Menu Close

කොරෝනා කොරපු; කොරන හරිය! – තෙවෙනි කොටස

‘අප හැම දෙනාටම කරන්නට ජාතික මෙහෙවරක් තිබේ’ යැයි කොරෝනා- 2 පෝස්ටුවේදී මම යෝජනා කළෙමි. එය හිතුවාටත් වඩා හොඳින් ශ්‍රී ලංකාව පුරා කෙරෙන බව පෙනෙයි. එතනදී ජාතිය, ජන්මය නොසැලකීම වැදගත්ය.
ඉහතින් තියෙන්නේ ඊට හොඳම සාක්ෂියකි. යාපනේ ශික්ෂණ රෝහලේ, ලේ බැංකුවේ ඉල්ලීමක් ඉටු කරන්නට ආරක්ෂක සේනා මූලස්ථානය- යාපනය සංවිධානය කළ ලේ දන්දීමේ අවස්ථාවකි ඒ!
මෙහෙම විස්තර- ෆොටෝ- පෝස්ටු ප්‍රවාහයක් තියෙද්දී; කොරෝනාව ගැන ලියවෙන එක නවත්තාගන්නේ කොහොමද? ඊටත්, මගේ සුපුරුදු කතාවලට තොරතුරු එකතු කර ගැනීමට; සනාථ කර ගැනීමට මේ වෙලාවේ හැකියාවක් නැත. “පිස්සුද නිමල්? මරණ බය අස්සේ කොහෙද ඕවා මතක් කරගන්නේ….” දෙතුන් දෙනෙක්ම කීහ. කමක් නැත. කොරෝනා ගැනම ලියමි!
වැඩියෙන්ම මේ අවස්ථාව ගැන හිතා ඇත්තේ වස්තුව-වලඳුවෙන් පොහොසතුන් නොවේ. හිතෙන්- යහ ගුණයෙන් පොහොසත් මේ පුතාලා, කරන දෙයින් පෙනෙන්නේ ඒකය. 

වෙනදා විදිහට දෙනෝදාහක් සෙනඟ නොගැවසෙන හින්දා කුසට අහරක් නොවැටෙන බලු-බළලුන් ගැන පවා හිතා බලන්නේ කෝටි ගණන් වටිනා වාහනවල යන්නන් නොවේ. එදිනෙදා ගමන්-බිමන් කෝච්චියෙන්, බසයෙන් යන උදවියයි.

          දුකකට පිහිට සුළු මිනිසෙකුගෙන්     විතර
          ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර
          තිබහට වතුර බොන්නට සුළු ළිඳ      විතර
          කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ       සයුර 
– කියලා පුරාණේ පටන් කියන්නෙත් ඒක වෙන්නැතිය.
මහා ආත්මයක් ඇති ගොවි මහත්මයෙකුගේ ‘මේ පුංචි පරිත්‍යාගය’ රටක් වටින්නේ නැතිද?
ජවිපෙ මන්ත්‍රීවරුන් තම වැටුප අයි.ඩී.එච්. රෝහලට පරිත්‍යාග කළ බව දැක ගැනීමේ වාසනාව මට ලැබිණි. වෙනින් දේශපාලන පක්ෂයකින් එහෙව් මෙහෙවරක් කළාදැයි කියා දැක්කේ නැත. 

මට මඟ හැරුණා වෙන්නැති. අනේ එහෙම දෙයක් දැක්කොතින් කියා එවන්න, තරහ නැතිව.
දවස මුළුල්ලේ වෙහෙසී, වැටුණු තැනක ඉසුඹු ලමින්; නිඳා වැටෙමින්- විවේකයේදී පවා masks මසමින් වෙහෙසවෙන මේ උත්තමයන් දකින එකත් පිනකි.
ඒකට අපේ 225! එච්චරක් විතරක් නොවේ සේරමලා එහෙම වගෙය……
මාධ්‍ය සංදර්ශන මිස වැඩක් නම් කෙරෙන පාටක් නැත. ජනාධිපති මාධ්‍ය ඒකකය දැන් පැය 24ම වැඩ බවත්, මහජනතාවගේ ගැටළු ඔවුනට දැන්විය හැකි බවත් එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතාගේ මුහුණු පොතේ (2020 මාර්තු 30 රාත්‍රී 10.47 ට පළ කළ) පෝස්ටුවක සඳහන්ය. 

එහි ඇමතිය යුතු අංක කිහිපයක්ද තිබේ; තිබුණු දුරකතන අංකවලට කතා කළෙමි. ඒ අපේ පාරේ තත්ත්වය- ප්‍රශ්නය කියන්නටය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැය 24ම වැඩ බව එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහත්තයා ……….
එයින් තවත් ප්‍රශ්නයක් පැන නැංගේය. කමෙන්ටුවක් විදිහට එය යැව්වෙමි. මේ තියෙන්නේ ඒ පණිවිඩයයි.
‘Nimal Disanayake ආයුබෝවන්. මම නිමල් දිසානායක. ඉන්නේ මහරගම පමුණුව පාරේ. මෙතෙක් කාර්ය සාධක බලකාය හා එක්ව එවනවා කී කිසිම සැපයුම් රියක් තියා අත් කරත්තයක්වත් තවම මෙහාට ආවේ නැහැ.  පුද්ගලික ලොරියක් විතරයි ආවේ, පොල් හා බිත්තර අරගෙන. ඇඳිරි නීතිය නොතකා පාරේ යන වාහන, පුද්ගලයන් අනුගමනය කරන්නද අපට වෙන්නේ? මේ තත්ත්වය ගැන කියන්න 0112 354 354 ට කතා කළා. මහත්මයෙක් මගේ කතාව 0114 055 927 ට කියන්නැයි කීවා. කිව්වාම 0112 860 003 ට කතා කරන්නට උපදෙස් දුන්නා. එතැනින් කීවේ සතොස- 0112 436 301 හෝ කෝප් සිටි-0773 689 460 ට කතා කරන්න. සතොස සතොසේ ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කෝප් සිටියෙන් අංගනාවක් කිව්වා 0112 354 354 ට අරන් මහජන සම්බන්ධතා අංශයට කියන්න කියලා. වටම ගිහින් ගෙටම ඇවිත්…, දැන් ඒ නොම්මරේ ගත්තාමත් ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.’
එතුමාට වැඩ වැඩි ඇති! (තවම පැය 40 නේ) කොරෝනාව මර්දනය කළාම හරි උත්තර එවාවි නේ! ඒ ගැන සහතිකය. සැක හිතන්නට- බයක් වෙන්නට දෙයක් නැත.

‘බය වෙන්න එපා. Covid 19 රෝගය ආසාදනය වුණත් අපි එළියට එන්නේ නෑ… සමාජෙට බෝ කරන්නේ නෑ. මේ මගේ වාට්ටුවේ ඇඳකට වෙලා මැරෙනවා නම් මැරෙන්න හරි, හොඳවෙන්න හරි ඉන්නවා. සමාජෙට පිළිලයක් වෙන්නේ නෑ….’ මහනුවර Nursing Officer රවී බණ්ඩාරයි එහෙම කියන්නේ.
රවී, ඔයා නමේ විදිහටම දිනිසුරෙක්… බබළන කතාවක්…. 

ඔබටත්, ඔබ මෙන්ම අමිල මෙහෙවරක යෙදෙන සැමටත් ‘නිදුක්-නිරෝගී සුවය; ආරක්ෂාව’ පතන්නේ මං විතරක් නෙවෙයි. මේ බ්ලොගය කියවන අයත් ඒ ප්‍රාර්ථනාවම කරනවාට කිසිම සැකයක් නැහැ.

ඔලිම්පික්  උළෙලත් කල් දාලා!
ඈ? කවුද දෙයියනේ එකට බැඳුනු මහාද්වීප පහ වෙන් කළේ? මං අහන්නේ ඔලිම්පික් ලාංඡනයේ…
කොරෝනා නිසා ඔලිම්පික් උළෙලත් කල් දමන්නට සිදු වෙලා. ඔලිම්පික් නෙවෙයි මොන කෙළිය කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි! ඒ වගේම අනුන් ජීවත් කරවන්නත්…. ඉස්සෙල්ලාම තමන්ගේ පවුලේ අයව ජීවත් කරවීම ගැන නේද අප හැමෝම හිතන්නේ?
එහෙම හිතලා වෙන්නැති තාත්තෙක් පොඩි එකාට කිරි පොවන බෝතලයක් හොයන්න ගියේ….. ඒත්….

කොහොමත් අපේ හමුදා සොහොයුරන්-සොහොයුරියන් ගොඩක් දෙනා හොඳයි. හැබැයි අතරින්-පතර කළු බැටලුවනුත් නැතිව නෙවෙයි. ඒවා පැත්තකින් තියලයි,  (ඉහතින් තියෙන ෆොටෝ කෑල්ලේ උදවියගේ) මේ මනුස්සකම ගැන ලියන්නම ඕනිය කියලා හිතුණේ.
අහංකාර මගේ හිස හොඳටම නමා කරන මේ ආචාරය මෙවන් උත්තම මිනිසුන් වෙතටයි!
රට කරවන ඇත්තන්ටත්, දේශපාලඥයන්ටත්, අපේ සංඝයා වහන්සේලා ඇතුළු පූජ්‍ය-පූජක හැමටත් මෙවන් මානුෂීය හැඟීම් වැඩි-වැඩියෙන් පහළ වේවා! ඇට නැති දිව ඔහේ වනමින්, ඒවා රටට කියන්නට විතරක් නොහිතේවා!! කරන්නටත් සිත් පහළ වේවා!!! රැඟුම්- මවාපෑම් නොව සැබෑ ක්‍රියාවන්ගෙන්ම දැකගන්නට අපට ඉඩ ලැබේවා.

නව නිපැයුම්වලට රන් පදක්කම් දිනුවත් වැඩේ කෙරෙන්නේ නැහැ…..
අපේ ඉන්නේ සුපිරි හපනුන්ය. රාගම රෝහල වහන්නට සැලැස්සූ තනි (අ)මනුස්සයා එහෙම කෙනෙකි.
ඒ අතරේ කොරෝනාවට අත්දුටු ප්‍රතිකාරයක් හොයාගත් කෙනෙක් ‘එය අත්හදා බලන්නට’ අවසර ඉල්ලයි.  නව නිපැයුම් සඳහා ජනාධිපති සම්මාන- රන් පදක්කම් පවා ලබාගෙන තියෙන එයා, තමන්ම පර්යේෂණාගාර මීයෙකු වෙන්නට වුණත් සූදානම්ය. ඒ ප්‍රවෘත්තිය මිස ඊට පස්සේ කිසිම හා-හූවක් නැත. 
(ඔහොම කියලා බෑ රජෝ. 10%ක කොමිස් දෙනවය කියහං.)

වැඩි වියදමකින්, (වැඩි කුට්ටියක් ඇතිව) පිටරටකින් බෙහෙත් ගෙන්වීම ඊට වඩා පලදායක නිසා දේශීය නිෂ්පාදනයක් ගැන නොහිතනවා වෙන්නටත් ඇති. (මගේ කඩප්පුලිකමට එහෙම හිතනවා මිස, ජාතික ව්‍යසනවලදී අපේ ඇත්තන් එහෙම කරලා නැත. කරලා තිබුණත් කළාය කියලා මෙතෙක් ඔප්පු වෙලා නැත! අග විනිසුරන් හරි මැදිහත් වෙලා තියෙනවා මිස.)

ජපානේවත් අනුමත නැති ‘අවිගන්’ පෙති 5000 හදිස්සියේ ගෙන්නන්න කීයක් ගිහින්ද?

අප්‍රේල් පළමුවෙනිදා; මෝඩයාගේ දවස වෙද්දී ජපානයෙන් ‘අවිගන්’ බෙහෙත ලංකාවට ඇවිත් තියෙන්න ඕනේ. ඒක order කරලා තියෙන්නේ පැය 48ක් යන්න කලින් සපයන්නයි. ලැබුණු වහාම රට පුරා බෙදා හරින්නටත් ‘ක්‍රමවේද’ හදලා ඉවරලු!      

ඒ පණිවිඩේ කියවලා හුස්මක් ගන්න කලින් කියනවා, අවිගන්පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ!කියලා.
‘කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද අවිගන්නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ අදාළ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැතිබවයි.’
ලංකාවට බෙහෙතක් ගෙන්වන්න කලින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබාගෙන ඉන්න ඕනෑය කියලයි ඒකෙ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහත්තයා නම් කියන්නේ.

‘-අදාළ අවිගන්නම් ඖෂධය සම්බන්ධයෙන් ජපානයේ දී සායනික පර්යේෂණ දෙකක් පමණක් සිදුකර ඇති බවත් ජපානයේ ඖෂධ අධිකාරියද මෙම ඖෂධය ලියාපදිංචි කර නැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ රජයේ ඉල්ලීමක් මත ජපානයෙන් අවිගන් ඖෂධ පෙති 5000ක් මෙරටට ගෙන්වා ඇති බවයි.
 

රජ කොල්ලෝ උඩයි- උඩයි!

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඒවා රෝගීන්ට ලබාදෙන බවද සභාපතිවරයා පැවසීය.’

ඒ අස්සේ සිරි ලංකාවේ කොරෝනා මර්දන වැඩ ගැන හතර වටෙන්ම ප්‍රශංසා ගලන්න පටන් අරන්ලු.
කොච්චර වාසනාවක්ද? හැබැයි ඒ අස්සෙම ආසාදිතයන්, රෝගීන්, මරණ ගණන ගැන වාර්තාත් ගලනවා….. ඒකයි අරුමේ!

“මම දෙයියන්ට ඔක්කොම කියන්නයි යන්නේ!” මරණ මංචකයේ ඉඳන් අවුරුදු තුනක කොරෝනා රෝගී සිරියානු දරුවෙක් මුමුණලා. අපටත් පෙනෙන-දකින-වැටහෙන හුඟාක් දේවල් කියන්න වෙන්නේ දෙයියන්ටද?
මොන රූපෙකින්, මොන විදිහකින් පෙනී හිටියත්-නැතත් දෙවියා සාධාරණ වෙන්න ඕනි. දෙවියන් අදහන අයත්….
මේ එහෙම නොවීම ගැන අවනඩුවක්. වැරැද්දක් කළ අයගේ ජාතිය ඇදගන්නේ ඇයි? වැරැදි කරන අය එක ජාතියකට විතරක් අයිති අයද? මේ වෙලාවේ ජාතිවාදී ගින්නකුත් ඇවිළුනොත් මොනවා වේවිද?

කොරෝනාවෙන් ලොකූ යහපතකුත් සිදුවෙනවා අනේ!
කොරෝනාවෙන් සිද්දවෙන ලොකුම යහපත ලෝකයට ‘අලුතෙන් හිතන්න- අලුතෙන් හැදෙන්න- reset වෙන්න’ වෙච්චි එක.
දැන් ඕසෝන් වියන ප්‍රතිසංස්කරණය වෙමින්…  වායු දූෂණය අඩු වෙමින්… ගෝලීය උණුසුම පහත බසිමින්….පවතින බව වාර්තා වෙයි. මේ වාසි ලබාගන්න වුණත් ඔයාල අපි හැමෝම ජීවත් වෙලා ඉන්න ඕනි නේද?

දෙයියෝ කිව්වත් – දෙයියෝ දුන්නත්……
ඒ නිසා නේද හැම දෙනාම පිදුරු ගහක හරි එල්ලෙන්නේ. හැබැයි පරෙස්සමෙන්. ලණු ගිලින්නේ පරෙස්සමෙන්. දැන් කාලේ දෙන්නේ ලණු නෙවෙයි… තේඩා- නැත්තං නැව් කඹ.
දෙන දෙයියෝ නෙවෙයි පන දෙයියෝ කිව්වත් කාරි නෑ, ‘එව- බලව- විමසව’ තමා ඇඟට ගුණ. මතකයිනේ.
දෙවියන් කිව්වලු කොරෝනාවට විෂබීජ නාශකයක් හොඳයි කියලා. දකුණු අප්‍රිකාවේ දේවස්ථානයකින් දීපු විෂබීජ නාශකයක් බීපු 59ක් කොරෝනා හැදෙන්නෙත් නැතිවම එලොව ගිහිල්ලා. 
දැන් කෝටි ගණන් මුදල්, භාණ්ඩ ආධාර ලැබෙන්න පටන් අරන්…. ගණනක් මීම්මක් කොහෙ සටහන් වෙනවද දන්නෑ! කන්දක් විළි ලාලා මී පැටියෙක් වදනවා කියලත් කියන රටනේ! පුරාණේ යකඩවලටත් ගුල්ලෝ විදලත් තිබුණා නේද?
ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහත්තයා කොරෝනා මඩින්න කෝටි 30ක් දෙනවලු. ඒත් මදි නම් ගේදොර විකුණලා තව කෝටි50ක් දෙනවලු. දැනටමත් රජයේ බලධාරීන්ව පවා දැනුවත් කරලලු තියෙන්නේ. 
මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ හෝමාගම ඉස්පිරිතාලෙට කෝටි දෙකකට කිට්ටු වටිනාකමක් ඇති උපකරණ දීලා. 
එච්චරක් නෙවෙයි. කෝවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂක අරමුදලට ‘අස්ගිරිය මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් කෝටි 5ක් ප්‍රදානය කරලා. 

අපේ දේශපාලු උත්තමයන් දකුණු අතින් ගන්නා දේ වම් අතින් දෙන්නේ කාටත් හොරෙන්ලු. ගන්නෙත් හොරාට තමයි. දෙන්නෙත් හොරාට; ගෙදර කෙනෙකුට සුවිශේෂී කෙනෙකුට හරි විතරයි…. පරෙස්සමට අරන් තියන්න; නැතිනම් සේප්පුවක- බැංකුවක තැන්පත් කරන්න.
දැක්කද උන්නැහේලා එක තඹ සත පහක් අතින් වියදම් කරනවා, කොරෝනා වෙනුවෙන් ජනතාවට. පාලිත තෙවරප්පෙරුම මහත්තයායි, JVP මන්ත්‍රීතුමාලයි ඇරෙන්න.
එහෙම ආධාර නොකළත් කමක් නැහැ මේ හම්බ වෙන ආධාර, සල්ලි යටිමඩි ගහගන්නේ නැතිනම්…..සුනාමියේදී වගේ…. තවත් අනේකප්‍රකාර සංවර්ධන වැඩවලදී කෙරෙනවා වගේ…..

අවසරයි මාවරලේ භද්දිය හාමුදුරුවනේ. කෙරෙනවා නම් උස-මිටිකම් නොබලා…..
හරිම අරුම දේකුත් තියෙනවා. මෙතෙක් කිසිම පෝස්ටුවක, ප්‍රවෘත්තියක නොදුටු දෙයක්. දැවෙන ප්‍රශ්නයක්….. ඒක මට මීටර් වුණෙත් හරිම අහම්බෙන්…. බලමු ඊළඟ ‘කොරෝනා කොරපු කොරන හරිය’ ලියන්න කලින් කාට හරි කම්පනා වෙලා තියේවිද කියලා…..
අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB එකේ තිබුණේ. ටිකක් ජාලයෙන්. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි!!!
%d bloggers like this: