Menu Close

ලස්සනට ඉදුණු වැලට හැදුණු හෙවත් චින්තිගේ සිංදු ලස්සනට ඇසීම

පහුගිය කාලේ නිතරම ඇහෙන්න ගත්ත නිසා චින්තිගේ ‘ලස්සනට ඉදුණු’ සිංදුව කීප පාරක් ම ඇහුවා. විෂුවල් එකත් බැලුවා. මම ඒ සිංදුවට ආසා වුණා.
ලස්සනට ඉදුණු වැලට හැදුණු කොමඩු පිපිඥ්ඥා

පුරහඳ දඟ කර හිත විස කර පස්ස රතිඥ්ඥා

පණ හතක් ගියත් එපා වෙන්නේ නෑනේ රත්තරං

සුමනෝ මගෙ මැණිකේ වෙයං බං

පස්ගෝරස – මී රස – ගී රස අහස උසටම ගෝසා

ඇගෙ බෙලිකටු වැල ගෙල වැළඳලා හොලවන රෝසා

මට මතක් වුණේ කලින් සැරේ කාපු පැණි දොඩම්

ඇලිසෝ මගෙ තුරුලට පැනපං

සිංදුවේ වචන වල අර්ථය ගැන මම හිතුවේ නැත්තේ චින්ති කියන සිංදු වල අර්ථ රසයට වඩා ශබ්ද රසය මාව කුල්මත් කරවන නිසයි. චින්තිගේ ‘සොකරී’ වගේ සිංදු වල ඉඳලා මේ සිංදුව දක්වාම නොවෙනස් ලක්ෂණයක් තියෙනවා. ඒ රස්තියාදු ගැමි හඬ. වචන උච්ඡාරණය ටිකක් බටහිර වුණාට ඒ ඇතුළෙන් අමු ගැමි හඬක් මට නම් ඇහෙනවා. ‘මේ ගම්මානේ කඳු වැටි සීමාවේ’ කියන රෝහණ බැද්දගේ, ‘ ආශාවේ මල් වැටෙන් එබී’ කියන බණ්ඩාර ආතාවුද , ‘අනේ ගැටවුනේ නිකා ඉඳපල්ලා’ කියන සේනානායක වෙහෙරලියැද්ද , ‘කහමලියේ අන්නර කහමලියේ’ කියන ලයනල් රන්වල තුළින් ඇහෙන ගැමි හඬම , ඒ සංඥාවම තරමක් වෙනස් විදියකට චින්තිගේ කටහඬෙන් ඇහෙනවා. ‘මම ජහුටා පොළෙන් තෑගි ගෙනෙන්නම්’ කියන කොටස ගායනා කරනකොට මගේ අනුමානය හරි කියලා හිතෙනවා.
චින්තිගේ හඬ ඇතුළේ ගැමියෙක් ඉන්නවා කියන කාරණය ඇතුළේ දේශීයකම, අපේකම හරි ජන නාද රටා ගැන අදහසක් මම ඉඟිකරන්නේ නෑ. මේක හුදු නිරීක්ෂණයක් විතරයි. චින්ති ගායනා කරන්නේ බටහිර ආරේ සිංදු. මේ සිංදුව වුණත් ස්පාඥ්ඥ , ලතින් වගේ නාද රටා බ්ලෙන්ඩ් වුණ මිශ්‍ර සංස්කෘතිකමය නිර්මාණයක්. ඒ ඇතුළෙන් මට චින්තිගේ ගායනයේ ගැමි ඌරුවක් ඇහෙනවා. හරියට ජනීනා පීරිස් ‘ මල් මල් හීනය සීතල උදයේ’ සිංදුව මුලින් ම කියනකොට , ශ්‍යාමි ෆොන්සේකා ‘ඈතින් ඈතට’ චිත්‍රපටයට ‘ රන් මාල රන් තෝඩු’ ගීතය ගයනකොට ඒ සිංදු වල සිංහල ගතිය අතරින් ඒ අයගේ හඬේ තියෙන බටහිර ගතිය මතු වුණා වගේ. රුක්මණී දේවි ‘පෙම් රජ දහනේ අහස් මාලිගා’ සිංදුව කියනකොට ශෝකී රාවය අතරින් වරින් වර ඇහෙන ටවර් හෝල් නාටිකාංගනාවගේ හඬ වගේ.
සිංදුවේ විෂුවල් එක වුණත් සරලයි. Bruno Marsගේ ගීත වල විෂුවල් වල තානය සිහිපත් කරවනසුලු මේ සිංදුව පහුගිය කාලේ ෂැගීගේ සිට ඒකෝන් දක්වාම අනීවාරතයේ කොපි කරපු ලාංකේය ගීත විෂුවල් සම්ප්‍රදායට පාඩමක් උගන්වනවා. කාපිරියෙක් කකුල් දෙක පළල් කරගෙන වාඩි වුණාම රටේ කාන්තා ජනගහණයෙන් බාගයක් ම ඔහුගේ ඔඩොක්කුවේ වාඩි වීමේ දර්ශනය නැතුව සිංදුවකට විෂුවල් කරන්නත් පුළුවන් එහෙනම් !
සංගීතය අහනකොට කුල්මත් වෙන , සිංදුව අහනකොට මරු කියලා හිතෙන සිංදුවක් ගැන ලිව්වේ බොරුවට ශාස්ත්‍රීය සිංදු විතරමයි අහන්නේ කියලා පෙන්නගෙන ඉන්න අවශ්‍යතාවක් නැති නිසා. මොකද අපේ ආයු කාලය දොරමඬලාවේ ආරාධිතයින්ගේ ආයු කාලයට වඩා අඩුයි. මතක හැටියට 2005 දි විතර ආනන්දේ ‘සංදේශය’ උත්සවයේ ආරාධිත අමුත්තා වුණේ අත්තනායක එම්. හේරත් මහත්තයා. එතුමා ‘අහංකාර නගරේ’ සිංදුව පේළියෙන් පේළිය විග්‍රහ කරලා අතින් රඟපාලා පෙන්නුවා ‘ ඉඟත් බෝම පොඩි – ලැමත් බෝම ඇති’ තරුණියකගේ ස්වභාවය. සුසාධිත කලාව වනසන්න ආපු මාරදූතයෙක් විදියට වසන්ත දුක්ගන්නාරාලව පළු ඇරියා. අපිත් හරිම ප්‍රබෝධයෙන් ඒවා හිතට ගත්තා. දුක්ගන්නාරාල අවුරුදු ගාණකට පස්සේ ‘අහංකාර නගරේ’ ගීත සංග්‍රහය මුද්‍රණය කරනකොට ඒකේ පෙරවදන ලියන අත්තනායක එම්. හේරත් ‘ අපිට එදා වැරදුණා’ වගේ කතාවක් ලියනවා. එදා BMICH එකේ ඉඳගෙන හේරත් මහත්තයා කියපු කතා ඔළුවට ගත්ත කී දෙනෙක් මේ පෙරවදන කියෙව්වද කියලා දන්නේ නෑ.
චින්තිගේ සිංදුවක් දැනුණාම ඒක ලස්සනයි කියලා ලිව්වේ අදහස් දැක්වීම අතින් අත්තනායක එම් හේරත් කෙනෙක් වෙන්න බැරි නිසා. ‘කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ’ ගැන කිය කිය හිටිය බැද්දගේ පවා නැවතුණ තැන බලනකොට තමන් ආසා කරන දේ කරන , තමන් ට දැනෙන දේ ම ඒ විදියට එළියට දාන චින්ති වගේ ආටිස්ට්ලාගේ පිළිමයක් හැදුවත් පාඩු නෑ කියලා හිතෙනවා

%d bloggers like this: