Menu Close

ස්වයං නිරෝධායන සමයේ අනපේක්ෂිත, වටිනා තෑග්ගක් !

      2020 මාර්තු මාසයේ අවසාන දින කිහිපය වන විට ලොව පුරා කොරෝනා ‘ස්වයං නිරෝධායනය’ අකුරටම පිළිපැදීම අනිවාර්ය කර තිබිණ. මේ දිනවල තැපෑලෙන් ලැබෙන භාණ්ඩයක් වුවද යම්කිසි කාල සීමාවක් තද අව්වේ තබා හෝ විෂබීජ නාශකයකින් පිසදා, ගෙය තුළට ගැනීම දැමීම අත්‍යවශ්‍ය ලෙස සලකන ලදී. මාර්තු මස 30 වැනිදා මට තැපෑලෙන් කුඩා පාර්සලයක් ලැබිණ. පොලිතීන් කවරයක දමා තිබුණු එම භාණ්ඩය Reader’s Digest සඟරාවේ 2020 අප්‍රියෙල් කලාපය බව පෙනුණි. මා ඒ සඳහා කිසිම ඇනවුමක් නොකර ඇති නිසා, එම මාසිකයේ අලුත්ම පිටපතක් තැපෑලෙන් ලැබීමට කිසිම හැකියාවක් ගැන සිතාගන්නටවත් නොහැකි වූ බැවින් මට ඒ පිලිබඳ මහත් කුතුහලයක් ඇතිවිය. මගේ ප්‍රියතම මාසිකයක් වන Reader’s Digest පිටපතක් අනපේක්ෂිත ලෙස තැපෑලෙන් ලැබීම ගැන මම පුදුමයට පත්වීමි. එය පොලිතීන් ඇසුරුමෙන් ඉවත් කර, අතට ගන්නා තුරු මට ඉස්පාසුවක් නොවීය. කෙසේ වෙතත් එයට ලබාදියයුතු ‘නිරෝධායන’ කාලසීමාව අවසන් වූ වහාම, පොත කවරයෙන් පිටතට ගතිමි. මහත් පුදුමයකි ! එහි තිබුණු ලේබලයට අනුව ඉදිරියට වසර දෙකක් සඳහා දායක මුදල් ගෙවා, එය මාස්පතා මට තැපෑලෙන් ලැබීමට සලස්වා ඇති බව දකින්නට ලැබිණ. එය කාගෙන්ද යන්න ගැන කිසිම හෝඩුවාවක් සඳහන් කර නොමැත. මේ ප්‍රහේලිකාව ගැන මට විවිධ සිතුවිලි පහල විය.

දශක පහකටත් වැඩි කාලයක් නොකඩවා Reader’s Digest කියවා හුරු පුරුද්දක් තිබුණු මා හට, පසුගිය වසර පහක පමණ කාලය තුලදී ස්ථාන මාරු, විදේශ ගතවීම  වැනි ගැටළු කිහිපයක් නිසා එය කියවීමේ කැමැත්ත අමාරුවෙන් වුවද යටපත් කර දැමීමට සිදුවිය. ස්වයං නිරෝධායනයේ යෙදී ගෙදරට කොටුවී සිටින මේ අවස්ථාවේදී අලුතින් යමක් කියවන්නට ලැබීම ගැන මහත් ප්‍රීතියක්ද ඇතිවිය. ඒ සමගම බලාපොරොත්තු නොවූ අයුරින් Reader’s Digest අතටම ලැබීමත්, ඉදිරියට මාස්පතා එය ලැබීම පිලිබඳවත්, තරමක සැකයක්  මුසු උද්දාමයක්ද ඇතිවිය.

මෙම සිද්ධියට සති දෙකකට ඉහතදී, දශක අටක් පසුවී එළඹුණු, මාගේ පළමු උපන් දිනය වෙනුවෙන්, මා ඉතාමත් අගය කළ, ලෝකප්‍රසිද්ධ මහා පරිසර වේදී, ඩේවිඩ් ඇටන්බරෝ වියතාණන්ගේ ස්වයං චරිතාපදානය පොතෙහි ඉංග්‍රීසි පිටපතක් හෙල්මලී දියණියගෙන් තෑගි ලැබුණේය. කෙසේ වෙතත්, මා විශ්මයට පත්කිරීමට ඇය විසින්ම Reader’s Digest පොතද මා හට තැපෑලෙන් ලැබීම සඳහා    මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලද්දේදැයි මා තුළ  සාධාරණ අනුමානයක්ද ඇතිවිය.

                                                                                                     Reader’s Digest – 2020 අප්‍රියෙල්, අලුත්ම පිටපත.

පුස්තකාල තාක්ෂණික නිලධාරිනියක් ලෙස සේවය කරන හෙල්මලී දියණිය, පොත් පත් පිලිබඳ හසල දැනුමක් ඇති, නිරතුරුවම පොත් කියවන්නියකි. එසේම පාඨකයින්ගේ සිත් අද ගන්නාසුලු භාෂා විලාසයකින් Blog සටහන් සහ FB මාධ්‍ය ජාලාවේද සටහන් තබන්නියකි. ඇයගේ ‘සහස් පියවර’ නමින් නවතම මාදිලියේ කෙටිම කෙටි කතා සංග්‍රහයක්ද මෑතදී එළි  දක්වන ලදී. එයද ඉතාමත් ජනප්‍රිය විය.

වහාම ඇයට ඇමතුමක් දී මේ ගැන විමසීමි. මාගේ අනුමානය නිවැරදිය. එය ඇයගේ සන්නිවේදන උපක්‍රමයක් බව දැනගතිමි. එය, සති කිහිපයකට ඉහතදී එළඹුණු උපන් දිනය වෙනුවෙන්, මට නොදන්වා මා ඉතාමත් අගය කළ පොතක් මාස්පතා තැපෑලෙන් මා අත පත් කර, මා විශ්මයට පත් කිරීම සඳහා ඇය විසින් ගන්නා ලද අහිංසක ප්‍රයත්නයකි. එහෙත් ඇයට එල්ලය වැරදී ඇත. ප්‍රකාශකයින් විසින් Reader’s Digest මාසිකය යෝජිත ලිපිනයන් වෙත තැපැල් කරනුයේ, අදාළ මාසයට කලින් මාසයේ අවසාන දින කිහිපයේදී බව එම ආයතනයෙන් ඇයට දන්වා තිබෙන බව දැනගතිමි. එල්ලය වැරදුනත්, ඇය බලාපොරොත්තු වූ   දිනයට සතියකට පසු, 2020 අප්‍රියෙල් කලාපය මා අත පත්විය. මා ඉතාමත් ප්‍රිය කරන පරිසර වේදියාගේ චරිතාපදානය අතට ලැබීමත්, Reader’s Digest මාසිකය ඉදිරියට නොකඩවා ලැබීමත් මාගේ වාසනාවක් ලෙස සලකමි. කොරෝනා අසාදනයේ වැඩිම අවදානමක් සහිත වයස් කාණ්ඩයේ නිසා, ගෙදරටම කොටුවී ‘නිරෝධානයේ සමවැදී’ සිටින මා, මෙසේ විශ්මයට පත්කර කියවීමට යොමු කිරීම ගැන ඇයට හද පිරි ආදරය පිරිනමමි.

මේ කතන්දරය මෙතැනින් නිම කළ නොහැකිය.
Reader’s Digest සමග මාගේ ඇති දිගු කාලීන සම්බන්ධය ගැනද යමක් කීම අවශ්‍යය. ඒ අතීතය කැටි කරමින් මා විසින් වසර කිහිපයකට පෙර මාගේ Blog පිටුවේ පළ කරන ලද සටහන ඒ සඳහා ප්‍රමාණවත්ය.

මෙන්න ඒ Blog සටහන (2017 08 12) (යළි සංශෝධන කිහිපයක් සහිතව)

දැනුම් සම්භාරයක් ලබාගැනීම සඳහා මග පෑදූ මාසික ප්‍රකාශනය – Reader’s Digest-

එදා සිටම පොතෙහි පිට කවර ආකෘතිය  නොවෙනස්ව පවතී.

අප පවුලේ දියණියන් තිදෙනා ඇතුළු සියලු දෙනාම, කියවීමෙන් දැනුම් සම්භාරයක් ලබාගන්නා ලද, ජාත්‍යන්තර කීර්තියට පත්, Reader’s Digest මාසික ප්‍රකාශණයට උපහාරයක්‌ ලෙස මෙම සටහන තබමි.

මට මුලින්ම Reader’s Digest කියවීමට ලැබුණේ, මා හත්වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේදීය. ඒ 1952 වසරේය. ඒ කාලයේ අපගේ පාසැල් ශිෂ්‍ය නිවාසය භාර ගුරුතුමා, ඉඳහිට කොළඹ ගිය අවස්ථාවලදී Reader’s Digest පොත මිලදී ගෙන කියවා, බොහෝවිට අපටද කියවීමට අවස්ථාව ලබා දුන්නේය. එකළ අප ඉගෙනීම ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා, ඉංග්‍රීසියෙන් ලියවුනු පොත්පත් කියවීමට පුරුදු වී සිටියෙමු.

ඒ කාලයේ පාසල් පුස්තකාලවල අපගේ වයසට ගැලපෙන පොත් වශයෙන් තිබුණේ  ‘A.L Bright Story Readers’ සහ ‘Tales Retold for Easy Reading’ වැනි සරල පොත් පමණකි. කොළඹින් පිටත නගරවල පොත් සාප්පුවකින් Reader’s Digest වැනි පොත් මිලට ගත හැකි වුයේ කලාතුරකිනි. ඒ වකවානුවේදී පොතක මිල රුපියල් එකයි ශත විසිපහක් පමණ විය. කොළඹ මැකලම් පොත්හල මගින්,  පිටරට මුද්‍රණය කරනු   ලබන මාසික සඟරා සහ පොත්පත්, දායක මුදල් ගෙවා, තැපෑලෙන් ගෙදරටම ගෙන්වා ගතහැකි ආකාරය පිළිබඳව පළකරන්නට යෙදුන  පුවත්පත් දැන්වීම් ගැනද මාගේ අවධානය බොහෝවිට යොමුවිය. ඒ කාලයේ එවැනි දෙයකට අමතර මුදලක් වැය කිරීම සඳහා අපට වත්කමක් නොතිබිණ. කෙසේ වෙතත් කවදා හෝ Reader’s Digest ගෙදරට තැපෑලෙන් ගෙන්වා ගැනීම පිලිබඳ සිහිනයක්ද මගේ සිතට කා වැදෙමින් තිබිණ.

අපොස  උසස් පෙළ පන්තිවල ඉගෙනීම ලබද්දී, ඉඳහිට අතට වැඩිපුර මුදලක් ලැබුණු විට Reader’s Digest මිලදී ගතිමි. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී නම් Reader’s Digest පමණක් නොව ‘National Geographic’ ‘Scientific American’ වැනි මාසික ප්‍රකාශණ ද පුස්තකාලයෙන් ලබාගෙන නොකඩවා කියවීමට අවස්ථාව ලැබිණ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර මා මුලින්ම රැකියාව සඳහා ගියේ 1963 වසරේය. ඊට මාස දෙක තුනකට පසු කොළඹ මැකලම් පොත් හලට ගොස් Reader’s Digest තැපෑලෙන් ගෙන්වා ගැනීම පිළිබඳව විමසීමි. තැපැල් ගාස්තුවත් සමගම වර්ෂයක් සඳහා දායක මුදලවූ රුපියල් විස්සක් ද ගෙව්වෙමි. මාස දෙකකින් පමණ මගේ පිටපත හොංකොං නගරයේ සිට ගෙදරටම ලැබී තිබිණ.

 
 එකතුවේ පළමු කලාපය (මාර්තු 1963)

වසර දහයකට වැඩි කලක් තිස්සේ Reader’s Digest අත්පත් කර ගැනීමේ, මා දකිමින් සිටි සිහිනය සැබෑවිය.

දැකුම්කලු ලෙස මුද්‍රණය කර තිබුණු, මාස්පතා එකතුවන Reader’s Digest පොත්, ක්‍රමයෙන් ගොඩ නැගෙමින් තිබුණු මාගේ කුඩා පුස්තකාලයට නව පෙනුමක් ලබා දුන්නේය. 70 දශකය වන විට පිටපතක මිල රුපියල් එකසිය හැත්තෑපහක් පමණ ඉහලට ගොස් තිබිණ.

කාලය කෙමෙන් ගෙවී ගියේය.

දැන් මගේ කුඩා පුස්තකාලයට මාස්පතා එක බැගින් ලැබී,  වසර දහයක පමණ Reader’s Digest පොත් එකතුවක් තිබේ. මේවා වසරින් වසර අනුපිළිවෙලට සකස් කර තබා, අතරින් පතර පොතක් ගෙන, පැරණි දේ නැවත කියවීම ඉතාමත් ප්‍රීතිජනක විය. කොළඹ රැකියාව කරන කාලයේ දුම්රියෙන්, බස් රියෙන් හෝ පෞද්ගලික ප්‍රවාහන සේවයකින් ගමන් කරන සෑම විටම Reader’s Digest අලුත්ම පිටපත මාගේ බෑගයේ විය. තවත් කෙනෙකු සමග කතාබස් නොකරන සෑම අවස්ථාවකම මම පොත කියවීමි. (පසු කාලීනව ඇස් කන්නාඩි අවශ්‍ය වූ නිසා වාහනයක ගමන් කරමින් කියවීම තරමක් අසීරු විය).

 
 එක් වසරක පොත් මිටියක්

70 දශකයේ භීෂණ සමයේදී මාස කිහිපයක් මගේ පිටපත් තෑපෑලේදී අස්ථානගත විය. පසුව, මරදානේ පරණ පොත් විකුණන තැනකට ගොස් අමාරුවෙන් එම පොත් සොයාගෙන අඩුව සම්පුර්ණ කර ගතිමි. වරක්, මගේ මිතුරෙක් පොත් දෙකක් ගෙන ගොස් ආපසු භාර දුන්නේ නැත. පසුව ඔහුට මතක් කළ විට, ඒවා ආපසු දුන් බවම කියා සිටියේය. මට පාඩුව විඳ ගැනීමට සිදුවිය. ඒවා නම් නැවත සොයා ගැනීමට නොලැබුණි. කලක් ගතවන විට, අපගේ දියණියන්ද තමන්ට හැකි පමණින් මේ පොත් කියවීමට පටන් ගත්හ. මටත් වඩා ඔවුන් එම පොත් වලින් ප්‍රයෝජන ගන්නා බව මට දකින්නට ලැබුණි. ඔවුන් සිංහල මාධ්‍යයෙන් ඉගෙනීම ලැබුවද ඉංග්‍රීසි පිළිබඳව හොඳ දැනුමක් ලබාගැනීමට මගේ පොත් එකතුවද අනුබලයක් වන්නට ඇතැයි සිතමි.

80 දශකයේදී මට වසර කිහිපයකට විදේශ ගත වීමට සිදුවිය. නැවත මැකලම් පොත්හලට ගොස්, මගේ නව ලිපිනය දී වැඩිපුර මුදලක්ද ගෙවා මගේ පිටපත් එම රටට ගෙන්වා ගතිමි. කාලය ගෙවී ගොස් මගේ Reader’s Digest එකතුවට වසර 50 ක්ද ගතවිය. 2010 වසර වනවිට වාර්ෂික දායක මුදල රුපියල් හාරදහසද ඉක්මවීය. රුපියලේ අගය අඩුවීමත් ලොව පුරා ඇතිවන උද්ධමනයත් නිසා මෙසේ සිදුවන්නට ඇත.

වාර්ෂිකව එකතු වන පොත් සුරක්ෂිතව ගොනු කර, පොත් අල්මාරියේ තැන්පත් කර තැබීම අපගේ සිරිතය. දියණියන්ද පොත් කියවන සෑමවිටම, මෙම පිළිවෙත දිගටම අනුගමනය කළහ. දශක පහක් තුළදී, මසකට ව එක බැගින් නිකුත්වූ පිටපත් හයසියයකට වඩා වැඩි, මේ තොගයේ සෑම පොතක්ම පාහේ, මා විසින් සම්පූර්ණයෙන් කියවා තිබෙන බව මටම පුදුමයකි. ඒ සියල්ලම කියවීමට අවස්ථාව කෙසේ හෝ ලැබී ඇත. මේ වන විට වසරකට පොත් 12 බැගින් එකට මිටි බැඳ ඇති 50 වසරක පොත් තොගයක් මගේ පොත් අල්මාරියේ තිබුණි. (අතරින් පතර කිහිපයක් හැර)

කාලයාගේ ඉක්ම යාමත් සමග, අපට පෞද්ගලික හේතු මත විදේශ ගත වීමට සිදුවිය. උපන් රට, සුපුරුදු පරිසරය, හදාගත් ගේ දොර, නෑදෑ හිතවතුන්, දිගු කලක සිට ඇසුරු කළ පොත්පත් ආදී බොහෝ දේ අතහැර දමා යාමට තීරණය කළෙමු. සියලු සංස්කාරයෝ  නැසෙන සුළු බව, බුදු දහමෙන් ඉගෙන ගෙන ඇති නිසා අතහැර දැමීම, කණගාටුවකින් යුතුව වුවද කළයුතු විය. ඉතාමත් අවශ්‍ය පොත් හැර අනිත් බොහෝ පොත්පත්, නෑදෑ හිතවතුන්ගේ දරුවන්ට සහ හිත මිතුරන්ට දුනිමි. එහෙත්, Reader’s Digest තොගය අතහැර දැමීම, සිත් සසල කරනු ලබන මහත් ගැටලුවක් විය. අවසානයේදී ඒ පොත් සියල්ල කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් පවත්වාගෙන යන බෝධිඥාන පුස්තකාලයට තෑගි කළෙමි. එහි පාඨකයින්, එම පොත් පැරණි වුවත්, නවතාවයෙන් යුතුව කියවන බව පසුව අසන්නට ලැබී මහත් සතුටට පත්වීමි.

වසර කිහිපයක නිහැඬියාවකින් පසුව,  ඒ සොඳුරු අතීතයේ සදා අනුස්මරණීය Reader’s Digest කියවීමේ හුරුවට,  නැවත යොමු වීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකමි.

  
%d bloggers like this: