Menu Close

ධූම කේතු හෙවත් වල්ගා තරු.

ධූම කේතු හෙවත් වල්ගා තරු.


මේ සටහන කලකට පෙර මා මුහුණු පොතේ පළ කලෙමි. එසේ වුවද ඇට්ලස් නම් 2019 වසරේ දෙසැම්බර් මස 28 වනදා සොයාගත් වල්ගා තරුවේ දීප්තිය බොහෝ සේ වැඩිවෙමින් පොළව දෙසට පැමිණීම සමඟ එය නැවත පළකිරීමට සිතුවෙමි. එම ධූම කෙතුවේ පැහැය කොළ පැහැය වෙන බවක් අන්තර් ජාලයේ ලිපි වලින් පෙනේ. කෙසේ වුවද ධූම කේතු එතරම් විශ්වාස කල හැකි ආකාරයෙන් ලොවට පෙනීම ගැන අනාවැකි පල කල නොහැකි බව විද්‍යාඥයන් පවසති. සමහරවිට මේ ධූම කේතුව අප සෞර ග්‍රහ මණ්ඩලයට එන විට එහි දීප්තිය අවමයක් වෙන්නටද පුළුවන.  

හේලිගේ වල්ගා තරුව ගැන අප කුඩා කාලයේදී අසා ඇත්තෙමු. මේ ධුම කේතුව පායන කාලයේ විවිධ ආකාරයේ අතුරු අන්තරා ඇතිවන බව ජ්‍යෝතිෂ වේදීන් කියා තිබිණ. තාරකා විද්‍යාඥයන් නම් මේ ධුම කේතු පෑව්වාට එයින් ඇතිවන අපල උපද්‍රවයක් ගැන කියන්නේ නැත.  

ධූම කේතුද අනෙකුත් ග්‍රහ වස්තූන් සේ හිරු වටා ඉලිප්සීය ගමන් මාර්ගයක ගමන් කරයි. එහි ආලෝකය වැඩියෙන්ම පෙන්වන න්‍යෂ්ටිය අයිස්, දුහුවිළි සහ ගල් වලින් බොහෝ විට තැනී ඇත. න්‍යෂ්ටිය කිලෝ මීටර් 10 සිට 100 පමණ විශ්කම්භයෙන් යුතු වේ.   

ධූම කේතු යනු අන්‍ය තාරකා මෙන්ම බවත් එහි අභ්‍යන්තරයේ වූ විශාල කුහරයකින් ගිණි සහ දුම් පිටවෙමින් ගමන් කරන බව කියති. ධූම කේතුවේ වල්ගය කවාකාරව පෙනේ. සමහරෙක් ධූම කේතුවක් යනු විනාශ වූ ග්‍රහ තාරකාවක් යයි ද කියත්. අහසේ දීප්තිමත් වළාකුළු වැනි වස්තූන්ට ‘නෙබුලා’ යයි කිව්වද, පෙරදිග ජ්‍යෝතිෂ වේදීන් ඒවාට කුමක් කිව්වද, අපරදිග විද්‍යාඥයන් ඒවා ධූම කේතු සේ ගණන් ගන්නේ නැත.  

වල්ගා තරු ගැන අන්තර් ජාළයේ ඇති තරම් විස්තර ඇති හෙයින්, මෙහිදී නක්ෂත්‍ර මතයද සාකච්චා කරමු. මේ සංකල්ප වල වැඩි විස්තර අන්තර් ජාලයේ ඉන්දියන් ජ්‍යෝතිෂ වෙබ් පිටුවල සොයා ගත හැක. කෙසේ හෝ, මින් බොහෝ කලකට පෙර සිටි ජ්‍යෝතිෂය දත් සෘෂිවරුන් ධුම කේතු ගැන මත පල කර ඇත. එයින් ‘ගර්ගාචාර්ය’ යන සෘෂි තුමා, ධුම කේතු පෑයීමෙන් ලොවට සැමවිටම අශුභ වන බව මෙසේ කියා ඇත.

… “ධුම කෙතෞ සමුත්පත් නො -නකුයර්යාත් මංගල ක්‍රියාම්” …

එනම්, මෙහි තේරුම වන්නේ ධුම කේතු පායන කාලයේ කිසිම ශුභ ක්‍රියාවක් කල යුතු නැති බවය. එහෙත් මේ මතයට තවත් එහා ගිය පරාශර සෘෂි තුමා, මේ ධුම කේතු සය වර්ගයකට බෙදා ඉන් එක් ධුම කේතු වර්ගයක් පමණක් ලොව ශශ්‍රීක කරන බව කියා ඇත. ඒ ධුම කේතු වර්ගයට කියන්නේ ‘චන්ද්‍ර පුත්‍ර ධුම කේතු’ යන්නය.

ජේසු තුමා බෙත්ලෙහෙමේ උපන් දිනයේ තරුවක් පායා තිබුණු බව කියැවේ. එහෙත් ඒ තරුව කිනම් ආකාරයේ, කිනම් කාණ්ඩයකට අයත්වේදැයි සොයා ගන්නට නැත. සමහරුන් නම් කියන්නේ එය හෙලීගේ වල්ගා තරුව කියාය.    

විද්‍යාඥයන් කියන ආකාරයට ධූම කේතු 3000ක් පමණ හඳුනාගෙන ඇත. බිලියනයක් පමණ ධූම කේතු ඇති බවද ඔවුන් කියත්. පරාශර සෘෂි ගේ මතය අනුව ධූම කේතු 108 වර්ගයකි. ඒ ධූම කේතු අයත් කාණ්ඩ හය නම්, ‘රවි පුත්‍ර’, ‘අග්නි පුත්‍ර’, ‘යාම පුත්‍ර’, ‘භුමි පුත්‍ර’, ‘චන්ද්‍ර පුත්‍ර’ සහ ‘බ්‍රහ්ම දණ්ඩ’ සේ වේ.

මෙහිදී එම රවි පුත්‍ර ධූම කේතුවේ වල්ගය ඉරු රැස් වැනි ආකාරයේ හැඩය ඇතිව පූර්ව දිශාවට නැවී ඇත.  තාරකා විද්‍යාඥයන් කියන්නේ නම්, ඕනෑම ධූම කේතුවක වල්ගය හිරු ගෙන් විරුද්ධ දෙසට නැවෙන බවය. මෙහි තේරුම වන්නේ, ධුම කේතුවක් ‘රවි පුත්‍ර’ ධූම කේතුවක් වීමට එය අපගේ සෞර ග්‍රහ මණ්ඩලය දෙසට එන විට එහි වල්ගය කිසියම් අවස්ථාවක නැගෙනහිරට එල්ල විය යුතුය. සෘෂි තුමන් පවසන්නට ඇත්තේ ඕනෑම ධූම කේතුවක් මේ විවිධ ආකාරයේ කාණ්ඩ වලට කාලීනව හැරීම විය හැකි බවය.

ජ්‍යෝතිෂ පොත් වල ඇති දේ ගෙඩි පිටින්ම නොගෙන ඒවා ගැන විචක්‍ෂණ ශීලීව බැලීම වටී. උදාහරණයක් සේ, … “චන්ද්‍ර තෙමේ දිය ගුලියකි”…සේ ‘වරහාමිහිර’ නම් වූ ග්‍රන්ථයේ ඇත. ඉන් පෙන්වන්නේ, චන්ද්‍රයාගේ ‘ජල කාරක’ බවය. 

නවීන විද්‍යාව අනුව, ධූම කේතුවේ ආරෝපිත අංශු සූර්යයාගේ විකිරණ සුළඟින් ඈතට විසිරේ. ඉහත කියූ ‘රවි පුත්‍ර’ ධුම කේතු 26කි. ‘අග්නි පුත්‍ර’ ධූම කේතු 25 කි. ඒවා ගිණි පැහැයෙන් යුක්තය.

‘යම පුත්‍ර’ ධූම කේතුවලට තියුණු රැස් ඇති නැමුණු වල්ගා ඇත. ඒවා 25කි. ‘භුමි පුත්‍ර’ ධූම කේතු නම්, වල්ගා නැති වතුර හෝ තෙල් හැඩයේ මෙන් වටකුරු වළාකුලක් බව කියා තිබේ.  පෙරදිග මතය අනුව ඒවා 23 කි. චන්ද්‍ර පුත්‍ර යනු මුලින් කීවාක් මෙන් ලොවට ශුභදායි වන ධූම කේතු වේ. ඒවා තුනක් පමණක් වන අතර සුදු වර්ණයෙන් යුතු වේ. “බ්‍රහ්මදණ්ඩ ධූම කේතුව” වූ කලී, ලොවට ඉතාම විපත්තිකර ධූම කේතුව වේ. එයට වල්ගා තුනක් ඇත. පරාශර සෘෂි තුමාගේ මතය අනුව, ‘බ්‍රහ්මදණ්ඩ ධූම කේතුව’ පෑයූ විට ලෝකය විනාශ වේ.

මගේ මතකය නිවැරදි නම්, මේ ආකාරයේ ධූම කේතුවක පින්තූරයක් ඊජිප්තුවේ පිරමීඩයක් ඇතුලත ඇඳ තිබෙනවා දුටිමි. එහෙත් අවාසනාවට මා එකළ මේ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුවෙක් වූයෙමි. එසේ හෙයින් එහි පැහැය වල්ග ප්‍රමාණය සහ දිශාව ගැන උනන්දු නොවුනෙමි. පිරමීඩ නිර්මාණය කලේ එකළ සිටි ඉතා දියුණු අත්ලාංතිස වරුන් යයි කියති. ලෝකය විනාශ වන බවට මෙන්ම ඒ විනාශ වන කාලය පෙන්වීමට ඔවුන් විසින් පිරමීඩ තැනුවා යන්නද තවත් මතයකි. එය එසේ නම් එකළ ඔවුන්ගේ ලෝකය විනාශ වීම ධූම කේතුවක් තුළින් ඔවුන් දුටුවා වත්ද ?

මේ ධූම කේතු සහ ලෝක විනාශය ගැන සිතා ගන්නට ඔබට බාර කරමි. ක්‍රිස්තු පූර්ව 11,000 අඳින ලදැයි සැලකෙන ගල් පූවරුවක ධූම කේතුවක් නිසා ලෝකය විනාශ වූවේ යයි පින්තුරයක් ඇත. ධූම කේතු ගැන පෙරදිග මතය අප තව දුරටත් සළකා බලමු.

‘රවි පුත්‍ර’ සහ ‘අග්නි පුත්‍ර’ ධූම කේතු නිසා යුධ බියද, ‘යම පුත්‍ර’ ධූම කේතුව නිසා වසංගත රෝගද , ‘භුමි පුත්‍ර’ ධූම කේතුව නිසා දුර්භික්ෂ භයද ඇතිවේ.

1910 හෝ 1911 වසරේ ලංකාවේ සිටි අය ධූම කේතුවක් දුටු බව මා මගේ ආතා ගෙන් අසා ඇත්තෙමි. මෙය හේලිගේ වල්ගා තරුව විය යුතුය. එය ලංකාවට ඉතාමත් දීප්තියකින් යුතුව පෙනුණු බව මගේ ආතා මට කියා ඇත. මෙයට, ‘හේලිගේ වල්ගා තරුව’ යයි කියන්නේ, එය ක්‍රිස්තු වර්ෂ 1700 දී සොයාගත්, ‘එඩ්මන්ඩ් හේලිට’ ගෞරවයක් ලෙසය. අන්‍ය ධූම කේතුවලට වඩා බොහෝ විශාල මේ කේතුව ලෝකය මෙන් 4000 ගුණයක් විශාල බව සොයා ගෙන ඇත.

එකල හේලිගේ ධූම කේතුව එංගලන්තට පෙනුණේ දීප්තිමත් වළාකුලක් මධ්‍යයේ ඇති තාරකාවක් ලෙසිණි. එහි වල්ගය කෙලින් තිබිණ. මේ ධූම කේතුව නිසා සිදු වුණාදැයි නොදන්නවා වුවද, පළමු වැනි ලෝක සංග්‍රාමය මේ කාලයේ ඇති වූ බව අප අසා ඇත්තෙමු. එසේම එකළ මගේ ආතා කියූ පරිදි මිනිසුන් මුහුදු මාළු කෑමෙන් වළකින ලදී. හේතුව වූයේ ලංකාව අසළ මුහුදේ මාළුන්ට පණුවන් ගැසූ බැවිණි. මෙය ඉතාම වැදගත් නිරීක්ෂණයක් වන්නේ, එකළ ලෝකය සහ සාගරය අද මෙන් අපවිත්‍ර වී නොතිබුණු හෙයිණි. 

මේ කාලයේම රුසියාවේ කොලරා රෝගය පැතිරුණු බව ආරංචි විය. හේලිගේ වල්ගා තරුව සෑම වසර 75ක් හෝ 76ක් පමණ කාලයේ පෙනී යයි. එය අවසන් වරට අප දුටුවේ 1986 වසරේදී විය. ‘හේල් -බොප්’ [Hale-Bopp’s] යන වල්ගා තාරකාව, ‘Alan Hale’ and ‘Thomas Bopp’, යන විද්‍යාඥයන් විසින් වෙන වෙනම 1995 ජූලි මාසයේ සොයා ගන්නා ලදී.  1997 වසරේ ධනු රාශිය හරහා එය ගමන් කළේය.

2017 පෙබරවාරි 20 දින දකින ලද ‘එන්කෙ’ ධූම කේතුවේ [Encke] වල්ග තුනක් තිබුණු බව සඳහන් ය. පෙරදිග මතය අනුව එය, ‘බ්‍රහ්ම දණ්ඩ’ ධූම කෙතුවකි. නමුත් තවම නම් ලෝකය විනාශ වූයේ නැත. නමුත් මේ කාලය දළ වශයෙන් දකුණු ඇමරිකානුවන්ගේ කැලෙන්ඩරයේ අවසානයට සමාන විය. එම කැලැන්ඩරය එතනින් එහාට ගණනය කර නොතිබීම ලෝක විනාශයේ ලකුණක් යන මතය ලෝකයේ පැතිර ගියේය.

මෙහිදී මේ සියලුම ශිෂ්ටාචාරයන්, ‘ලෝක විනාශය’ යන්න විග්‍රහ කරන ආකාරය ගැන සිතිය යුතුය. මේ ලිපිය කියවන ඔබ විනාශ වූයේ නම්, එය ලෝක විනාශය ට සමාන වේ. ලෝකය යනු කුමක්දැයි ඇසූ විට, … “එය අඩි හයක් පමණ වූ මේ සිරුරේ ඇතැයි”… බුදුන් වහන්සේ වදාළහ. එතනින් පෙන්වූයේ, ලෝකය දෙස වෙනස් අය වෙනස් ආකාරයෙන් බලන බවය. අපගේ සංවේදනා නැත්නම් අපට ලොවක් නැත.

ලෝකයේ ව්‍යසන බොහෝ ඇති විය. ඩයිනෝසිරස් උරගයන්ගේ විනාශය, ලෝක විනාශයේ එක්තරා පරිච්චේදයක් විය. කෙසේ හෝ ලෝකය යන ස්කන්ධය විනාශ වීමට නම් බොහෝ කාලයක් යනු ඇත. මක්නිසාදයත් මේ සියළු ආකාරයේ ව්‍යසන වලින් එය බේරී මෙතෙක් පවතින හෙයිණි. නමුත් අද ලෝකයේ සම්පත් වැය වෙන ආකාරයට, දේශගුණය විෂම වන ආකාරයට ලෝකයේ සිටින සත්ව සංහතියේ පැවැත්මට දැවැන්ත තර්ජනයක් එල්ල වී ඇති බව නම් පෙනේ.

එය එසේ නම්, නුදුරු අනාගතයේ පැමිණෙන  ‘ඇට්ලස් වල්ගා තරුව’ ලෝකය විනාශයේ පෙර නිමිත්තක්ද,  නැතහොත් එය කොළ පැහැයෙන් පෙන්වන නිසා කොරෝනා වසංගතයේ අවසානයේ ආරම්භය යයි පෙන්වන ලකුණක්ද ? එසේත් නැත්නම් ධූම කේතුවක් යනු තවත් සාමාන්‍ය අහස් වස්තුවක්ද? නවීන විද්‍යාවේ පිහිටෙන් ඈත සිට එන මේ ධූම කේතුවේ පැහැය කොළ පැහැය යයි දැනට සොයාගෙන ඇත. එහි පැහැය වෙනස් නොවේවා යයි පතමු.

කොළ පැහැය සශ්‍රීකත්වයේ සහ ගහ කොළ වල පැහැය හෙයින්, අප ඒ ගැන මෙසේ බලාපොරොත්තු වෙමු.  මැයි මස අග වන විට ගොවිතැන් කිරීම සඳහා දිවයින පුරා මහා ප්‍රබෝධයක් ඇතිවනු ඇත.

%d bloggers like this: