Menu Close

සොබාදහමෙන් පණිවිඩයක්

මිනිසා උපන් දා සිටම නෙක දේ රැස් කරන්නේ දිවිය එතරම් ඉක්මනින් හැර යන්නට නම් නොවේ.අනාගත දිවියේ සාර්ථකත්වයට සුවහසක් බලාපොරොත්තු සිත තුළ පොදි බැදගෙන දිවා රෑ නොබලා මිනිසා වෙහෙසුනේ සිය බලාපොරොත්තු වලට ප්‍රශ්නාර්ථ එක්කරමින් අතහැර යන්නට ද නොවේ.අපව මෙලොවට රැගෙන ආ ඒ ශක්තියම අපට අද එරෙහිව ක්‍රියා කරනවා.ජීවිතය ඒතරමටම ස්ථීර නොවේ. එයයි ලෝක සත්‍යය.
පරිසරයේ හදගැස්මට සවන්දුන් කාලයක් , වැට කොටු මායිම් නොමැතිව පරිසරය හා ජිවත් වූ කාලයක් අපට තිබුණා.අද අපි ජීවත් වෙන්නේ දියුණු ලෝකයක. අහසට නැගුණු යෝධ යකඩ කඳන්, ඇළ දොළ ගංඟා පොළොවට සමතලා කොට සැතපුම් ගණන් දිවෙන දිගු මංමාවත්, ඒ මත දිවෙන සුඛෝපබෝගි යකඩ යන්ත්‍ර, එයයි අප අද ජීවත් වන දියුණු ලෝකය.ඇත්තෙන්ම මෙයද දියුණුව කියන්නේ? අප කෙතරම් නම් පරිසරයෙන් දුරස් වීද යත් සුළඟක් හමන්නටවත් මඟක් නැහැ දැන්. සෑම තැනකම බාධක.

පින්තූරය අන්තර්ජාලයෙන්

වත්මන් මිනිසුන් විදුලි වැටවල් වලින් සතුන් කොටු කර නිදහස සෙවුවා.වනාන්තර සඟවා යකඩ කදන් තුළින් දියුණුව පැතුවා.එලෙස සතුන් කොටු කළ මිනිසුන්ට අද නිවෙස් තුළකොටු වීමට සිදු වී තිබෙනවා. සිතන්න! මෙයද අපෙන් විය යුත්තේ.මෙම කාලපරිඡ්චේදය ඒ පිළිබඳව අපට සිතන්නට සොබාදහම විසින් ලබා දුන් අවස්ථාවක්.එසේම පරිසරයට නිදහසේ හුස්මක් ගැනීමට පරිසරය විසින් ලබාගත් අවස්ථාවක්.


මිනිසාගේ ජීවන කථාව තුළ ආරම්භයක් මෙන්ම අවසානයක් නියත වශයෙන්ම ලියැවී තිබෙනවා. එය කවදා කෙසේ කොතැනක වේ දැයි යන්න සඳහන් නොවීමයි අප වඩාත් සිතිය යුත්තේ. මීට මාස කීපයකට පෙර අපට මෙම සත්‍ය පිළිබදව නිකමටවත් සිතුනේ නැහැ.සිය අසීමිත බලාපොරොත්තු පසුපස හඹා යමින් කාර්යබහුල ශීග්‍රගාමී දිවිය සුපුරුදු ලෙස ගෙවා දැමුවා. නමුත් නොසිතු විරූ ලෙස අපට මෙවන් තත්වයකට මුහුන දීමට සිදු වේ යැයි ඔබ සිතුවේද?නමුත් ඒ තිත්ත ඇත්ත අද අප ඉදිරියේ ජීවමානව පෙනී සිටිනවා.දිවියේ අස්ථිරතාවය , කවදා නම් අපට මිය යෑමට සිදුවේද යන බිය දැන් මිනිස් හදවත් ගිලගෙන.එදා සිටි මිනිසාත් අද සිටින මිනිසාත් දෙදෙනෙක් ඒදා අපේ ආදරණීයෙකු අසනිප වූ විට  “අනේ අපොයි එයාට වෙච්ච දෙයක්” යැයි පැවසූ අපේ සිත් තුළට අද යමෙක් අසනීප වූ විට මා ඔහුව කොහේදි හරි හමුවී තිබෙනවාද? මා මොහුව ළඟින් ඇසුරු කර තිබෙනවාද? යන  ප්‍රශ්න මතුවන්නේ නිතැතින්මයි. මෙවන් තත්වයකදී සිදුවිය යුත්තේ එයම මුත් මිනිසා ඒ තරමටම සමාජයෙන් ඈත් කර පවුල නමැති ඒකකය තුළ කොටු කිරීමෙන් මෙම සොබාදහම බලාපොරොත්තු වූයේ කුමක්ද?සොබාදහම අපට දිමට උත්සාහ කරන්නේ පළමුව පවුලක් සේ ගොඩනැගී පසුව සමාජය ගොඩනගන්න යන පණිවිඩය නොවේ ද?
ජීවත් වීමේ බලාපොරොත්තුවත් මරණයේ ආරාධනාවත් අතර දෝලනය වන මෙවන් අවස්ථාවක අප ක්‍රියා කළ යුත්තේ කෙසේද?අප අපගේ මාතෘ භූමියේත්,ශ්‍රී ලාංකිකයන්ගේත් හිත සුව පිණිස කළ යුත්තේ කුමක්ද?
එක් අතකින් සොබාදහම විසින් මුළු ලෝකයම උඩුයටිකුරු කරන මේ අවස්ථාවේ අපට ජීවිතය පිළිබඳ යම් නිශ්චිත තීරණයකට එලඹීමට දින 14 ක් දි තිබෙනවා.සත්තකින්ම මෙම දින 14 අන්තයේ අප රැස්කළදෑ පරිහරණයට අපට හැකි වේවිද? අපට සුපුරුදු ලෙස ආදරණීයන් සමඟ සතුටින් සිටීමට හැකි වෙවිද? එය අප කාටවත් නිශ්චිතව කිව නොහැකිය.

පින්තූරය අන්තර්ජාලයෙන්


මෙය සොබාදහම විසින් අපට සිතන්නට දුන් එක් සුවිශේෂී අවස්ථාවක්. අප විසින් පරිසරය වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, සිය පවුල වෙනුවෙන් එපමණක් නොවේ තමා වෙනුවෙන් සිදුකර ඇත්තේ මොනවාද ? යැයි සිතිමට සොබාදහම විසින් අපට ලබාදුන් අවස්ථාවක් මේ. පවුලක් සේ එකට සිටිමට කාර්යබහුල ශීග්‍රගාමී ජිවිතයේ යම් විවේකයකට අපට ලැබුණු අවස්ථාවක් මේ.එපමණක් නොවේ මිනිසත්කම් ඉස්මතු කරන්නටද මෙය හොඳම අවස්ථාවක්.රට මෙවන් ව්‍යවසනයකට පත්ව ඇති අවස්ථාවක එදා වේල සපුරාගන්නා කොපමණ නම් පිරිසක් කුසගින්නේ ඇද්ද? තමා විසින් එකතු කළ පුංචි කැටයක් මේ සඳහා වැය කිරීම මෙවන් අවස්ථාවකදී කිසිවිටකත් අපතේ නොයයි.කැටයක් තුළ සිර වී ඇති මුදල් දැකීමට වඩා  එයින් ඔබ කරන පරිත්‍යාගයේ සතුටු කදුළු දැකිම ඔබේ සිත කෙතරම් නම් සතුටින් පුරවාලිය හැකිද?
මා දන්නවා, ඔබ සුදානම් නෑ, වැද්දන්ගෙන් බණ අසන්න.මා මේ සතුට අත් වින්ද කෙනෙක්.සෑමදාම පාසල් යන විට තාත්තගෙන් රුපියල් 20 ක් ඉල්ලගන්න එක මගේ පුරුද්දක්.ඒ රුපියල් 20 දවසින් දවස එකතු කරලා මම පුරවපු පුංචි කැටය එදා වේල සොයා ගැනිමට වැඩ කරන පවුල් 05 ක කුසගිනි නිවන්න උදවු වුණා.මෙයයි අපට මෙවන් අවස්ථාවකදී සිදුකළ හැකි හොඳම දේ.මේකෙන් කියන්නේ බඩු මළු අරගෙන ගෙයක්ගානේ ගිහිල්ලා තවත් කරදර ගෙදරට ගෙන්නගන්න කියලනම් නෙමෙයි.ඒ සඳහා බොහෝ විකල්ප සමාජය දෙස හොඳින් බැලුවහම හමුවෙනවා. ඔබට හැකිනම් එවන් අයෙකු වෙනුවෙන් ඔබ ඉතිරි කළ පොඩි හෝ දෙයක් වෙන් කිරිමට ඔබ දෙලොවටම යමක් කර ඇති බව සිතා ඔබට සතුටු විය හැක.එය, ඔබ අතින් ඉටු වෙනවාද?
සෞඛ්‍ය සේවාවන් මේවන විටත් සිය ජීවිතය ගැනවත් නොසිතා වෙහෙස වන්නේ මිනිසාගේ නොසැලකිලිමත්කම නිසාම නොවේද?ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් සිය පුංචි දරුවා දෙසවත් නොබලා නිවසේ වෙනම කාමරයක හෝ රෝහලේම හෝ රාත්‍රිය ගෙවනවා. මවකට සිය දරුවාගෙන් දුරස්ව සිටිනවා තරම් වේදනාවක් තවත් ලොව පවතීද?එපමණක් නොවේ ආරක්ෂක නිලධාරීන් ,ඔවුනුත් අප සේම මිනිසුන් නොවේද?කවර හෝ මවකගේ පුතුන් නොවේද? මෙම අවස්ථාවේ ඔවුන්ගේ දිවිය  ඔවුන් කෙතරම් නම්  අනතුරේ හෙලනවාද?අපට ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවස තුළ රැදීසිටීම පමණයි.මොවුන් කරන සේවාව දෙස බැලීමේදී අපට ඇත්තේ ඉතා සුළු කාර්යයක්. එය සිදු කිරීම අපේ යුතුකමක් මෙන්ම වගකීමක්.
සොබාදහම විසින් ඔබට  විවේකිව පවුලක් සේ සිටීමට දුන් මේ අවස්ථාවේ අපගේ මතු යහපත උදෙසා කෙතරම් නම් පිරිසක් මේවන විටත් අවදියෙන්ද? ඔවුන්ටත් සිය ආදරණීයන් හා එක් වීමට , නැවතත් ජීවත් වෙනවා යැයි සිතීමට අවස්ථාවක් ලබාදීමට අප ජාති ආගම් භේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව සිය යුතුකම් ඉටු කරමු.නිවස තුළම රැදෙමු.පරිසරයට සවන් දෙමු.

-විහින්දි සඳින්මා-          

10 ‌‌‌ශ්‍රේණිිය

%d bloggers like this: