Menu Close

Covid 19 හැර මිනිසාට වින කළ තවත් වෛරස තිබේද? – Other Deadliest Viruses on Earth

Image Credit:https://cdn.arstechnica.net/wp-content/uploads/2020/02/NIGMS_HeLa_cells-CROPPED-800×465.jpg

මිනිසුන් විසින් මිනිසුන්ට එරෙහිව තැනූවක් ලෙස අයෙක් චෝදනා කළත්, ලොවට ඉබේ පහළ වූවක් වුවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව වටා මිනිසුන් බිලිගනිමින් සිය අණසක විහිදුවමින් සිටී. යම් ජාතියක්, ආගමක් ප්‍රබල වුවත්, දුබල වුවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිශය දියුණු වුවත්, දුර්වල වුවත් ඒ කිසිවක් ගණනකට නොගෙන මෙය ප්‍රබල ලෙස ව්‍යාප්ත වේ. අප ගත හැකි සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ ද මෙහි ග්‍රහණයට නතුවන්නට අප අතින් සිදුවන එක් සුළු ප්‍රමාද දෝෂයක් වුව සෑහේ. ලොව වටා සියලු මනුෂ්‍ය වර්ගයා බිලි නොගත්ත ද අති මහත් ව්‍යසනකාරී ප්‍රතිඵල ඇති කළ එකම වෛරසය මෙය පමණක් නොවේ. මිනිස් ඉතිහාසයෙන් මෙවැනි වෛරස බොහෝ හමු වේ. මේ කතා කරන්නට සැරසෙන්නේ එයින් කිහිපයක් පිළිබඳවය.

ඉබෝලා වෛරසය
Image Credit:https://www.britannica.com/science/ebolavirus

මෙය 1976 වසරේ සිට උප සහරා – අප්‍රිකානු රටවල ජනතාව දහස් ගණනින් බිලිගත් වෛරසයකි. මෙය ආසාදිත වූ බව දැනගන්නට ලැබෙන්නේ හිසරදය, උගුර වනවීම සහ විදුරුමස්වලින් රුධිරය වහනය වන්නට පටන් ගන්නා නිසාය. නමුත් ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදූ වී අවසන්ය. මන්ද ඒ වන විට ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ගෙන් රුධිරය වහනය වන්නට පටන් ගෙන ඇති බැවිනි. මෙයින් ආසාදිත වූවන්ගෙන් 50%ක්ම මිය ගිය වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ඉබෝලා ගඟ ආශ්‍රිත ප්‍රදේශයකින් මුලින්ම වාර්තා වූ බැවින් මෙයට මෙම නම යෙදී තිබේ. ආසාදනය වූ පුද්ගලයකුගේ ශාරීරික ශ්‍රාව ඔස්සේ පැතිරී ගිය මෙය ලොව පහළ වූ මාරාන්තික වෛරස අතරින් එකක් ලෙස හඳුන්වනු ලබයි.
මෙයට නිශ්චිත ප්‍රතිකාරයක් නැත.
මාර්බර්ග් වෛරසය
Image Credit:https://en.wikipedia.org/wiki/Marburg_virus#/media/File:Marburg_virus.jpg

පෝලියෝ රෝගය සඳහා වූ එන්නතක් පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සහ අත්හදා බැලීම සඳහා ගෙන්වන ලද අප්‍රිකානු කොල වඳුරන්ගෙන් මේ වෛරසය මිනිසුන්ට සංක්‍රමණය වූ බවට විශ්වාස කෙරේ. මුල්ම සිදුවීම් වාර්තා වූයේ 1967 වසරේ දී ජර්මනියේ මාර්බර්ග් සහ ෆ්‍රැන්ක්ෆර්ට්වලිනි. එමෙන්ම එම වසරේදීම සර්බියාවේ බෙල්ග්‍රේඞ්වලින් ද මේ හා සමාන සිදුවීමක් වාර්තා විය. උණ රෝග ලක්ෂණ සහිතව රක්තපාත තත්වයක් මෙම වෛරස ආසාදනයේ දී දැකගත හැකි විය. BSL-4 නමින් නමින් හඳුන්වනු ලැබූ මෙය ආසාදනය වූවන්ගෙන් 23% – 90 % අතර ප්‍රමාණයක් මරණයට පත් විය. මිනිසුන් අතර ඇතිවන සමීප සබඳතා නිසා පැතිරී ගිය මෙය ආසාදනය වූ බවට සැක පහළ වන්නේ හිසරදය, උණ සහ ශරීරයේ උඩු කයෙහි වූ දද තත්වයක් ඇතිවීමත් සමගිනි. මෙහිදී ශරීරයේ බොහෝ ශාරීරික ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වන අතර අභ්‍යන්තර රුධිරය වහනයවීම ද දක්නට ලැබේ. මෙයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකි විය. 2014 වසරේ දී උගන්ඩාවෙන් ද මෙම වෛරසය සහිත රෝගියකු හමු විය. ඔහු උගන්ඩාවේ ගල් ලෙන්වල ජීවත්වන පලතුරු වවුලන් පිළිබඳ පර්යේෂණයක් පවත්වමින් සිටි ඇමරිකානු ජාතිකයකු විය.
හැන්ට් වෛරසය
Image Credit:https://cdn.mos.cms.futurecdn.net/p8PKS2eVmCafd6CiEwquS7-650-80.jpg

හැන්ට් වෛරස පුප්පුසීය සහලක්ෂණය’ (Hantavirus pulmonary syndrome-HPS) නමින් හඳුන්වනු ලැබූ මෙය මුලින්ම මතු වූයේ 1993 වසරේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එහි ෆෝ කෝනර්ස්කලාපයේ ජීවත් වූ එක් පුද්ගලයකුට ඇති වූ හුස්ම ගැනීමේ දුෂ්කරතාවක් මත රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී මෙය සොයා ගනු ලැබිණි. පසුව දැනගන්නට ලැබුණේ මෙය ඔහුගේ නිවසේ ජීවත් වූ හික් මීයකුට සමාන deer mouse නම් මී වර්ගයකින් ආසාදනය වී ඇති බවයි. මෙය එක්සත් ජනපදයේ පුද්ගලයන් 600 දෙනෙකුට වඩා වැළඳුණු අතර එයන් 36% දෙනෙක් පමණ මිය ගියහ. මෙය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝ නොවුණු අතර මේ මීයන්ගේ බෙටි පෑගීමෙන් ආසාදනය විය. මෙයට පෙර 1950 දශකයේ කොරියානු යුද්ධයේ දී ද හැන්ට් වෛරසයේ තවත් එක් ප්‍රභේදයක් මතු වී ඇති අතර එය හමුදා කණ්ඩායම්වල 3000 දෙනෙකුට පමණ ආසාදනය විය. ඔවුන්ගෙන් 12%ක් පමණ මිය ගියහ.

ඩෙංගු වෛරසය
Image Credit:https://thenativeantigencompany.com/wp-content/uploads/1970/01/shutterstock_1298419780.jpg

1950 දශකයේ දී තායිලන්තයෙන් සහ පිලිපීනයෙන් හමු වූ මේ වෛරසය පසුව ලොව පුරා නිවර්තන සහ උප නිවර්තන කලාප දක්වා පැතිර ගියේය. ලෝක ජනගහනයෙන් 40%ක් වඩා ජීවත්වන්නේ මෙම කලාපයේය. මදුරුවකුගෙන් පැතිර යන වෛරසයක් බැවින් මෙය ලොව පුරා තව තවත් ව්‍යාප්ත වනු ඇති බවට අනතුරක් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට මිලියන 50 – 100 අතර පිරිසක් ඩෙංගු වෛරසයෙන් ආසාදනය වෙති. මෙම වෛරසයේ මරණ අනුපාතය 2.5%ක්, එනම් වෙනත් වෛරසවලට සාපේක්ෂව අඩු මට්ටමක පැවතියත්, මෙය උග්‍ර වීමෙන් ඉබෝලා වෛරසයේ රෝග ලක්ෂණ ඇති විය හැකිය. එහි මරණ අනුපාතය ඊට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතී.

ජලභීතිකා වෛරසය
Image Credit:https://media.sciencephoto.com/image/c0391262/800wm/C0391262-Rabies_Virus,_Illustration.jpg

ජලභීතිකාව හෙවත් පිස්සු බලු රෝගයට හේතුවන වෛසරය නිසා මොලයට හානි සිදුවේ. 1920 දශකයේ දී මෙයට එන්නතක් සොයා ගනු ලැබිණි. සංවර්ධිත රටවල් මේ රෝගය සුලභ නැතත්, ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල තවමත් මෙය සුලභය. මෙයට ප්‍රතිකාර නොකළ හොත් මරණය නිසැකය.
මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය – ඒඞ්ස් (HIV)
Image Credit:https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1a/HIV-budding-Color.jpg/800px-HIV-budding-Color.jpg

නූතන ලෝකයේ පවතින මාරකතම වෛරසය මෙය බව පිළිගැනේ. 1980 දශකයේ දී මෙය මුලින්ම සොයා ගත් දින සිට මේ දක්වා මෙයින් මිය ගිය සංඛ්‍යාව මිලියන 32 කට අධිකය. රුධිරය සහ වෙනත් මිනිස් ශ්‍රාව මගින් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවන මෙය සම්පූර්ණයෙන්ම සුවකිරීම සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නැත. දැනට සොයා ගෙන ඇත්තේ වෛරසයේ බලපෑම ඉතා අවම මට්ටමක රඳවා ගනිමින් ජීවිතය රඳවා ගත හැකි හැකි ඖෂධ පමණි. මේ සඳහා සැලකිය යුතු මුදලක් ද වැය වේ. අප්‍රිකානු කලාපය තුළ වැඩිහිටියන් 25 දෙනෙකුගෙන් එක් අයකුට මෙය ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
වසූරි වෛරසය
Image Credit:https://media.npr.org/assets/img/2019/09/18/smallpox-1_custom-5e208cfc7c0f5607797bdf54a0484896aa2a9373-s1100-c15.jpg

ලෝක සෞඛ්‍ය සංවිධානය 1980 දශකයේ දී නිවේදනය කළේ ලෝකය මෙම වෛරසයෙන් නිදහස් වි ඇති බවය. නමුත් එයට පෙර වසර දහස් ගණනක් තිස්සේ මිනිස්සු මේ සමග සටන් කළහ. මෙයට ආසාදනය වූවන් සෑම තිදෙනෙකුගෙන් එක් අයෙක් මිය ගියේය. යම් හෙයකින් මිය නොගියහොත් සිරුරේ ගැඹුරු කැළැල් ඉතිරි වන අතර අන්ධභාවය ද ඇති වේ. යුරෝපීය ගවේෂකයන් නිසා මේ වෛරසය වැළඳුණු ඇමරිකානු ස්වදේශිකයන්ගෙන් 90%ක්ම මිය ගිය බව ඉතිහාසඥයෝ පවසති. විසිවැනි සියවසේ දී පමණක් වසූරිය නිසා මිය ගිය සංඛ්‍යාව මිලියන 300ක් පමණ වේ.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය
Image Credit:https://cdn.mos.cms.futurecdn.net/8gX4BmDW6UzsDCdXvXV5w8-650-80.jpg

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට මේ වෛසරය නිසා ලොව පුරා වසරකට මිය යන සංඛ්‍යාව ලක්ෂ 5ක් පමණ වේ. ඇතැම් අවස්ථාවලදී මෙය වසංගතයක් ලෙස පැතිර යන අතර එවිට මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි. මිනිස් ඉතිහාසයේ මේ වෛසරය ආසාදනය වී වසංගතයක් බවට පත්වීමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 1918 වසරෙනි. ඒ මේ වෛරස තත්වය නිසා ඇති වූ ස්පාඤ්ඤ උණ වසංගතයයි. ඒ අවස්ථාවේ දී මිලියන 50ක් පමණ මිය ගියහ. මේ වෛරසයේ නව ප්‍රභේද වරින් වර මතුවන බැවින් මෙහි අවදානම තවම පහව නැතැයි විශේෂඥයෝ පවසති.
රොටා වෛරසය
Image Credit:https://media.npr.org/assets/img/2013/08/27/istock_000018165051medium-239e8cf7765b255d89b0a0b668812c22943bb7c3-s300-c85.jpg

මේ වෛසරය වැළඳීම නිසා බිළිඳුන් සහ කුඩා දරුවන් තුළ පාචන තත්වයක් ඇති වේ. කෙසේ නමුත් මේ වන විට මෙහි ආසාදනය වළක්වා ගැනීම සඳහා එන්නත් දෙකක් නිෂ්පාදනය කොට තිබේ. මිනිස් මළ කොටස් අංශු ආහාරයට එක්වීම නිසා මෙය ව්‍යාප්ත වෙයි. මේ වෛරසය නිසා සංවර්ධිත රටවල දරුවන් මිය නොගිය ද ප්‍රමාණවත් සජලීකරණ පහසුකම් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන් බොහොමයක් මේ නිසා මිය යයි. 2008 වසරේ දී මේ වෛරසය ආසාදනය වීමෙන් අවුරුදු 5ට අඩු දරුවන් 453,000ක් පමණ මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සාර්ස් – කොව්
සාර්ස් (SARS) හෙවත් තීව්‍ර උග්‍ර ස්වසන සහලක්ෂණය (severe acute respiratory syndrome) ලෙසින් හඳුන්වනු ලබන්නේ මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට මෙය මුලින්ම සොයා ගනු ලැබුවේ 2002 වසරේ දී දකුණු චීනයේ ගුවන්ඩොන්ග් පළාතෙනි. වවුලන් තුළ ඇති වූ මේ වෛරසය පසුව නිශාචර ක්ෂීරපායි සතකු වූ උරුලෑවන්ට ව්‍යාප්ත විය. මිනිසුන් අතරට ව්‍යාප්ත වූයේ ඉන් පසුවය. චීනයෙන් ඇති වූ මෙය පසුව තවත් රටවල් 26ක් පුරා පැතිර ගියේය. මිනිසුන් 8000ක් පමණ මෙයින් ආසාදනය වූ අතර වසර දෙකක කාලයක් තුළ 770ක් පමණ මිය ගියහ. උණ, සීතල, ශරීරයේ වේදනාවන් මුලින්ම පහළවන අතර අවසන් වන්නේ නිව්මෝනියාවෙනි. මෙයට නිශ්චිත ඔසුවක් මෙතෙක් සොයා ගෙන නැතත් මෑතකදී මෙය ආසාදනය වූවන් කිසිවෙකු හමු වූයේ නැත.
මර්ස් – කොව්
Image Credit:https://en.wikipedia.org/wiki/Middle_East_respiratory_syndrome#/media/File:MERS-CoV_electron_micrograph3.jpg
Middle East respiratory syndrome හෙවත් MERS යන්න සිංහලෙන් මැදපෙරදිග ස්වසන සහලක්ෂණයවැනි නමකින් හැඳින්විය හැකිය. 2012 වසරේදී සවුදි අරාබියෙන් ද, 2015 වසරේ දී දකුණු කොරියාවෙන් ද මතු විය. SARS-CoV සහ SARS-CoV-2 යන වෛරස් පවුලටම මෙය ද අයත් වේ. මෙය ද වවුලන් තුළින් ඇති වූ බව පැවසේ. වවුලන්ගෙන් ඔටුවන්ට ව්‍යාප්ත වී ඉන්පසු මිනිසුන් අතරට පැමිණි බවට සැක කෙරේ. උණ, කැස්ස සහ ස්වසනයේ දුෂ්කරතාව මෙහි රෝග ලක්ෂණ වේ. මෙය බොහෝ විට අවසන් වන්නේ නිව්මෝනියාවෙනි. මෙයට ද නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත.

සාර්ස් – කොව් 2
Image Credit:https://media.graytvinc.com/images/810*455/covid+19+cdc.jpg

වර්තමානයේ මිනිස් සංහතියම බියෙන් සලිත කරමින් ලොව වටා වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරසය මෙයයි. SARS-CoV සහ MERS යන වෛරස් පවුලටම මෙය ද අයත් වේ. මෙයට නව කොරෝනා වෛරසයයන නම යෙදී ඇත්තේ එබැවිනි. කවුරුත් දන්නා පරිදි 2019 දෙසැම්බර් මාසයේ දී චීනයේ වුහාන් පළාතෙන් මෙය සොයා ගනු ලැබිණි. සාර්ස් – කොව් මෙන් මෙය ද වවුලන් තුළ ඇති වූවක් ලෙස සැලකෙන අතර පසුව වෙනත් සතකුගේ මාර්ගයෙන් මිනිසාට ආසාදනය විය. 2019 වසරේදී සොයා ගත් බැවින් කොවිඞ් – 19 නමින් හඳුන්වනු ලබයි. මේ පිළිබඳ සියලු විස්තර සෑම කෙනෙක්ම දන්නා බැවින් මෙතැන ඒ පිළිබඳ කතා කෙරෙන්නේ නැත.
%d bloggers like this: