Menu Close

     මේ අවස්ථාවේ අප විචක්‍ෂණශීලී විය යුත්තේ ඇයි ?

                              Sam-Nov-birthdaymonth  කියන්න ඇත්තේ, මේ ‘විචක්‍ෂණශීලී’ යන වචනය තරමක් බර වචනයක් යන්නය. ඊට වඩා හොඳ සහ සරළ වචනයක් ගැන නොසිතේ. නමුත් ‘කල්පනාවෙන්, තැනට සුදුසු නුවණ පදනම්ව තීරණ ගැනීමේ හැකියාව’, එම වචනයෙන් ගම්‍ය වේ. තීරණ ගැනීම පමණක් මදිය. ඒ තීරණ වේගයෙන් ගත යුතුය. මෙම වචනයට ලඟින් යන, සමාන ඉංග්‍රීසි වචනය වන්නේ ‘Smart’ යන්නය. අප උදාහරණ කීපයක් බලමු.  

දශක කීපයකට පෙර ලංකාවට තට්ටු දෙකේ බස් රථ ආනයනය කරන ලදී, සමහරවිට ඒ නිදහස ලැබූ කාලයේ වෙන්නට ඇත. මේ බස් රථ සමූහයක් ලංකාවේ දකුණු දෙසට පිටත් කරන ලදී. මේවා කළුතර හරහා ධාවනය කල යුතුව තිබිණ. එහෙත් කිසිම කෙනෙක්ට කලුතර පාලමේ, වක්‍ර ආකාරයේ යකඩ බාල්ක තිබි ආරුක්කු වහලයක් තිබි බවත් අමතක විය.

පෝළිමට ධාවනය කල බස් රථ වල මුළින් ගිය බස් රථ කිහිපයක් පාලම හරහා යාමේදී, පාළම ඇතුළත හිරවිණි. එසේ වූයේ පාලමේ වහළය සහ පාලමේ පාර අතර උස බස් රථ වල උසට අඟල් කීපයක් අඩු වූ හෙයිණි. පාරේ ධාවනයද මේ නිසා ඇන හිටියේය. බස් රථ සමඟ දකුණු දෙසට ගිය ඉංජිනේරුවන් සහ කාර්මිකයන් බාල්ක ගැලවීමට කොළඹින් දොඹකර ගෙන ඒමට කටයුතු කරන අවස්ථාවේ , සුළු සේවකයෙක් මෙසේ යෝජනාවක් කළේය.

එනම් බස් රථ වල හුළං අඩු කරන ලෙසය. විශාල කලබලයක් වීම ඉන් ව්‍යර්ථ විය.

ඇමරිකාවේ මෑන්හැටන් ප්‍රදේශයේ වූ දෙයක් මෙසේ විය. ධනවත් ඉහළ තලයේ අයට වටිනා ඇඳුම් ගැනීම සඳහා රෙදි සාප්පු එහි තිබිණ. එහෙත් සංවිධානාත්මක කල්ලියක් විසින් මේ කඩ වලට පැන, කොකු වලින් එල්ලා ඇති රෙදි පැහැර ගෙන යෑම කිහිප වතාවක් සිදු විය. කඩයකට පැන ඒ රෙදි විගස කොකු පිටින් ඇද ගෙන යෑමට ගතවන්නේ විනාඩි කිහිපයක් නිසා පොලිසිය එන්නට පෙර ඔවුන්ට පැන යෑමට හැකි විය. මේ ගැන කල්පනා කල එක් දක්ෂ නිළධාරියෙක් එම සාප්පු හිමියන්ට යෝජනාවක් කළේය.

එනම් රෙදි එල්ලා ඇති කොකු, ඇඳුමෙන් ඇඳුමට ඇති පැත්ත වෙනස් කරන ලෙසය. එවිට මේවා එකින් එක පැත්ත හරවමින් ගලවන්නට සිදු වේ. දිනක සොරු පැමිණියහ. කොකු දෙපැත්තට තබා තිබුණු නිසා, පෙර මෙන් ඇඳුම් රාක්ක වලින් ඉක්මනින් ඉවත් කිරීම ඔවුන්ට පහසු වූයේ නැත. මේ කාලයේදී පොලිසියට ඔවුන් අල්ලා ගැනීමට කාලය ප්‍රමාණවත් විය.

ඊළඟ කතාව මට සිදු වූ දෙයකි. හිතවතෙක් ගමනක් යන හෙයින් ඔහුගේ වසර හය හතක කුඩා පුතා අපේ නිවසේ තබා ගියේය. ඔහු දඟ කාරයෙකි. වත්තේ සිටින ගෙම්බන් අල්ලමින් ඔහු අනෙක් වත්තට විසි කරමින් සිටියේය. වත්තේ අනෙක් පසද ඔහුටම ගැලපෙන දඟකාරයෙක් සිටියේය. මේ ගෙඹි සෙල්ලම කෙරෙන වෙලාවේ, වත්තේ අනෙක් පැත්තේ සිටි දඟයා කෑ ගසා කීවේ, එක ගෙම්බෙක් ගැඹුරු බටයක් ඇතුළට වැටුණු බවය. ගෙම්බා බේරා ගැනීමට මා ඉදිරිපත් වුනෙමි.

මුලින්ම නූලක් ගෙන තොන්ඩුවක් තනා අඩි හය හතක යට සිටි ගෙම්බාව ඇල්ලීමට උත්සාහ කලෙමි. එය වැරදුනු තැන එම නූලේ මාළු කෑල්ලක් දවටා ගෙම්බාට කිට්ටු කලෙමි. බිය වී සිටිය නිසාදෝ ගෙම්බා සෙලවුනේ වත් නැත. ඉන් පසු කෙක්කක් දමා ඈතට වී සිටියෙමි. ගෙම්බා ඊටද ප්‍රතිචාර දැක්වූයේ නැත. අවසානයේ දිගැති පොල්ලක ටින් එකක් බැඳ ගෙම්බා ගැනීමට උත්සාහ කලෙමි. එයද හරිගියේ නැත. මේ අතර තවමත් ගෙඹි සෙල්ලමේ සිටි හිතවතාගේ පුතාට බැන වැදුනෙමි. සෙල්ලම නවත්වා ගෙම්බා එළියට ගන්නා සේ කීවෙමි.

කිසි කලබලයක් නැතිව ඔහු වතුර පනිට්ටුවක් ගෙනැවිත් බටය පිරෙන්නට වක් කළේය. ගෙම්බා ඉහළට පැමිණියේය.

මේ ආකාරයේ අපූරු පුද්ගලයන් අපට සමාජයේ මුණ ගැසේ. ඒ අයට කියන්න තරම් විශේෂ අධ්‍යාපනයක් හෝ අත්දැකීම්ද නැත. එහෙත් ඔවුන්ගේ තැනට සුදුසු නුවණ හෙවත් විචක්‍ෂණශීලී බව අප බොහෝ දෙනෙකුට නැත. ඔවුන් එතරම් දක්ෂයන්ද නොවේ. එහෙත් ඔවුන් සිතන විදිය අපට වඩා වෙනස්ය. ඒ නිර්මාණාත්මක සිතීමේ හැකියාව ගැන සමාජ විද්‍යාඥයන් ආචාර්ය නිබන්ධන පවා ලියා ඇත. මේ හැකියාව කුඩා කාලයේ මිනිසාට වැඩියෙන් තිබුණු බව විද්‍යාඥයන් පවසති.    

එය එසේ නම් ඒ හැකියාව අපගෙන් ගිලිහී ගියේ ඇයි? විද්‍යාඥයන් කියන්නේ එම නිර්මාණාත්මක හැකියාව අපගේ මොළයේ දකුණු පස ඇති නිසා යන්නය. පාසලේදී සහ සමාජයේ කෙරෙන විවිධ සිදුවීම් නිසා මොළයේ වම් පාර්ශවයේ දියුණුව නිසා ඒ හැකියාව අපෙන් ගිලිහී යන බවය. එය නැවත ලබා ගැනීමට හැකි එක ආකාරයක් වන්නේ ‘අපද පොඩි එවුන් මෙන් සිතීමෙනි’. එසේ නැත්නම් අපට එදිනෙදා මුහුණ දෙන්නට වන ප්‍රශ්ණ දෙස වෙනත් අයුරකින් බැලීමකිනි. එනම් ඒ ප්‍රශ්ණයේ අන්තර්ගතය වෙනස් නොකර ප්‍රශ්ණය වෙනත් අයුරකින් අපගෙන්ම ඇසීමෙනි.

අපට උදාහරණ කීපයක් ගත හැක. 

1. මා මෙම රැකියාවෙන් ඉවත් විය යුතු බව පෙනේ. කුමක් කල යුතුද ?
2. මගේ සහකරු/ සහකාරිය මට නොගැලපේ. ඒ නිසා සහකරු/සහකාරියගෙන් දිකසාද වෙමි.
3. සේවකයා මේ ආයතනයට අනවශ්‍යය. ඔහු ඉවත් කල යුතුය.

දැන් මේ ප්‍රශ්ණම වෙනත් ආකාරයකින් ඉදිරිපත් කල හැක. ඒවා,

1. මා මේ රැකියාවෙන් ඉවත් නොවී, රැකියාව මට සුදුසු සේ වෙනස් කල හැකි ආකාරයේ යෝජනා සේවා ස්ථානයට කියන්නේ කෙසේද ?
2. දික්කසාදය ලැබීමෙන් පසු එය විවාහයට වඩා වෙනස් සහ හොඳ තත්වයක් වන්නේද? එය ගැටළුවක් වන්නේ නම්, විවාහය පවත්වා ගැනීමට මගෙන් විය යුත්තේ කුමක්ද ?
3. සේවකයාගේ අඩුපාඩු සකස් කිරීමේ උපායයන් පවතී නම් ඒ මොනවාද ?   

එකම ප්‍රශ්නය විවිධ අයුරෙන් අපටම ඉදිරිපත් කලවිට සමහරවිට ප්‍රයෝජනවත් අදහස් ලැබෙන්නට පුළුවන. තවද සමූහයක් සේ ප්‍රශ්ණ විසඳීම සම්බන්දව එකිනෙකා වෙනස් මත දරණ අතර, අනෙකාගේ සොයා ගැනීම් තව කෙනෙකුට කීම එහි වැදගත් වේ. මේ ගැන කුඩා උපමා කතාවකි. 

පූජකයෙක් මියගොස් දෙව්ලොව සහ අපාය බෙදෙන පාරේ සිට ගෙන සිටියේය. දෙව්ලොව හෝ අපාය පෙන්වන ශාන්ත පීටර් තුමා ඔහු පූජකයෙක් බව හැඳින, දෙව්ලොවට කැටුව යන්නට පෙර අපාය බැලීමට කැමති දැයි ඇසුවේය. පූජකයා තම ජීවිත කාලය තුල දෙව්ලොව සහ අපාය යන්න අනුගාමිකයන්ට විස්තර කර ඇති නිසා, අපාය බලන්නට කැමැත්ත දැක් වූවේය. අපායේ ඉතා දිග මේසයක කෙළවරේ රසවත් භෝජන ඇත. ඊට ඈතින් සිටින අය අතේ ඉතා දිග හැන්දකි. හැන්දෙන් ඒ භෝජන ගත හැකි වුවද, කෑමට අත කිට්ටු කර ගැනීමට නොහැකිය.

එසේ හෙයින් ඔවුන් බඩගින්නේ හඬමින් සිටියහ. පසුව ශාන්ත පීතර් තුමා පූජකයාව දෙව්ලොවට හැරලුවේය. එහිද වෙනසක් නැත. ඒ ආකාරයේම මේසයකි. භෝජන සංග්‍රහයකි. මිනිසුන් බොහෝ සතුටෙන් කති බොති.

වෙනස වන්නේ ඔවුන් එකිනෙකාට ආහාර කැවීමය.                   

කොරෝනා වසංගතය හමුවේ අපට අවශ්‍ය වන්නේ බෙදා හදා ගන්නා අය සහ නිර්මාණාත්මක සේ සිතිය හැකි අයය.  

%d bloggers like this: