Menu Close

සිරියානු හමුදාව තුර්කි හමුදාවන්ගෙන් කාලතුවක්කු ප්‍රහාර,ඉරානය ඉරාකය තුල ප්‍රහාර සඳහා සූදානම් වන බව ඇමෙරිකාව කියයි

turkish-forces-shell-syrian-army-u-s-claims-iran-prepares-attacks-in-iraq

අප්‍රේල් මස 1දා සරාකිබ් නගරයේ සිරියානු හමුදාවේ ස්ථානවල තුර්කි හමුදාව සහ තුර්කි ප්‍රොක්සි හමුදා කාලතුවක්කු ප්‍රහාර එල්ල කලහ.ප්‍රහාර එල්ල වූයේ තුර්කි හමුදාව රැඳී සිටින අල්මටුමා ප්‍රදේශයෙනි.දින තුනක් තුල සිරියානු හමුදාවට එල්ල වූ දෙවන ප්‍රහාරය ලෙස අප්‍රේල් 1දා සිදුවීම දැක්විය හැකිය.

ඊට සමගාමීව,තුර්කි හමුදාව දිගටම ඉඩ්ලිබ් හි සිය යුදමය ශක්තිය වර්ධනය කර ගනිමින් සිටියි.සන්නද්ධ රථ සහ කාලතුවක්කු සහිත රථ පෙළ දෙකක් දේශසීමාව හරහා සිරියාවට පිවිසියේය.ස්ප්‍රින්ග් ෂීල්ඩ් මෙහෙයුම 2020 පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට පෙර ඉඩ්ලිබ් හි සිටි තුර්කි සෙබලුන් ගණන 5,000ක් පමණ විය.සිරියානු මූලාශ්‍රවලට අනුව 2020 අප්‍රේල් වෙද්දී එම ගණන 7,000 දක්වා වැඩි වී තිබේ.

තුර්කිය මෙලෙස සිරියාවට කැඳවූ හමුදා,කලාපයේ අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම්වල තර්ජනය අතුගා දැමීමට භාවිතා කරන බවට කිසිදු හැඟවීමක් නොමැත.ඒ වෙනුවට ඔවුන් මේ කණ්ඩායම් දකින්නේ වයඹදිග සිරියාවේ සිය පාලනය ශක්තිමත් කිරීමට සහ තුර්කි ආරක්ෂාව යටතේ එම ප්‍රදේශය අර්ධ රාජ්‍යයක් බවට හැරවීමේ සිය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැදගත් මිත්‍රයන් සහ ස්ථම්භයන් ලෙසයි.

තුර්කි හමුදාව,සිරියානු හමුදාවෙන් ආරක්ෂා කරන එක් කණ්ඩායමක් වන හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම පසුගියදා සිවිල් වැසියෙක් ඝාතනය කලේ ඔහු සිරියානු රජයේ හමුදාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා කරමින්ය.සිරියානු පාර්ලිමේන්තුවේ හිටපු සාමාජිකයෙක් වන 68 හැවිරිදි රිෆාට් මාමුඩ් අල්-ඩකා නම් මෙම පුද්ගලයා සටන්කාමීන්ගේ යටතට පත් වන්නේ 2019 මැයි මාසයේදීය.නිරිතදිග ඉඩ්ලිබ් හි කබානි නගරය ඇතුලුව ප්‍රදේශවල සටන්කාමීන් රැඳී සිටින ස්ථාන සම්බන්ධව තොරතුරු හෙතෙම සිරියානු හමුදාවට ලබා දුන්නේ යැ‍යි ත්‍රස්තවාදීන් පැවසීය.

අල්-ජනොවුඩියා නගරයේ පදිංචිකරුවෙක් වූ ඔහු 2011 වර්ෂයෙන් පසුව සිරියානු පාර්ලිමේන්තුවෙන් ඉවත් විය.එතැන් පටන් සටන්කාමීන් බොහොමයක් නිලධාරීන් පීඩාවට පත් කලේ ඔවුන්ගේ ජීවිත,පවුල් සහ ව්‍යාපාරවලට තර්ජන එල්ල කරමින්ය.

සිරියාව,රුසියාව හෝ ඉරානය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා කරමින් සිවිල් වැසියන් අත් අඩංගුවට ගැනීම සහ ඝාතනය කීරීම හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් ඉඩ්ලිබ් කණ්ඩායම් පුරුද්දක් වශයෙන් කරගෙන යයි.මෙවැනි බොහොමයක් සිදුවීම් වලට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්නට ත්‍රස්තවාදීන් තැකීමක් නොකරන්නේ ඒ හරහා ඔවුන් සැබවින්ම බලාපොරොත්තු වන්නේ සිවිල් වැසියන් භීතියට පත් කරන්නටත්,සිය පාලනයට නම්මාගන්නටත් නිසාය.

කලාපයේ ආරක්ෂාව නැවත පිහිටුවීමට යැ‍යි කියමින් තුර්කි හමුදාව ස්ථාපිත තුර්කි නිරීක්ෂණ මුරපොල ආසන්නයේ මෙම අපරාධ සිදු කරමින් තිබේ.කෙසේවෙතත්,සිය විදේශ ප්‍රතිපත්තිවලට එකඟව සේවය කරන තාක් මෙම ත්‍රස්ත කණ්ඩායම් සිදු කරන සිවිල් වැසියන් ඝාතනය කිරීම්,මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම ආදී අපරාධ නොදැක්කා සේ සිටීමට තුර්කි රජය ක්‍රියා කරයි.

අප්‍රේල් මස 1දා ඉරාන කුඩ්ස් බලකා හි ප්‍රධානි බ්‍රිගේඩියර් ජෙනරල් ඉස්මයිල් ගානි ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් නගරයේ නිල නොවන සංචාරයක නිරත විය.ඔහු ඉරාකයේ හමුදා සහ දේශපාලන බලවතුන් කිහිපදෙනෙක් හමු වී ඉරාකයේ වර්තමාන දේශපාලනික සහ ආරක්ෂක තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කලේය.මාර්තු මාසයේදී ඔහු සිරියාවට පැමිණ ඇලපෝ පළාතේ උතුරු කොටසේ ඉදිරි ආරක්ෂක වළලු නිරීක්ෂණයෙහි නිරත විය.

2020 ජනවාරි මාසයේදී බැග්ඩෑඩ් ගුවන් තොටුපොලෙහිදී ඇමෙරිකානු ප්‍රහාරයකින් ජෙනරල් කසෙම් සුලෙයිමානි ඝාතනය වීමෙන් පසුව ඉස්මයිල් ගානි කුඩ්ස් බලකාහි නායකත්වයට පත් කෙරිණි.ගානි ඉරාකයට පැමිණෙන්නේ,එක්සත් ජනපදය සිය කුඩා හමුදා කඳවුරු හිස් කරමින්,සෙබලුන් විශාල කඳවුරුවලට රැස් කරමින්,ඒවාහි ආරක්ෂාව සඳහා පේට්‍රියට් මිසයිල පද්ධති ස්ථානගත කරමින් සිටින අවස්ථාවකයි.දැනටමත් පේට්‍රියට් බතරොයි දෙකක් ඉරාකයට යවා තිබේ.

ඒ අතරතුර,ඉරාකයේ ඇමෙරිකානු හමුදා සහ මර්මස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන්නට ඉරානය හෝ එහි ප්‍රොක්සි හමුදා සැලසුම් කරමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කලේය.ඉරානයට සම්බන්ධ ඉලක්ක වෙත පහරදීමට සහ එරටට එරෙහිව අලුත් සම්බාධක පැනවීමට පෙර මෙවැනි චෝදනා එල්ල කිරීමට එක්සත් ජනපද බලධාරීන්ගේ සිරිතක්ව තිබේ.

source:southfront.org

%d bloggers like this: