Menu Close

165. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving V

2012-13 වසරේදී වසික ත්‍රිකුණාමළයේ -කුළුඳුලේ 

සාමාන්‍යයෙන් ඇලුමීනියම් වායු සිලින්ඩරයක බර රාත්තල් 32 කි. එසේම කිමිදීම සඳහා භාවිතා කරණු ලබන වෙට් සූට් එක  රාත්තල් 8 ක් පමණද රෙගියුලේටර, මාස්ක්, ෆින්ස් BCD ආදියේ එකතුව රාත්තල් 15ක්  පමණ වේ. එනම් කිලෝ 25 ක් පමණය. මෙයට බර පටියේ කිලෝ දෙකද එක් වූ විට මුළු බර කිලෝ 27ක් 28ක් පමන වේ.

අප මේ හා සමාන බරක්ද රැගෙන ෆිලී පසුපස මීයන් සේ ඉහල ඇදුනෙමු. 
එම සෝපානයේ අනුක්‍රමණය ඉතා අධිකය. මහත් වැර වෑයමෙන් යුතුව අප ඉහල මාලයේ වූ විශාල වතුර ටැංකිය අභියස විය.

ටැංකිය අසල නැවතුනු වහාම පසුපස හරුණු තෙශාන්ත තම සෝපහාස සිනහව සමගින් මාදෙසට නැඹුරු විය.

“යකෝ ඩයිවින් කියන්නේ මෙච්චර අමාරු කෙළියක්ද?”

නොකීවාට මටද ඒ වන විට එසේ සිතී තිබුනි.

ඒවන විට මා දෙවරක් ඩයිවින් කර තිබූ නමුත් SCUBA ඩයිවින් කර තිබූනේ ඉන් එක් වතාවක් ත්‍රිකුණාමළයේදී පමණි. 

දෙන්න දෙපැත්තේ – මාස්ටර් මැද්දේ
 2012-13 ත්‍රිකුණාමළය

එවිට මටත් වසිකටත් BCD ඇතුළු වායු සිලින්ඩර ආදිය ඇඳ පැළඳ ගැනීමට සිදුවූයේ වෙරළෙන් ඔබ්බේ වූ බෝට්ටුවේදී පමණි. එවිට සහයට තවත් අයෙකු අප පසුපස සිටියේය. 

එහෙත් අද දිනයේ තත්වය වඩාත් අසීරුය. ඒ කිලෝ ගනනක බර පොදිය රැගෙන මහ ගිරිදඹයක නගින්න එදින සිදුවූයේ නැත!
ටැංකිය අසල අප ෆිලී ඉදිරියේ සිටගෙන විමු. SCUBA ඩයිවින් ඇඳුමෙන් සැරසුණු අප තිදෙන එකිනෙකා දෙස බලමින්ය.
ෆිලී විසින්; අප හැඳ පැළඳ සිටි ඩයිවින් ඇඳුමේ සියළු Velcro පටි, බකල් හා ගාංචු ආදිය එකිනෙකාට එනම් මාගේ තෙශාන්තටත්; මා තෙශාන්තගේත් පරීක්ෂා කරවණ ලදී. 

එය සම්ප්‍රදායකි. 
සියල්ලටම පසු ෆිලී අප දෙදෙනා අමතා අතිශයින්ම වැදගත් වූ උපදෙස දෙන ලදී.

“දිය යටදී මතක ඇතිව හුස්ම ගන්න! ” මෙය මීට පෙරද ත්‍රිකුණාමළයේදී අසා තිබුණි. 

“ඒ වගේම මොනම අවස්ථාවකදීවත්  හුස්ම උඩට අරණ් නවත්ත ගන්නත් එපා!!”
“Remember; breathe naturally and don’t hold the breath!”

මා මාගේ පවුලේ බාලයා විමි. මට වැඩිමහල් සොහොයුරෙකු හා සොහොයුරියක සිටිති. ඉන් සොහොයුරිය මාහට වසර 6 කින් ඈතය. ඔවුන් එකල  රටේ සුවිශේෂී පුද්ගලයින් ගේ නම පවසා ඔහු හෝ ඇය මිය ගියේ කෙසේ දැයි අසති. 

කුඩා මා එය “දන් නෑ!” පැවසූ විට ඔවුන් පවසන්නේ ඊට හේතුව “හුස්ම ගන්න අමතක වෙලා!” කියාය. 
සත්තකින්ම මෙය විය හැක්කක්ද? කෙසේ වෙතත් මා එම ප්‍රකාශය අමතක වන තුරු “මතක් කරමින්ම” හුස්ම ගතිමි. 
ඒ මර බය නිසාය!

මෙයද එවන්ම වූ තත්වයකි. 

ෆිලී පැවසූ ලෙසට දියයට දී හුස්ම ගැනීමට නොහොත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම අතපසු වුවහොත් ඊළඟ මොහොතේ ඔහු හෝ ඇය කළබලයට පත්වී සියල්ල අවුල් කරගැනීමට ඇති ඉඩ කඩ මීට හේතුව ලෙස මා සිතමි.
එවිට අප උත්සාහ කරණ්නේ නාසයෙන් හුස්ම ගැනීමටය! එහෙත් ඩයිවින් මාස්කයේ නෝස් පොකැට්ටුවේ සිරවී ඇති නාසයෙන් හුස්ම ගැනීමට නොහැක. මෙවිට ඇතිවන්නේ මානසික ව්‍යාකූල තත්වයකි.
මා ඊට කදිම උදාහරනයක් ඔබට දක්වන්නම්.
ඔබ ජීවිතකාලයේ එක් වාතාවක් වත් ලෑලි දෙකක් අතර හෝ යකඩ දැලක් අතරේ හෝ අත හෝ අවම වශයෙන් ඇඟිල්ලක් හෝ සිරවී ඇතිද? එම සිදුර තුලින් ඇඟිල්ල හෝ අත ඇතුළු කරණ්නට හැකිවූ ලෙසින්ම ඉවතටද ගත හකි බව කෙතරම් හොඳින් සිත දන්නා නමුදු අනිච්ඡානු ගත පේෂීන් සිරුර මෙහෙය වන්නේ නොඉවසිලිමත්ව ඇඟිල්ල හෝ අත ඉවත් කර ගැනීමට ගලවා ගැනීමටය! මෙනිසාම අත හෝ ඇඟිල්ල තව තවත් තද වීමට හෝ තුවාල සිදුවීමට හේතුවේ. 
සතුන් මල පුඩුවක හිර වන්නේද මේ ආකාරයෙන්මය.
මා සිතනා ආකාරයට මේ “මතක තබාගෙන හුස්ම ගැනීමේ ” කථාවේද පසු පෙල මෙය විය හැක!

සත්‍යවශයෙන්ම ගොඩ බිමදී මෙන් නොව දියේ කිමිදීමේදී ආශ්වාස කිරීම සඳහා තරමක වෙහෙසක් දැරීමට සිදුවේ. 

ලාබාල කාලේ කටේ රැඳවූ සූප්පුවේ පරිණාමය -මවුත් පීස් එක (2nd Stage) එක

සිලින්ඩරයේ සිට රෙගියුලේටරය හරහා මවුත් පීස් එක (2nd Stage) එක හෙවත් ආශ්වාස  ප්‍රාශ්වාස කිරීම සඳහා මුඛයේ රඳවා තබා ගන්නා කොටස තෙක් සම්පීඩිත වාතය පිරී පැවතියද මවුත් පීස් එක තුල ඇති වෑල්වය විවෘථ වී ඒ තුලින් වාතය මුඛය තුලට ගැනීමට කුඩා වෙහෙසක් දැරිය යුතුය.

කිමිදීමේදී ආශ්වාස කරණ්නේත් ප්‍රාශ්වාස කරණ්නේත් 2nd Stage  හෙවත් මවුත් පීස් එක හරහාමය. ආශ්වාස කිරීමේදී ටැංකියේ තිබෙන වාතය  ගලා එන අතර ප්‍රාශ්වාස කිරීමේදී එම වාතය මවුත් පීස්  එකෙන් ජලයට එක්වී ඒවා බුබුළු ලෙස දිය මතු පිටට පැමිණේ.

මවුත් පීස් එක (2nd Stage)  එක දෙපලු කල විට

ෆිලී අපගේ කිමිදුම් ඇඳුම හා ආම්පන්න සියල්ල දියට බැසිමට පෙර පරීක්ෂා කිරීමට අපව යොමු කලේය. 
පලමුව මවුත් පීසය මුඛයේ තබා ගෙන තදින් පිඹ නො එසේනම් ප්‍රාශ්වාස කර බැලීය.

ඉන් පසුව ප්‍රෙශර් ගේජය හෙවත් මීටරය වමතින් ගෙන මවුත්පීසයෙන් දිගු ආශ්වාසයක් ඉහලට ගෙන මනුවෙන්; පද්ධතියේ පීඩනය අඩුවේ දැයි පරීක්ෂා කලෙමු.

යම් හෙයකින් ආශ්වාස කිරීමේදී ප්‍රෙශර් ගේජයේ කටුව අඩු වුවහොත් ඉන් අදහස් කරණුයේ රෙගියුලේටර් වෑල්වය හෙවත් වායු සිලින්ඩරයට මේ සියළු නල මුණගස්වන කොටසේ  (1st Stage) කිසියම් අවුලක් ආපදාවක් ඇති බවය. පද්ධතිය හොඳින්; ප්‍රශස්ථ මට්ටමේ පවතී නම් ප්‍රෙශර් ගේජයේ කටුව නොසෙල්වී තිබිය යුතුය.

1st Stage එකේ මදය

1.ටැංකියට සවිකරණ කොටස
2. BCD යට සවි කරණ නළය – පාවීම පාලනය කිරීම සඳහා
3. හදිසි අවශ්‍යතාවයකදී උපයෝගී කර ගැනීම සඳහා වූ මවුත් පීස් එකට
4. පීඩන මානයට සවිකිරීමට
5. සාමාන්‍යයෙන් කිමිදීමේදී භාවිතා කරණු ලබන මවුත් පීස් එකට

ඉන්පසු BCD ය වායු ටැංකිය මගින් පිම්බීම හා එහි වාතය ඉවත් කර බැලීම පරීක්ෂා කිරීමේ යෙදුනෙමු.
“මතක තියා ගන්න වතුරට බැස්ස ගමන් මේ මවුත් පීස් එක වතුරෙන් පිරෙණවා. ඒක කටේ තියා ගෙන දත් වලින් තද කර ගත්තු ගමන් පලවෙනියෙම්ම කරණ්න තියෙන්නේ මේ purge button එක  දෙවරක් press  කරලා හරි හයියෙන් පිඹලා හරි   Regulatorඑක  clear කරගන්න එක.  
“Clear a regulator while underwater by exhalation and purge – button methods, and resume breathing from it!”
“system එක clear කියලා දැන ගත්තාම හුස්ම ගන්න පටන් ගන්න ඕන!”
ෆිලී බොහෝ විට භාෂා දෙකෙන්ම කරුණු පැහැදිලි කරමින් උපදෙස් දෙමින් අපව මෙහෙයවමින් සිටියේය.
“මතක තියාගන්න මේක කටේ තියෙන තාක් අපිව මැරෙණ්නේ නෑ කොච්චර දියයට හිටියත්!”
නමුත් හදිසියේවත් මේ මවුත් පීස් එකත් එක්ක තියෙන රෙගියුලේටරය අපේ කටින් අහකට ගැලවී ගියහොත් ආපහු එය මුඛයේ රඳවා ගැනීම සඳහා  නිවැරදි ක්‍රියාපිළිවෙතක් පවතී. 

එය සරඹයකි. (Regulator hose recovering.)

මීටර ගනනාවක් දිය යට සිටින විට ගැලවී තමා කෙරෙණ් ඉවත්වන රෙගියුලේටරය නැවත තමා වෙත ලං කර ගැනීම තරමක අසීරු කටයුත්තකි. 

මන්ද ටැංකිය මුදුනේ පිහිටි රෙගියුලේටර වෑල්වයේ නැතහොත් 1st stage එකේ සිට මවුත් පීසය හෙවත් 2nd stage එක තෙක් දිගු නලයකි. 

මුඛයෙන් ගිලිහී යන මවුත් පීසය රැගත් නලය ජලයේ පාවී යයි. මෙවිට එය සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. 

මන්ද වෑල්වය හා වායු නලයේ ආරම්භක ස්ථානය පිහිටන්නේ කිමිදෙන්නාට පසුපසිනි. 2nd stage ය හෙවත් මවුත්පීසය දිය තුල පාවී ගියහොත් එය කුමන ස්ථානයක පිහිටන්නේදැයි කිසිවෙකුට වත් නිශ්චය කර ගැනීමට නොහැක.

මේ සියල්ලෙන් පසුව පලමුව ෆිලී එනම් අප ගුරුතුමාද තෙශාන්තද මමද ටැංකියට බැස්සෝය. 
අඩි 20 ක පමන දිගකින් හා අඩි 8ක – 10ක පලළකින් යුතුවූ සිමෙන්ති ටැංකියේ  වතුර පිරී පැවතුනි. එය තුලට බසින්නට එක් කෙලවරකින් සුදු යකඩින් නිමකල පඩි පෙලක් විය.
ටැංකියට අවතීර්ණ වීමත් සමග අප පෙරකී ලෙස මවුත් පීසය මුඛයේ රඳවා පර්ජ් වෑල්වය ඔබා මවුත් පීසය නිදහස් කරගෙන පලමු හුස්ම පොද ඇදගත්තෙමු. 
පසුව සුළු වේලාවක් අප ටැංකිය තුල ඔබ මොබ සැර සැරුවෙමි. ඒ SCUBA (self-contained underwater  breathing apparatus) කට්ටලයෙන් හුස්ම ගනිමින්ය. ටැංකියේ “හුස්ම” තියෙන තුරා අපට “නොමැරී” සිටිය හැකි බව  එම අභ්‍යාසය අවසන් වන විට අපට ප්‍රථ්‍යක්ෂ වී තිබුනි! ඒ අපගේ පළමු අභ්‍යාසය විය – Underwater breathing!

පලමු අභ්‍යාසය වන Regulator hose recovering.
ඉන් පසු ෆිලී අප අමතා දිය යටට ගොස් ඔහු  පෙන්වන පලමු අභ්‍යාසය වන Regulator hose recovering. ක්‍රියා වලිය බලා ගන්නා ලෙසද ඉන් පසු අප දෙදෙනා වෙන් වෙන්ව  එම අභ්‍යාසය  සිදුකර පෙන්වන මෙන් උපදෙස් සැපයූවේය.
එතැන් පටන් සියළුම අභ්‍යාස ඔහු විසින් දෙවරක් සිදුකර පෙන්වන අතර අප විසින් දෙවරක් බැගින් සිදු කර පෙන්විය යුතු විය.
අප දිගු හුස්මක් ගෙන දිය යට ගොස් බැලුවෙමු. වතුර ටැංකිය පිහිටා ඇත්තේ ගොඩනැගිල්ලක් තුල බැවින් එයට හොඳින්ම ඉර එළිය නොවැටේ.
එනිසා අපි එකිනෙකා හොඳින්ම නොපෙනුනත් හඳුනා ගත හැකි අයුරින් දුටුවෙමු.
Open water හෙවත් විවෘථ ජලයේ කිමිදීම ඇරඹීමට ප්‍රථම සංවෘථ ජලයේ එනම් Confined water නැතහොත් තඨාකයක ඉගෙන ගත යුතු පුහුණු කලයුතු අභ්‍යාස රාශියක් ඇත.  ඒවා “PADI Confined Diving Skills” ලෙස නම් කොට ඇත. 
ඒවා ප්‍රධාන වශයෙන් ප්‍රබේධ 5 ක් යටතේ ශ්‍රේණිකොට ඇති අතර ‍YouTube චැනලයෙන් බාගත කොට පහත දක්වා ඇත්තේ එම පුහුණු වීම්ය. 
අප අපගේ උපදේශක ෆිලී සමග ඉහළ මාලයේ වතුර ටැංකිය තුල ප්‍රථම දිනයේ උදයේ සිට හවස් වනතුරා මෙම පන්ති පහ අවසන් කලෙමු.
“Watermanship එක තියෙනවානම් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්!”  ෆිලී බොහෝවිට පවසුවේය. 
මලා! දැන් කොහෙන්ද ඒක ගේන්නේ? තෙශා මගෙන්හිකි හිකි ගාමින් ඇසුවේය. 

“බලමු යන ගමන් මාළු ලෑල්ලකින්වත් ගන්න!” මමද පෙරළා පිළිතුරු දුන්නෙමි.

“හෙට; අද වාගෙ පරක්කු වෙන්න බෑ! හෙට මූදට යන්න තියෙනවා!!” ෆිලී; සුපුරුදු “ප්‍රින්සිපල්” ස්වරයෙන් අපට සමු දුන්නේය.




%d bloggers like this: