Menu Close

135. අම්මාට ලියූ කවිය

ආදරෙයි…..

පොත් මේසෙ එක් කොණක
තනි වෙච්ච දිනපොතක
නිතර පෙරළන පිටක් තියෙනවා….
පඬුපාට කවරයක
තබා සුරැකිව තියන
ඔබේ සේයාරුවක් දකිනවා…
ජීවිතේ එකම එක
අඳුරු දවසක ඔබෙන්
සමු අරන් ආව හැටි මැවෙනවා…
හැමදාම මං දැක්ක
මඳසිනා රැළි බිඳක්
අවසාන ඒ රුවේ තියනවා…..

අල්මාරියේ කොණක
නැවූ පොටවල් අතර
ඉල්ලගත් සාරියක් තියනවා
ඉඳහිටක තුරුල් කර
සිඹිනකොට එදා මෙන්
අපරිමිත ස්නේහයක් දැනෙනවා
ආදරේ මහ හුඟක්
ඔය හිතෙත් තියෙන්නැති
අම්මෙ මං ඒ බවත් දන්නවා
කියාගන්නට කලින්
දෙව්ලොවට වඩින්නට
වුණ එකයි මහම දුක හිතෙනවා……

ඉස්සරම දවසකදි
මිදුලෙ මල් ගහ යටදි
කී කතා කවි මතක තියනවා
දැන් ඉතින් සුරඟනා
පොඩි පැටව් එක්ක ඇති ඉරිසියාවක් හිතට දැනෙනවා
කවදාක හෝ මටත්
ඔබ ඉන්න ඉසව්වට
එන්න වෙන බව ඉතින් දන්නවා
මේ සැරේ වගෙ නෙවෙයි
ඒ වතාවෙදි ඉතින්
පැලෙන්නට ආදරෙයි කියනවා….

%d bloggers like this: