Menu Close

ඉරාකයට ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති,හවුති සටන්කාමීන්ගෙන් සෞදි අගනුවරට ප්‍රහාර

ඇමෙරිකානු හමුදා රඳවා සිටින ඉරාකයේ කඳවුරුවලට පේට්‍රියට් ගුවන් යානා නාශක මිසයිල පද්ධති යවන්නට එක්සත් ජනපදය ක්‍රියාකරමින් සිටින්නේ යැ‍යි AFP පුවත් සේවයේ මාර්තු 30දා වාර්තා කර තිබුණේ ඇමෙරිකානු සහ ඉරාක මූලාශ්‍ර උපුටා දක්වමින්ය.පළමු පේට්‍රියට් බතරොයිය අයින් අල්-ෂාඩ් කඳවුරට ලැබී තිබෙන්නේ පසුගිය සතියේදීය.දෙවැන්න එර්බිල් කඳවුරේ ස්ථාන ගත කර තිබේ.ඊට අමතර අවම වශයෙන් බතරොයි දෙකක් වත් ඉරාකයේ රදවනු ඇත.කෙසේවෙතත්,ඒවා මේ දක්වා සිය ගමනාන්තයට ලගා වී නැති අතර,දැනට කුවේට් රාජ්‍යයේ තිබෙන බව වාර්තා වේ.

මෙම මිසයිල පද්ධති දියත් කරන්නට බැග්ඩෑඩ් රජය සිය අනුමැතිය ලබා දී ඇද්ද යන්න තවමත් පැහැදිලි නැත.කෙසේවෙතත්,පේට්‍රියට් මිසයිල පද්ධති ඉරාකය එවීමේ ඇමෙරිකානු සැලසුම් තවදුරටත් රහසක් නොවේ.ඉරාකයෙන් හමුදා ඉවත් කර ගන්න යැයි ඉරාක රජය සිදු කල ඉල්ලීම වොෂින්ටන් රජය නිතැතින්ම් ප්‍රතික්ෂේප කලේය.රට තුල තත්ත්වය නරක අතට හැරෙද්දී සිය හමුදා විශාල කඳවුරුවලට රැස් කිරීමේ ඇමෙරිකානු උත්සාහයේ කොටසක් වශයෙන් මෙම මිසයිල පද්ධති ඉරාකයට රැගෙන එයි.

ජනවාරි 3දා එක්සත් ජනපදය බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොලට එල්ල කල ප්‍රහාරයෙන් ඉරාන කුඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සුලෙයිමානි සහ ඉරාක මහජන සේවා ඒකකවල උප ප්‍රධානී අබු මාඩි අල්-මුහන්ඩිස් ඇතුලුව ඉරාක සහ ඉරාන හමුදාවන්හි ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් ඝාතනයට ලක් විය.ඉරානය ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාකයේ එබ්‍රිල් සහ අයින් අල්-අෂාඩ් යන ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කලේය.එක්සත් ජනපදයේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාකලාපය හේතුවෙන් ඉරාකයේ ආරක්ෂක තත්ත්වය නරක අතට හැරුණු අතර එරට තිබෙන ඇමෙරිකානු කඳවුරු සහ සෙබලුන් ඉලක්ක කර එල්ල වන රොකට් ප්‍රහාර වැඩි විය.එතැන් පටන් ඇමෙරිකානු හමුදා ආරක්ෂා කිරීමටත්,ජනවාරි 3දා ඝාතන මාලාවේ ප්‍රතිවිපාක අවම කර ගැනීමටත් පෙන්ටගනය කටයුතු කරමින් සිටියි.මෙම ප්‍රයත්නයන් නොසලකා හරිමින් මැදපෙරදිග මෙම කලාපයේ ඇමෙරිකානු බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් යයි.

සිරියාව තුල තෙල් සම්පත් බහුල යුප්‍රටීස් නිම්නයේ නැගෙනහිර ඉවුරේ සහ අල්-හසකා නගරය ආසන්නයේ ඇමෙරිකානු හමුදා රඳවා සිටියි.සිරියානු සහ රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශවලට අනුව ඇමෙරිකානු විශේෂ සේවා සහ පෞද්ගලික හමුදා කොන්ත්‍රාත් සමාගම් එම ප්‍රදේශවල තෙල් සම්පත් නීතිවිරෝධීව භාවිතා කරමින් ඉන් ලැබෙන ආදායම කලාපය තුල සිය මෙහෙයුම් සඳහා වියදම් වශයෙන් භාවිතා කරයි.

නැගෙනහිර සිරියාවේ ආරක්ෂක තත්ත්වයද හොඳ මට්ටමක නොමැත.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා පාලනය කරන ගුවෙයිරන් බන්ධනාගාරයේ මාර්තු 29 සහ 30 දිනයන්හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සිරකරුවන් කෝලාහලයක් ඇති කලහ.කුර්දි සටන්කාමීන්ට බන්ධනාගාරයේ විශාල කොටසක පාලනය පැය 24කට වැඩි කාලයක් දක්වා අහිමි වූ අතර පසුව ඔවුහු යළිත් එහි පාලනය ලබා ගත්හ.සමහරක් ත්‍රස්තවාදී සිරකරුවන් ඉන් පලා ගියහ.පලාගිය පිරිස් සොයා තවමත් ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මකය.

දකුණු ඉඩ්ලිබ්,බටහිර ඇලෙපෝ සහ උතුරු ලටාකියා හි ඉදිරි ආරක්ෂක වළලු වල තත්ත්වය සාපේක්ෂව සාමකාමීය.රජයට පක්ෂපාතී හමුදා සහ ඉඩ්ලිබ් සටන්කාමින් සිය ශක්තිය වර්ධනය කර ගන්නට වර්තමාන සටන් විරාමය ප්‍රයෝජනයට ගනිමින් සිටිති.

සෞදි අරාබියත්,යේමනයේ හවුති ප්‍රමුඛ හමුදාත් අතර අර්බුදය ක්‍රමයෙන් උණුසුම් වෙමින් තිබේ.මාර්තු 28දා යේමන හමුදා සෞදි අරාබියේ අභ්‍යන්තර ප්‍රදේශ ඉලක්ක කර අලුත් ප්‍රහාර මාලාවක් දියත් කලහ.හවුති මාධ්‍ය ප්‍රකාශයකයාට අනුව ජිසාන්,නජ්රන් සහ අසිර් පළාත්වල මෙන්ම සෞදි අගනුවර වන රියාද් හි අතිශය වැදගත් ආර්ථික සහ හමුදා ඉලක්ක වෙත පහර දීම සඳහා බඩියර්-1 කාලතුවක්කු රොකට්,සුල්ෆිකර් මිසයිල සහ කසෙෆ්-2K හා සමාඩ්-3  මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා යොදා ගෙන ඇත.

රියාද් අගනුවරට ඉහළ අහසේදී සිය හමුදා මිසයිල දෙකක් බිම හෙළු බව සෞදි අරාබිය පැවසීය.තවද ඔවුන් යේමනයේ හවුති මිසයිල යටිතල පහසුකම් වලට එරෙහිව තීව්‍ර බෝම්බ හෙළීමක් සිදු කලේ යැයිද වාර්තා වේ.

පසුගිය මාසයන්හිදී,උතුරු යේමනයේ හවුති සටන්කාමීන්ට එරෙහි සටනේදී සෞදි ප්‍රොක්සි හමුදාවන්ට බරපතල පරාජයන්ට මුහුණු දෙන්නට සිදුවිය.යේමන සටන්කාමීන් සෞදි-යේමන දේශසීමාවේ විශාල භූමියක් සිය පාලනයට නතු කර ගත්හ.

මැදපෙරදිග වර්තමාන සංකීර්ණ භූදේශපාලනික වාතාවරණය සැලකිල්ලට ගත් විට යුද්ධය සෞදි භූමියට පැමිණීම මීට ඉහත සිට පුළුල්ව අපේක්ෂා කල එකකි.

source:southfront.org

%d bloggers like this: