Menu Close

ලස්සන ඇස් නොදකින අපි

වසර 25 ට පෙර අද වැනි ම දවසක (මාර්තු 21) ජපානයේ ආගමික නිකායක නායක ෂ්‍යොකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ.
ඕමු ෂින්නිකියෝ (Aum Shinrikyo) නම් වූ ආගමික කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙක් විසින් එල්ල කළ සාරීන් (Sarin) වායුවට නිරාවරණය වීම නිසා සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට අධික පිරිසක් බරපතල ලෙස රෙගාතුර වූ අතර පන්දහසක් පමණ පිරිසක් තාවකාලිකව පෙනීම ආශ්‍රිත ආබාධ වලින් පීඩාවට පත් විය.
අන්තර්ජාලය පිළිබඳව අසා නොතිබුණු යුගයෙක පුවත්පත් වලින් කියවා කම්පනයට ලක් වූ තෝකියෝ විෂ වායු ප්‍රහාරය යනු අනූව දසකය පසු කළ පරම්පරාවට මතකයෙන් අතු ගා දැමිය නොහී ව්‍යසනයකි. අවුෂ්විට්ස් , බුකන්වල්ඩ් වඳ කඳවුරු වල ගෑස් උදුන් පිළිබඳව ද, ඈන් ෆ්‍රෑන්ක්ගේ යොවුන් වියේ අවසාන කාලය පිළිබඳව ද , චර්නොබිල් , බෝපාල් වැනි ඛේදවාචක පිළිබඳව ද විදෙස් බසින් සිංහලයට පරිවර්තනය වූ සීමිත මූලාශ්‍ර කියවමින් වැඩිහිටියන් වූ අප අද ; එනම් ෂ්‍යෝකෝ අසහරාගේ ප්‍රහාරයෙන් වසර විසි පහක් ගත වන තැන එකී තත්ත්වයන් අත් විඳිමින් සිටින්නෙමු.
වියට්නාම යුද්ධයේ දී නාපාම් ප්‍රහාරයට ලක් ව නිරුවතින් දැවෙමින් මහමග දිව ගිය ‘නාපාම් දැරිය’ හෙවත් නම හැවිරිදි Phan Thị Kim Phúcගේ කළු සුදු ඡායාරූපය පවා එක්වර බලන්නට තරම් දිරියක් නොමැති ළමා කාලයක් ගත කළ ඔබ , අප මේ ලිපිය කියවන්නේ ස්වයං නිවාස අඩස්සියකට නතු ව ජීවිතය පිළිබඳ අපේක්ෂා වෙනස් ම තැනක ප්‍රති ගබඩා කළ මොහොතක ය. දිවයිනට ම බල පෑ ඇඳිරි නීතිය නොතකා රට ම වෙළා ගනිමින් සිටින වසංගත වෛරසයක් සමග දිනෙන් දින ඉහළ යන ජීවිත හානි සංඛ්‍යාව ! වසංගත රෝගයක් සැදුණු විටෙක නගරවාසීන් ගෙයි බිත්තියක් බිඳ පලා ගියේ යැයි බෞද්ධ ඉතිහාසයට ඉගෙන ගත් අප , වසංගත රෝගයක් පැතිරෙන මොහොතේ බිත්ති හතරට ජීවිතය භාර කර බලා සිටින්නෙමු.
1942 අප්‍රේල් 5 වැනි දා පාස්කු ඉරිදා ජපනුන් කොළඹට බෝම්බ හෙළූ විට පුළුන් කැබලි කණේ ගසාගෙන , කෝටු කෑලි විකාගෙන මේසය යට සැඟවෙන්නට පුහුණුව ලබා සිටි කොළඹ වැසියන් ඇඳිවත පිටින් මහමගට බැස කෙම්බිමක් සොයා යොදුන් ගණනක් පා ගමනින් ම ඇවිද ගියහ. එසේ කොළඹ අතැර පලා එන පිරිස්වලට මග දෙපස ගම්වාසීන් තම වතු වලින් කුරුම්බා කඩා සංග්‍රහ කළහ. කරුණාසේන ජයලත් ” ලස්සන ඇස්” නවකතාව ලියන්නේ ඒ සිදුවීම පසුබිම් කරගෙන ය. කොළඹින් පැමිණි වික්ටර් නම් යොවුන් ගැටවරයා සුජාතා නම් වූ ගම්බද යුවතියගේ නෙත් කැල්මෙන් වසඟ වන අයුරුත් , අප්‍රකාශිත සුන්දර ප්‍රේමය හදවත් තුළ ම වේදනාප්‍රාප්තව රැඳෙනයුරුත් ජයලත් සුපුරුදු කම්පනීය හැඟීමෙන් ම අකුරු කළේ ය.
අද වන විට ඔබ අපට , ඇඳිවතින් හෝ මහමග ට බැස කෙම්බිමක් සොයා යන්නට අවසර නැත. ලෝකයම දණ ගැස්වූ වෛරසයක් හමුවේ කෙම්බිමක් පවතින්නට ඉඩ නැති බව අවබෝධ කරගන්නට තරම් අප වැඩී සිටිමු. සියල්ල අතැර දා මේ බිමේ පිලිසරණ සොයා එනවුන් හට කුරුම්බා ගෙඩියක් කපා දෙන්නට තබා වැළඳගන්නටවත් නොහැකි තැනකට තල්ලු වී අසරණව සිටිමු.
ඉදින් මෙවන් වාතාවරණයක අද දවසේ වික්ටර්ලා හට සුජාතා මග හැරෙන බවත් , ජයලත් දුටු ඒ ලස්සන ඇස් දැක ගන්නට නොලැබෙන බවත් කණගාටුවෙන් වුව ද පවසමි. ව්‍යසනයක් මැද පවා සියල්ල අමතක කරවනසුලු ප්‍රේමණීය බැල්මක් සොයාගන්නට හැකි මනුෂ්‍ය ප්‍රාණියෝ දුර්ලභය.
ජයලත් ;
මම නුඹට පෙම් කරන්නේ එබැවිනි.
%d bloggers like this: