Menu Close

කොරෝනා වෛරසය සහ මානසික සෞඛ්‍යය

 
කොරෝනා වෛරසය (COVID-19 ) සීග්‍රයෙන් ලොව පුරා පැතිර යන මේ කාලයේ මිනිසුන් අතර බිය , ක්ලමථය (stress) , කාංසාව (anxiety) සහ විශාද(depression)  තත්වයන් ඇති විය හැකිය. තවද මිනිසුන් අතර සමාජ සබඳතා බිඳී යාම , රැකියා අවස්ථා සීමා වී ආර්ථික ප්‍රශ්න මතුවීම , ගමනාගමනයන් සීමා වීම වැනි තත්ව නිසා මිනිසුන් තුල සාමූහික විශාද ලක්‍ෂණ පහළ විය හැකිය. මේ හැර කොරෝනා රෝගයට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන් තුල වෘත්තීය දැවීයාම් (burnout ) මතුවීමේ අවධානමක් ද පවතියි.

මේ වන විට ලෝකය පුරා පැතිරී යන කොරෝනා වෛරස් රෝගය එක්තරා ආකාරයක සාමූහික ව්‍යසනයකි (collective trauma). මේ තත්වය බොහෝ විට හට ගන්නේ මිනිසුන් විසින් කොරෝනා වෛරස් රෝගය කෙරෙහි දක්වන ප්‍රතිචාරය මතය. මේ දක්වා ලෝකයේ විවිධ සමාජ කොරෝනා රෝගය කෙරෙහි දක්වා ඇත්තේ බිය සහ කාංසාව මුසු ප්‍රතිචාරයන් වෙති.කොරෝනා වෛරස ආසාදනයකින් තොරවද කොරෝනා වෛරස් භීතිය විසින් මිනිසුන් ගේ මනස ලෙඩ කල හැකිය. මේ භීතිය විසින් මිනිසුන් තුල කායිකරූපී ආබාධ (Somatization Disorders) මතු කිරීමේ සම්භාවිතාවක් තිබේ.


කොරෝනා වෛරස් රෝගය වැළඳීම නිසාද මානසික රෝගී තත්වයන් ඇතිවිය හැකි  බව අප මෙහිදී අමතක නොකල යුතුය.  කොරෝනා රෝගය විසින් ස්වස්න පද්ධතියට ඇති කරන දුර්විපාක බෙහෙවින්ම කථිකාවට ලක් කර ඇති නමුදු කොරෝනා වෛරසය විසින් මොලය ආශ්‍රිත විවූහයන්ට සිදු කරන හානිය සාකච්චාවට ලක්වී ඇත්තේ අඩුවිනි. 

වෛරස් රෝගය වැළඳීම නිසා මොලයට සිදු වන හානි පිලිබඳව වාර්තා වී තිබේ. උදාහරණයන් ලෙස හර්පීස් වෛරසය, වෙස්ට් නයිල් වෛරසය වැනි වෛරස් ආසාදනයන් නිසා මොලයේ විවූහයන්ට හාණි සිදුවේ. එම නිසා එකී වෛරස් රෝග වැළඳුනු රෝගීන් තුල විශාදය,  ද්වී ද්‍රැව විශාදය (Bipolar Affective Disorder) වැනි තත්වයන් පහළ වීම වාර්තා වී ඇත. මේ හැර භින්නෝන්මාදය (Schizophrenia) වැනි රෝග මතුවීම සඳහා වෛරස් රෝග විසින් මස්තිෂ්කය තුල ඇති කරන ආසාදනයන් ද හේතු කාරක විය හැකි බව ඇමරිකාවේ මීනසෝටා විශ්ව විද්‍යාලයේ පරියේෂිකාවක් වන රේචල් ක්නීලන්ඩ් විසින් 2013 වසරේදී ප්‍රබල උපකල්පනයක් මතු කොට තිබේ. 

කොරෝනා වෛරසය විසින් ස්නායු පද්ධතියට සිදු කරන හාණිය මේ දක්වා කරන ලද පරියේෂණ වලින් තහවුරු වී තිබේ.  SARS වෛරසය ආශ්‍රිතව කරන ලද පරියේෂණ වලින්  SARS වෛරසය මොලයේ මොළ මුලය හෙවත් brainstem හි සෛල වලට හාණිකර බලපෑමක් ඇති  කරන බව පෙන්වා දී තිබේ. කොරෝනා වෛරස් රෝගය වැළඳීම නිසා මිනිසුන් බොහෝ විට මිය යන්නේ එම වෛරසය විසින් හුස්ම ගැනීම පාලනය කරන මොලයේ විවූහයන්ට හානි කිරීම මගිනි. මේ හැර කොරෝනා වෛරසය විසින් ශරීරයේ අනෙකුත් පද්ධතීන් ද විනාශ කර දමයි. මේ නිසා රෝගියෙකු ගේ මරණය සිදු වන්නේ බහුවිධ ශරීර පද්ධති ඇණ හිටීම නිසාය. 

කොරෝනා වෛරසය මස්තිෂ්කයට ඇතුළු වන්නේ බොහෝ විට ශ්වසන පද්ධතිය හරහාය. කොරෝනා රෝගීන් ගේ මස්තිෂ්ක ශ්‍රාවයන් හි කොරෝනා වෛරස් අණු දක්නට තිබේ. මෙතෙක් කරන ලද පරියේෂණ වලින් පෙනී ගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආඝ‍්‍රාණ ස්නායුව (olfactory nerve) මගින් මස්තිෂ්කයට ඇතුළු වීමේ ඉඩකඩ බෙහෙවින්ම වැඩි බවය. කොරෝනා වෛරසය විසින් මස්තිෂ්කය ආසාදනයට ලක් කරන අතර එමගින් රෝගියා තුල අසාමාන්‍ය චර්‍යාවන් මෙන්ම සිහියේ වෙනස්වීම් ද නිරීක්‍ෂණය කල හැකිය.

කොරෝනා වෛරසය නිසා රෝගීන් තුල  විශාදය ඇති වීම කථිකාවට ලක් කොට තිබේ. තවද වෛරස් ආසාදනයෙන් පසුවද විශාදය තව දුරටත් පැවතිය හැකි බව පරියේෂකයෝ පෙන්වා දෙති. ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රොබට් සැපොල්ස්කි පවසන අන්දමට වෛරස් ආසාදනයන් නිසා මස්තිෂ්කය තුල විවූහාත්මක මෙන්ම කෘත්‍යත්මක වෙනස්කම් මතු විය හැක. 

එන්ටෙරො වෛරස් (Enterovirus) ආසාදනයන් නිසා විශාදය මතුවීම බොහෝ සායනික නිදර්ශන වලින් තහවුරු කරගෙන ඇත.  මේ නිසා කොරෝනා වෛරසය ආසාදනය නිසා මස්තිෂ්කයේ සිදු වන විවූහාත්මක මෙන්ම රසායණික වෙනස්කම් රෝගීන් තුල අසාමන්‍ය චර්‍යාවන් මෙන්ම විශාදය වැනි රෝගී තත්ව ඇති කල හැක. මේ නිසා කොරෝනා රෝගීන්ට කායික ප්‍රතිකාර ලබා දීමේදී ඔවුන් ගේ මානසික සෞඛ්‍යය කෙරෙහිද අවධානය යොමු කල යුතුය. කොරෝනා රෝගීන් ගේ කායික රෝගී තත්වයන් අඩුවී ගියද වෛරස් ආසාදන සුව වූවද ඔවුන් 100% සුවපත් වූ රෝගීන් ලෙස සැලකිය නොහැක. ඒ මන්ද යත් කොරෝනා වෛරසය විසින් මානසික සෞඛ්‍යය වෙත සිදු කරන හානිය දීර්ඝ නිසාය. මේ නිසා සුවපත් වූ කොරෝනා රෝගීන් ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි වෛද්‍යවරු අවධානය යොමු කිරීම අවශ්‍ය කරුණකි.

රුවන් එම් ජයතුංග   

( ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක  මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්‍ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික  Posttraumatic Embitterment Disorder (PTED)  සම්මේලනයේ වෛඥානික කමිටු – International Scientific Committee සාමාජිකයෙකි )
%d bloggers like this: