Menu Close

නිවාස අඩස්සියේ දී ය…

මෙල්බර්න් නගරයට ඇඳිරි නීතිය නැතත් හාත්පස පාලුවට ගොස් ඇත. නිවස ඉදිරිපස මාවතේ වාහන ගමන් නොකරන තරම් ය. අත්‍යවශ්‍ය සේවාවකට අයත් රැකියාවකට යන කෙනෙක්, සුරතල් බල්ලෙක් සමඟ ඇවිදින්නට යන කෙනෙක් පමණක් ඉඳහිට වීදියේ ගමන් කරනු පෙනේ. පරිසරය පුරා පැතිර ඇත්තේ දැඩි නිහඬ බවකි. ඒ නිසා හැතැප්ම දෙක තුනක් ඈතින් ඇති හැලම් දුම්රියපළට දුම්රිය එන යන හඬ පවා මින් පෙර කිසිකලක නොවූ ලෙස දැන් අප නිවසට ඇසේ. 
අපට මේ ගෙවී යන්නේ සරත් සෘතුවේ මුල් කාලයයි. මේ, දීප්තිමත් හිරු රැසින්, පැහැදිලි අහසින්, මෘදු දේශගුණයෙන්, ගිලිහෙන තුරුපතින් යුතු කාලයයි. වෙනදාට පාසලේ පාස්කු නිවාඩුව නම් දුර ගමනක් දෙකක් අනිවාර්යයෙන් යෙදෙන, මුහුදු වෙරළට, කඳුකර පෙදෙසකට විවේකයට මිතුරන් හා යන කාලයකි. එහෙත් මෙවර නම් ඔරලෝසුවේ කටු නතර වූ සෙයකි. දැන් ගෙවෙන්නේ කිසිවෙක් නිවසින් පිටතට නොයන, කිසිවෙක් නිවසට නොඑන සංක්‍රාන්ති කාලයකි. මේ, ජීවිත ගැන බිය, හෙට දවස කවර විපතක් ගෙන ඒ දැයි සැකය, ආර්ථිකය ගැන අවිනිශ්චිතබව නිරතුරුව සිත් පෙලන කාලයකි. තුන්තිස්පැයේ රූපවාහිනියේ පෙනෙන පුවතින් සිත කීරිගැස්වෙන, නින්දත් භයංකර සිහිනයෙන් පිරුණු කාලයකි. 
නිවසින් පිටතට යෑම් සීමා වී ඇති මේ දිනවල අප දවසෙන් වැඩි කොටසක් ගත කරන්නේ නිවසේ පසුපස බරාඳයේ ය. එපිටින් ඇති තෙත්බිමට නිරතුරුව යන එන කුරුළු රංචු එතැනට මනා සේ පෙනේ. මේ දිනවල නිවසේ වැඩකටයුතු නැති සෑම විටකම පාහේ මා බරාඳයේ ඇති පැද්දෙන පුටුව සොයා යමි. පොතක් කියවන්නට, චිත්‍රයක් අඳින්නට, මැහුමක් මසන්නට, ගෙදර අය සමඟ තේ බොමින් දොඩවන්නට එතැන ඉස්තරම් ය. අහල පහල නිවැසියන් ද නිවාස අඩස්සියේ බැවින් වැට මායිම් එපිටින් මෙපිටට වෙනදාට වඩා සුහද සාමීචි සිදුවේ. ඒ හැම වත්තකින්ම තණකොළ කපන මැසිමක හඬ, බාස්කට්බෝලයක් එහි වළල්ල ඇති ලෑල්ලේ වැදී වීසි වන හඬ, පොඩි එවුන්ගේ සෙල්ලම් හඬ නිරතුරුව ඇසේ. පුතා බරාඳයේ සිට මේ හඬ එකතුවට තම ගිටාර් සංගීතය එක් කරයි. මෙතැන කාලය ගෙවද්දී මුළු ලොවම මහත් භීතියකින් වෙලී ඇතිබව මොහොතකට අමතක කර සිත රවටාගත හැක. ඒත් ඒ ඊළඟ ප්‍රවෘත්ති නිවේදනය ඇසෙන තුරු ය. ඊළඟ ෆේස්බුක් සටහන දකින තුරු ය. 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තනිවී, කොටුවී ගතකරන මේ වකවානුව අපට බොහෝ දේ ගැන මෙනෙහි කරන්නට ඕනෑවටත් වඩා කාලය ලබා දී ඇත. පෙරදී හෙම්බිරිස්සාවක් කැස්සක් ගණන් නොගත් මිනිසුන් දැන් දෙවියන් යදින්නේ තම ජීවිත බේරා දෙන්නට ය. සෞඛ්‍ය සේවකයන් රැකියාවකට එහා ගිය මහරු සේවයක් සිදු කරන බව හැඟෙන්නේ ඔවුන් ලොව සියලු දෙනාගේ එකම පිළිසරණ බව වැටහෙද්දී ය. පෙර විශේෂ වටිනාකමක් නොදුන් නෑදෑ සහ මිතුරු හමු නැවත සිදුවන දිනක් තෙක් ඇඟිලි ගැනීම සිදුවෙමින් ඇත. ඇතැමුන්ට මෙතෙක් කල් අකැමැත්තෙන් කළ රැකියාවන් හි අගය දැනෙන්නේ ඉන් මිදී ගෙදරට වී සිටිද්දී, නොඑසේ නම් එය අහිමි වේ දැයි බියෙන් පසු වෙද්දී ය. අධ්‍යාපනයේ අගය, ගුරුවරුන්ගේ කැපවීම වැටහෙන්නේ තනියම උගැනීමට තැත් දරද්දී ය. කෑම බීම නාස්ති නොකර පිරිමසාගත යුතු බව, අමාරු කාලවලදී එකිනෙකාට හයියක් විය යුතු බව, නීති රීති මඟ පෙන්වීම් පිලිපැදිය යුතු බව ඒත්තු යන්නට මිනිසුන්ට ව්‍යසනයක් ම අවශ්‍ය විය. 
තෙත්බිමට ඉහළින් සැඳෑ හිරු වියැකෙමින් ඇත. යාබද ගෙවත්තේ මේපල් ගසේ පත් රන් පැහැයෙන් දිලිසෙමිනි. කොකටූ ගිරවුන් රංචුවක් නිවසට ඉහලින් පියාසර කරන්නේ කෑකෝ ගසමින් නිහඬ බව බිඳිමිනි. දැන් බරාඳයේ පැද්දෙන පුටුවෙන් මිදී ගෙතුළට යාමට වේලාවයි. තවත් අවිනිශ්චිත දිනයක් හෙටත් එළඹෙනු ඇත.

%d bloggers like this: