Menu Close

බයිස්කෝප් ලව් එක පරම්පරාවෙන් හම්බුන තෑග්ගක් !

photo of people watching photo
ගොඩක් වෙලාවට මං දැකලා තියෙනවා පවුල් අතර ‘චිත්‍රපටි පිස්සුව’ කියන එක පරම්පරාවකින් පරම්පරාවකට දායක වෙන දෙයක් විදියට. ඉතිං සීයාගෙන් තාත්තටත්, තාත්තාගෙන් මටත් ඒ පිස්සුව තෑග්ගක් විදියට උරුම වුණා. චිත්‍රපටි, එහෙම නැත්තන් කට වචනෙට අපි කියන බයිස්කෝප් කෙරෙහි පරම පිවිතුරු ආදරය හිතේ ඇති වෙන්න පටන් ගත්තේ එයාගේ ඒ රෙකමන්ඩේෂන් එක මත. එයාගේ ගුණ වර්ණනාව මත, එයා ගැලරියේ ඉඳන් බයිස්කෝප් බලපු, හුරේ තියපු මිහිරි මතක මත. 


ටේස්ට් එකේ පොඩි පොඩි හැල හැපීම් තිබුණ නිසා, තාත්තවත් මාවත් synchronize කළේ සිංහල සිනමාවෙන් නෙවෙයි, දෙමිළ සිනමාවෙන්. සූර්යා සිවකුමාර් ගෙන්. ඒ කාලේ දෙමළ සිනමාව කිව්වම ඒක මලයාලම් ද, කන්නඩා ද, තෙලිඟු ද කියලා in detail විස්තර කරන්න මට හැකියාවක් තිබුණේ නෑ. මට තේරුනෙත් නෑ, තේරුම් ගන්න උවමනා උනෙත් නෑ. දෙමළ ආරෙට කතා කරපු ඕනෑ එකක් ඒ කැටගරියට දාගෙන බලපු එකයි මම කළේ. 2010 දී විතර ආපු සූර්යා රඟපෑව ‘සිංගම්’ චිත්‍රපටිය මමත් තාත්තත් එකට ඉඳගෙන බලපු පළවෙනි දෙමිළ චිත්‍රපටිය. ඒ අපේ mutual ටේස්ට් එක. පොලීසිය, ඇක්ෂන්, වීරත්වය, නළු ගතිය, ආදරයට එහා ගිය සබ්ජෙක්ට් එකක් කතා කරන එක, අපි චිත්‍රපටියක හෙව්ව ප්‍රධාන සාධක. 


අපි දෙන්නම සූර්යාට ආදරේ කරන්න පටන් ගත්තා. සිංගම් විදියටම තාත්තගේ රැවුල කපන්න ඕනේ කියලා මම පොරයකුත් ඇල්ලුවා. සූර්යා රඟපාපු පරණ චිත්‍රපටි හැම එකකම CD ගෙනැල්ලා බැලුවා. ඒ ඒ කාල වල රිලීස් වුණු ඒවත් බැලුවා. Ghajini, 7am arivu, 24, Anjaan, Maattrraan, Sillunu Oru Kaadhal, Aadhavan, Masss අපි සූර්යාගේ ආසම සිනමා නිර්මාණ. ඒ අතරින් Vaaranam Aayiram කියන්නේ  කල් හෝ නා හෝ චිත්‍රපටියට පස්සේ අදටත් බල බල හැඟීම්බර වෙන්න පුළුවන් මං ආසම චිත්‍රපටියක්. ඒකෙ තියෙන හැම සිංදුවකටම මම ආස වුණා. ඒ අතරිනුත් එදා කැමති වුණු ‘Nenjukkul Peidhidum’ ගීතය සහ ‘Mundhinam Parthene’ ගීතය මම අදටත් අහන්න ආසම දෙමළ සිංදු දෙක. ‘Hi Malini I am Krishnan…. ’ කියලා පටන් ගන්න සූර්යාගෙ කටහඬට පොඩි කාලේ මට දන්න විදියට ආදරේ කරන්න ගත්තා. ශාරුක් ඛාන් ට පස්සේ මම ආසම නළුවා වුණා. 


ඇඳිරි නීතියයි කොරෝනයි තිත්ත වෙලා ඉන්න අතරේ අපි ආයෙම සිංගම් බැලුවා. පරණ මතක ඇවිස්සුවා. චිත්‍රපටි ගැන කතා කළා. ජෙනරේෂන් ගැප් එකේ වලි දාගත්තා. ගාමණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, මාලනී ෆොන්සේකා, ජෝතිපාල, ධර්මදාස වල්පොල, ඇන්ජලීන් ගුණතිලක යන මහත්ම, මහත්මියන් ට නැවත වතාවක් ඔහු ඉදිරියේ කැමති වෙන්නට මට සිද්ධ වුණා. ඉස්සර රිලීස් වුණ ගමන් පොර කකා ටිකට් අරන් බලපු සරෝජා, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, අලි පැටියෝ ඔයයි මමයි, පිස්සු පූසෝ, පාර්ලිමන්ට් ජෝක්ස්, පුරහඳ කළුවර, අංජලිකා, පුංචි සුරංගනාවී, සමනළ තටු, සූරිය අරණ, අබා හැම මතකේ ගැනම අපි කතා කළා. කිඹුල් බනිසක් තේ එකේ පොඟවගෙන කන ගමන් අපි දන්නා විදියට විචාරය කළා. වැල් බයිලා ලියනවා වාගේම මං ආස දෙයක් මට දැනුණ විදියට ලියන්නත් පුළුවන් නේද කියලත් හිතුණා. 

සමහරවිට ‘Nepotism’ කියන්නෙත් හොබී එකක් විදියට පවුල් අතරේ කැරකෙන චිත්‍රපටි පිස්සුවෙම පසුකාලින අතුරු ප්‍රතිඵලයක් වෙන්නත් ඇති. පරම්පරාවෙන් පරම්පරාවට සිනමාවට තියෙන ආලවන්තකම අප්ග්‍රේඩ් කරන එක. අම්මට පස්සේ වැඩිපුරම ආදරේ වුණු බයිස්කෝප් ලව් එක එයා මට තෑග්ගක් විදියට දෙන්නත් ඇති. සිනමාව ගැන ‘අ’ යන්නක් ‘ආ’ යන්නක් කැළණි විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගෙන ඒ ලව් එකට මම වටිනාකමක් එකතු කරන්නත් ඇති. පොඩි පොඩි ෂෝර්ට් ෆිල්ම් දෙකක් තුනක් කරගෙන තනියෙන්ම පොඩි සතුටක් ඒකෙන් ආතල් එකක් ගන්නත් ඇති. ඒ වගේම කවදා හරි ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරියක් වෙන්න ඕනෑ කියන පොඩි ආසාවකුත් හිතේ කොනක දැවෙමින් ඇති. 


ඔව්, එදාට රාළහාමි සතුටින් පැලෙයි !! 


#අනුවා 

%d bloggers like this: