක් හුස්ම අල්වාගෙන සිටියෙමි.

“මගේ දෙවියනේ… මේක ප්‍රීතිමත් පුදුමයක්!…”

ටාෂා චතුර ඉංග්‍රීසියෙන් පැවසුවේ අතිශය සරාගී හඬිනි. මම ටාෂා සමඟ සෝපානයන් මහල් නිවාසයේ අදාළ මහල තෝරාගෙන බොත්තම එබුවෙමි. කිසිවකුත් සෝපානයේ නොසිටියේය. සෝපානයේ දොර වැසෙත්ම ටාෂා මගේ වම කම්මුලට හාදුවක් දුන්නාය. අගේ වමත ඇයගේ බඳ වටා එතී තිබිණ. මගේ අත ඇගේ බුහුටි බඳ ආක්‍රමණය කලේ ඉබේටම මෙනි.

“….බබා… මේ තියෙන්නේ ඔයාගේ ෆ්ලැට් එකද??”

මහල් නිවාසයේ දොර හරිනට පෙරම ටාෂා මගෙන් ඇසුවේ මුමුනන්නාක් මෙනි.

“හ්ම්ම්.. ඔව්. ඇයි හොඳ නැද්ද?”

ටාෂා ‘හිකිස්’ ගා සිනාසුනා මිස කිසිවක් පැවසුවේ නැත.

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: